Colombo Telegraph

යුක්තිය කරා ගිය දීර්ඝ ගමන

බැංගලෝරයේ විශේෂ අධිකරණයක් මගින්, විසමානුපාතික වත්කම් දැරීමේ චෝදනාවට (හොර ක‍්‍රමයට හරිහම්බ කිරීමට) වැරදිකාරිය බවට තීන්දු කරන ලද තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාගේ නඩුව ඉතා වැදගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිපත්තියක් තීරණාත්මකව ස්ථාපිත කළ අවස්ථාවක් වශයෙන් සැළකිය හැකිය. එම ප‍්‍රතිපත්තිය වන්නේ, නීතියේ ආධිපත්‍යය සියලූ පුරවැසියන්ට, ඔවුන්ගේ තරාතිරම නොබලා, එක සේ ක‍්‍රියාත්මක විය යුතුය යන්නයි.

ජනතා ඡන්දයෙන් බලයට පත්වන දේශපාලඥයන් එම ජනතා විශ්වාසයට පයින් ගසා බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් පසු කිසි නීතියකට හසු නොවී පලා යන අවස්ථා එමට ය. බලයේ සිටින ප‍්‍රාන්ත මහ ඇමතිවරියක් ‘දූෂණය මැඩලීමේ පනත’ යටතේ වැරදිකාරිය වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර, දූෂණ චෝදනා යටතේ හිරේට ගිය දේශපාලඥයන් සිටියේ අතලොස්සකි. එහෙත් මේ අවස්ථාව, පවතින සාමාන්‍ය නීති ක‍්‍රියාවලිය යටතේ සිදුවූවක් නොවේ.

බොහෝ අවස්ථාවල මේ නඩුව අඩාල කිරීමට සහ කඩාකප්පල් කිරීමට විවිධ ප‍්‍රයත්නයන් ගැනුණි. මේ නඩුවට සම්බන්ධ පැමිණිලි පාර්ශ්වය සහ විනිසුරුවරුන්, එසේ නැගී ආ විවිධ බාධක මධ්‍යයේ කෙලින් සිටිමින්, යුක්තිය සහ සාධාරණත්වයේ මූලධර්මය ආරක්ෂා කිරීම අගේ කළ යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙමින් තිබූ මේ නඩුව, ජයලලිතා මහත්මිය මීට කලින් බලය හොබවමින් සිටි 2001 දී යට ගැසීමට ඇය විසින් විවිධාකාරයෙන් ගැනෙමින් තිබූ ප‍්‍රයත්නයන් හඳුනාගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, වෙනත් ප‍්‍රාන්තයක් වන බැංගලෝරයට 2003 දී නඩුව මාරු කෙළේය. මෙසේ ඉතා දීර්ඝ වූත්, දුෂ්කර වූත් බාධක රාශියක් මධ්‍යයේ මුත්, අවසානයේදී යුක්තිය ඉෂ්ට වී ඇති බව දැන් පෙනෙන්ට තිබේ.

කෙසේ වෙතත්, බලය අපහරණය කරන රජයේ නිලතල දරණ පුද්ගලයන්ව නීතිය ඉදිරියට පැමිණවීමට වඩා වැදගත් වන්නේ, එසේ බල අපහරණය කිරීමට සහ දූෂණය කිරීමට ඔවුන්ට ඉඩක් නොතියන ආයතනික පද්ධතියක් සහ සංවරණ පද්ධතියක් ඇති කිරීමයි. රජයේ ඉහළ තැන්වල කෙරෙමින් පවතින දූෂණයට එරෙහි ප‍්‍රබල මහජන හඬක් පසුගිය වසර දෙක තුනක කාලයක් තිස්සේ ඉන්දියාවේ ඇති වුණි. ඒ හේතුවෙන්, එක පැත්තකින්, දූෂණ-විරෝධී ජාතික ආයතනයක් පිහිටුවාලීමට පාර්ලිමේන්තුවට බල කෙරුණු අතර, අනිත් පැත්තෙන් එම කර්තව්‍යයේ දී අධිකරණයම ඒ වෙනුවෙන් නායකත්වය ගැනීමත් විශේෂ වැදගත්කමක් දරයි.

කෙසේ වෙතත්, මේ මැරතන් නඩුව සඳහා ගත කොට ඇති වසර 18 ක දීර්ඝ කාලය, මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් මොන විදිහකින්වත් යුක්ති සහගත වන්නේ නැත. රාජ්‍ය අංශයේ මහ පරිමාණ දූෂණවලට අදාළව කටයුතු කිරීම සඳහා රටට අවශ්‍ය කරන සම්පාදන දෙවදෑරුම් වෙයි: බල අපහරණය වළක්වාලීමට සමත් වඩාත් කාර්යක්ෂම නීතිරීති ගෙන ඒම ඉන් එකකි. දෙවැන්න වන්නේ, අදාළ නඩුවක විත්තිකාර පාර්ශ්වයට අගතියක් නොවන සේ නඩුවක් සඳහා ගත කෙරෙන කාලය සීමා කිරීම සඳහා වන නඩු පරිපාටි සම්බන්ධයෙන් ඇති කෙරෙන සංශෝධනයන් ය.

ජයලලිතා නඩුවේ තීන්දුවෙන් පසු ඇතැම් අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් හටගෙන ඇත. තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශවලින් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා වාර්තා වී තිබේ.

තමිල්නාඩු ප‍්‍රාන්ත මහ ඇමති ධුරයට ජයලලිතාගෙන් පසු පත්වන කවුරුන් වුවද, මනා රාජ්‍ය තාන්ත‍්‍රික භාවයක් සහ දේශපාලනික පරිණත භාවයක් පෙන්නුම් කළ යුතුව ඇත. මහජන දේපළවලට සහ මහජනතාවට හානි පමුණුවන මොනම ප‍්‍රචණ්ඩත්වයකටවත් ඉඩක් නොතබමින් නීතිය හා සාමය පවත්වා ගැනීමට ඔහු/ඇය සමත් විය යුතුය. කර්නාටක ප‍්‍රාන්තයේ අධිකරණයක් මගින් මේ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එම පළාත්වාසීන්ට එරෙහි මොනම හිංසනයක්වත් සිදු නොවන බවට ඔහු/ඇය වගබලාගත යුතුව තිබේ. අනිත් පැත්තෙන්, ලැබුණු තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවත් ජයලලිතාට තිබේ. මේ නිසා මහජන උද්වේග පාලනය කර ගනිමින් නීතිය හා සාමයට මුල් තැන දීමට තමිල්නාඩු ආණ්ඩුව සෑම පියවරක්ම ගත යුතුව ඇත.

*2014 සැප්තැම්බර් 28 වැනි දා ‘ද හින්දු’ පුවත්පතේ පළවූ  “The Long Road To Justice” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page