Colombo Telegraph

විසිපන්දාහේ දඩ කොළයෙන් මහාමාර්ග සුරක්‍ෂිත වේවිද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී පැනවෙන දඩ මුදල ඉහළ නැංවීමට රජය තීරණය කිරීමෙන් පසුව ඇති වූ ආන්දෝලනාත්මක කතිකාව තවම අවසන් වී නැත. එම තීරණයට විරෝධය පළකරමින් පෞද්ගලික බස් සංගම් සහ ත‍්‍රීරෝද රථ රියැදුරු සංගම් විසින් පසුගිය දෙසැම්බර් 2වැනි සිකුරාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරනා ලද අතර, ඒ ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා විශේෂ කමිටුවක් ද පත්කළේය. සියලූ රථවාහන වැරදි සඳහා නව දඩ මුදල් ලේඛනයක් සකස් කොට එය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා තෙක් පැරණි දඩ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්‍වයෙන් යුත් එම කමිටුව නිර්දේශ කොට ඇති බවක් පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණේය. දැනට පවතින දඩ කොළය ඉතා පැරණි බැවින් එහි සඳහන්ව ඇති දඩ මුදල් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කළ යුතු බවටත්, ඊට සමගාමීව මෝටර් රථ ආඥපනත ද සංශෝධනය විය යුතු බවටත් එම කමිටුව නිර්දේශ කොට ඇත්තේය. ඒ සඳහා අඩුම තරමින් තව මාස තුනක පමණ කාලයක් ගතවනු ඇතැයි අනුමාන කෙරේ. ඒ අතර ම, තෝරාගත් මාර්ග නීති කඩකිරීම් 7ක් සඳහා දඩ මුදල රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණයේ වෙනසක් නැති බව ද දැනගන්නට ඇත.

මෙයාකාරයට, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැනවෙන දඩ මුදල් විශාල ලෙස ඉහළ යාම ගැන ලාංකේය සමාජය තුළ විවිධ මත පළවන අතර, ඒ තුළ පැහැදිලි බෙදීමක් දක්නට ලැබෙන්නේය. මේ සා විශාල ගුණයකින් දඩ මුදල ඉහළ දැමීමට විරුද්ධවන්නන් අතර පෞද්ගලික බස් රථ රියැදුරෝ සහ ත‍්‍රීරෝද රථ රියැදුරෝ පෙරමුණ ගෙන සිටිති. යම් හෙයකින් රුපියල් 25,000ක දඩයක් ගෙවීමට සිදුවුවහොත් තමන්ගේ මාසික ආදායම ම ඒ සඳහා කැපකිරීමට සිදුවන බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස තම රැුකියා අහිමිවීමට පවා ඉඩ ඇති බවත් ඔවුහු පවසති. ත‍්‍රීවීලර් හිමිකරුවන් හා රියැදුරන් තවදුරටත් පවසන්නේ යෝජිත නව නීති හරහා ත‍්‍රීරෝද රථ කර්මාන්තය මුළුමනින් ම බිඳවැටීමේ තර්ජනයක් මතු වන බවයි. එපමණක් නොව, රථවාහන පොලීසියේ සමහර නිලධාරීන්ගේ (සියල්ලන්ගේ ම නොවේ!) දූෂිත ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙම නීති හරිහැටි ක‍්‍රියාත්මක වේ දැයි සැක සහිත බව තවත් පිරිසක් පවසති. කිසියම් වරදක් සිදුවූ විට, “සමහර ට‍්‍රැෆික් රාළහාමිලාට පොඩි ගාණක් දී ෂේප් කරගැනීමේ” සිරිතක් අදටත් බොහෝ රියැදුරන් අතර පවතින අතර, මෙලෙස දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවන්නේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ අමතර ආදායම වැඩිවීම පමණකැයි ඔවුහු අවධාරණය කරති.

අනෙක් පැත්තෙන්, මාර්ග නීති කඩන රියැදුරන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු යැයි තරයේ පවසන උදවිය පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ රට පුරා ම රථවාහන වැරදි හා රිය අනතුරු සීඝ‍්‍රයෙන් වැඩි වී ඇති බවයි. පසුගිය 2015 වසර තුළ පමණක් දිවයින පුරා රිය අනතුරු 40,000කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී තිබෙනාතර, ඉන් 2799 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ. ටිකක් පැරණි සංඛ්‍යා ලේඛන සැලකිල්ලට ගතහොත්, 2000 වසරේදී රිය අනතුරුවලින් මිය ගිය ගණන 1992ක් වූ අතර, 2005දී එම සංඛ්‍යාව 2141ක් වූ බව වාර්තා වන්නේය. පසුගිය දශකයක කාලය තුළ, රිය අනතුරුවලින් 23,000ක පිරිසක් මිය ගොස්, 50,000කට වැඩි පිරිසක් බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේය. පසුගිය කාලය තුළ දිවයින පුරා රිය අනතුරු මෙන්ම ඒවායින් සිදුවන හානිය ද සීඝ‍්‍රයෙන් වැඩි වී ඇති බව මෙම දත්තවලින් තහවුරු වන්නේය. වෙනත් වචනවලින් කියතොත්, මේ වන විට අප රටේ මහාමර්ග අතිශය අනතුරුදායක, ‘මනුෂ්‍ය ඝාතක පිටියක්’ බවට පත්ව ඇත්තේය.

ඒ නිසා ම මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට නිසි ක‍්‍රියාමාර්ග ගැනීම රජයේ හදිසි වගකීමක් වන්නේය. රථවාහන වැරදිවලට නියම කෙරෙන දඩ මුදල් වැඩි කිරීමට රජය ගත් තීරණය සාධනීය පියවරක් ලෙස සැලකිය හැක්කේ මෙම පසුබිම තුළය. මෙහිලා දඩ මුදල රුපියල් 25,000ක් දක්වා වැඩි කෙරෙන්නේ තෝරාගත් වැරදි හතක් සඳහා පමණක් බව ද අමතක නොකළ යුතුය. බීමතින් රිය පැදවීම, වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම, රක්‍ෂණ ආවරණයක් නොමැතිව ධාවනය කිරීම, අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම, දුම්රිය ගේට්ටු හරහා අපරික්‍ෂාකාරීව රිය පැදවීම, රියැදුරු බලපත‍්‍රයක් නොමැති අයෙකුට වාහනය ධාවනය කිරීමට ලබාදීම යන වැරදි ඒ අතර වන්නේය. වමෙන් ඉස්සර කිරීම එතරම් ම බරපතළ වරදක් නොවේ යැයි ඇතමෙකු තර්ක කළද, පොදුවේ ගත් කළ මෙබඳු වැරදිවලට 25,000ක දඩයක් පැනවීම අසාධාරණ යැයි තර්ක කීරීම සාධාරණ නොවන්නේය.

එහෙත් මෙහිලා මතුවන ප‍්‍රශ්නය වන්නේ මෙයාකාරයට දඩ මුදල් වැඩි කිරීමේ මුඛ්‍ය පරමාර්ථය රිය අනතුරු අඩු කොට මහාමාර්ග වඩා ආරක්‍ෂිත ස්ථානයක් බවට පත්කිරීම ද, නැතිනම් රජයේ අයවැය හිඟය පියවා ගැනීම ද යන්නයි. එහෙත්, මුදල් අමාත්‍යවරයාත් ප‍්‍රවාහන අමාත්‍යවරයාත් කිහිප වරක් ම අවධාරණය කොට තිබුණේ දඩ මුදල් වැඩි කරන්නේ රජයේ ආදායම වැඩි කරගැනීමට නොව ජනතාවගේ යහපත සඳහා බවයි. මහාමාර්ග අනතුරු අඩු කරගැනීමේ අරමුණින් බවයි. එය සත්‍යයයක් නම්, යෝජිත දඩ මුදල් සංශෝධනය 2017 අයවැය යෝජනා හරහා ම ඉදිරිපත් වූයේ මන්ද යන ප‍්‍රශ්නය මතුවන්නේය. (ඇත්තෙන්ම අයවැයෙන් යෝජනා කෙරුණේ රුපියල් 20ක අවම දඩය 2500 දක්වා වැඩි කිරීමටය.)

එපමණක් නොව, ඉහත කී පරිදි, අප රටේ රථවාහන පොලීසියේ සමහර නිලධාරීන්ට (සියල්ලන්ට ම නොවේ!) එරෙහිව පවතින චෝදනා හමුවේ, මෙලෙස දඩ මුදල් වැඩි කළ පසුව නීතිය හරිහැටි ක‍්‍රියාත්මක වේවිද යන සැකය ද මතුවන්නේය. මේ සම්බන්ධයෙන් දැනට දියත් වී ඇති සංවාදයේදී රජයේ පාර්ශ්වයෙන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, නෝර්වේ, ස්වීඩනය වැනි ස්කැන්ඩිනේවියානු රටවල මහාමාර්ග ඉතා ආරක්‍ෂාකාරී ස්ථාන බවට පත්ව ඇත්තේ එම රටවල මාර්ග නීති හා දඬුවම් තදින් ක‍්‍රියාත්මක වන නිසා බවයි. එය ඇත්තකි. ඒ රටවල වෙසෙන අපේ හිතමිතුරෝ ද මෙම කරුණ සත්‍යයයක් බව එකහෙළා ම තහවුරු කරති. එනමුදු, මෙහිදී අප අමතක කරන තවත් වැදගත් කරුණක් වන්නේ, එම රටවල පොලිස් නිලධාරීන් ද විනයගරුක බවයි. එම රටවල පොලිස් නිලධාරීන් නීතිය අකුරට ම පිළිපදින බවයි. නීතිය හරියට ම ආරක්‍ෂා කරන බවයි. එහෙත් අප රටේ තත්ත්වය ඊට වඩා වෙනස්ය.

සාමාන්‍යයෙන් අප රටේ වාහනයකින් කිසියම් ගමනක් යන විට ඉදිරියෙන් පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටී නම්, ඒ බව දැන්වීම සඳහා අනෙක් පසින් එන වාහන ඉදිරිපස ලාම්පු දෙතුන් වතාවක් දල්වා සංඥවක් නිකුත් කිරීමේ (සිග්නල් එකක් දීමේ* සිරිතක් පවතින්නේය. එය දඬුවම් ලැබිය හැකි වරදක් වුවද, අදටත් බොහෝ දෙනා එවැනි සංඥ ලබා දෙන්නේ සමහර පොලිස් නිලධාරීන් රාජකාරී කරනා ආකාරය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති නිසාය. වරක් අප හිතවත් රියැදුරු මහත්මයෙක් මේ ගැන අපූරු ප‍්‍රශ්නයක් ඇසුවේය: “ඉස්සරහ ට‍්‍රැෆික් පොලීසියෙන් ඉන්න කොට ඒ ගැන කියන්න ලයිට් දාල සිග්නල් එකක් දෙන එක ලෝකෙ අනිත් රටවලත් සිද්ද වෙන දෙයක් ද?”. අප හිතවත් රියැදුරාගේ ප‍්‍රශ්නය ඉදිරියේ අපි සැබෑවට ම නිරුත්තර වීමු. අප දන්නා තරමින් ලෝකයේ අනෙක් රටවල මෙවන් සිග්නල් එකක් දීමේ සිරිතක් නැත්තේය. ලෝකයේ අනෙක් රටවල මෙවන් සිග්නල් එකක අවශ්‍යතාවයක් ද නැත්තේය. අප දන්නා තරමින් ලෝකයේ අනෙක් රටවල පොලිස් නිලධාරීන් මහාමාර්ගවල රාජකාරියේ නිරතව සිටිනා විට, “පොලිස් නිරීක්‍ෂණ කණ්ඩායම් ඉදිරියෙන්, ප‍්‍රවේශමෙන් රිය පදවන්න” වැනි අවවාදාත්මක ඩිජිටල් දැන්වීම් පුවරු ක‍්‍රියාත්මක වන්නේය. එවිට වේගය අඩු කොට ආරක්‍ෂිත ලෙස වාහනය ධාවනය කිරීමට රියැදුරා නිතැතින් ම පෙළඹෙන්නේය. සීසීටීවී කැමරා සවිකොට ඇති තැන්වල ද එලෙසින් ම අවවාදාත්මක ඩිජිටල් දැන්වීම් පුවරු ක‍්‍රියාත්මක වන්නේය. ලෝකයේ අනෙක් රටවල පොලීසිය රාජකාරි කරන්නේත් සීසීටීවී කැමරා සවිකරන්නේත් අනතුරු බහුල ස්ථානවලය. ඒ රටවල බලධාරීන්ගේ ප‍්‍රධාන අරමුණ මාර්ග අනතුරු අවම කරගැනීම විනා වැඩිපුර දඩ කොළ ලියා හම්බ කරගැනීම නොවේ. වැඩිපුර නඩු පවරා හම්බ කරගැනීම නොවේ. එහෙත් අප රටේ තත්ත්වය ඊට වඩා වෙනස්ය.

අප රටේ රථවාහන පොලීසියේ නිලධාරීන් සාමාන්‍යයෙන් රාජකාරි කරන්නේ කුඩා ළමුන් හැංගිමුත්තන් සෙල්ලම් කරනා ආකාරයට ය. ඔවුහු කොහේ හෝ හැංගී සිට එක්වර ම විසිල් ගසමින් පාරට පනිති. මොවුන් වැඩි දෙනෙකුගේ ප‍්‍රධාන අරමුණ හැකිතාක් දඩ කොළ ලිවීම විනා රිය අනතුරු අඩු කරගැනීම නොවේ. පොලීසියේ ඉහළ තැන්වලින් ම පහළ නිලධාරීන්ට ලබාදෙන ඉලක්ක ද හාස්‍ය උපදවන ඒවාය. එනම්, දිනකට හෝ සතියකට ලිවිය යුතු දඩ කොළ ගණන හෝ පැවරිය යුතු නඩු ගණන රථවාහන පොලීසියේ නිලධාරීන්ට ඉලක්ක ලෙස ලබාදීම හාස්‍යජනකය. අපගේ අදහස අනුව නම්, රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ ඉලක්කය විය යුත්තේ (දිනකට හෝ සතියකට) සිදුවන රිය අනතුරු අඩු කරගැනීම ය. එමෙන්ම, ප‍්‍රධාන නගර තදාසන්නයේ පවතින මාර්ග තදබදය අඩු කරගැනීම ය. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෑතකදී පෙන්වා දී තිබුණු පරිදි, මාර්ග තදබදය නිසා දිනකට රටට අහිමි වන මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියනයක් පමණ වන්නේය. මාර්ග තදබදය නිසා නිකරුණේ නාස්ති වන මිනිස් ශ‍්‍රම පැය ගණන ද සැලකිල්ලට ගතහොත්, රටට අහිමි වන මුදල ඊටත් වඩා වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් පැයකින් යා හැකි ගමනකට පැය දෙක තුනක් ගතවන්නේ මෙම අනිසි මාර්ග තදබදය නිසාය. මාර්ග නීති කඩකිරීමටත්, විශේෂයෙන් වමෙන් ඉස්සර කිරීමටත් සමහර රියැදුරන් පෙළඹෙන්නේ අප රටේ බොහෝ මාර්ගවල දක්නට ලැබෙන දරාගත නොහැකි වාහන තදබදය නිසා බව ද අමතක නොකළ යුතුය. (මොනම හේතුවක් නිසා හෝ මාර්ග නීති උල්ලංඝනය කිරීම සාධාරණීකරණය කළ හැකි බවක් මින් අදහස් නොකෙරෙන බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.)

මේ අනුව බලනා විට, දිවයිනේ මහාමාර්ගවල සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට හුදෙක් දඩ මුදල් වැඩි කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලිය. ඒ සඳහා සපුරාලිය යුතු මූලික ම කොන්දේසිය රියැදුරන්ගේ විනය හා නීතිගරුක බව නැංවීම බවට කිසිදු විවාදයක් නැත්තේය. විශේෂයෙන්, සමහර පෞද්ගලික බස් රථ හා ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ මෙන්ම ඇතැම් යතුරුපැදිකරුවන්ගේ ද විනය අතිශය කනගාටුදායක ය. ඒ අතර ම, යටකී පරිදි, සැමට ම මහත් කරච්චලයක් වී ඇති මාර්ග තදබදය අඩු කළ හැක්කේ කෙසේ දැයි සොයා බැලීම ද අවශ්‍යය ය. තවද, ඉහත පුන පුනා අවධාරණය කොට ඇති පරිදි, රියැදුරන්ගේ විනය නැංවීමට සමගාමීව රථවාහන පොලිස් නිලධාරීන්ගේ විනය නැංවීම ද සිදුවිය යුතුම ය. සාමාන්‍යයෙන් අප රටේ කිසියම් ගැටළුවකට විසඳුම් සෙවීමේදී බලධාරීන් බොහෝ විට කරන්නේ, එම ප‍්‍රශ්නයේ එක් පැත්තකින්, නැතිනම් එක් කොණකින් පමණක් අල්ලා ගැනීමය. ප‍්‍රශ්නයේ සමස්තය දෙස බලා විසඳුම් සෙවීමේ පුරුද්දක් අපේ බලධාරීන් සතුව නැත්තේය. මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී පැනවෙන දඩ මුදල 25,000 දක්වා ඉහළ නැංවීමෙන් පමණක් මහාමාර්ග ආරක්‍ෂිත සථාන බවට පත්කළ නොහැකි යැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය.

Back to Home page