Colombo Telegraph

සහක‍්‍රියාව දේශපාලනයේ දී වැඩ කරයි: රනිල්ට දිනිය හැකිය

හේම සේනානායක

හේම සේනානායක

සහක‍්‍රියාව යනු, කළමනාකරණය සහ ව්‍යාපාර විෂයයන්හි භාවිත වෙන වැදගත් වචනයකි. එයින් අදහස් වන්නේ, සමස්තයක් සැදුම්ලත් එකිනෙක කොටස්වල එකතුවට වඩා සමස්තය විශාල වීමකි. වෙනත් වචනවලින් කිවහොත්, පුද්ගලයන් හෝ සංවිධාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී කරන කාර්යයකින් ඇති කරගන්නා සමස්ත ප‍්‍රතිඵලය, ඒ එකිනෙකාගේ තනි සම්මාදම්වල එකතුවට වඩා විශාල වන බව ය. ගණිතමය අර්ථයෙන් එය පහදා දෙන්නේ නම්, 2 සහ 2 එකතුව 4 ක් නොව, 5 කි.

සහක‍්‍රියාව යන වචනය ඔක්ස්ෆෝඞ් අර්ථකෝෂය තුළ විස්තර කෙරෙන්නේ මෙසේ ය: ‘‘යම් සංවිධාන, යම් වස්තූන් හෝ වෙනත් කාරක දෙකක් හෝ ඊට වැඩි ගණනක අන්තර්-ක‍්‍රියාකාරීත්වයෙන් හෝ සහයෝගයෙන් හටගන්නා ප‍්‍රතිඵලය, ඒ එකිනෙක සංවිධානයේ, වස්තුවේ හෝ කාරකයේ සම්මාදම්වල මුළු ඓක්‍යයට වඩා වැඩි ය.’’

මේ සංකල්පය අපි කෙලින්ම ඌවට ආදේශ කරමු. ගත වූ පළාත් සභා ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද සියයට 40.242 ක් ද, ජනතා විමුක්තු පෙරමුණ සියයට 5.357 ක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සියයට 0.890 ක් ද ලබා ගත්තේය. ඒ එකිනෙක පක්ෂ වෙන වෙනම ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය එකට එකතු කළොත් එය සියයට 46.489 ක් වෙයි. එහෙත්, මේ පක්ෂ තමන්ගේ ප‍්‍රයත්නයන් එකට එකතු කොට ඡන්දයට මුහුණදුන්නේ නම්, ඉන් අත්විය හැකිව තිබූ ප‍්‍රතිඵලය සියයට 46.489 ඉක්මවා යා හැකිව තිබූ බව සහක‍්‍රියාව යන සංකල්පයෙන් කියැවෙයි. සමහර විට එය සියයට 50 ද ඉක්මවිය හැකිව තිබුණි. මා සිතන පරිදි, මේ සහක‍්‍රියා තත්වය ඊළඟ ජනාධිපතිවරණයේ දී වඩාත් සාර්ථකව ක‍්‍රියාත්මක විය හැකිය. විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පසුපස ඇති තර්කණය එයයි.

සාමාන්‍යයෙන් නම් ලංකාවේ සියලූ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුත්තේ එකම දිනයක ය. එම ප‍්‍රමිතිය අනුගමනය කරන්නැ යි දැන් කාලයක සිට විපක්ෂය ඉල්ලා සිටී. එහෙත් ආණ්ඩුව ඊට ඇහුම්කන් දුන්නේ නැත. පිළිගත් ප‍්‍රමිතීන් සහ සම්මතයන් පිළිබඳ ගෞරවයක් හෝ තැකීමක් පාලකයන්ට ඇත්තේ නැත. එනිසා ආණ්ඩුව පළාත් සභා මැතිවරණ පැවැත්තුවේ ඔවුන්ගේ සැලසුම් සහ න්‍යාය පත‍්‍රයන්ට අනුගතවයි. ජාතික මට්ටමේ මැතිවරණයකට යාමට පෙරාතුව, පවතින තත්වය උරගා බැලීම සඳහා ආණ්ඩුව කෙළේ, තෝරාගත් පළාත් සභා වරින් වර විසුරුවා හරිමින් ඒවා සඳහා කඩින්කඩ මැතිවරණ පැවැත්වීමයි. ඒ මගේ ආ අවසාන පළාත් සභා ඡන්දය වුණේ ඌවයි. දැන් එය ද අවසන් ය.

ජනාධිපතිවරණයට කලින්, පවතින තත්වය ඌවෙන් උරගා බැලීමට ආණ්ඩුව තීරණය කෙළේ ආවාට ගියාට නොවේ. 2009 පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩුවට සියයට 72.39 ක ඡුන්දයක් ලබා ගැනීමට හැකි වූ පළාත වශයෙන් එය ඔවුන්ගේ පැත්තෙන් හොඳම ස්ථානය විය. මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ, එතරම් ඡන්ද ප‍්‍රතිශතයක් ආණ්ඩුවට ලබා දුන් වෙනත් පළාතක් නොවීය. ඌවේ මහඇමතිවරයා ද ජනාධිපතිවරයාගේ බෑනා කෙනෙකි. ඉතිං, හැම කොන්දේසියක්ම තිබුණේ ආණ්ඩුවේ වාසියටයි. ඒ තත්වය තුළ, තමන් සඳහා වන ඉහළම ඡුන්ද ප‍්‍රතිශතය එම පළාතෙන් ලබා ගැනීම ආණ්ඩුවේ අභිප‍්‍රාය විය.

එපමණක් නොවේ, ජාතික මැතිවරණවලදී ලබනවාට වඩා සාර්ථකත්වයක් පළාත් සභා ඡන්දවලදී ආණ්ඩුවට ලැබිය හැකි වුණේ ද, ඌවෙනි. 2009 ඌව පළාත් සභා ඡන්දයෙන් සියයට 72.39 ක් ලබා ගත් ආණ්ඩුවට 2010 ජනාධිපතිවරණයේදී ලබාගත හැකි වුණේ සියයට 57.8 ක් පමණි. එය, සියයට 14.59 ක් අඩු වීමකි. ඒ ප‍්‍රවණතාවයෙන් කියැවෙන්නේ, පළාත් සභා ඡන්දයකින් ආණ්ඩුව ලබන ඡන්ද ප‍්‍රතිශතය, ඊළඟට එන ජාතික තලයේ මැතිවරණයකින් ආණ්ඩුවට ලැබිය නොහැකි බවයි. ඒ අනුව, මේ දැන් අවසන් වූ ඌව පළාත් සභාවෙන් සියයට යාන්තම් 51.246 ක් පමණක් ලැබූ ආණ්ඩුව, ඊළඟ ජනාධිපතිවරණයේ දී කෙසේ නම් සාර්ථක වනු ඇත් දැ යි නිකමට සිතා බලන්න.

සියයට 51.246 ක් වැනි අසාර්ථකත්වයක් ආණ්ඩුව ලබා ඇත්තේ, ආණ්ඩුවට වැඩිම වාසි සහගත පළාතේ දී වීම වැදගත් ය. දැන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ මැතිවරණයේ දී වෙන් වෙන්ව ලබාගත් ඡන්ද ප‍්‍රතිශතයේ එකතුව වන සියයට 46.489, ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔවුන් එක්ව තරග වැදුණොත්, ඌව පළාතෙන් පවා ජයග‍්‍රහණය කිරීමේ හැකියාව, ඉහත සඳහන් කළ සහක‍්‍රියා සංකල්පය අනුව, විපක්ෂයට ඇත්තේය. එම තත්වය අනිත් පළාත්වලටත් ආදේශ කළ විට, එය රට පුරා පැතිරෙන මහා ජයග‍්‍රහණයක් වන්නේය. දැන් කාටවත් ඒ ගැන සැක පහළ කළ හැකිද?

බිම් මට්ටමෙන් එක්සත් ජාතික පක්ෂය තවමත් අසංවිධානාත්මක බව ඇත්ත. එහෙත් විපක්ෂයේ සිටින ලොකුම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන්ගේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරිකයන් සහ අනුගාමිකයන්ගෙන් බොහොමයක් ඌව ප‍්‍රතිඵලවලින් පසු බෙහෙවින් ප‍්‍රාණවත්ව සිටිති. එහෙත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට ඊළඟ ජනාධිපතිවරණය ජය ගැනීමේ ඉඩක් ඇත් දැ යි සැක කරන පිරිස් ද තවමත් සිටිති.

එවැනි සැක පහළ කරන එක් කෙනෙකු වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් ය. ‘‘ඊළඟ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බවට, ඌව ප‍්‍රතිඵලය අනිවාර්ය සාක්ෂියක් නොවන’’ බව උන්වහන්සේ කියා ඇත. එබැවින් ළඟ එන ජනාධිපතිවරණයක් සඳහා පොදු අපේක්ෂකයෙකු අත්‍යාවශ්‍ය බව උන්වහන්සේ කියති. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව, එම පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් මිස වෙනත් තැනකින් සොයාගත නොහැකි යැයි උන්වහන්සේ සිතන බවත්, මට පසුව දැන ගන්නට ලැබිණ.

කෙසේ වෙතත්, දැනට අප දන්නා කරුණු ආශ‍්‍රයෙන් පුරෝකථනයන් කිරීමට මම කැමැත්තෙමි. තනිකර සිහිනවලින්ම පටන් ගන්නට පුලූවන් කමක් අපට නැත. පොදු අපේක්ෂකයා එක්කෝ එක්සත් ජාතික පක්ෂයෙන් විය හැකිය. නැත්නම්, ජනතා විමුක්ති පෙරමුණ අදහස් කරන්නා සේ, නිර්-පාක්ෂික කෙනෙකු විය හැකිය. ‘‘රනිල්ට මහින්දව පරාජය කළ හැකිද?’’ මැයෙන් මෑතකදී ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට ලිපියක් ලියන බර්ටි රණවීරගේ, ‘‘ඡන්දදායකයන්ගෙන් බහුතරයකගේ හිත දිනාගත හැකි චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි කෙනෙකු ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂිකාව විය හැකි’’ බව කියා ඇත. එම නිගමනයට ඔහු කෙසේ නම් පැමිණියේ ද? ඔහු සිතන පරිදි චන්ද්‍රකා ජනකාන්ත නායිකාවකි.

එහෙත් විශාලතම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අපට අමතක කළ නොහැක. හරින් ප‍්‍රනාන්දු වැනි අළුත් දක්ෂයන් පක්ෂයට සිටීමත්, නායකත්ව මණ්ඩලය යටතේ මෑතක සිට එම පක්ෂය ජන ප‍්‍රසාදය අත්කර ගනිමින් සිටීමත් අපට අමතක කළ නොහැක. දැන් නව තනතුරුවලට අළුතෙන් නායකයන් පත් කරගෙන ඇති තත්වය තුළ, පක්ෂය පෙරට වඩා එක්සත් වී ඇත. ඒ නිසා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ජනතා ප‍්‍රසාදය ඇති වෙමින් තිබෙතැ යි මම සිතමි. ඒ නිසා, ඌවේ අත්කර ගත් ප‍්‍රතිඵලයට වඩා සාර්ථක ප‍්‍රතිඵලයක් ඉදිරි මැතිවරණයකදී එම පක්ෂයට ලැබෙතැ යි සිතිය හැකිය. ඒ පක්ෂයේ නායකයා රනිල් වීම නිසා, චන්ද්‍රිකාට වඩා බිම් මට්ටමේ සහයෝගයක් ද, අනුගාමිකයන් ද ඔහු වටා එක්රැුස් වෙතැ යි සිතිය හැකිය. එසේ හෙයින්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙන වෙනම ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතයේ එකතුව වන සියයට 46.489 ට අමතරව, සහක‍්‍රියාවේ බලයත් ගොඩනැගුණොත්, ඔවුන්ට ඉදිරි මැතිවරණය ජයගත හැකිය.

සහක‍්‍රියාවේ ප‍්‍රතිඵල ජනතා විමුක්ති පෙරමුණට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ද අත්වනු ඇත. පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරන්නැ යි විපක්ෂයේ විශාලතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුන් ඉල්ලා සිටියොත්, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඔවුන් තුළ ඇති ගෞරවයක් වශයෙන් සළකන ජනතාව ඔවුන්ටත් ඒ සඳහා ගෞරව දක්වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂ කථිකයන් ජාතික නායකයන් බවට පත්වෙනු ඇත. එවැනි පොදු අපේක්ෂකයෙකුගේ වේදිකාවක සරත් ෆොන්සේකා ද අනිවාර්යයෙන් සිටිය යුතුය.

සෝභිත හිමියන් ද, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද දැන් කළ යුත්තේ, පොදු අපේක්ෂකයා නම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයට ඇරියුම් කොට, එම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාව පොදු වැඩ පිළිවෙලකට බැඳ ගැනීමයි. එම වැඩ පිලිවෙල තුළ අඩු වශයෙන්, ව්‍යවස්ථාමය සංශෝධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතිය යළි ස්ථාපිත කිරීම සහ ආණ්ඩුකරණයක් තුළ තිබිය යුතු පොදු විනීත භාවය වැනි කාරණා අන්තර්ගත විය යුතුය.

සෘණ සහක‍්‍රියාව යනුවෙන් ද දෙයක් තිබේ. ගණිතමය වශයෙන් එය විස්තර කරන්නේ නම්, 2 සහ 2 එකතු කළ විට එකතුව 4 නොවී 3 වීම, උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. එනම්, පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධව ලබාගන්නා ප‍්‍රතිඵලය, එම පාර්ශ්ව වෙන් වෙන් වශයෙන් ලබාගන්නා ප‍්‍රතිඵලවල ඓක්‍යයට වඩා අඩු විය හැකි බවයි.

ඊට දිය හැකි ප‍්‍රායෝගික උපකල්පනයක් මෙසේ ය: ලංකාවේ වාර්ගික/ආගමික කාරණා මත පදනම් වන පක්ෂ තිබේ. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ජාතික හෙළ උරුමය එවැනි පක්ෂ දෙකකි. මෙයින් එක පක්ෂයක් පමණක් අදාළ පොදු අපේක්ෂකයාට එක් වුණොත් එයින් සමහර විට ඇති විය හැක්කේ සෘණ සහක‍්‍රියාවකි. එහෙත් එම පක්ෂ දෙකම එකම වේදිකාවක සිටින්නේ නම්, එහි දී ධනාත්මක සහක‍්‍රියාවක් බලාපොරොත්තු විය හැකිය. මේ නිසා, සෘණ සහක‍්‍රියාවක ප‍්‍රතිවිපාක නොවිඳීමටත් විපක්ෂය පරිස්සම් විය යුතුය.

*2014 ඔක්තෝබර් 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Synergy Works In Politics; Ranil Can Win! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page