Colombo Telegraph

වික්ටර් අයිවන් මැතිතුමනි, තක්කඩියා කවුද?

හේමන්ත වර්ණකුලසූරිය

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය

වික්ටර් අයිවන් මැතිතුමනි, මගේ පළමු පිළිතුරු ලිපියෙන් ඔබට කොතරම් කේන්ති ගොස් ඇත්දැයි මට සිතේ. ඒ ගැන යම්කිසි කාලකණ්ණි සතුටක් ද, මට ඇත. ඒ ජනමාධ්‍ය සදාචාරය ගැන කථා කරන ඔබ, මාධ්‍යවේදියකුගේ සංයමය ගැන කථා කරන ඔබ, කොතරම් කෝපාග්නියකින් ඇවිළුනේදැයි මට ‘තක්කඩියා’ කියා ආමන්ත්‍රණය කිරීමෙන්ම ඔප්පුවේ.

මේ ලිපියේ අරමුණ තක්කඩියා කව්දැයි පාඨකයන්ට අවබෝධ කර දීමය. එදා ඔබ සමග අත්වැල් බැඳගෙන ඔබට නඩුපිට නඩු වැටෙන කොට ඔබගේ කාලය මහාධිකරණයේ ගෙවන විට සාපරාධි අපහාස නීතිය නීති පොතෙන් ඉවත් කළයුතු යයි හඬක් නැගීමට මම ද යාන්තමින් හෝ දායකවූ බව ඔබට මතක ඇත. ඔබ සරත් නන්ද සිල්වාට එරෙහිව, ඔහුගේ කලු කබාය ගැලවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන විට, ඔබ වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයෙක් සොයමින් ඇවිද, සොයාගන්න බැරිව කොළඹ මහේස්ත්‍රාත් උසාවියට පැමිණ මා හමුවී මගේ පිහිට පැතූ ආකාරය ඔබට මතක ඇත. මම මේ නඩුව මගේ නඩුවක් සේ සළකා ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතාට මේ නඩුවට පෙනී සිටින ලෙස මම පෙරැුත්ත කල හැටි ඔබට මතක ඇත. රංජිත් අබේසූරිය මහතා ද, සරත් එන්. සිල්වා මහතා ද, නීතිපති දෙපාර්තමේන්තුවේ එකට වැඩ කල සහෘදයන් විය. ඒත් මගේ කීම අහක දැමීමට නොහැකිවු රංජිත් අබේසූරිය ඔබ වැටී තිබුණු මරාලයෙන් බේරා ගත්තේය.

එලෙසම, මාධ්‍යවේදීන්ගේ සංයමය හා වචන හැසිරවීම ගැන ඔබ බොහෝ ගරු ගාම්භීර ලෙස දේවාලයක කපුවකුගේ යාතිකාවක් මෙන් කනිෂ්ඨ මාධ්‍යවේදීන්ට නිතර කියු දෙය මට ඇසී ඇත. විශේෂයෙන්ම ලසන්ත වික‍්‍රමතුංග මළ පසු, ඒ මරණය ඔබ මහත් කම්පාවට පත්කලේ යයි ඔබ පැවසුවද, ලසන්ත වික‍්‍රමතුංගගේ පෑන හැසිරවීම ඔබ අනුමත නොකරන බව ඔබ කියා සිටියේය. එලෙසම, මහින්ද රාජපක්ෂ යුගයේ දී හැම තැනින්ම මහින්ද රාජපක්ෂගේ හොරකම් සහ මැරකම් ගැන කථා කරන විට විකල්ප මාධ්‍ය දොස්පවරන විට ‘මරා’ හා ‘රෙජීමය’ වැනි නම් පටබඳින විට ඔබ ඒ ගැන කිසිවක් නොලියා මුනිවත රැුක්කේය. ඔබ ඔබේ ගැලවුමට කියා සිටියේ මේ කරුණු ගැන මට හරියට ඔප්පු කල හැකි කිසි සාක්ෂියක් හෝ සාධකයක් නොමැති බවයි. නමුත්, ඇත්ත එය නොවන බව ඔබද මම ද දනිමු. දිනක් මම මහින්ද රාජපක්ෂ සමග සිටින විට ලොතරැුයි මණ්ඩලයේ සභාපතිවරයාට ජනාධිපතිවරයා ‘රාවයට’ දැන්වීම් දෙන ලෙස නියෝග කළේය. ඒ අවස්ථාවේදී ලොතරැුයි මණ්ඩලයේ සභාපති ලියනගේ මහතා ‘දිනමිණ’ට දැයි ඇසූ විට ‘‘නෑ මිනිහෝ, රාවයට. රාවයට වික්ටර් අයිවන්ගේ රාවයට’’ යයි කීපවතාවක් කීවේය. මේ නිසාම, මහින්දට එල්ලවන විවිධ දූෂණ චෝදනා ගැන ලිවීමට ඔබට සාක්ෂි සාධක අවශ්‍ය විය. ඉතින්, ඒ නිසා ඔබට මුදල් දෙන විට දැන්වීම් දෙනවිට ඔහුගේ වරද හොයන්නට ඔහු වරදකරු කරන්නට සියලුම කරුණු ඔබ සතුවිය යුතුය. එහෙත්, ලෝකය මුලා කරන පච සමුදායක් ඔබේ පෑනෙන් ලියවුනේ කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොමැතිවය.

ඔබ මට ආමන්ත්‍රණය කරන විලාශය ගැන දුටු කෙනෙකු මට කී කථාවක් මට මතක්වේ. මීට අවුරුදු කීපයකට පෙර මම මාගාල්ලට ගිය අවස්ථාවේ මාගාල්ල වෙරළ අයිනේ ප‍්‍රසිද්ධ හෝටලයක අයිතිකරු මෙවැනි කථාවක් කීවේය. ගාල්ල නගරයේ ජීවත් වූ එක්තරා කොලු ගැටයෙකුගේ පියා හදිසියේ මිය ගියේය. ඊටපසු ඔහු හදාවඩා ගත්තේ ඔහුගේ පියාගේ සහෝදරයාය. මෙසේ හැදුනු කොලු ගැටයා අවුරුදු 16 ක17 ක වයස කඩවසම් තරුණයෙකු විය. දිනක් ඔහුගේ බාප්පා නිවසට පැමිණෙන විට මෙම තරුණයා තම කුඩම්මා සමග රමණයේ යෙදෙනවා බාප්පා දුටුවේය. බාප්පා මොහුට තදින් පහරදී ‘‘තක්කඩියා’’ යැයි තදින් බැණවැදී නිවසින් එළවා ගත්තේය.

ඉන්පසු, මෙම තරුණයා ගාල්ල නගරයේ පිහිටි ‘රේස් ’ පලක වැඩ කළේය. තමාගේ සුලු මව සමග අයථා ලෙස හැසුරුණු මේ තරුණයා පසුව රේස් බුකියේ දී මුදල් සොරකම් කර හසුවිය. ඊටපසු, එතැනදී ද පහර දී ‘‘තක්කඩියා’’ යැයි බැණ ඔහුව එලවා ගත්තේය. ‘‘තක්කඩියා’’ යන නාමය මොහුට කොතරම් බලපෑවේද යත්, ඊටපසු හැමෝම මොහුට ආමන්ත්‍රණය කලේ තක්කඩියා යනුවෙනි.

මම මාගේ මෙම ලිපිය ලීවේ එවැනි අයෙකුට නොවේ. එය ලීවේ දශක දෙක, තුනක් මේ රට බොරුවෙන් මුලා කල මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා කිසිම මාධ්‍ය සදාචාරයක් නොමැති නමින් වික්ටර් අයිවන් යැයි කියා ගන්නා තිර රචකයාටය. මොහු එකල ‘සඳරේඛා’ ගැන තිර රචනයක් කළේය. ‘සඳරේඛා’ නඩුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දොස් පැවරූ ඔහු එම ළමා අපචාරය කල පොලිස් නිලධාරියා එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ හෙයින්, ඔහුව බේරීමට අණ දුන්නේ යැයි ලිව්වේය. ලංකාවම එය පිලිගත්තේය. මෙම පච ගොන්න ඉතාම උවමනාවෙන් කියවු පාඨකයන් චන්ද්‍රිකාව විශාල ප‍්‍රතිශතයකින් දිනෙව්වේය. එය අවසන් වූයේ සඳරේඛා දූෂණය කළේ වික්ටර් අයිවන් කියන අන්දමට පොලිස් නිලධාරියෙකු නොව ඇගේම, පියා විසින් බව ඔප්පු වීමෙනි. ඒත් ඒ පිළිබඳ කථාකල කෙනෙකු නැත.

ඉන්පසු, ඔහු තිරරචනය කලේ පේ‍්‍රමදාසගේ යම් නොපනත්කම් ගැනය. කන්‍යාවන් දහසක් කිරි කළ වලින් නහවා පූජා පැවැත්වූ බවට තම ‘රාවය’ පුවත් පතේ ලිපි පලකළේය. මිනිසුන් කෙතරම් මෙම බොරුව විශ්වාස කලේ ද යත්, තරුණ අවිවාහක කන්‍යාවන්, තමන් විවාහක බව පෙන්වීමට මුදු පැළද ගත්තේය.

ඊට පසු මොහු තිර රචනය කලේ මේ රටේ ජනාධිපති වේ යයි ඔහු මහත් බලාපොරොත්තුවක් තිබු ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය සම්බන්ධයෙනි. එකල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා රජය කල සැමගේ අවශ්‍යතාවය වූයේ මුගලන් පාරේ මැරී සිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියා මිනීමරුවා නොවන වගත්, මෙම ඝාතනය සිදු කරන ලද්දේ රහසිගත ලෙස එතනට පැමිණ ලලිත්ට වෙඩිතියා අඳුරේ නොපෙනී සුදු වෑන් රථයකට නැග්ග කෙනෙකු බවත්, ඔබ සඳහන් කළේය. කොටින්ම මේ තරුණයා හැඳිනගෙන ඔහුට එරෙහිව සාක්ෂි සකස් කරනු පිණිස එම තරුණයාගේ රූප සටහනක් තම පත්‍රයේ පල කලේය. එය පලකල පසු, ප‍්‍රියංකර ජයමාන්න හෙවත් සුදු මහත්තයා ජනාධිපති කොමිෂන් සභාවේ නියමය අනුව, අත්අඩංගුවට ගත්තේය. මෙය චන්ද්‍රිකාගේ දේශපාලන අවශ්‍යතාවයක් විය.

ඉන්පසු, මොහු එලෙසම, බටලන්ද වධකාගාරය ගැන ද, තිර රචනයක් කළේය. ඔහුගේ එකම උවමනාව වූයේ, චන්ද්‍රිකාගේ උවමනාවයි. එනම් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස්කර සිරගත කිරීමයි. ඉන්පසු, කොබ්බෑකඩුව ඝාතනය සම්බන්ධයෙන් ද, එසේම ක‍්‍රියා කරන්නට යෙදුනි. රෝහිණි හතුරුසිංහ මෙම කාලයේ බොරුවේ දූතිකාව විය. එය යුගයේ අවශ්‍යතාව විය. මේ සියල්ල අපේ උගත් යැයි කියන ප‍්‍රබුද්ධ පාඨකයින් විසින් පරම සත්‍ය ලෙස පිලිගන්නට යෙදුනි.

මොහු ලෙනින් රත්නායක ගැන කියූ දේ මෙලෙසම කිසිසේත්ම සිදුවිය නොහැකි නිසා ඒ ගැන ‘‘සන්ඩේ ටයිම්ස්’’ පුවත්පතට මම ලිපියක් ලීවෙමි. එහෙත්, දිගින් දිගටම මෙම ‘‘නූතන ගොබෙල්ස්’’ ලෙනින් රත්නායක ගැන කියන්නට, ලියන්නට පටන් ගත් අතර, ඔහු කී දෙයට ලිව් දෙයට මමද, රැුවටුනෙමි. ලෙනින් රත්නායක ලිංගික අපරාධකරුවෙකු බව ඒත්තු ගැන්වීමට මම ද, ලීවෙමි. මොහුට මෙවන් බොරු ගොන්නක් ප‍්‍රකාශ කල හැකිද යන්න ඇදහිය නොහැකි කරුණකි.

ලෙනින් රත්නායකගේ පියා කවුද? ඔහු කරන්නේ කුමක්ද, ඔහු කසාද බැඳ ඇත්ද, ඔහු පීඩිත පන්තියේ අයෙක්ද, ඔහුට අධ්‍යාපනයක් තිබුණේද, ඔහුගේ අධ්‍යාපන මට්ටම කවරක්ද, ඔහුට අධ්‍යාපන සහතික තිබුණේද, ඒ මොනවාද, ඔහු රක්ෂණ සංස්ථාවේ සේවය කලාද, වංචාවක් නිසා සේවයෙන් පහ කලාද, යන්න මාගේ ලිපියට අදාල නොවේ.

මෙම වාදයේ අරමුණ බොරු කියන්නේ පච හලන්නේ වික්ටර්ද, අයිවන්ස්ද, ගොබෙල්ස් ද නැත්නම් ලෙනින් රත්නායකද යන්න නිරාකරණය කර ගැනීමයි. ඒ අනුව, වික්ටර්ද, අයිවන්ස්ද, ගොබෙල්ස්ද මෙම කරුණ අරඹයා කියන ලද පච සමුදාය මෙසේ ලියා දක්වමි. එය එසේ නොවන වග ලේඛණ වලින් ඔප්පු කිරීම වික්ටර්ද අයිවන්ස්ද ගොබෙල්ස්ගේද කාර්යයි.

මහා පච 1 –

1999.07.16 දින රාවය පුවත් පතේ,
ලෙනින් රත්නායක වැරදිකරුවේ.

අනු පච 1 – ( xxxxxxx නම ඉවත් කරන ලදී – කලම්බෝ ටෙලිග්‍රාෆ්** ) නමැත්තිය විත්තිකාරිය වශයෙන් සිටිය දී,1997 දෙසැම්බර් 17 වැනි දින ඇය නීතීඥයන් මගින් නිල කාමරයට ගෙන්වා එම නිල කාමරයේ දී ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම.

අනුපච 2 – එම සිද්ධියෙන් ඇය අසනීප තත්ත්වයට පත්වීම නිසා මහව ආරෝග්‍යශාලාවේ රෝහල් ගතකිරීමෙන් පසුව, වාහනයක් යවා ඇය නැවත යම් ස්ථානයකට ගෙන්වා ගනිමින්, එම ස්ථානයේ දී පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම.

අනුපච 3 – තමන් ඉදිරියේ ඇසුනු නඩුවක විත්තිකරුවකු වූ ( xxxxxxx නම ඉවත් කරන ලදී – කලම්බෝ ටෙලිග්‍රාෆ්** ) නමැති අයගේ භාර්යාව වන ( xxxxxxx නම ඉවත් කරන ලදී – කලම්බෝ ටෙලිග්‍රාෆ්** ) නමැත්තිය ගම්පොල තානායමට ගෙන ගොස් (ඇයගේ ස්වාමි පුරුෂයාට ඇප ලබදීමට ඉතා රහසේ කටඋත්තරයක් ලබාගැනීමට අවශ්‍ය බව අඟවා) ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම.

අනුපච4 – ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරද්දී, මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනම් කර, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර, විනය පරීක්ෂණයේ දී චෝදනා 6 ටම වැරදිකරු වූ පසුව, සේවයෙන් පහකිරීම සම්බන්ධ එම කරුණු අධිකරණ සේවයට ඉල්ලුම් කිරීමේ දී වසන් කරමින් එම තනතුර ලබාගැනීම.

මෙම පච හතර කොතරම් සමාජ ගත වුනාද කිවහොත්, ඉතිහාසයේ ප‍්‍රථම වරට අධිකරණ සේවා කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනයක් නිකුත් කිරිමට සිදුවිය. එය ‘දිවයින’ පත්‍රරයේ පලවී තිබිණ. එහි අදාල කොටස පාඨකයාගේ දැනගැනීම පිණිස පලකර සිටිමි.

‘‘මූලික විමර්ශනය දැනට අවසන් වී තිබෙන අතර චෝදනා සකස් කිරිම සලකා බැලෙමින් පවතී. චෝදනා පත්‍රය භාරදීමට සහ විනය පරික්ෂණයක් පැවැත්වීමට පෙර ලෙනින් රත්නායක මහතාගේ සේවය අවසන් කළ යුතු යයි යමෙක් යෝජනා කරන්නේ නම් එය තේරුම් ගැනීම දුෂ්කරය. අධිකරණ සේවා කොමිෂන් සභාව විනය පරීක්ෂණ ක‍්‍රියාවලිය ආරම්භ කර ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතකර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන අසාධාරණ හා හිතුවක්කාර ක‍්‍රියාවන්ගෙන් වැලකෙන අතර, සෑම කල්හිදීම සාධාරණ විනිශ්චයක් සහතික කරන ස්වභාව නීති ධර්මයේ මූල ධර්ම, ක‍්‍රියා පරිපාටිය පිළිබඳ සාධාරණත්වය සහ ඒ පිළිබඳ ප‍්‍රවේශමට අනුකූලව ක‍්‍රියාකර ඇත.’’

ඔබ සතුව, පච, මහා පච සනාථ කිරිමට ලේඛණයක් නැති නිසාම, ‘‘ස්වර්ණවාහිනී’’ නඩුවේ දී ඔබට එම ලේඛණය පෙන්වීමට නොහැකි විය. මන්ද එවැනි දෙයක් සිදුනොවුන නිසාය. ඔබ වැනි මාධ්‍යවේදියෙකු මෙම ත්‍රි පුද්ගල විනිසුරු කමිටුව ස්ථාපිත කරන ලද්දේ කෙනෙකු වැරදිකරු කිරිමට නොව ඔබ දක්වා ඇති කරුණු වලින් අසත්‍යතාවය සහ අතිශයෝක්තිය සත්‍ය යටපත් කර ඇති බවට, බැලූ බැල්මට පෙනුනු හෙයින්, අධිකරණ සේවා කොමිෂන් සභාව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ප‍්‍රමාණවත් සාක්ෂි ඇත්දැයි විමසා බැලීමටය. එහෙත්, එවැනි කරුණු සෙවීමේ පරීක්ෂණ කමිටුවකින් කිසි කලෙකත් කෙනෙකු වරදකරු කල නොහැකි බව ඔබ වටේ සිටින නීතීඥවරුන්ගෙන් ඔබට අසා දැනගත හැක.

ලෙනින් රත්නායකට එරෙහිව කරුණු විමර්ශනය කලේ ඔබය. සාක්ෂි හැදුවේ ඔබය. දිවුරුම් ප‍්‍රකාශ ගත්තේ ඔබය. නඩු ඇසුවේද ඔබය. වැරදිකරු කලේද ඔබය. මේ නිසාම මෙවැනි බරපතල අපරාධයක් කල ලෙනින් රත්නායක තවමත් නීතීඥවරයෙකු වශයෙන් නිරුපද්‍රිතව සිටී. කොටින්ම මෙවැනි අපරාධයක් ඔබට හෙලිවුනා නම් යටත් පිරිසෙයින් මෙම කාන්තාව සහ සැමියා රැුගෙන කොළඹට පැමිණ පොලිස් මූලස්ථානයට කට උත්තරයක් දිය හැකිව තිබිණ. සාමාන්‍යයෙන් ගැමියෙකු පවා දන්නා මෙම පොලිස් පැමිණිල්ල කිරීමට ඔබ කිසිම උත්සහායක් නොගත්තේ ස්වාධීන පරීක්ෂණයක් කලහොත්, සත්‍ය හෙලිවී ඔබේ මේ ඊනියා ව්‍යාපෘතිය බිමට කඩා වැටෙන බව ඔබට සක්සුදක්සේ පැහැදිලි වූ හෙයිනි.

එහෙත්, මේ ලිංගික අපරාධයට ලක්වූ කාන්තාව නොව පොලීසියට පැමිණිල්ලක් කරන ලද්දේ ඇයව ලිංගික අපරාධයකට ගොදුරු කලේ යැයි කියන ලෙනින් රත්නායක විසින්මය. ඔහුට තමාගේ නිර්දෝෂභාවය ගැන මදක් හෝ සැකයක් තිබුණේ නම් කිසි දවසක පොලීසියට පැමිණිල්ලක් නොකරනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ලිපිගොනුව නීතිපති වරයාට යොමු කල අවස්ථාවේ මෙම කරුණ සාපරාධි අපහාස නීතිය යටතේ පමණක් නොව ස්ත්‍රීන් දෙදෙනෙකු ලිංගික අපරාධයකට ගොදුරු කිරීම සම්බන්ධයෙන් ද, විමර්ශනය කරන ලෙස නියෝගකොට තිබිණ. මෙම විමර්ශනය කරන ලද්දේ එවකට අදීන ඉතිහාසයක් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබ විසින් සකස් කරන ලද ඇයගේ අත්සන පමණක් ලබාගත් දිවුරුම් ප‍්‍රකාශයේ වගන්ති ගැන ප‍්‍රශ්ණ කරන විට, එකී තැනැත්තිය කීවේ එහි සඳහන් කිසිවක් ඇය විසින් ප‍්‍රකාශ නොකල බවයි.

එසේනම්, මෙවැනි බොරු, අසත්‍ය ප‍්‍රකාශයන් දිවුරුම් ප‍්‍රකාශයක් ලෙස ඉදිරිපත් කලේ මන්දැයි ඇසූ විට ඇය කියා ඇත්තේ,

‘‘එක මහත්තයෙක් මාව කන්තෝරුවකට එක්කරගෙන ගියා. එතන සිටින අතක් නැති මහත්මයෙක් මගෙන් හිස් කොල කීපයකට අත්සන් ගත්තා ’’ යනුවෙනි.

මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන්වී තිබේ. මෙම සටහන් වල පිටපතක් පමණක් නොව, මෙහිදී ඔබ යටත් පිරිසෙයින් මෙම නඩුවේ පැමිණිලිකරුවන්ගේ සාක්ෂි වල සටහන් ලබා නොගත්තේ යැයි කියන කරුණ අපට විශ්වාස කල නොහැක. එම සටහන් අතීශයින් නිර්ලජ්ජිත ලෙස ඔබ ජනතාවගෙන් වසන් කොට ඇත.

මේ විවාදයේ ඉස්මතු වන එකම ප‍්‍රශ්ණය නැවත වරක් මතු කරමි. මන්ද, ඔබේ ප‍්‍රථම පිළිතුරෙන් වයෝවෘද්ධ මානසික ආතතියක පුර්ව ලක්ෂණ පෙනෙන්නට තිබෙන හෙයිනි. ‘ලෙනින් රත්නායක ස්ත්‍රී දූෂකකයෙකු ලෙස ත්‍රි පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයකින් වරදකරු වුණාද?’

වරදකරු කලා නම් හෝ වුණා නම් අද ලෙනින් රත්නායක සිටිය යුත්තේ සිරගෙදරය. එසේ නොකරා නම් සාපරාධි අපහාස නීතිය තිබුණා නම් මෙවැනි පච ලීවාට හිරේ යා යුත්තේ ඔබය.

එමනිසා, තවත් පිටු ගණනක පල්හෑලි ලියා වචන හරඹ නොකර කෙලින් උත්තර දෙන්න. ‘‘ ලෙනින් රත්නායක, ඔබ කියන කිසිම වරදකට, වරදකරු කළ හැකි ලිඛිත සාක්ෂි ඔබට තිබේද? ’’ මෙයයි ප‍්‍රශ්ණය.

මෙයට පිළිතුර ‘ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී’ යන්න වැනිය. මන්ද ඔබ ‘ඔව්’ කිව්වොත් අධිකරණයේ දී ඔබ බොරු කිවු බව ඔප්පු වන හෙයිනි. ‘නෑ’ කිව්වොත් මමද, අනෙකුත් සිවිල් සමාජයේ ක‍්‍රියාකාරීන්ද, කලාකරුවන්ද රැුවටු බවට පිලිගත යුතුව ඇත.

අවසාන වශයෙන්, මම මුදල් අවභාවිත කල බවට ඔබ සහ ඔබේ ගෝලබාලයන් ඔබගේ පුවත්පතින් මට චෝදනා කර ඇත. මේ සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු දෙකක් ඇත. එමනිසා, මම මෙම චෝදනාවට ඉතා කෙටියෙන් පිළිතුරු දෙමි. ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මුදල් වංචාවක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කොට චූදිතයෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබේ. මෙම හොරකම ගැන ඔත්තු ලැබුණේ තානාපතිවරයාටය. එම ඔත්තුව අනුව, මෙම චුදිත නිලධාරියාගේ නිල කාමරය වටලා බඩුත් සමග හොරු අල්ලා ගත්තේ මේ තානාපතිවරයාය. මෙම කරුණ කොළඹට දැනුම් දීමෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාම ඝෘණ නිද්‍රාශීලි පිලිවෙතක් අනුගමනය කල හෙයින්, තානාපති වරයාට විදේශ කටයුතු ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට සිදුවිය. තානාපතිවරයා කොළඹින් මුදල් පිළිබඳ විශේෂඥ පරීක්ෂකවරුන් ඉතාලියට එවන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව, බොහෝ ලෙස බැගෑපත්වීමෙන් පසු එවන ලද පරීක්ෂණ කමිටුව මගින් මෙම චුදිතයා යුරෝ 90,000 ක් අවභාවිතා කල බවට, සාක්ෂි වලින් තහවුරු කළේය. මේ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ අවසන් වී තිබියදීත් පැමිණිලිකාර හිටපු තානාපති වරයාගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥතුමාට අවබෝධවී හිටපු තානාපතිවරයාගෙන් කටඋත්තරයක් ලබාගන්නා ලෙස දැන්වීය. තානාපතිවරයාට පහසු වේලාවක එතුමාගේ නිවසට ගොස් ඒ කටඋත්තරය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැමතිවී සිටි අතර, ඊටපසු හිටපු තානාපතිවරයා ඇඹිලිපිටිය පොලිස් ඝාතන නඩුවේ පොලීසියට එරෙහිව පෙනී සිටියේය. ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වෙනස් විය. පසුව, පොලිස් නිලධාරීන් හිටපු තානාපතිවරයාගේ නිවසට පැමිණ ප‍්‍රකාශ ලබා ගන්නවා වෙනුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දන්වා සිටියේය. ඊටපසු, හිටපු තානාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදුන්නේ මෙම පැමිණිල්ලේ මුල් පැමිණිලිකරු ලෙසය. මෙයින් කියවෙන තානාපතිවරයා මමය. ඊට පෙර මෙන්ම, ඊට පසුව ද මෙවැනි පැමිණිල්ලක් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරිපත්වනු ඇතැයි මම බලාපොරොත්තු නොවෙමි. තානාපතිවරයා වශයෙන් මීට පෙර රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් හා කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් ද, මම පැමිණිලි හතරක් වෙනත් නිලධාරීන්ට එරෙහිව කල අතර, ඒවා කුණු බක්කියට ගියේය. මෙම පැමිණිල්ලද, විභාග වූයේ මගේ බලවත් බලපෑම උඩ එම නිලධාරියාගේ වැඩ තහනම් කල හෙයිනි. ඊටපසු ඔහුට වැඩ දීමට නම් විනය පරීක්ෂණයක් පවත්වා ඔහු නිදහස්කල යුතු නිසා විනය පරීක්ෂණයක් පැවැත්වීය. එහෙත්, එම විනය පරික්ෂණයේ ප‍්‍රධාන සාක්ෂිකරු වූ වූයේ මම ය. මගේ සාක්ෂියෙන් පසු එවැනි ක‍්‍රියා මාර්ග ගැනීමට දෙපාර්තමේන්තුවට නොහැකි විය.

තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විකල්ප මාධ්‍යයේ නියෝජිතයා වූද, අසත්‍ය පුවත් මවන්නා වූද, ‘‘ලෝකල් ෂර්ලොක්හෝම්’’ විසින් මට එරෙහිව මුදල් වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට, මෙම පුවත විකෘති කොට එම ප‍්‍රවෘත්තිය පුවත්පත් තුනක පල කරන ලදී. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම ප‍්‍රවෘත්තිය පලකිරීමට එරෙහිව පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කල අතර, පුවත් පත් මණ්ඩලය ඉදිරියේ මගෙන් සමාව ගෙන ඒ බව ඒ පුවත්පත් වල පල කලහ. ඔබගේ මාධ්‍ය සදාචාරය අනුව, සොරකම ඇල්ලූ මිනිහාද ඔබට හොරෙක් කල හැක.

කලක් ‘රාවය’ පත්‍රයේ වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස් යටතේ වැඩකල උවිඳු කුරුකුලසූරිය ඔහුගේ ‘කලම්බු ටෙලිග‍්‍රාප්’ නැමති වෙබ් අඩවි පුවත්පතේ වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස් සිදුකල මහා වංචාවක් ගැන හෙලිදරව් කර තිබුණි. මේ සම්බන්ධයෙන් මෙම හෙලිදරව්ව නැවත මතක් කිරිම නිසා වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස් මාත් සමග මෙන්ම, උවිඳු කුරුකුලසූරිය සමගත් කෝපාවිෂ්ඨ වී ඔහුගේ සංයමය, ඔහුගේ සදාචාරය කැලැත්තී උවිඳුටත් ‘තක්කඩියා’ කියා ආමන්ත්‍රණය කිරීමෙන් මෙය ඉතා පැහැදිලිව පෙනේ. උවිඳු විසින් කරන ලද හෙලිදරව්ව මෑත කාලයක පුවත්පත් කතුවරයෙකු කරන ලද මහම මුදල් වංචාව ලෙස මට පෙනී යයි. ‘රාවය’ පුවත් පත ආර්ථීක වශයෙන් ඉතාම අසීරු තත්ත්වය තිබෙන නිසා එම පුවත් පත රැුකගෙන තවදුරටත් ජනතාවට සේවය කිරිමට නම් මුදල් අවශ්‍ය බව සඳහන් කොට දියත් කරන ලද ප‍්‍රචාරයෙන් මිලියන දොලහක පමණ මුදලක් ජනතාවගෙන් එම අරමුදලට ප‍්‍රදානය කරනු ලැබීය. මෙරටේ සිටින සුප‍්‍රසිද්ධ ජනතා සුභ සිද්ධිය සඳහා සටන් කල නීතිවේදියෙකු වූ, කලක් එංගලන්තයේ පදිංචිව සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා හමුවූ දුෂණ විරෝධි පෙරමුණක හා පුරවැසි බලයේ පීතෘ ධුරන්දර ගාමිණි වියන්ගොඩ මහතා මෙම මහඟු පුණ්‍ය කර්මය සඳහා ආධාර ඉල්ලා ඇත. ඒ අනුව, නාගානන්ද කොඩිතුවක්කු රුපියල් ලක්ෂයක මුදලක ආධාරයක් ගාමිණී වියන්ගොඩ මහතාට ලබාදී ඇතත්, මෙම මුදල ලබා දුන්නාට පසු, මේ සම්බන්ධයෙන් කිසිම රිසිට් පතක් හෝ එම මුදල ලැබුණු බවට කිසිම සටහනක් හෝ පිලිගැනීමක් කර නැත. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ගාමිණී වියන්ගොඩ මහතාගේ සහ අනෙක් අයගේ අවධානය යොමු කලද, මෙම මුදලට කුමක් වූයේ දැයි කිසිවකුගෙන් පිලිතුරු නොලැබුණේය. මේ දූෂණ විරෝධි පෙරමුණක හඬය. මෙරටේ දේශපාලඥයන්ගේ දූෂණ සෙවීමට පත්කරන ලද ප‍්‍රබල ජනතා හඬය.

අවසානයේ දී තමාගේ ලිපිවලට හෝ කැඳවීම් වලට කිසිම ප‍්‍රතිචාරයක් නොවූ නිසා නාගානන්ද කොඩිතුවක්කු මහතා පොලීසියට, වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස්ට සමාගම් පනතේ අදාල වගන්තිවලට පටහැනිව මේ මුදල ලබාගත්තේය යන චෝදනාව මත නඩු පවරන ලෙස පැමිණිල්ලක් කරන ලද්දේය. මෙම පරීක්ෂණය පටන් ගත්තාට පසු නාගානන්ද මහතාට ආපසු එම මුදල ලැබුණු බවද, එම චෙක්පතේ පිටපතක් ‘කලම්බු ටෙලිග‍්‍රාප්’ පත්‍රයේ පලවී තිබුණි.

එසේ නම් මෙම මාධ්‍යවේදීන්ගේ නිරුවත පෙන්වීම ගැන අපි සියලූදෙනාම නාගානන්ද කොඩිතුවක්කු මහතාටත්, උවිඳු කුරුකුලසූරිය මහතාටත් ස්තුතිවන්ත විය යුතුය. එහෙත් මෙයට කිපුනු වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස් කියා සිටියේ උවිඳු කුරුකුලසූරිය පිටරට සිට හරඹ කල තක්කඩියකු බවය. ඒ හරුණුවිට ඔහු කියා සිටියේ එම මුදලින් ඔහු විශ‍්‍රාම යන විට ඔහුට කිසිම විශ‍්‍රාම වැටුපක් නොලැබෙන නිසා එකතුකර ලැබෙන මුදලින් මිලියන 05 ක් ඔහු ලබාගත් බවය. කොටින්ම මේ වංචාව, දූෂණය, මේ සාවද්‍ය පරිහරණය සාධාරණීය කරණය කිරීමට වික්ටර් අයිවන් තම පිලිතුරු ලිපියෙන් මහන්සි ගෙන ඇත. එම වෙබ් අඩවියේ සඳහන් වන්නේ, රු.25,000 ක් පමණ විශ‍්‍රාම වැටුපක් ලබන මධ්‍යම පාන්තික විශ‍්‍රාමිකයෙකු රු.10,000.00 ක ආධාරයක් කලත්, මෙම අරමුදල වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස් සිය පෞද්ගලික වියදමි සඳහා වියදම් කරනු ඇතැයි විශ‍්‍රාමිකයාගේ බිරිඳ කිසිසේත්ම නොසිතූ බවත්, වහාම මෙම මුදල නැවත ලබා දෙන ලෙසත් ඇය මෙම වෙබ් අඩවිය මගින් ඉල්ලා ඇත. මෙය ඉතා බරපතල කාරණයකි. මෙය ලංකා දණ්ඩ නීති සංග‍්‍රයේ 389 සහ 403 වගන්තිය සමග කියවෙන වංචාවක් බව පැහැදිලිය, වරදකරු වූවහොත් අවුරුදු 07ක් දක්වා මොහුට සිරදඬුවමක් පැමිණ විය හැකිය. ඒ හැරුණු කොට මෙම මුදල සත්භාවයෙන් ලබාගෙන තම ප‍්‍රයෝජනයට ගැනීම දණ්ඩ නීති සංග‍්‍රහයේ 386 වගන්තියේ කියැවෙන සාවද්‍ය පරිහරණය කියන වරදට වැටේ.

එසේනම්, මේ තොරතුරු අනුව, වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස්ගේ පිලිගැනීම අනුව, එකතුවූ මුදලින් මිලියන 05 ක මුදල ඔහු විසින් වංචාකොට සාවද්‍ය ලෙස පරිහරණය කර ඇත. එමනිසා හිරේ සිටිය යුත්තේ කිසිම චෝදනාවක් ඔප්පු නොවු ලෙනින් රත්නායක නොව ඔහු විසින්ම වරද පිලිගන්නා ලද වික්ටර්ස්ද අයිවන්ස්ද ගොබෙල්ස් බව ඔබ කාටත් පෙනෙනවා ඇත.

එමනිසා මෙම ලිපිය නොකපා, සංස්කරණය නොකොට මේ අන්දමින් පලකලහොත් තක්කඩියා මමද, උවිඳු කුරුකුලසුරිය ද වික්ටර්ස්, අයිවන්ස්, ගොබෙල්ස්ද යන බව මෙම කියවන ඔබට තීරණය කල හැක.

සංස්කාරක සටහන:

*රාවය පුවත්පතේ සභාපති වික්ටර් අයිවන් මහතා සහ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අතර විනිශ්චයකරුවෙකු වූ ලෙනින් රත්නායකට එරෙහිව රාවය පුවත්පත, ස්වරණවාහිනිය හා අයිවන් මහතාගේ කෘතියක් මඟින් එල්ල කරන ලද තවමත් අධිකරණය මඟින් විනිශ්චයකට නොපැමිණි චෝදනා සම්බන්දයෙන් රාවය පුවත් පතේ විවාදයක් දිග හැරෙමින් තිබේ. එහෙත් හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ එක් කෙටි පිළිතුරු ලිපියක් පමණක් පළකරමින් අයිවන් මහතා රාවයේ පිටු ගණන් ලිපි පලකරමින් නොයෙකුත් පුද්ගලයින් හට අපහාස කරමින් සිටී. මෙම සතියේද අයිවන් මහතා තවත් දීර්ඝ පිලියක් ලියා ඇත. අප ඉහතින් පලකර ඇත්තේ, තමාගේ ලිපිය රාවය පුවත්පත විසින් පළ නොකළ බව චෝදනා කරමින් වර්ණකුලසූරිය මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දකි.

**රාවය පුවත්පතේ ලිංගික අපරාධයකට ගොදුරුවූයේ යැයි කියනු ලබන කාන්තාවන් ගේ නම් සඳහන් කොට තිබුණද අප ඒවා ඉවත් කරණුයේ එසේ නම් පළ කිරීම නීති විරෝධී වන්නා සේම ආචාර ධර්ම විරෝධීද වන හෙයිනි – කලම්බෝ ටෙලිග්‍රාෆ්

Back to Home page