Colombo Telegraph

කොල්වින් සමරා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම

ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

1989 පෙබරවාරි 27 වැනි දා අප අතරින් වියෝ වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ 25 වැනි මරණ සංවත්සරය මේ සතියට යෙදෙයි. දීප්තිමත් නීතිඥයෙකු, චතුර කථිකයෙකු සහ ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එදා අපට අහිමි විය. අද එවැනි නායකයන් නැති පාඩුව ගැන කියැවෙන පුවත්පත් ලිපියකින් තොරව ගතවන සතියක් නැති තරම් ය.

1978 විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දීමට එරෙහි ව්‍යාපාරයේ පෙරමුණේ සිටියේ මෙරට වාමාංශික ව්‍යාපාරයයි. අද, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා උපරිමයෙන් බලසම්පන්නව තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමයේ දඬු අඬුවෙන් මුළු රටම මිරිකී සිටින මොහොතක අපට ඔහුව නිතැතින් සිහිපත් වෙයි.

විධායක ජනාධිපති ක‍්‍රමය කෙරෙහි ශ‍්‍රී ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ නොසැලෙන විරෝධයත්, පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් කෙරෙහි එය තැබූ අචල විශ්වාසයත් මනාව කුළුගැන්වූ එක් ප‍්‍රකාශයක් ඇතොත්, එය අපට හමුවන්නේ, 1971 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කළ එක් ප‍්‍රකාශයක් තුළිනි: ‘‘මේ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ, පැහැදිළිවම, එක් යහපතක් තිබේ. එනම්, මහජන මන්ත‍්‍රී මණ්ඩලයේ විශ්වාසය දිනාගත හැකි වන තාක් කල් පමණක් අගමැතිවරයෙකුට බලයේ සිටිය හැකි වීම හේතු කොටගෙන, රටේ ප‍්‍රධාන විධායකය රටේ ජනතා නියෝජිතයන්ට, සෘජුව සහ නිරතුරුව වගකියන තත්වයකින් බැඳගනු ලැබ තිබීමයි. ජනතාව පාගන, සියල්ලටමත් වඩා, ඒ ජනතාවගේ නියෝජිතයන්ට උඩින් යන, අගමැතිවරයෙකුවත් ජනාධිපතිවරයෙකුවත් අපට අවශ්‍ය නැත. ජනතාවට එරෙහි බලපුලූවන්කාර මිනිසෙකු ඇති කර ගැනීම යහපතක් නොවේ.’’ ඔහු මේ ප‍්‍රතිචාරය දක්වන්නේ, මෙරටට විධායක ජනාධිපති ධුරයක් අවශ්‍ය බවට එදා ජේ. ආර්. ජයවර්ධන කළ යෝජනාවකට පිළිතුරක් වශයෙනි. තවදුරටත් මේ කාරණය පැහැදිළි කරමින් ඔහු මෙසේ ද කීවේය: ‘‘අපට පරිණාමය වන සමාජයක් අවශ්‍යයි. ඒ නිසා, පරිණාමයට ඉඩ සලසන, පරිණාමය පහසු කරවන සහ ප‍්‍රගමනය කෙරෙහි තල්ලූ කරවන ආණ්ඩුක‍්‍රම පද්ධතියක් මෙන්ම, පරිණාමය සමග එයමත් පරිණාමයට ලක්වන ආණ්ඩුක‍්‍රම පද්ධතියක් අපට අවශ්‍යයි. ඊට අඩු කිසිවක් අපට අවශ්‍ය නැත.’’

එකම රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල යොදා ගැනීම ගැන 1955 දී අනතුරු ඇඟවූ (‘එක භාෂාවක් නම් රටවල් දෙකයි, භාෂා දෙකක්, එක රටයි’) කොල්වින්, 1978 දී ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දෙන අවස්ථාවේ, නැවතත් අනාගත වක්තෘ කෙනෙකුගේ භූමිකාවට පිළිපන්නේය. ‘‘ඒ ඔක්කොම මැද්දේ දැන් අළුත් ප‍්‍රශ්නයක්. ‘මම එක්කෝටි හතළිස් ලක්ෂයක් ජනතාවගේ නායකයා’. තවමත් අප තුළ බිය දනවන, ඒ අතීත මතක කලතන වචන. ‘මං ජරමානු ජනතාවගේ නායකයා, සෑම තැනකම වෙසෙන සෑම ජරමානුවෙකුගේම නායකයා, මම.’ එහෙම කිව්වේ හිට්ලර් නෙවෙයි ද? ඔහු ඒ ජනතාව දැක්කුවේ කොහේටද කියන එක, මුළු ලෝකයටම ඔහු අත්කර දුන්න විනාශය මොකක් ද කියන එක, අද මුළු ලෝකයම දන්නවා. අද එක්සත් ජාතික පක්ෂයේ සටන් පාඨය වෙලා තියෙන්නේ, ’එක පක්ෂයක්, එක ප‍්‍රතිපත්තියක්, එක නායකයෙක්’’. නායකයා කියන එක හැම වෙලාවෙම ලොකු අකුරෙන්. අපි මේ යන්නේ, එක පක්ෂයක්, එක ප‍්‍රතිපත්තියක්, එක නායකයෙක් වගේම, එක රටකුත් ඇති වෙන දිසාවකට ද? මේක අඳුරු ආරම්භයක්. ජනාධිපතිවරයාට ඒක සුභ මොහොතක් වුණා වෙන්න පුලූවන්. ඒත්, ඒක රටටත් සුභ මොහොතක් වුණා ද?’’ (ශී‍්‍ර ලංකාවේ නව ධනපතිවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නායයාම, පිටු 34).

3 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ජයවර්ධන තවදුරටත් එම ධුරය ශක්තිමත් කරගත්තේය. ඒ, පළමු ධුර කාලයෙන් වසර 4 ක් ගිය පසු ඕනෑම මොහොතක තවත් ධුර කාලයක් සඳහා ඉදිරිපත් වීමට අවකාශ සළසා ගනිමිනි. ඒ අනුව, දෙවැනි වාරය සඳහා තමාට වඩාත් වාසිදායක අවස්ථාවේ දී ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට අවසර ලැබෙන්නේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දැන් අවකාශ සලසා ඇති පරිදි, නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට ද ජනාධිපතිවරයාට හැකියාව ඇත්තේය.

කෙසේ වෙතත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ විධායක බලතලවලට යම් සීමාවන් පැනවුණි. ඒ අනුව, ඉහළ අධිකරණ සහ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවල උසස් තනතුරුවලට පත්කිරීම් කෙරෙන්නේ ව්‍යවස්ථා සභාවක් හරහා ය.

විධායක ජනාධිපති ක‍්‍රමයට එදා සිට එක දිගටම විරුද්ධව සිටි පක්ෂයේ (ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ) නායකයා වන ජනාධිපති රාජපක්ෂ විසින්ම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අතිශය සරදම්කාරී ය. එතෙක් පැවති ජනාධිපති ධුර කාල දෙකේ සීමාව මේ මගින් ඉවත් කෙරුණු අතර, ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත්කෙරුණි. මේ යටතේ ජනාධිපතිවරයාට ඇත්තේ, එකී පාර්ලිමේන්තු සභාවේ ‘නිරීක්ෂණ’ අවශ්‍ය නම් සැලකිල්ලට ගැනීම පමණි. ඊට අමතරව, මැතිවරණ කොමිසම සතුව පැවති ඇතැම් බලතල ද උදුරා ගැනුණි.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වම ක‍්‍රියා කළ ආකාරය, කොටින් කිවහොත්, අප‍්‍රසන්න ය. වමේ පක්ෂ තුනම එම සංශෝධනයට එරෙහිව උද්ඝෝෂණ කෙළේය. ලංකා සමසමාජ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඒ පිළිබඳ ඡුන්ද විමසීමට සහභාගී නොවී සිටිය යුතු බවට, වරක් නොව, දෙවරක්ම එම පක්ෂය තීන්දු කෙළේය. කෙසේ වෙතත්, අවසානයේ දී වාමාංශික මන්ත‍්‍රීවරු පස් දෙනාම සංශෝධනයට පක්ෂව ඡුන්දය දුන්හ. එසේ ඡුන්දය පාවිච්චි කිරීම සඳහා මේ මන්ත‍්‍රීවරුන් දුන් නිදහසට කාරණය වුණේ, තමන්ගේ ඡුන්දය නැතිව වුවත්, අවශ්‍ය කළ තුනෙන් දෙකේ ඡුන්දය එම යෝජනාවට ලැබෙන්නට තිබුණු බවයි! විධායක ජනාධිපති ක‍්‍රමයට එක දිගටම විරුද්ධව පෙනී සිටි පක්ෂ සහ පුරෝගාමී නායකයන් නියෝජනය කළ දේශපාලනයට අයත් සාමාජිකයන්ගේ මේ හැසිරීම, කතාවට කියන්නා සේ, ‘කිරි කළයට ගොම ටිකක් දැම්මා’ මෙනි. කෙසේ වෙතත්, ඒ සඳහා ඡුන්දය පාවිච්චි කිරීම තමන් කළ වරදක් බව, මේ වන විට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබේ.

ප‍්‍රතිසංස්කරණය කිරීමද අහෝසි කිරීමද?

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එරෙහිව නැගෙන එක් තර්කයක් වන්නේ, රටේ ස්ථාවරත්වය සඳහා එය අවශ්‍ය බවයි. එයට අනුව, දේශපාලනික සහ ආර්ථික අභියෝගයන්ට මුහුණදෙන ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට, මහජන නියෝජිතයන්ගේ හිතුමතයට ගැටගැසී නැති ශක්තිමත් ආණ්ඩුවක් සඳහාත්, රටේ දීර්ඝ කාලීන සුභසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය කෙරෙන ජනප‍්‍රිය නොවන තීරණ ගැනීම සඳහාත්, මෙවැනි බලධාරී ක‍්‍රමයක් අවශ්‍ය කෙරේ.

එදා ජයවර්ධන ඉදිරිපත් කළ, අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ බලධාරීන් පෙරට විත් වර නගන, ‘ස්ථාවරත්වය’ පිළිබඳ තර්කය ගැන එදා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩළයේදී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මෙසේ ප‍්‍රකාශ කෙළේය: ‘‘මේ කාරණය මං උදක්ම පැහැදිළි කරන්න ඕනේ. ‘ස්ථාවරත්වය’ කියන මේ වචනය අස්සේ වැරදි අදහස් ගණනාවක් හැංගිලා තියෙනවා. ස්ථාවරත්වය? මොන විදිහේ ස්ථාවරත්වයක් ගැන ද අපි මේ කතා කරන්නේ? කේන්ද්‍රයේ බලය, ජනතා අධීක්ෂණයෙන් ඉවත් කර ගැනීමෙන් ඇති වෙන ස්ථාවරත්වයක් ද? වෙනත් වචනවලින් කියනවා නම්, ජනතාවට එක කාර්යයක් විතරක් පවරලා පැත්තකට කරනවා: මීට හුඟ කාලෙකට කලින් මාක්ස් කිව්වා වගේ, ‘‘අවුරුදු පහකට සැරයක්, ඊළඟ අවුරුදු පහේ දී තමන්ව පාගන එවුංව පත්කර ගැනීම!’’. පාර්ලිමේන්තුවාදී වේවා, වෙනත් ඕනෑම ආකාරයක වේවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මගේ ආකල්පය නම් ඒක නෙවෙයි.’’

විධායක ජනාධිපති ක‍්‍රමය නොවන්නට, බෙදුම්වාදී තර්ජනය පරාජය කිරීමට ශ‍්‍රී ලංකා රාජ්‍යය අසමත් වනු ඇතැ යි යන්න තවත් තර්කයකි. පාර්ලිමේන්තුවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළත්, සන්නද්ධ හමුදාවන් පිළිබඳ පූර්ණ බලතල ආණ්ඩුවකට ඇත්තේය. ජනාධිපතිගේ නමින් විධායක බලය එහි දී කි‍්‍රයාත්මක කෙරෙන්නේ, අගමැතිවරයාගේ උපදෙස් මත ය. විධායක ජනාධිපතිවරයෙකුගේ ‘විජ්ජාවක්’ මෙතන ඇත්තේ නැත. විධායක ජනාධිපතිවරයෙකු කරන තරමට අගමැතිවරයෙකුට කළ නොහැකි වන්නේ, දේශපාලන ක‍්‍රියාවලිය සමග සෙල්ලම් කිරීම පමණි. ‘දේශපාලනික ජිල්මාට්’ යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.

1978 ව්‍යවස්ථාව යටතේ කරලියට එන පාලන ක‍්‍රමය, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුපිළි ඇන්¥ ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයක් යැයි කොල්වින් එදා කළ ප‍්‍රකාශය අද සත්‍යයක් වී තිබේ. ජනාධිපති ධුර වාර ගණන ඉවත් කරන ලද සහ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් කුණු කූඩයට දමනු ලැබ ඇති අද ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය, ‘ප‍්‍රජාතන්ත‍්‍රීය’ ලෝකයේ පවතින ශක්තිමත්ම සහ භයානකම ජනාධිපති ක‍්‍රමය නොවන්නේ නම්, අඩු වශයෙන්, එවැනි ක‍්‍රමයකින් එකක්වත් වන්නේය.

අනාගතය මොන වගේද?

එතකොට, විධායක ජනාධිපති ක‍්‍රමයේ අනාගතය? තමන්ගේම නිර්මාණයේ නීරස රඟ සොබාවෙන් විඳවන තෙක් එය ආරක්ෂා කළ එක්සත් ජාතික පක්ෂය අද එය අහෝසි කිරීමට තීරණය කර තිබේ. දෙමළ සහ මුස්ලිම් පක්ෂ ද මේ ක‍්‍රමය යටතේ තම ප‍්‍රජාවන්ට විශේෂ ආරක්ෂාවක් සැපයෙතැ යි යන අදහසින් දැන් ඉවත්ව සිටී. සරදම වන්නේ, ඒ ක‍්‍රමය ඒකාන්තයෙන් ආරක්ෂා කිරීමට අද පෙනී සිටින්නේ, වර්තමාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයත්, දැඩි මතධාරීනුත් පමණක් වීමයි.

සේනානායක යුගයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය මත තම හිතුවක්කාරී අධිකාරය පැටවීමට ජේ. ආර්. ජයවර්ධන සමත් වුව ද, ජයවර්ධන සහ පේ‍්‍රමදාස යන නායකයන් දෙන්නාම යටතේ ඒ ක‍්‍රමයෙන් බැට කා ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මත සිය බලාධිකාරය පෑමට ජනාධිපති රාජපක්ෂට පුලූවන් වී නැත. ලංකා සමසමාජ පක්ෂයේ 76 වැනි සංවත්සරයේ දී කතා කරමින් කතානායක චමල් රාජපක්ෂ, විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව ලංකා සමසමාජ පක්ෂය ගත් ස්ථාවරය අගයමින්, තනි පුද්ගලයෙකුට සියලූ බලතල පැවරිය යුතු නැති බවත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවත් කියා සිටියේය. කෙසේ වෙතත්, එහි දී ඔහු එම අහෝසියට එක කොන්දේසියක් එක් කෙළේය. එනම්, ‘එය පාවිච්චියට ගැනීමෙන් අනතුරුව එළැඹෙන අනාගතයේ දවසක’ යනුවෙනි. ඔහු එසේ කීවේ සිය සහෝදරයාගේ හිත නොරිදවීමට බව පැහැදිළි ය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ උනන්දුවක් ජනාධිපති රාජපක්ෂට නැතත්, දැඩි බලපෑම් යටතේ ඔහු එසේ නොකරති යි කිව නොහේ. තනි කාරණයක්’ මත ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ කතාබහ දැනටමත් ආරම්භ වී තිබේ. එනම්, සමස්ත විපක්ෂය ඒකරාශී කළ හැකි වන්නා වූ ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ විසම්මුතියකට පණ පෙවිය හැකි වන්නා වූ ද, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ කාරණයයි. ඒ මාර්ගයෙන් බරපතල අභියෝගයක් එල්ල වෙතොත්, විපක්ෂයේ එම පන්නරය දුර්වල කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්ම එය අහෝසි කිරීමට බැරි කමක් නැත. කෙසේ වෙතත්, වර්තමාන ස්ථාවරයේම ඔහු රැුඳෙන්නේ නම්, විපක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසම්මුතික කොටස් බලමුළු ගැන්වීම සඳහා ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මේ කියන කේවල සටන් පාඨය තීරණාත්මක වීමට සෑම ඉඩකඩක්ම තිබේ.

තවත් ජනාධිපතිවරණයකට නොගොස් මෙම ක‍්‍රමය අහෝසි කරන ලෙස වමේ පක්ෂ විසින් මෑතක දී ඉල්ලා සිටින ලදි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ද ඇතුළුව, එම ඉල්ලීම සාදරයෙන් පිළිගැනී තිබේ. කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක‍්‍රමය ජනාධිපති රාජපක්ෂ විසින් අහෝසි නොකෙරෙතොත් සහ පොදු අපේක්ෂකයෙකුගේ පුළුල් සන්ධානයක් හරහා ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය පෙරට ගැනෙතොත්, රට දකුණට ගමන් කළ හැකි බවට තර්ක කරන ඇතැම් වම්මු සිටිති. හරියට, තවත් යන්නට දකුණක් ඉතිරිව ඇතිවා සේ ය!

මේ ‘වාමාංශික’යන්ටත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ලවාම පිළිතුරු දීම යෙහෙකි. දක්ෂිණාංශයට අවශ්‍ය කරන්නේ, ජනතාව ලවා භාර ගැන්විය හැකි තාක් දුරට ප‍්‍රජා පීඩක ඒකාධිපතිත්වයක් ඇති කර ගැනීම මිස පාර්ලිමේන්තුවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොවන බව 1971 දී ඔහු පැහැදිළි කෙළේය: ‘‘එක්සත් ජාතික පක්ෂයේ අදහස් මෙසේ පරිණාමයට ලක්ව ඇත්තේ අහම්බයකින් නොවේ. එයින් පෙන්නුම් කරන්නේ, ලංකාවේ සමාජ ක‍්‍රමය තුළ ධනපති පංතියට අත්වෙමින් තිබෙන උපද්‍රවයේ ස්වභාවයයි. එබැවින් ඔවුන්ට නව ආණ්ඩු ක‍්‍රමයක් අවශ්‍ය කොට තිබේ. එය තුළ එක දෙයක් ගැන ඔවුන්ට සහතිකයක් තිබිය යුතුය: ‘පොදු මිනිසාගෙන් ගැළවීම සහ ඒ හරහා ධනපති පංතියට චිරස්ථායීව පාලනය කරගෙන යාමට හැකි වීම’ය’’. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුළුල් සාමාජිකත්වය මෙන් නොව දැන්, ජේ. ආර්. ගේ අදහස් සහ ඔහුගේ දේශපාලනය භාර ගැනීමට පේවී සිටින එම පක්ෂයේ නායකත්වයට ද, කොල්වින් ආර් ද සිල්වා එදා කී දෙය අදාළ වන්නේය.

Back to Home page