Colombo Telegraph

ජනාධිපති සිරිසේන අනුගමනය කරමින් සිටින්නේ සිවුරු න්‍යාය පත්‍රයක්ද?

හිල්මි අහමඞ්

හිල්මි අහමඞ්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප‍්‍රයත්නයක් වශයෙනි. 20 ගැන මේ තරම් ඔහු කැප වී සිටින්නේ, 19 සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දුවක් නිසා විය හැකිය. එහෙත්, ඒ හේතුව මත, මැතිවරණ සංශෝධනයේ ක‍්‍රියාවලිය සමතලා කළ යුතු නැත.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්්ග‍්‍රස් මූලස්ථානයේදී හමු වූ කුඩා පක්ෂ කණ්ඩායම්, 20 වැනි සංශෝධනයට අදාළව නිකුත් කළ ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, මැතිවරණ ක‍්‍රමය පිළිබඳ නිසි සාකච්ඡුා ක‍්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටියහ. එසේ කිරීමට අසමත් වුවොත්, පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදීත් එය සම්මත කර ගැනීම අභියෝගයට ලක්කෙරෙනු ඇත.

මනාප ඡුන්ද ක‍්‍රමය නැමැති උවදුරෙන් නිදහස් වීම සඳහා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණයක් සේම ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණත් අත්‍යාවශ්‍ය බව පිළිගන්නා අතරම, එසේම, මෛත‍්‍රිපාල සිරිසේනගේ යහපාලන ප‍්‍රකාශනයේ එය එක් පොරොන්දුවක් වශයෙන් පැවති බවත් පිළිගන්නා අතරම, කුඩා සහ සුළු ජාතික පක්ෂ ඉදිරිපත් කරන සැකසාංකා ගැනත් නිසි අවධානය වහා යොමු කළ යුතුව තිබේ.

එසේ නොවුණහොත්, 1915 ජනවාරි මාසයේ ජයග‍්‍රහණය සහතික කර දුන් සුළු ජාතික ප‍්‍රජාවන්ට ඔහු ද්‍රෝහී විණැයි යන චෝදනාවෙන් ඔහුට ගැලවිය නොහැක. මන්ද යත්, ඔහුට ජයග‍්‍රහණය අත්කර ගැනීමට අත දුන් බොහෝ සුළු ජාතික පක්ෂ, මේ 20 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු නියෝජනයෙන් නෙරපා දැමෙන බැවිනි. මේ පක්ෂවලින් බොහොමයකට ආසනයක් තුළ ජයග‍්‍රහණය අත්කර ගැනීම පහසු නැත. මන්ද යත්, ඔවුන් දිස්ත‍්‍රික්කයක් පුරා විසිරී වෙසෙන බැවිනි. එබැවින් ඔවුන්ගේ නියෝජනය තහවුරු වන්නේ දිස්ත‍්‍රික් මට්ටමකින් පමණි. වර්තමාන යෝජිත 20 වැනි සංශෝධනය ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක වුවහොත් සිදුවන්නේ, ප‍්‍රධාන පක්ෂ දෙක පමණක් බලයේ කේවල්කරුවන් බවට පත්වීමයි. ඒ මගින්, වාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලනයෙන් නිදහස් වීමට හැකියාව තිබිය හැකි වෙතත්, ලංකාවේ ඡන්ද සිතියම ද්‍රැවීකරණය වී ඇත්තේ වාර්ගික සහ ආගමික තීරු ඔස්සේ බව අමතක නොකළ යුතුය. තෝරාපත් කරගන්නා ව්‍යවස්ථාදායක නියෝජිතයන් විසින් සියළු ජනතා කොටස් සහ වාර්ගික කොටස් නියෝජනය කෙරුණු අතීතයට අප යා යුතුව තිබේ. ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙන ලද වාර්ගික/ජාතිවාදී දේශපාලනයක වසර 35 කටත් වැඩි කාලයක් ගෙවී ඇති නිසා එය පහසු කටයුත්තක්් නොවිය හැකිය.

මෙසේ 20 වැනි සංශෝධනය ගැන මෙතරම් කැසකවන්නේ, ආණ්ඩුවේ සිටින සුළු ජාතික පක්ෂවල බලපෑම දිය කර හැරීම සඳහා ජාතික හෙළ උරුමය තුළ ඇති උවමනාවක් නිසා බව බොහෝ සුළු ජාතිකයෝ සිතති. අළුත් ක‍්‍රමය තුළ, තමන්ගේ පැවැත්ම සඳහා එක්කෝ රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සමග, නැත්නම් මෛත‍්‍රීපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට සුළු ජාතික පක්ෂවලට බල කෙරෙන්නේය. එහි අර්ථය වන්නේ, කිසි කුඩා පක්ෂයකට ආණ්ඩුවක් කෙරෙහි තීරණාත්මක බලයක් වීමට නොහැකි වන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එම්. එච්. එම්. අෂ්රොෆ් සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ, දුරස්ථ පාලකයකින් ආණ්ඩුවක් මෙහෙයැවීමේ සංඛ්‍යාත්මක හයිය තමන්ට ඇතැයි එදා කීවේය. ප‍්‍රධාන පක්ෂ දෙක මේ තත්වය දුටුවේ, බහුතරයේ මතය, කුඩා පක්ෂ විසින් ගෙලග‍්‍රහණයෙන් අල්ලාගෙන සිටි අවස්ථාවක් වශයෙනි. එම කල්පනාව, වැරදි වෙන්නත් පුලූවන. නිවැරදි වෙන්නත් පුලූවන. කෙසේ වෙතත්, තම පාක්ෂික ජනතාව වෙනුවෙන් සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන්ට ඒ හයිය උපකාරී විය. එසේම, තමන් සඳහා අසාධාරණ වරප‍්‍රසාද දිනා ගැනීමටත් එම හයියම ඔවුහූ පාවිච්චි කළහ. 20 වැනි සංශෝධනය සම්මත වුවහොත්, කුඩා පක්ෂ සතු මේ දුරස්ථ-පාලකයේ ශක්තිය, මෛත‍්‍රිපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය තුළ දිය වි යා හැකිය.

වෙනත් සුළු පක්ෂ වෙනුවෙන් ඇති විය හැකි තත්වය එය නම්, තවත් සුළු පක්ෂයක් වන ජාතික හෙළ උරුමය එවැනි සියදිවි නසා ගැනීමේ මාවතක යන්නේ මන්දැයි කෙනෙකුට සිතෙන්ට පුලූවන. එහෙත්, මේ වන විට මෛත‍්‍රිපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ගේ ස්ථානය ඔවුන් දැනටමත් ස්ථාවර කරගෙන හමාර ය. එසේ නොවුණහොත්, ඔවුන්ගේ සිවුරු දේශපාලනය ඊළඟ මැතිවරණයේදී ජනතාව ප‍්‍රතික්ෂේප කරන බව ඔවුහූ දනිති. කිසි දවසක තනියෙන් තරග කොට ජය ගැනීමේ හෝ නොනැසී පැවතීමේ හැකියාවක් ඔවුන්ට නැත. මේ නිසා 20 වැනි සංශෝධනයෙන් කෙරෙන වෙනස්කම් හරහා එක පැත්තකින් තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමටත්, අනිත් පැත්තෙන් නැවත වරක් පහසුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමටත් ඔවුන්ට හැකි වන්නේය.

දිස්ත‍්‍රික්කයක සුළුතරයක් වන යම් සුළු පක්ෂයක් මේ ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නම්, ප‍්‍රධාන පක්ෂ දෙකෙන එකක් සමග සන්ධානගත විය යුත්තේය. එහෙත් දැන් පවතින සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ, කුඩා සහ සුළු ජාතික පක්ෂවලට සමස්ත දිස්ත‍්‍රික්කයෙන් ඡුන්ද ලබාගත හැකි වන්නේය. 20 වැනි සංශෝධනය යටතේත් එම දිස්ත‍්‍රික් සමානුපාතික ක‍්‍රමයම ක‍්‍රියාත්මක වන නිසා එකී කුඩා සහ සුළුජාතික පක්ෂවලට එම නියෝජනයම ලබාගත හැකි වෙතැයි, 20 වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින අයවළුන් පෙන්වා දිය හැකිය. එහෙත් එය එසේම විය හැකිද?

උතුරු සහ නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සන්ධානය හෝ නැගෙනහිර පළාතේ මුස්ලිම් කොන්ග‍්‍රසය වැනි එක කලාපයක තම ජනයා කේන්ද්‍රගතව සිටින තැන්වල, මේ අළුත් ක‍්‍රමයෙන් එම පක්ෂවලට අවාසියක් නොවිය හැකිය. එහෙත්, එවැනි ජන කේන්ද්‍රගත වීමක් නැති මුත්, විශාල ජන ප‍්‍රජාවක් විසිරී සිටින තැන්වල ආසන මට්ටමේදී ඔවුන්ට එය නරකට බලපාන්නේය.

ආණ්ඩුකරණය තුළ සුළු ජාතික පක්ෂවලට ඇති බලපෑම හැකි තාක් අවම කිරීමේ මෙකී ව්‍යාපෘතිය, ජාතික හෙළ උරුමය සහ වෙනත් බෞද්ධ කණ්ඩායම් තුළ, මෛත‍්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මුළුල්ලෙමත් පැවති බව සුළු ජාතික පක්ෂ දනී. ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සමග සන්ධානගත වීමෙන් මිස වෙනත් පැවැත්මක් සුළු ජාතික පක්ෂවලට ඉතිරි නොවන තත්වයක් තමන්ට වාසිදායක බව දත් එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වයි. එහෙත්, අනිත් අතට සුළු ජාතික පක්ෂ ඔවුන්ගේම වන සන්ධානයකට ගියොත් එය වැඩියත්ම අවාසි සහගත වන්නේද එක්සත් ජාතික පක්ෂයටයි.

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ සියලූ ප‍්‍රශංසා හිමි විය යුත්තේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිතිපතිවරයාටයි. එහෙත් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඔහු ගෙන ඇති ස්ථාවරය එතරම් ප‍්‍රශංසනීය නැත. එක පැත්තකින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා වශයෙන් එම පක්ෂය ඉදිරි මැතිවරණයේදී ජයග‍්‍රහණය කැරැුවිම ඔහුට පැවරී ඇත. අනිත් අතට, එදා පොදු විපක්ෂය යටතේ ඔහුව බලයට පත් කළ දින 100 වැඩ සටහනටද ඔහු උර දිය යුතුය. එය යම් තාක් හෝ සාර්ථක කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ඔහුට අවශ්‍ය කෙරේ. එම පාර්ලිමේන්තුවේ බහුතරය අයත් වන්නේ විපක්ෂයටයි. එම විපක්ෂය ඒ බහුතරයේ බලය පාවිච්චි කරමින් ජනාධිපතිවරයාව දැන් ග‍්‍රහණයට ගෙන තිබේ.

මේ අලකලංචි අවසානයක් වනු දැකීම සාමාන්‍ය ජනයාගේ අපේක්ෂාවයි. ඒ සඳහා ඇති එකම මාර්ගය වශයෙන් පෙනෙන්නේ කලින් මැතිවරණයකට යාමයි. එහෙත් 20 වැනි සංශෝධනය සම්මත කර නොගෙන මැතිවරණයකට යාම ඔහුගේ දුර්වලතාවක් වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, මහින්ද රාජපක්ෂ නායකත්වය සපයන කණ්ඩායමටත් පෙනී යා හැකිය. මේ තත්වය තුළ යහපාලන පොරොන්දු පත‍්‍රයේ සඳහන් සෑම ප‍්‍රතිසංස්කරණයක්ම දියාරු කරන තත්වයකට තල්ලූ වීමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුව ඇත.

20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඔහුට සිදුවන්නේ රැුවටීම හරහා නම් එය ඔහුට උදාරක දෙන් ඇත්තේ අවාසනාවන්ත තත්වයකි. වර්තමාන ධුර කාලය තුළ ඔහුට ඡුන්දදායකයා අවශ්‍ය නොවිය හැකිය. එහෙත්, 2015 ජනවාරි මාසයේ ඔහුව ඔසවා තැබූ එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් සුළු පක්ෂ නොවුණි නම්, ඔහු අද සිටිනු ඇත්තේ කොතැනකද?

20 පිළිබඳ විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ සමස්ත ලංකා ජාතික කොන්ග‍්‍රසය ඉදිරිපත් කොට ඇති ඡන්ද පත‍්‍රිකා දෙකේ යෝජනාවත් තිබේ. සුළු පක්ෂවල ප‍්‍රශ්නවලට මෙය යම් විසඳුමක් විය හැකිය. එහෙත් මෙතරම් හදිසියෙන් හරිහැටි සොයා බැලීමකින් තොරව එවැන්නක් පවා සම්මත කර ගැනීම කෙතරම් යෝග්‍යද? මෙය, මෙතෙක් කල් අප විඳවා ඇති මනාප පොරයට වෙනත් ආකාරයකින් නැවත අපව ඇද දැමීමක් විය නොහැකිද? මෙය ක‍්‍රියාත්මක වුවහොත් එයින් වැඩිම වාසිය හිමිවනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටයි. තනි ඡන්ද පත‍්‍රිකාවක් සහිත කේවල මැතිවරණ ක‍්‍රමයක් තුළ ආසනයකින් තේරී පත්වීමට ජනතා විමුක්ති පෙරමුණට දුෂ්කර වෙතත්, ඡන්ද පත‍්‍රිකා දෙකක් ඇති ක‍්‍රමයකදී එක ඡන්දයක් ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂයා වෙනුවෙන් පාවිච්චි කිරීමට බොහෝ දෙනා මැළි නොවනු ඇත.

මොන ක‍්‍රමයක් ඇති කරගත්තත්, කඩිමුඩියේ එය කළ යුතු නැත. කළ යුත්තේ, සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට ගෞරවයෙන් සහ සාමයෙන් ජීවත් විය හැකි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගනු වස් අළුත් මැතිවරණයකට ගොස් අළුත් ජනවරමක් ඉල්ලා සිටීමයි.

*2015 ජුනි 22 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Is President Sirisena Following A Saffron Agenda? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page