Colombo Telegraph

ඔක්තෝබර් උමතුවෙන් පාඩම් උගත යුතුව තිබේ

ජාවිඞ් යූසුෆ්

ජාවිඞ් යූසුෆ්

ව්‍යවස්ථා අර්බුදය අවසානයකට පත්ව ඇතැයි නිවේදනය කොට තිබීමෙන් සැනසුම් සුසුමක් හෙලිය හැකි වෙතත්, ගත වූ ඔක්තෝබරයේ පටන් මතු වූ උමතුවෙන් උගත යුතු පාඩම් ඇති බව අප අමතක නොකළ යුතුය. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූ අතර රනිල් වික‍්‍රමසිංහ නැවත වතාවක් අගමැති ධුරයේ දිව්රුම් දුන්නේය. අපේ රටේ ඉතිහාසයේ එක් අශෝභන සංසිද්ධියක් හැකි ඉක්මණින් අමතක කර දැමීම නරක දෙයක් නොවේ. එහෙත් එය ආවාට ගියාට කළ යුතු නැත. ආණ්ඩුකරණය වසා පැතිර ගිය ඒ උමතුව ගැන උගත යුතු පාඩම් ඊට කලින් අපේ සැලකිල්ලට යොමු විය යුතුය.

මේ අතර, පසුගිය දෙමසක කාලය තිස්සේ අමතකයට යටව ගිය යහපාලන ආණ්ඩුවේ ප‍්‍රකාශිත ඉලක්ක වෙත ජාතිය කඩිනම්ව යළි ඒකරාශි කළ යුතුව තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමය තවදුරටත් තබා ගත යුතු බවට යම් ආකාරයක හෝ මතයක් එතෙක් විණි නම්, පසුගිය දෙමසක කාලයේ සිදුවීම් තුළින් ඒ මතයේ සාවද්‍ය භාවය මොනවට පැහැදිළි කොට දී තිබේ. ඒ මූසල දිනවල රජ කළ අවුල සහ අස්ථාවරත්වය කෙලින්ම විධායක ජනාධිපති ක‍්‍රමය නිසා උපන් තත්වයකි.

මේ අර්බුදය ඇති කිරීමෙහි ලා පූර්ණ වගකීම ජනාධිපති සිරිසේන භාර ගත යුතුය. එසේම ඔහුගෙන් පසු ඒ පුටුවේ වාඩි වෙන වෙනත් කිසිවෙකු ඒ ආකාරයෙන් හෝ ඊටත් වඩා නරක ආකාරයකින් කටයුතු නොකරතැයි සිතීමට හේතු කාරණා ද නැති බවත් සිහියේ තබා ගත යුතුය. මාස දෙකක කාලයක් තුළ, ජනාධිපතිවරයෙකුගේ තනි කල්ක‍්‍රියාවක් නිසා රටකට විය හැකි ගැහැට මේ කාලය තුළ කාටත් වැටහුණි. ඒ අවබෝධය ලබා ගැනීම සඳහා රටක් වශයෙන් වැය කළ මිල ඉතා අධික ය. විධායක ජනාධිපතිවරයා අධිකාරීවාදී චින්තනයක් සහිත පුද්ගලයෙකු නම් මෙවැනි ක‍්‍රමයක් තුළ එවැන්නෙකු හිට්ලර් පන්නයේ චර්යාවකට යොමු වීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඇති කළ හැකි අවදානම සැබවින්ම අති මහත් ය.

රාජ්‍යයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා වශයෙන් තමාගේ කර්තව්‍යයන් ඉෂ්ට කිරීමේදී, ‘පාර්ලිමේන්තුවේ ඕනෑ එපාකම්වලට යටත් විය යුතු නැති’ විධායකයක් ඇති කර ගැනීම, මේ විධායක ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය ලංකාවට හඳුන්වා දීමේදී ජේ. ආර්. ජයවර්ධනගේ අරමුණ වශයෙන් පැවතියේය.

පසුගිය දෙමසක කාලය තුළ රට අත්දැක්කේ, ‘පාර්ලිමේන්තුවේ ඕනෑ එපාකම්වලට යටත් නැති’ විධායක ජනාධිපතිවරයෙකු කොයි වගේ ද යන්නයි. ජනාධිපතිවරයා සතුව මුලින් තිබූ බලතල ගණනාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කප්පාදු කොට තිබුණත්, රාජ්‍යයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකු තුළ, පාර්ලිමේන්තුවට පමණක් නොව, රටේ ව්‍යවස්ථාවටත් යටත් නැති මානසික තත්වයක් කෙමෙන් මෝදු වන්නේය. නොඑසේව, 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පුද්ගලිකවම පාර්ලිමේන්තුවේ රැුඳී සිටිමින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් 225 ක් දෙනෙකු අතරින් 224 දෙනෙකුගේම අනුමැතිය ලබා ගැනීමට තරම් වෙහෙසුණු පුද්ගලයෙකු හැටියට, ඒ සංශෝධනයට අනුව අගමැතිවරයාව ඉවත් කිරීමට හෝ වසර හතර හමාරක් ගතවීමට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ තවදුරටත් තමාට බලයක් නැති බව සිරිසේනට කෙසේ නම් අමතක වන්නද?

19 වැනි ව්‍යස්ථා සංශෝධනයෙන් පසුව ඉතිරිව ඇති විධායක බලතල ස්වල්පය පවා, එම තනතුරට පත්වන තැනැත්තාගේ මොළය අවුල් කිරීමට තරම් ප‍්‍රමාණවත් ය. එවැනි පුද්ගලයෙකු ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන තත්වයකදී පුරවැසියෙකුට ඉන් සහනයක් පැතිය හැක්කේ අධිකරණයෙන් පමණි.

මේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමට කලින් විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කළ යුතුව ඇති බව මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් පෙන්වා දී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පරම හතුරුව සිටින මේ යක්ෂ තානාන්තරය අපේ ව්‍යවස්ථාවෙන් ඉරා දැමීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ ඒ ප‍්‍රයත්නය වටා මුළු රටම මේ අවස්ථාවේ පෙළ ගැසිය යුතුව තිබේ.

ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය යුක්ති සහගත කෙරෙන අතිශය විකාර තර්ක ගණනාවක් ද මේ කාලය තුළ ඉස්මතු වනු පෙනෙන්ට තිබුණි. ඉන් එක කාරණයක් වුණේ, මේ ප‍්‍රශ්නය අධිකරණය මගින් විසඳා ගන්නවා වෙනුවට මහ මැතිවරණයක් මගින් විසඳා ගත යුතුව ඇති බවයි. එම මතය ඉදිරිපත් කළ එක් පුද්ගලයෙකු කී පරිදි, රටක ඉරණම තීන්දු කිරීම විනිශ්චයකාරවරුන් හත් දෙනෙකුට භාර දෙනවාට වඩා, පරමාධිපත්‍ය බලය උසුලන මුළු මහත් ජනතාවට භාර දිය යුතුව තිබුණි.

කෙසේ වෙතත්, එවැනි මහ මැතිවරණ විසඳුමක් මෙසේ ඉල්ලා සිටින්නේ, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් මේ අවුල ඇති කළ පුද්ගලයන්ම බව රටවැසියා තේරුම් ගත්තේය. ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි මහ මැතිවරණයක් කැඳවිය හැක්කේ වසර හතර හමාරකට පසුව පමණක් නිසා, ඔවුන්ගේ මේ ඉල්ලීම ව්‍යවස්ථා විරෝධී වන බවත් කාටත් වැටහුණි.

තමන් විසින් ඇති කරන ලද අවුලකට විසඳුමක් එහි කර්තෘකයන් විසින්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබීම රට්ටුන් නොමග යැවීම සඳහා පටබැඳි දුෂ්ට කතාවකි. එවැනි ඉල්ලීමක් රට නොමග යවන සුළු වන්නේ කාරණා කිහිපයක් නිසා ය. එක පැත්තකින්, ජනතාවගේ පරමාධිපත්‍යය බලය අපේ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිළිව අර්ථ ගන්වා තිබේ. අනිත් පැත්තෙන්, ඒ පරමාධිපත්‍යය බලය අභ්‍යාස කළ යුත්තේ කවර ආයතන හරහා ද යන්නත්, කවර කාලයකින් ද සහ කවර ආකාරයකින් ද යන්නත් එහි පැහැදිළිව දක්වා තිබේ. මේ ඉල්ලීම දුෂ්ට වන්නේ, ඒ පසුපස තිබුණේ හුදෙක් බලය ඩැහැගැනීමේ රහස්‍ය අවශ්‍යතාවම වන බැවිනි.

මේ ඉල්ලීම යුක්ති සහගත කරගනු වස්, ජනතාවට කෙලින් මුහුණදීමට යහපාලන ආණ්ඩුව නොකැමැති බවත්, එම ආණ්ඩුව මගින් පළාත් පාලන මැතිවරණ කල් දමා තිබුණු අතර තවමත් පළාත් සභා මැතිවරණ කල්දමා ඇති බවත් පෙන්වා දෙනු ලැබුණි. එහි සම්පූර්ණ වරද පැටවුණේ එක්සත් ජාතික පක්ෂය වෙත ය. එහෙත් ඇත්ත වශයෙන්ම එවැනි ප‍්‍රමාදයක් ඇති වුණේ, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසර් මුස්තාපා ඒ සම්බන්ධයෙන් ගත් යම් ක‍්‍රියාවන් සහ නොගත් යම් ක‍්‍රියාවන් නිසාවෙනි. එසේ කටයුතු කළ ෆයිසර් මුස්තාපාටම, රාජපක්ෂගේ ඊනියා ආණ්ඩුව තුළත් එම අමාත්‍යාංශයම පැවරීමෙන් පෙන්නුම් කෙළේ එකී ප‍්‍රමාදය රාජපක්ෂලාටත් කියන තරම් ගානක් නොවුණු බවයි.

යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයත් එම ප‍්‍රමාදයේ වගකීමෙන් කොටසක් භාර ගත යුතුය. විශේෂයෙන්, පළාත් සභා නීතිය පිළිබඳ තේරීම් කාරක සභා අවස්ථාවේදී මුල් කෙටුම්පතේ ස්වභාවය වෙනස් වන ආකාරයෙන් කටයුතු කිරීම එහිදී කැපී පෙනේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ තවත් කල් දැමීම වෙනුවට, පවතින සමානුපාතික නියෝජන ඡුන්ද ක‍්‍රමයේ යටතේ පැවැත්විය යුතු ඇති බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කෙළේය. එම යෝජනාවට අනෙක් සියලූ පාර්ශ්ව එකඟ වුවත්, ඊට විරුද්ධ වූ එකම පුද්ගලයා වුණේ ෆයිසර් මුස්තාපා ය.

මේ ව්‍යවස්ථා අර්බුදය මැද මතු වූ තවත් ඉතා අවදානම්කාරී දෙයක් වුණේ, අර්බුදයට අදාළ කාරණාවලට ජාතිවාදී මුහුණුවරක් ආරෝපණය කිරීමයි. කවදත් මෙවැනි ප‍්‍රශ්නයක් දෙස ජාතිවාදී කණ්නාඩියෙන් බලන පිරිස් පමණක් නොව, මහ මැතිවරණයක් ඉල්ලා සිටින ඊට වඩා ගරුසරු පිරිස් පවා සුළු ජාතීන් ගැහැටට පත්වන ආකාරයෙන් ඊට ජාතිවාදී පැහැයක් තැවරීමට උත්සාහ ගත්හ. එයින් පෙනී යන්නේ, ජාතික සහජීවනය පිළිබඳ ගැටළුවට විසඳුමක් සැපයීමට මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන දෙදෙනා මොන තරම් උත්සාහ ගෙන තිබුණත්, ලැබෙන ඕනෑම අවස්ථාවක් දඩමීමා කරගෙන, බහුතර ප‍්‍රජාව සහ සුළුතර ප‍්‍රජාවන් අතර විරසක ඇති කිරීම සඳහා, වාර්ගික සංහිඳියාවට එදිරිවාදී කල්ලි මාන බලමින් සිටින බවයි.

ඉතිරිව ඇති සුළු කාලය තුළ ආණ්ඩුවට පැවරෙන වගකීමක් තිබේ. එනම්, මහජාතියේ සිත්සතන් තුළ මෙවැනි කල්ලි විසින් මොන භීතිකා මැව්වත් ඒවා සමනය කෙරෙන ආකාරයේ ස්ථිරසාර සහ ඵලදායී ක‍්‍රියාන්විතයක් හරහා ජනතා අවබෝධය ඇති කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට සෑම ප‍්‍රයත්නයක්ම ගැනීමයි. එසේ කිරීමට අසමත් වුණොත්, ඊළඟ මැතිවරණයකදී වාර්ගික ප‍්‍රශ්න නැවත මතු වෙනු ඇත. ඒ ඒ ප‍්‍රජාවන් වෙනස් දිසාවන්ට ගසාගෙන ගොස්, ජාතිය ගොඩනැගීමේ ප‍්‍රයත්නය ව්‍යර්ථ කෙරෙනු ඇත.

*2018 දෙසැම්බර් 16 වැනි දා ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Lessons must be learnt from the October Madness” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page