Colombo Telegraph

පුංචි ඡන්දයේ මූලික අරමුණු යටපත් වේවිද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

2018 පෙබරවාරි 10වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳ උණුසුම ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතින්නේය. පෙබරවාරි පුංචි ඡන්දයේදී, මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප‍්‍රාදේශීය සභා 276ක් වශයෙන් පළාත් පාලන ආයතන 341ක් සඳහා මහජන නියෝජිතයින් 8356 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. මෙවර තෝරා ගැනෙන මුළු සභිකයින් ගණන කලින් වතාවට වඩා දෙගුණයකින් වැඩි වී ඇත්තේය. සභිකයින්ගේ ගණන වැඩි වීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ, කොට්ඨාස මට්ටමින් තෝරා ගැනෙන 60%ක ප‍්‍රමාණයට (5091 දෙනෙකුට) අමතරව, තවත් 40%ක ප‍්‍රමාණයක් සමානුපාතික ක‍්‍රමයට තෝරා ගන්නා නිසාය. මෙයාකාරයට සමානුපාතික ක‍්‍රමයට ද මහජන නියෝජිතයින් තෝරා ගැනීමෙන් සුළු පක්‍ෂවල නියෝජනයට මං පෑදෙන හෙයින්, එය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවට කිසිදු විවාදයක් නැත්තේය. එහෙත්, තවත් පැත්තකින් බලනා විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මේ සා විශාල පළාත් පාලන සභිකයින් ප‍්‍රමාණයක් නඩත්තු කිරීම අප වැනි පුංචි රටකට කොතෙක් දුරට ඔරොත්තු දෙන්නේ ද යන ප‍්‍රශ්නය මතුව එන්නේය. එමෙන්ම, මේ සා විශාල වියදමක් දරමින් නඩත්තු කෙරෙන පළාත් පාලන සභිකයින්ගෙන් අපේක්‍ෂා කෙරෙන මූලික අරමුණු ඉටුවන්නේ ද යන ප‍්‍රශ්නය මතුව එන්නේය.

2018 පෙබරවාරියේ පැවැත්වෙන පුංචි ඡන්දය පැති ගණනාවකින් ම සුවිශේෂී එකක් බවට පත්ව ඇත්තේය. පළමු කොටම, පසුගිය වසර දෙක හමාරක කාලය තුළ පළාත් පාලන ආයතනවල මහජන නියෝජනයක් නොතිබුණු අතර, ඒවා ක‍්‍රියාත්මක වූයේ කොමසාරිස්වරුන්ගේ පාලනය යටතේය. කොට්ඨාසවල සීමා නිර්ණය පිළිබඳ ගැටළු හේතුවෙන් පළාත් පාලන මැතිවරණය විටින් විට කල් දමනු ලැබූවද, එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ජනමතය උරගා බැලීමට ඇති බිය නිසා ඡන්දය කල් දමන බවට විපක්‍ෂයෙන් චෝදනා එල්ල වූයේය. ඒ අනුව බලනා විට, වසර දෙක හමාරක් ගතවී හෝ සියලූ පළාත් පාලන ආයතන සඳහා නව ක‍්‍රමයකට එකම දිනයකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යෙදීම අගය කළයුතු වන්නේය.

එමෙන්ම, පොදුවේ බහුතරයක් දූෂිත යැයි සැලකෙන දේශපාලනඥයන්ගේ පාලනයට වඩා හිතකර තත්ත්වයක්, රජයේ නිලධාරීන්ගේ (කොමසාරිස්වරුන්ගේ) පාලනය යටතේ උදාවනු ඇතැයි බලාපොරොත්තුවක් පැවතියේය. එහෙත්, පළාත් පාලන ආයතන වැඩි හරියක කොමසාරිස්වරුන්ගේ පාලනය සතුටුදායක නොවීය. එෆ්සීඅඩියට හා විගණන විමසුම්වලට බියෙන් සමහර කොමසාරිස්වරුන් (හැම කෙනෙකුම නොවේ!), තීන්දු-තීරණ ගැනීම හිතමතා ම කල් දමන ආකාරයක් දිස්වූයේය. ඒ නිසාම, තමන්ගේ ප‍්‍රාදේශීය සභාවට නගර සභාවට තමන්ගේ නියෝජිතයෙකු පත්කර ගැනීමට කලකට පසුව අවස්ථාවක් ලැබීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවී ඇත්තේය. ඒ අනුව බලනා විට, ඡන්දය පුංචි වුවද, ඒ පිළිබඳ වූ උනන්දුව හා උණුසුම හෙට අනිද්දා වන විට තව තවත් වැඩි වනු ඇත්තේය.

යටකී පරිදි, මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස හා සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයක් හැටියටය. ඒ නිසාවෙන්, මිලියන 15.7ක් වන ලාංකේය ඡන්ද දායකයන්ට මෙවර ඡන්දය නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. මනාප පොරයට හා වෛවර්ණ පෝස්ටර්වලට ඇබ්බැහි වී සිටින සමහර දේශපාලනඥයන්ට නව ඡන්ද ක‍්‍රමයට අනුගතවීම අසීරු විය හැකිය. ඔවුනට මෙවර ඡන්ද ව්‍යාපාරය එතරම් ගතියක් හෝ ජොලියක් නැති එකක් විය හැකිය. අපේක්‍ෂකයාගේ දත් විලිස්සාගත් මුහුණ සහිත පෝස්ටර් කොතෙකුත් ඇලෙව්වද, මෙවරඅදාළ කොට්ඨාසය තුළ පක්‍ෂ අතර තරඟයක් විනා මනාප සටනක් නැත්තේය. කොට්ඨාසය තුළ (පක්‍ෂ භේදයකින් තොරව) තමන් කැමති අපේක්‍ෂකයාටත්, පොදුවේ තමන් කැමති පක්‍ෂයටත් යනුවෙන් ඡන්ද දෙකක් පාවිච්චි කිරීමේ අවස්ථාව ලබා දුන්නේ නම් වඩාත් සුදුසු යැයි ඇතමෙකු තර්ක කරන අතර, එය පුළුල් සංවාදයකට ලක්කළ යුතු කරුණක් බව අපගේ ද අදහසයි. අනෙක් අතට, ඡන්ද පත‍්‍රිකාව ද ඇතුළුව ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදය පමණට වඩා සංකීර්ණ කිරීම සුදුසු නොවන බව ද අමතක නොකළ යුතුය.

මෙවර ඡන්දය පැවැත්වෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමක් යටතේ වීම ද තවත් විශේෂ ලක්‍ෂණයකි. නව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වන්නේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ම වුවද, ඔහු අපක්‍ෂපාතී සෘජු නිලධාරියෙකු බවට පොදු පිළිගැනීමක් ඇත්තේය. ඒ නිසා, පෙබරවාරි පුංචි ඡන්දය සාපේක්‍ෂ වශයෙන් නිදහස් හා සාධාරණ එකක් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය. ඡන්ද පොළේදී ම ඡුන්ද ගණන් කොට ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීම මෙවර ඡන්දයේදී හඳුන්වා දෙන තවත් වැදගත් ලක්‍ෂණයකි. ඡන්දයෙන් තේරී පත්වූ මැම්බර් මහත්තයාගේ නම ඡන්ද පොළේදී ම ප‍්‍රකාශ කිරීම පැරණි ගම්සභා ක‍්‍රමයේ තිබුණු සුන්දර අත්දැකීමක් වන අතර, අද සමහර උදවිය ඊට අකමැත්තක් දක්වන බවක් පෙනෙන්නට ඇත්තේය. එහෙත්, අපගේ අදහස අනුව නම්, මේ හරහා ඡන්ද විමසීමේ විනිවිදභාවය හා විශ්වාසනීයත්‍වය තහවුරු වීමට මං පෑදෙන්නේය. පසුගිය කාලයේ, ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය කරා ඡන්ද පෙට්ටි රැුගෙන යාමේදී සිදුකළ මගඩි අපට නම් තවමත් මතකය.

කෙසේ වුවද, පළාත් පාලන ආයතනවලින් ඉටුවිය යුතු සේවාවන් සහ ඒවාට මහජන නියෝජිතයින් තෝරාගැනීමේ මූලික අරමුණු, අද ඇතමුන්ට (විශේෂයෙන් දේශපාලන පක්‍ෂ නායකයන්ට) අමතක වී ඇති බවක් පෙනෙන්නේය. අප රටේ රාජ්‍ය පාලනය මේ වන විට මට්ටම් තුනකින් ක‍්‍රියාත්මක වන්නේය. මධ්‍යම ආණ්ඩුව, පළාත් ආණ්ඩු (පළාත් සභා) සහ පළාත් පාලන ආයතන යනු ඒ පාලන ත‍්‍රිත්වයයි. ඒ අතුරින් ජනතාවට වඩාත් සමීප ආයතන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. ජනතාව එදිනෙදා ජීවිතයේ මුහුණපාන ගැටළුවලට විසඳුම් සැපයිය යුත්තේ පළාත් පාලන ආයතනයි. මහජන සෞඛ්‍යය සුරක්‍ෂිත කිරීම, ප‍්‍රදේශයේ කසළ කළමනාකරණය ඇතුළුව පරිසරය ආරක්‍ෂා කිරීම, නව ඉදිකිරීම් පාලනය, වීදි ලාම්පු ඇතුළුව ප‍්‍රදේශයේ මංමාවත් නඩත්තු කිරීම යනාදී වශයෙන් පළාත් පාලන ආයතනවලින් අපේක්‍ෂා කෙරෙන සේවාවන් රාශියක් ඇත්තේය. මෙකී කාර්යයන් ඉටුකිරීම සඳහා, පළාත් පාලන ආයතනවලට විවිධ ආදායම් මාර්ග ඇත්තේය. ප‍්‍රදේශයේ ජනතාව විසින් ගෙවන වරිපනම් බදු, ව්‍යාපාරවලින් අයකෙරෙන බදු, සභාවට අයත් ගොඩනැගිලි කුලියට දීමෙන් ලැබෙන ආදායම, මධ්‍යම රජයෙන් සහ පළාත් සභාවෙන් ලැබෙන අරමුදල් යනාදී වශයෙන් පළාත් පාලන ආයතනවලට විවිධ ආදායම් මාර්ග ඇත්තේය.

එහෙත්, මහජන නියෝජිතයින් විසින් එම අරමුදල් භාවිත කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිය. එම අරමුදල් පොදු ජනතාවගේ සුබසෙත උදෙසා නිසි ලෙස භාවිත කරන්නේද යන්න පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිය. පළාත් පාලන ආයතනවල සිටි මහජන නියෝජිතයින් වැඩි දෙනෙකු (හැම කෙනෙකු ම නොවේ), වංචාවට-දූෂණයට ඇබ්බැහි වී ඇති බව පසුගිය කාලයේ කොතෙකුත් අසන්නට ලැබුණේය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප‍්‍රාදේශීය සභා මනත‍්‍රීවරුන් පිළිබඳව, ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සභාපතිවරුන් පිළිබඳව පසුගිය කාලයේ කොතෙකුත් අසන්නට ලැබුණේය. විදේශික කාන්තාවන් ද ඇතුළුව ස්ත‍්‍රීන් ලිංගික අපරාධයන්ට ගොදුරුකොට ඒ පිළිබඳ පම්පෝරි ගසමින් සාද පැවැත්වූ ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් පිළිබඳව ද පසුගිය කාලයේ අසන්නට ලැබුණේය. එවැනි පුද්ගලයින් ප‍්‍රාදේශීය සභාවලින්, නගර සභාවලින් අතුගා දැමීමට දැන් ජනතාවට අවස්ථාවක් උදාවී ඇත්තේය. පෙබරවාරි 10 වැනිදා ඡන්ද පොළට යන ජනතාව මෙම කරුණු මතකයේ තබා ගත යුතුය. පළාත් පාලන ආයතනවලින් ඉටුවිය යුතු සේවාවන් හරිහැටි ඉටුකිරීමට හැකියාවක් හා කැපවීමක් ඇති උදවිය තෝරා ගැනීමට පෙබරවාරි 10 වැනිදා ඡන්ද පොළට යන ජනතාව වගබලා ගත යුතුය. නැතිනම්, පුංචි ජන්දයේ මූලික අරමුණු ඉටුනොවීමට ඉඩ ඇත්තේය.

කෙසේ වුවද, පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කෙරෙහි දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශේෂ අවධානයක් දැනටමත් යොමුව ඇත්තේය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව රට පුරා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, මෛත‍්‍රී-රනිල් හවුල් ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය උරගා බැලෙන ජනමත විමසුමක් බවට පත්ව ඇත්තේය. ශ්‍රීලනිප ජනාධිපතිවරයාගේ හා එජාප අගමැතිවරයාගේ ජනප‍්‍රියතාවය එකවර මැනෙන ජනමත විමසුමක් බවට පත්ව ඇත්තේය. එමෙන්ම, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය තුළ සිය නායකත්වය කොතෙක් දුරට තහවුරු කරගෙන තිබේද, ඒ හරහා රට තුළ ජනප‍්‍රසාදය කොතෙක් දුරට දිනාගෙන තිබේද යන්න විමසා බැලෙන ඡුන්ද විමසීමක් බවට පෙබරවාරි පුංචි ඡන්දය පත්ව ඇත්තේය. එපමණක් නොව, පොහොට්ටුවේ ඡන්ද සටන මෙහෙයවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ද මෙම මැතිවරණය අතිශය තීරණාත්මකය. පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැුස්වීම්වලට සහභාගී වූ විශාල පිරිස් ඒ ආකාරයෙන් ම පොහාට්ටුවට ඡන්දය දේවිදැයි පෙබරවාරි 10 වැනිදා බලාගත හැකිය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පුන පුනා පවසන පරිදි, ග‍්‍රාමීය ජනතාව අතර අදටත් ජනප‍්‍රියතම නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ම දැයි පෙබරවාරි 10 වැනිදා බලාගත හැකිය. පක්‍ෂ අභ්‍යන්තරයේ විවිධ ගැටළු රැුසකට මුුහුණ දී සිටින දෙමළ ජාතික සන්ධානයට ද මෙවර පුංචි ඡන්දය වැදගත් එකක් වී ඇත. ගමේ බලය අපට දෙන්නයි ආයාචනා ජවිපෙට ද, අනෙක් පක්‍ෂ තරමට ම පෙබරවාරි පුංචි ඡන්දය තීරණාත්මකය.

මෙවන් පසුබිමක් තුළ, පුංචි ඡන්දය ජයගැනීමට හැම පක්‍ෂයක් ම හැකි සෑම ශක්තියක් ම යොදවනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. එහෙත්, මෙයාකාරයට, පළාත් පාලන මැතිවරණය මහා මැතිවරණයක තත්ත්වයට පත්කර ගැනීමෙන්, පුංචි ඡන්දයේ මූලික අරමුණු යටපත් වේවිදැයි අපට නම් බියක් ඇත්තේය. අනෙක් අතට, දේශපාලන නායකයන් මොන මොන කතා කීවද, අපට අවශ්‍ය අපට ගැලපෙන සභිකයන් තෝරා ගැනීමේ අයිතිය හා හැකියාව ඇත්තේ ඡන්දදායකන් වන අපටය. පළාත් පාලන ආයතනවලින් අපේක්‍ෂා කෙරෙන මූලික අරමුණු ඉටුකර ගැනීමට සදුසු පුද්ගලයින් තෝරා ගැනීමේ හැකියාව ඇත්තේ ඡන්දදායකන් වන අපටය.

Back to Home page