Colombo Telegraph

19 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමේ මග එළිපෙහෙලි කිරීමකි

ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත්කළ මතය ගැන  ඔබේ ප‍්‍රතිචාරය මොකක්ද?

අධිකරණ මතය තුළ දකින්න තියෙන වැදගත්ම දේ තමයි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියට නොගැළපෙන හැම දෙයක්ම, අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට භාජනය කළ යුතු නැති බව. ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ තියෙන්නේ මෙහෙමයි: ‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය, ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද බලයද ඇතුළත් වන්නේය.’’

4 වැනි වගන්තියෙන් ඒක තවත් පැහැදිළි කරනවා. අපේ මාතෘකාවට අදාළ එම වගන්තියේ කොටස උපුටා දක්වනවා නම්, ඒක මෙහෙමයි: ‘‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය.’’

එතකොට ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ සඳහන් වෙනවා කරුණු ගණනාවක්. එම කරුණුවලට නොගැළපෙන ඕනෑම සංශෝධනයක් සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය කරනවා. එම ලැයිස්තුව ඇතුළේ තියෙනවා, ඉහතින් කී 3 වැනි වගන්තිය. හැබැයි, 4 වැනි වගන්තිය නැහැ. ඇත්තටම කිව්වොත්, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරන වෙලාවේ එම ලැයිස්තුවට මේ 4 වැනි වගන්තියත් ඇතුළත් වෙලා තිබුණා. ඒත්, පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඒක ඉවත් කළා.

4 වැනි වගන්තියට නොගැළපෙන සෑම කාරණයක් නිසාම 3 වැනි වගන්තිය උල්ලංඝණය වීමක් සිදු නොවන බවත්, ඒ නිසා එවැනි සෑම අවස්ථාවකදීම ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන බවත් තමයි, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය ඉදිරියට ආපු අවස්ථාවේ අගවිනිසුරු ෂර්වානන්ද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බහුතරයකගේ මතය වුණේ. ඒ අවස්ථාවේදී එවකට සිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 9 දෙනාම සහභාගී වූ පූර්ණ අධිකරණය තමයි නඩුව විභාග කළේ. එදා ෂර්වානන්ද විනිසුරුවරයා පෙන්වා දුන්නා, 3 වැනි වගන්තිය උල්ලංඝණය වෙන්නේ, ජනතා පරමාධිපත්‍යය කෙරෙහි යම් ‘අගතිගාමී බලපෑමක්’ වෙනවා නං විතරයි කියලා. කොහොම වුණත්, 2002 දී අධිකරණයට ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගවිනිසුරු සරත් සිල්වාගේ එදා අධිකරණයේ මතය වුණේ, 4 වැනි වගන්තිය 3 වැනි වගන්තිය සමග එකට කියවිය යුතු බවයි. ඒ අනුව අදහසක් ඇති වුණා, 4 වැනි වගන්තිය උල්ලංඝණය වන සෑම අවස්ථාවකදීම ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා.

ඒත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණේ මොකක්ද? එතකොට ජනමත විචාරණයක් ඕනේ නැහැ කියලා කිව්වෙත් ඒ සරත් සිල්වාගේ අධිකරණයම නේද?

ඔබ හරි. 17 වැනි සංශෝධනය ආව වෙලාවේ අධිකරණය කිව්වේ, ඇතැම් තනතුරුවලට සහ කොමිෂන් සභාවලට පත්වීම් කිරීමට ජනාධිපතිවරයාට තියෙන බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය හෝ නිර්දේශවලට යටත්ව ක‍්‍රියාත්මක කළ යුතු වූ පමණින්, ජනාධිපතිවරයාගේ බලතල හෑල්ලූ වීමක් සිදු නොවන බවයි. ඒත් 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය දැරුවේ ඊට වඩා සීමාකාරී ආකල්පයක්. හැබැයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලේ මතය ප‍්‍රකාශයට පත්ව තිබූණු 13 වැනි සංශෝධනය පිළිබඳ අධිකරණ මතය එහිදී සැළකිල්ලට ගැනුණේ නැහැ.

2002 ඉදිරිපත් කෙරුණු 19 වැනි සංශෝධන විභාගයේදී අධිකරණය තවත් මතයක් ප‍්‍රකාශ කළා. ඒ තමයි, විධායක බලය ජනාධිපතිවරයා සමග සහ ඔහු සමග පුද්ගලබද්ධව නොගත යුතු බව. හැම විටකම එම බලය, ජනතා බලය සමග අනන්‍ය විය යුතු බව අධිකරණය එදාත් පෙන්වා දුන්නා. එහෙම තියෙද්දිත් තමයි, 3 වැනි වගන්තිය සමග 4 වැනි වගන්තිය එකට කියැවිය යුතු බව නිර්දේශ කළේ. ඒ අනුවයි, 4 වගන්තිය උල්ලංඝණය කෙරෙන ඕනෑම කාරණයක් සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කියා සිටියේ.

වර්තමාන අධිකරණය මොකක්ද කිව්වේ?

අගවිනිසුරු ෂර්වානන්දගේ නිගමනය අද අධිකරණය උපුටා දැක්වුවේ නැහැ. ඒත්, එදා යෙදුමමයි අදත් පාවිච්චි කළේ. ඒ තමයි, ‘‘අගතිගාමී බලපෑමක්’’ වීම යන කාරණය. තවත් විදිහකින් කිව්වොත්, අද අධිකරණය ඉතා පැහැදිළිව කිව්වේ, ‘4 වැනි වගන්තිය උල්ලංඝණය වන සෑම අවස්ථාවක්ම, 3 වැනි වගත්තියත් අනිවාර්යයෙන් උල්ලංඝණය වන අවස්ථාවක් වශයෙන් සැළකිය යුතු නැති’ බවයි. ඒක ඉතා වැදගත් කාරණයක්.

මේ තීන්දුවේ තියෙන වෙනත් වැදගත් පැතිමාණ මොනවද?

විධායක ආණ්ඩුකරණයට අදාළ තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට තියෙන අභිමතානුසාරී අධිකාරය 19 වැනි සංශෝධනය යටතේ හීන වන බවටත්, ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය උල්ලංඝණය වන බවටත්, ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍ය වන බවටත්, 19 වැනි සංශෝධනයට විරුද්ධ පාර්ශ්ව නැගූ තර්කය අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. අධිකරණයේ මතය වුණේ, ආණ්ඩුවේ වෙනත් අංශවල පාලනයකින් තොරව, හිතුමතේ පාවිච්චි කළ හැකි විධායක බලයක් ජනාධිපතිවරයාට පැවරීමක් අපේ ව්‍යවස්ථාවෙන් අපේක්ෂා නොකරන බවයි. විධායක බලය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙනවා. වර්තමාන අධිකරණ තීන්දුව තුළ තියෙන සාරය තමයි, අවසාන ‘ක‍්‍රියාව හෝ තීරණය’ විධායක ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කරන තාක් කල් ජනතා පරමාධිපත්‍යයට හානියක් නොවන බවත්, ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන බවත්.

අපි උදාහරණයක් ගමු: යෝජිත 19 වැනි සංශෝධන කෙටුම්පතේ 43 (2* වගන්තියේ කියැවෙනවා, ජනාධිපතිවරයා විසින් කැබිනට් ඇමතිවරුන් පත්කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් පිටයි කියලා. ඊළඟට, 43 (3* වගන්තියෙන් කියැවෙනවා, ජනාධිපතිවරයාගෙන් නොවිමසා ඇමතිවරුන්ගේ කාර්ය භාරයන් සහ විෂයයන් වෙනස් කිරීමට අගමැතිවරයාට අවසර තියෙනවා කියලා. මේකෙදී, 43 (2* ට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවත්, 43 (3* ට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මේ වෙනස ඉතා වැදගත්. අධිකරණයේ අදහස වෙන්නේ, අවසාන ‘ක‍්‍රියාව’ සිදුවන්නේ ජනාධිපතිවරයා අතින් නම්, ඒ සඳහා අගමැතිවරයාගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය කළ පමණින් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි නැති බවයි.

තවත් වැදගත් කාරණයක් වන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තියෙන බලය. වර්තමාන ව්‍යවස්ථාව යටතේ, අළුත් පාර්ලිමේන්තුවක් පත්වෙලා අවුරුද්දකින් පස්සේ ඒක විසිරුවා හරින්න ජනාධිපතිවරයාට පුලූවන්. හැබැයි එහෙම අවුරුද්දක් බලාගෙන ඉන්න වෙන්නේ, ඊට කලින් පාර්ලිමේන්තුව නියමිත කාලයට කලින් ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර තියෙනවා නං විතරයි. කලින් පාර්ලිමේන්තුව එහෙම විසුරුවලා නැත්නං, ඕනෑම අවස්ථාවක, එනම්, අවුරුද්දක් ගත වීමට කලින් වුවත් ජනාධිපතිවරයාට පුලූවන් අළුත් පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්න.

2002 ඉදිරිපත් කරපු 19 සංශෝධන කෙටුම්පතේ මේක සංශෝධනය කරලා තිබුණා, ඒ අනුව, ඊට කලින් පාර්ලිමේන්තුව නියමිත කාලයට කලින් විසුරුවා හැරලා තිබුණත් නැතත්, අවුරුද්දක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බැහැ. එතනදී පවා, පවතින පාර්ලිමේන්තුවේ බහුතරය අයත් වන්නේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් පිටස්තර වෙනත් පක්ෂයකට නම්, ඒ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඉල්ලීමකින් තොරව, අවුරුද්දකින් පස්සේ වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බැහැ කියලා තිබුණා. එදා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සංශෝධනය ප‍්‍රතික්ෂේප කළා. ඒත්, පාර්ලිමේන්තුවේ මුළු නිල කාලය වන අවුරුදු 6 න් භාගයක්, එනම් අවුරුදු තුනක් ගතවූ පසුවද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය සීමා කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බවත් එදා අධිකරණය කියා සිටියා.

වර්තමාන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනුව, පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු 5 යි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්දයකින් ඉල්ලා සිටියොත් මිස, මේ කෙටුම්පත අනුව, අවුරුදු හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බැහැ. ජනාධිපතිවරයාගේ ඒ අභිමතානුසාරී බලය සීමා කෙරෙන එම වගන්තිය සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා වර්තමාන අධිකරණය කියා සිටියේ නැහැ.

අධිකරණයේ තීන්දුව ගැන ඔබ සතුටට පත්වෙනවද?

සමස්තයක් වශයෙන්, ඔව්. මං හැම දාම පෙනී හිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කිරීම වෙනුවෙන්. වර්තමාන තත්වය තුළ එය මුළුමණින් අහෝසි කිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත්, ඒ වෙනුවෙන් මං එක දිගටම සටන් කරනවා.

අවශ්‍ය කරන එකම දෙය වෙන්නේ, විධායකයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා වීමත්, ඔහුගේ විධායක කෘත්‍යයන්ට අදාළ අවසාන ‘ක‍්‍රියාව හෝ තීරණය’ ඔහු භාරයේ තිබීමත්. මෙහිදී යෙදෙන ‘හෝ’ යන්න අවධාරණය කරන්න මං කැමතියි. මොකද, ඒකෙන් කියැවෙන්නේ, තීරණය ජනාධිපතිවරයාෙගේ නොවුණත්, අවසාන ක‍්‍රියාව ඔහුගේ නම්, එය ප‍්‍රමාණවත් වන බවයි. ඇමතිවරුන් පත්කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය යන නියමය අධිකරණය අනුමත කළේ ඒ පදනම උඩ. ඒ වගේම, ස්වාධීන කොමිෂන් සභා ජනාධිපතිවරයා විසින් පත්කරන්නෙත්, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත. ඒ විදිහට වෙන කෙනෙකුගේ හෝ ආයතනයක නිර්දේශ මත කටයුතු කරන්ට ජනාධිපතිවරයාට සිදුවන පමණින්, ඒ කාරණය ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමක් අවශ්‍ය කරන්නේ නැහැ.

විධායකයේ ප‍්‍රධානියා ජනාධිපති වීමට මං විරුද්ධ නැහැ. ඇත්ත වශයෙන්ම, 1972 ව්‍යවස්ථාව යටතේ පවා විධායකයේ ප‍්‍රධානියා වුණේ ජනාධිපතිවරයා. ඒත්, ඔහු කටයුතු කළ යුතු වුණේ, අගමැතිවරයාගේ උපදෙස් මත.

විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කිරීමට සිංහල ජාතිකවාදීන් විරුද්ධ බවයි පේන්නේ?

එහෙමමත් නෙවෙයි. රාජපක්ෂට සහයෝගය දක්වන දැඩි මතධාරීන් ඉන්නේ, එක්කෝ විධායක ජනාධිපති ක‍්‍රමය තියාගන්න. එහෙම නැත්නං, පොඩි වෙනස්කම් විතරක් කරන්න. වර්තමාන ආණ්ඩුවේ සමහර ජාතිකවාදීන් කියන්නේ ජනාධිපති බලතල අඩු කළ යුතුයි කියලයි. ඔවුන් අතරේ පවා වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදිහට, අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්’ සංවිධානය ඔවුන්ගේම වන 19 වැනි සංශෝධනයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකේ 44 (1* (ආ* වගන්තිය අනුව, අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වගේම ආණ්ඩුවේ ප‍්‍රධානියාත් වෙනවා.

19 වැනි සංශෝධන කෙටුම්පත ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?

අපි පසුගිය ජනාධිපතිවරණයේදී සමහර දේවල් සම්බන්ධයෙන් අපේ ඉල්ලීම් සීමා කරගත්තා. රාජපක්ෂ පාලනය පෙරලන්න ආපු හැම පක්ෂයක්ම ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කිරීම වෙනුවෙන් හිටපු පක්ෂ නෙවෙයි. ඒ වගේම, එක අවුරුද්දකදී මහ මැතිවරණ තුනක්- ජනාධිපති, පාර්ලිමේන්තු සහ ජනමත විචාරණයක්- පවත්වන්න පුලූවන්ද කියන ප‍්‍රශ්නයත් අපි ඉදිරියේ තිබුණා. ඒක නිසා අපි එකඟ වුණා, ජනමත විචාරණයක් නැතිව කරගන්න පුලූවන් ටික විතරක් කරගමු කියලා. ඒ වගේම අපි එකඟ වුණා, ජනාධිපතිවරයා තෝරාගන්න ක‍්‍රමය වෙනස් කිරීමත් මේ අවස්ථාවේ නොකර ඉමු කියලා. මොකද, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කරන්න පුලූවන් නිසා.

විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කෙරෙන කෙටුම්පතක් ගේන්න පුලූවන් නං මං කැමතියි. ඒ වගේම, පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල මන්ත‍්‍රීවරුන්ගෙන් සහ පලාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගෙන් සැදුම්ලත් මැතිවරණ සභාවකින් ජනාධිපතිවරයාව තෝරා පත්කරගන්නා ක‍්‍රමයක් තියෙනවා නං තවත් හොඳයි. ඒත් අපි ඇවිල්ලා තියෙන එකඟතාවන් අනුව කටයුතු කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන කොට විවිධ බලවේග විවිධ පැතිවලට අදිනවා. සමහර බලවේග අනිත් බලවේගවලට වඩා ශක්තිමත්. අන්තිමේදී එළියට එන ව්‍යවස්ථාව, මේ විවිධ බලවේගවල සම්ප‍්‍රයුක්තයයි.

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය, 19 වැනි සංශෝධනයෙන් ඉවර වෙන්නේ නැහැ. මාත්, මං වගේ හිතන පතන අනිත් අයත්, මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා. වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හරහා යම් දවසක එය ජනමත විචාරණයකින් තොරවම කරගන්න පුලූවන් වේවි.

*2015 අපේ‍්‍රල් 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට දෙන ලද SC Decision On 19A Clears Way For Ultimate Abolition Sans Referendum: Dr. Jayampathy Wickramaratne නැමැති සම්මුඛ සාකච්ඡුාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page