Colombo Telegraph

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මාර්ග සැලැස්ම

ජයම්පති වික‍්‍රමරත්න  –

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

අද මෙම ශාලාව තුළ සිවිල් සහ දේශපාලන සමාජයේ පුළුල් වර්ණාවලියක් අපි දකිමු. ආගමික නායකයින්, දේශපාලනඥයින්, වෘත්තිකයින්, කලාකරුවන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, සිසුන් ආදීන් වන මෙම පිිරිස එක් කාරණයක් පිළිබඳව එකඟ වූ අය වෙති. එම කාරණය වන්නේ අපිට වඩා පුළුල් දේශපාලන අවකාශයක් අවශ්‍ය බව ය.

එවැනි දේශපාලන අවකාශයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍යය යැයි හැෙඟන අවම යෝජනා කිහිපයක් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කර ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇතිකිරීම සහ අධිකරණය සහ ස්වාධීන ආයතන සඳහා කෙරෙන පත්වීම් පිළිබඳ ජාතික එකඟත්වයක් ඇති කිරීම එය වේ.

පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් කළ හැකි නම් හොඳම දෙය එය බවට සැකයක් නැත. එහෙත් ව්‍යවස්ථා සාදන්නේ හිස් අවකාශ තුළ නොව ඉතා රළු දේශපාලන රංගභූමි මත ය.

අද පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කණයක් ඇති කිරීම කොතරම් ප‍්‍රායෝගිකද? 1994‐2000 කාලය තූල උත්සාහ කළාක් මෙන් නව මූලික අයිතිවාසිකම් පරිච්ඡෙදයක්, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ආදිය ඇතුලත් ප‍්‍රතිසංස්කරණයක් කළ හැකි නම් මමද ඊට කැමැත්තෙමි. එහෙත්, එවැනි කාරණා පිළිබඳ බරපතල කතිකාවක් කළ හැකි පසුබිමක් හෝ අද තිබේ ද?

මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ගනිමු. 1994-2000 කාලය තුළ මේ පිළිබඳව පොදුජන එක්සත් පෙරමුණ ඇතුළත පවා එකඟත්වයක් නොතිබුණි. ඉන් පසු තේරීම් කාරක සභා දෙකක් ද ඇතුළු නොයෙකුත් ව්‍යායාම වලින් පසුවත් අදත් එකඟත්වයක් නොමැත.

1994-2000 කාලය තුළ දෙමළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ විය. එසේ අහෝසි කිරීමට තමන් එකඟ වන්නේ දේශපාලන විසඳුමක් ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් ඇතිකරන්නේ නම් පමණක් යැයි ඔවුහු පැවසූ හ. එදා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ඇදීගොස් අවසානයේ දී අසාර්ථක වීමට මෙය ද බලපෑවේ ය.

එහෙත්, ඇති කෙටි කාලය තුළ අනිකුත් කාරණා පිළිබඳව ද එකඟ විය හැකි නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට යටත්ව අප එසේ කිරීමට උත්සාහ දැරිය යුතු ය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම බැලූ බැල්මට තනි කරුණක් වූවත් විශේෂයෙන්ම වර්තමාන අධිකාරිවාදී පරිසරය තුළ ඊට ඈඳුණු කරුණු ගණනාවක් ඇත. නීතියේ ආධිපත්‍යය යටපත්වීම, නීතිය සහ සාමය බිඳ වැටීම, නීතිය බිඳ ගැලවී යෑමට බලවතුන්ට හැකිවීම, අධිකරණයේ ස්වාධීනත්වයට ඇති තර්ජන, රාජ්‍ය සේවය සහ පොලිසිය වැනි ආයතන වල ස්වාධීනත්වය නැතිවීම, වගවීමක් නොමැතිවීම, වෙනස් මත නොඉවසීම, මාධ්‍ය මත ඇති පීඩනය, ආගමික විවිධත්වය නොඉවසීම ආදි සියල්ලට අධිකාරිවාදී පරිසරය සම්බන්ධය. දූෂණය, නාස්තිය, පමණ ඉක්ම වූ වියදම් ආදියෙන් මහජන මුදල් විනාශ වන අතර එම හිඟය බදු මගින් සාමාන්‍ය ජනයාගෙන් අයකර ගැනීම නිසා ජීවන වියදම ඉහළ යයි. 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ විට ඇතිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ගැන කතිකාවක් කිරීමට ඉඩකඩක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු. එහෙත් වර්තමානයේ වුව ද අප ගොඩ නගමින් සිටින අදහස් වර්ණාවලියට හානියක් නොවන පරිදි වෙනත් කාරණා පිළිබඳව ද එකඟවිය හැකි නම් එය ද උත්සාහ කළ හැක.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇති කිරීම සඳහා පැහැදිළි මාර්ග සිතියමක් සාධාරණ සමාජයක් සූඳහා වූ ජාතික ව්‍යාපාරය යෝජනා කර සිටී. 17 වන සංශෝධනයේ ඇති දුර්වලකම් ඉවත් කිරීම සඳහා ඩිව් ගුණසේකර තේරීම් කාරක සභාවේ එකඟ වූ කරුණු ඇතුලත් කර එම සංශෝධනය ද නැවත ගෙන ආ යුතු ය.

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ හුදු පොරොන්දුවක් දෙනවා වෙනුවට අප යෝජනා කරන්නේ යෝජිත වෙනස්කම් සඳහා වූ නීතිමය කෙටුම්පත පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප‍්‍රකාශය සමග ප‍්‍රසිද්ධ කළ යුතු බව ය. එවිට, තමන් ඡුන්දය දෙන්නේ හෝ නොදෙන්නේ කුමකට දැයි සෑම කෙනෙකුම දනිති.

මුළු ක‍්‍රියාදාමයම ජනාධිපති මැතිවරණයෙන් මාස 6ක් ඇතුළත අවසන් කළ යුතුය. සංශෝධන පනත් කෙටුම්පත මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එසේ ඉදිරිපත් කරන නිශ්චිත දිනය මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් විය යුතු ය. උදාහරණයක් වශයෙන් මැතිවරණය පැවැත්වෙන්නේ 2015 ජනවාරි 3 වන දින නම් පෙබරවාරි 2 වන දින පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් වනු ඇත. සංශෝධනය ක‍්‍රියාත්මක වන නිශ්චිත දිනය වන 2015 ජූලි 3 වන දින පනත් කෙටුම්පතේ සඳහන් වේ. නව සංශෝධනය ක‍්‍රියාත්මක වන දිනය නියම කිරීමට හෝ නව ජනාධිපති වරයාට අභිමතයක් නොමැත.

එවැනි සංශෝධනයකට අවශ්‍ය 2/3 වැඩි ඡුන්දය පාර්ලිමේන්තුව තුළ ලබා ගන්නේ කෙසේ දැයි යන්න වලංගු ප‍්‍රශ්නයකි. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයේ මන්ත‍්‍රිවරු ගණනාවක් ද එහි වත්මන් හවුල්කාර පක්ෂ ගණනාවක් ද මෙම සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට කැප වූ පොදු අපේක්ෂකයෙකුට සහාය දෙනු ඇත. පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයත් සමග ඔහුට හෝ ඇයට විරුද්ධ වූ මන්ත‍්‍රිවරුන් විපක්ෂයට යනු ඇත. එසේ විපක්ෂයට යන මන්ත‍්‍රිවරුන් විධායක ජනාධිපති ක‍්‍රමයෙන් පීඩා නොවිඳ එයින් ගැලවීමට සංශෝධනයට සහාය දීම නිසැක ය. පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ ඔවුනට නැවත බලයට ඒමට ඉඩකඩක් ලැබේ. එහෙත් කල් ගත වුවහොත් නොයෙකුත් වෙනත් සාධක මතුවිය හැකි බැවින් මසක් ඇතුලත සංශෝධනය ඉදිරිපත් කල යුතු වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති නඩු තීන්දු අනුව පෙනී යන්නේ මෙම සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. එහෙත් එවැන්නක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් එය ද පැවැත්විය හැක. පාර්ලිමේන්තුව තුල 2/3 බහුතරයක් ලබාගත් පසු මහජනතාවගේ අනුමැතිය ලබා ගැනීම කිසිසේත් අපහසු නොවෙනු ඇත.

ඉහත කී උදාහරණයට අනුව 2015 ජූලි 3 වන දා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වන අතර ජනාධිපති ධුරයට පත් වූ පොදු අපේක්ෂකයා සිය කාර්යභාරය ඉටුකර ඉවත්ව යනු ඇත. 1972 ව්‍යවස්ථාව යටතේ විලියම් ගොපල්ලව මහතා වැනි නාමික ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු විසින් තෝරාගනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය ලබන මන්ත‍්‍රීවරයා නව අගමැතිවරයා වන්නේ ය.

පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිරූපය ඉස්මතු කරණු වෙනුවට අපේක්ෂකත්වයට මුල් තැන දිය යුතු යැයි අපි යෝජනා කරමු. එවිට යෝජිත ක‍්‍රියාවලියට වඩා වැඩි පිරිසකගේ දායකත්වය ලැබෙන අතර එමගින් පුළුල් ජන සහභාගිත්වයක් ද ඇතිවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ඇතිකිරීම සඳහා වූ අපගේ උත්සාහය සාර්ථක වීම සඳහා දේදුන්නක් මෙන් වර්ණවත් පුළුල් එකමුතුවක් ගොඩනැගිය යුතු ය. ඒ සඳහා වැදගත් පියවරක් අපි අද ගත්තෙමු. මෙම එකමුතුව තවත් පුළුල්කර ශක්තිමත් කළ යුතු ය.

*2014 ජූලි 24 දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විද්වත් කතිකාවේ දී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න කළ කථාව

Back to Home page