Colombo Telegraph

ජාතිවාදය අවුළුවන උදවිය පැරදවීමේ අවශ්‍යතාවය

ජයන්ත ලාල් රත්නසේකර –

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පසුගිය ජනවාරි 8 වැනිදා අප රට තුළ සිදුවූ වෙනස (නැතහොත් පරිවර්තනය) නිහඬ සමාජ විප්ලවයක් ලෙස ඇතමුන් විසින් හඳුන්වනු ලබන අතර, ඔවුනතරින් පිරිසක් මෙම ක‍්‍රියාදාමය 18 වැනි සියවසේ ප‍්‍රංශයේ සිදුවූ ඓතිහාසික විප්ලවයට සමාන කරන්නට ද ඉදිරිපත් වෙති. සැබැවින්ම ජනවාරි 8 වැනිදා සිදුවූයේ, මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ ඥති-හිතමිත‍්‍රාදීන්ගේ පූර්ණ ආධිපත්‍යයට නතුව තිබුණු ලාංකේය සමාජය ඒ දරුණු පීඩනයෙන් මුදවා ගැනීමක් බැවින්, මෙය සමාජ විප්ලවයක් ලෙසින් හැඳින්වීම නිවැරදි බව අපගේ ද අදහස වන්නේය.

1870 නොවැම්බර් 21 වැනිදා එවකට රුසියානු සාර් පාලනයට යටත්ව තිබුණු ලිතුවේනියාවේ උපත ලබා, අවුරුදු 18 දී (1988 දී) ඇමෙරිකාවට සංක‍්‍රමණය වූ, විසිවැනි සියවසේ ප‍්‍රකට දේශපාලන දාර්ශනිකයෙකු හා ලේඛකයෙකු ලෙස ගැනෙන ඇලෙක්සැන්ඩර් බර්ක්මන් විසින් සමාජ විප්ලවය යන්නට පැහැදිලි අර්ථකතනයක් සපයා ඇත්තේය. බර්ක්මන්ට අනුව, කිසියම් සමාජයක කාර්මික හා ආර්ථික ජීවන රටාව මුළුමනින්ම ප‍්‍රතිසංවිධානයට ලක්වීම, සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මුළු සමාජයම ප‍්‍රතිව්‍යුහකරණයට ලක්වීමේ ක‍්‍රියාදාමය සමාජ විප්ලවයක් ලෙස හඳුන්වනු ලබන්නේය. මාක්ස්-ලෙනින්වාදයේ එන පංති අරගලය පදනම් කරගත් දේශපාලන විප්ලවයකට වඩා නිහඬ සමාජ විප්ලවයක හැඩරුව වෙනස් වන අතර, සරලව ගත් කළ, කිසියම් සමාජයක පුළුල් පරිවර්තනයකට තුඩුදෙන කවර වූ ක‍්‍රියාදාමයක් වුවද සමාජ විප්ලවයක් ලෙස හැඳින්වීමට පුළුවන. ඒ අනුුව බලනා විට, පසුගිය වසරක පමණ කාලය තුළ මෙරට සිදුවෙමින් පවතින්නේ සැබෑ සමාජ විප්ලවයක් ම වන්නේය. (මෙම විප්ලවය ඇරඹෙන්නේ, මෛත‍්‍රීපාල සිරිසේන මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා බවට ප‍්‍රකාශයට පත්කෙරුණු 2014 නොවැම්බර් 21 වැනිදා නොව, ඊට බොහෝ පෙරාතුව සිට බව අමතක නොකළ යුතුය.) මෙකී විප්ලවීය ක‍්‍රියාදාමය හරහා, පසුගිය ජනවාරි 8 වැනිදා ලාංකේය සමාජය ලැබූ ජයග‍්‍රහණය ආපසු හැරවීමට ඇතැම් කොටස් උත්සාහ දරමින් සිටින අතර, ලබන අගෝස්තු 17 වැනිදා මේ සම්බන්ධයෙන් තවත් කඩඉමක් පසුකිරීමට නියමිතය.

2015 ජනවාරි නිහඬ විප්ලවය ගැන කතාබහ කරන බොහෝ උදවියට අමතක වන සුවිශේෂී ලක්‍ෂණයක් ඒ තුළ අඩංගුව තිබුණේය. එනම්, ජාති-ආගම්-කුල භේදවලින් තොරව, ලාංකේය ජනතාවගෙන් බහුතරයක් (ලක්‍ෂ 62කට වැඩි පිරිසක්) මෙම නිහඬ විප්ලවය ජයග‍්‍රහණය කිරීමට දායකත්‍වය සැපයූයේය යන කාරණයයි. මෙම ජයග‍්‍රහණය සිංහල-දමිල-මුස්ලිම්-බර්ගර් යනාදී වශයෙන් වර්ගීකරණය කළ නොහැකිය යන කාරණයයි. ජනවාරි 8 වැනිදා පැවති ඡුන්ද විමසීමේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට ඔසවා තබනු ලැබුවේ සිංහල-දමිල-මුස්ලිම්-බර්ගර් සියලූ දෙනාගේ සුසංයෝගයක් හරහාය. 1982න් පසුව ජාතික මැතිවරණයකදී, මැතිවරණ වේදිකාව මත වාර්ගික ගැටළුව සාකච්ඡුාවට බඳුන් නොවූ පළමු අවස්ථාව මෙය වූයේය. තම තමන්ගේ වාර්ගික අවශ්‍යතා පසෙක ලා, සිංහල-දෙමළ-මුස්ලිම් භේදයකින් තොරව, යහපාලනය උදෙසා බහුතර ලාංකේය ජනතාවක් අත්වැල් බැඳගත්හ. යම් හෙයකින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුවහොත්, රටේ ඒකීයභාවයට හා ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් ඇතිවන බවට මැතිවරණ වේදිකාවලින් අඳෝනා නැගෙද්දී, දමිල-මුස්ලිම් උදවිය පමණක් නොව සිංහල බෞද්ධ ජනතාව ද ඒ බොරු සටන්පාඨවලට නොරැුවටුණහ. ජනවාරි 8 වැනිදා පැවති ඡුන්ද විමසීමේදී, 6,217,162ක පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කරනු ලැබුවේ රට තුළ යහපාලනයක් ඇති කිරීමට මෙන්ම, දශක තුනක ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයෙන් බැටකෑ සමාජය සුවපත් කොට ජාතික සංහිඳියාව යළි ගොඩනැගීම සඳහාය. අපගේ අදහස අනුව, මෙම තත්ත්වය 2015 ජනවාරි නිහඬ විප්ලවය තුළ අඩංගු වූ සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේය.

එහෙත්, ජාතික සමගිය-වාර්ගික සංහිඳියාව වර්ධනය කිරීම සඳහා, ජනවාරි 8 ජයග‍්‍රහණය තුළින් විවර වූ පුුළුල් අවකාශයෙන් නිසි ප‍්‍රයෝජන ලබාගත්තේ ද යන විචිකිච්චාව අප තුළ ඇත්තේය. යහපාලනයක් කරා වූ ගමනට අත්‍යවශ්‍ය සාධක සපුරා ගැනීමේ අටියෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියට ප‍්‍රමුඛතාවය හිමිවීමෙන්, ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක‍්‍රියාදාමය ගැන කතිකාව යටපත් වීම පිළිබඳව අප තුළ කනගාටුවක් ඇත්තේය. එසේ වුවද, මාස පහහමාරක මෛත‍්‍රී-රනිල් පාලනය තුළ මේ අංශයෙන් ද සාධනීය යමක් සිදු නොවුනාම නොවේ. පළමුකොටම, ජාතික සංහිඳියාව යළි ගොඩනැගීම සඳහා නව රජය පියවර ගන්නා බව පිටරවලට ඒත්තු ගැන්වීමට හැකිවීම, මෛත‍්‍රී-රනිල් පාලනය ලැබූ වැදගත් ජයග‍්‍රහණයකි. මේ හේතුවෙන්, අසල්වැසි ඉන්දියාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් අප රට දෙස සුබවාදීව බලන්නට පටන් ගෙන ඇත්තේය. පසුගිය මාර්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව, ලබන සැප්තැම්බරය දක්වා කල්දමා ගැනීමට හැකිවීම ද මෛත‍්‍රී-රනිල් රජය ලැබූ වැදගත් ජයග‍්‍රහණයකි. එමතුද නොව, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පසුගියදා ඇමරිකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී, දමිල ජාතික සංහාරය පිළිබඳ කයිවාරුව නවත්වා උතුරු පළාත සංවර්ධනය කිරීමට මධ්‍යම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනා ලෙස, ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කොට තිබුණේය.

මීට අමතරව, දමිල ඩයස්පෝරා සාමාජිකයන් සමඟ සංවාදයකට මුල පිරීම ද මෛත‍්‍රී-රනිල් පාලනය විසින් ගනු ලැබූ සාධනීය පියවරක් වන්නේය. මෙහිදී, දමිල ඩයස්පෝරාව යනු තනිකරම එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගෙන් සහ ඔවුන්ගේ හිතවාදීන්ගෙන් පිරුණු එකක්ය යන මිත්‍යාව ලාංකේය සමාජයට කාවද්දා ඇති පසුබිමක් තුළ, ඩයස්පෝරා සාමාජිකයන් සමඟ සාකච්ඡුා කිරීම මෑත කාලයේ සිදුකරනු ලැබූ බරපතල පාවාදීමක් ලෙස උලූප්්පාලීමට ඇතමෙක් වෙර දරති. ඒ නිසාම, ඩයස්පෝරාව යන වචනයේ සැබෑ අර්ථය වටහා ගැනීම අප කාහටත් ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. ඩයස්පෝරාව යනු ග‍්‍රීක භාෂාවෙන් බිඳී ආ වදනක් වන අතර, එහි තේරුම විසිරීම, නැතිනම් පැතිරීම යන්නයි. දේශපාලන සහ සමාජ විද්‍යා ව්‍යවහාරයන්ට අනුව, වාර්ගික වශයෙන් සමාන වූ මූලයකින් පැවත එන ජන කොට්ඨාසයක් භූගෝලීය වශයෙන් ප‍්‍රදේශ (රටවල්) ගණනාවක විසිර සිටිනා විට, එම කණ්ඩායම්වල එකතුව හැඳින්වීමට ඩයස්පෝරාව යන වදන භාවිත කෙරෙන්නේය. ඒ අනුව, විවිධ ඓතිහාසික සිදුවීම් නිසා මෙන්ම පෞද්ගලික හේතූූන් නිිසා ද මව්බිම හැරදමා වෙනත් රටවල පදිංචියට ගිය උදවිය ඩයස්පෝරා සාමාජිකයෝ වෙති.

දශක තුනක් තිස්සේ, දරුණු පිළිකාවක් ලෙසින් මුළු දිවයිනම ගිලගෙන තිබුණු ම්ලේච්ඡු යුද්ධය හමුවේ දමිල ජාතිකයන් විශාල පිරිසක් පිටරටවල පදිංචියට ගිය අතර, වර්තමාන දමිල ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් බහුතරයක් මොවුහුය. කොටි ත‍්‍රස්තවාදයට පණ පොවා තමිල් ඊලම සැබෑවක් කරගැනීමට සිිහින දකින විශාල පිරිසක් දමිල ඩයස්පෝරා සාමාජිකයන් අතර සිටිනා බව ඇත්තක් වුවද, මොවුන් සියලූ දෙනාම එල්ටීටීඊ හිතවාදීන් නොවන බව වටහා ගැනීම වැදගත් වන්නේය. සෑම දමිලයෙක්ම කොටි ත‍්‍රස්තවාදියෙකු නොවන්නා සේම සෑම ඩයස්පෝරා සාමාජිකයෙක් ම කොටි හිතවාදියෙකු නොවන බව වටහා ගැනීම වැදගත් වන්නේය. සිංහල ඩයස්පෝරා සාමාජිකයන් පරිදිම, මේ කුඩා දිවයිනට අවංකව ආදරය කරන විශාල පිරිසක් දමිල ඩයස්පෝරාව තුළ ද සිටිනා බව වටහා ගැනීම වැදගත් වන්නේය. බිඳුණු දේශය යළි ගොඩනගන්නට ඔවුන්ගේ සක‍්‍රීය දායකත්‍වය ලබාගැනීමේ කිසිදු වරදක් නැත්තා සේම, ඒ සඳහා ලාංකේය රජය ඔවුන් සමඟ සංවාදයකට මුල පිරීමේ ද කිසිදු වරදක් නැත්තේය. එය රටේ උන්නතිය උදෙසා ගනු ලබන සාධනීය පියවරක් විනා, කිසි ලෙසකින්වත් රටත් ජාතියත් පාවාදීමක් නොවන්නේය.

කෙසේ වුවද, මෙවර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ යළිත් වතාවක් ජාතිවාදය අවුලවා ඡුන්ද කඩා ගන්නට සමහර අපේක්‍ෂකයෝ උත්සාහ දරති. විශේෂයෙන්, පසුගිය කාලය පුුරාම ජාතිවාදය අවුළුවමින්, ඒ මත පදනම්ව සිය දේශපාලන දිවිය පවත්වා ගෙන ගිය සිංහල-දමිල-මුස්ලිම් දේශපාලනඥයන් බොහෝ දෙනෙකු මෙවර ද ඡුන්ද සටනට ඉදිරිපත්ව සිටිනා හෙයින්, මෙම තත්ත්වය දරුණු වී ඇත්තේය. 1983 ඊලාම් යුද්ධය ආරම්භ වූවායින් පසුව පැවති සෑම මැතිවරණයකදී ම (ඇත්තෙන්ම ඊටත් පෙරාතුව සිටම), උතුර-නැගෙනහිර ප‍්‍රශ්නය මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේය. වඩාත් නිවැරදිව කියතොත්, සමහර දේශපාලනඥයන් සිය මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන ”බයිට් එක” (කටගැස්ම) බවට වාර්ගික ප‍්‍රශ්නය පත්කරගෙන තිබුණේය. 2009 මැයි 18 වැනිදා එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය වෙනස් වේ යැයි අපේක්‍ෂා කෙරුණද, සැබෑවටම සිදුවූයේ යුද ජයග‍්‍රහණය ද මැතිවරණ වේදිකාවේ තවත් අලෙවි භාණ්ඩයක් බවට පත්වීමය. 2009 දී යුද්ධය නිමවීමෙන් පසුව, දිවයිනේ ජීවත්වන සියලූ ජාතීන් අතර සමගිය-සහයෝගීතාවය වර්ධනය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ සන්ධාන රජය අවංක උත්සාහයක් දැරුවේ නැත. යුද්ධයෙන් අහිමි වූ ජීවිත යළි ලබාදිය නොහැකි බව ඇත්තක් වුවද, අඩුම තරමින් තැලූණු හදවත් සුවපත් කරන්නට වෙර දරනු වෙනුවට, ජාතික ආරක්‍ෂාව නමැති පලිහට මුවාවී දිගින් දිගටම ජාතිවාදී විශබීජ වපුරුවනු ලැබුවේය. විවිධ නම්වලින් බිහිවූ අන්තවාදී ආගමික සංවිධානවලට හිතුමතේ ජාතිවාදය-ආගම්වාදය ඇවිලීමටත්, විටෙක රාජ්‍ය පාලන කටයුතුවලට අනිසි ලෙස ඇඟිලි ගැසීමටත් ඉඩකඩ විවර වූයේය. මෙම අන්තවාදී සංවිධානවලට රජයේ ඉහළම තැන්වලින් අනුග‍්‍රහය ලැබුණු බව ප‍්‍රසිද්ධ රහසක් වීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම ප‍්‍රවණතාවය එක්තරා අන්දමක උච්චස්ථානයකට පිවිසි අතර, මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ වේදිකාව ජාතිවාදී සටන්පාඨවලින් පිරී ඉතිරී ගියේය. මෙවර මැතිවරණයේදී ද, ඇතමුන් එයාකාරයට ම ජාතිවාදය ඇවිලවීමේ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇත්තේය. ”ජාතික ආරක්‍ෂාව පාවා නොදෙමු”, ”දිනූ මව්බිම අනතුරේ”, ”රටේ ඒකීයභාවයට තර්ජන”, ”කොටි ත‍්‍රස්තවාදය යළි හිස ඔසවයි” යනාදී වශයෙන් වූ ජාතිවාදයට උඩගෙඩි දෙන සටන්පාඨ මෙවර ද කලඑළි බැස ඇත්තේය. ඊට සමගාමීව, දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ සමහර දේශපාලන පක්‍ෂ ද, ”ෆෙඩරල් ආණ්ඩු” සංකල්පය ඉදිරියට දමාගෙන ඡන්ද කඩා ගැනීමේ උත්සාහයක නිරත වන්නේය.

මෙවන් පසුබිමක් තුළ, අව්‍යාජ ජාති හිතෛෂියා සහ ජාතිවාදියා අතර වෙනස නිවැරදිව වටහා ගැනීම, ජාත්‍යාලය සහ ජාතිවාදය අතර වෙනස හරිහැටි අවබෝධ කරගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. එහෙත්, එය එතරම් පහසු කාරියක් නොවන්නේය. ජාත්‍යාලය සහ ජාතිවාදය පිළිබඳ එක් එක් පුද්ගලයාගේ අවබෝධය-වැටහීම වෙනස් වන අතර, කෙනෙකුට ජාති හිතෛෂියෙකු ලෙස පෙනෙන පුද්ගලයා තවත් අයෙකුට ජාතිවාදියෙකු ලෙස පෙනෙන්නට පුළුවන. අපගේ අදහස අනුව නම්, මෙහිලා වැදගත් වන්නේ ස්වකීය ජාතියට ආදරය කරනා පරිදිම අනෙකුත් ජාතීන්ට ද ආදරය කිරීමයි. ගරු කිරීමයි. යමෙකු සෙසු ජාතීන්ගේ හැඟීම්, ඕනෑඑපාකම් තුට්ටුවකට මායිම් නොකොට ස්වකීය ජාතියේ් අවශ්‍යතා වෙනුවෙන් පමණක් පෙනී සිටින්නේ නම්, ඔහු සැබෑ ජාති හිතෛෂියෙකු වන්නේ නැත. සැබෑ දේශපේ‍්‍රමියෙකු වන්නේ ද නැත. එක් ජාතියක දියුණුව-නිදහස තවත් ජාතියක දියුණුවට-නිදහසට බාධාවක්-අවහිරයක් නොවිය යුතු වන්නේය.

අන්ත ජාතිවාදය හේතුවෙන් (එමෙන්ම සමහර දේශපාලනඥයන්ගේ් අමනෝඥ ක‍්‍රියාකාරකම් ද හේතුවෙන්) හටගත් කුරිරු යුද්ධයෙන් වසර තිහකට වැඩි කාලයක් බැටකෑ ලාංකේය ජනතාවට තවත් යුද්ධයක් අවශ්‍ය නොවන්නේය. එවන් යුද්ධයකට යළිත් අත වනන ජාතිවාදී ගිනි පුපුරු තවදුරටත් අවශ්‍ය නොවන්නේය. බලය ඩැහැගැනීමේ අරමුණින් ජාතිවාදී ගිනි අවුළුවන දේශපාලනඥයන් තවදුරටත් අපේ රටට අවශ්‍ය නොවන්නේය. එබඳු පටු දේශපාලනඥයන් ලාංකේය දේශපාලන භූමියෙන් අතුගා දැමීමට, ලබන අගෝස්තු 17 වැනිදා අපේ වටිනා කතිරය යොදාගත හැකිය.

Back to Home page