Colombo Telegraph

අපේ වටිනා කතිරය නිවැරදිව භාවිත කරමු !

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ලබන අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා පත්කරගත යුතු අය තුළ තිබිය යුතු සුදුසුකම් හා ගතිලක්‍ෂණ පිළිබඳව, රට පුරාම පුළුල් සංවාදයක් දියත් වී ඇත්තේය. පසුගිය දශක කිහිපය තුළ අපේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයන් බොහොමයකගේ පහත් හැසිරීම් රටා සහ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙබඳු කතිකාවක අවශ්‍යතාවය කලක සිට ම තදින් මතුව තිබුණේය. දැනට වසර විස්සක පමණ කාලයක් මැතිවරණ නිරීක්‍ෂණ කටයුතුවල නිරතව සිටින පැෆරල් සංවිධානය විසින් සම්පාදනය කරන ලද, “නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්‍ෂ සලකා බැලිය යුතු මූලික නිර්ණායක” නමැති ලියැවිල්ලෙන් ද මෙම සංවාදයට කිසියම් උත්තේජනයක් ලැබී ඇත. මෙම වැදගත් ලියැවිල්ල, දේශපාලන පක්‍ෂ නායකයන්ගේ එකඟතාවය (අත්සන්) ද සමඟින් පසුගිය මාර්තු 12 වැනිදා ප‍්‍රකාශයට පත්කෙරුණු අතර, මේ වනවිට එය ”මාර්තු 12 ප‍්‍රකාශනය” නමින් ප‍්‍රසිද්ධය. එහෙත්, පක්‍ෂ නායකයන් විසින් අත්සන් තබනු ලැබූවද, දේශපාලන පක්‍ෂ බොහෙමයක නාමයෝජනා පත‍්‍ර, මාර්තු 12 ප‍්‍රකාශනයට අනුකූල නොවන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ඒ නිසාම, මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින යහපත්-අයහපත් අපේක්‍ෂකයන් අතුරින් වඩා සුදුසු අය තෝරා ගැනීමේ අභියෝගය, ඡන්ද දායකයන් ලෙස අප ඉදිරියේ ඇත්තේය.

ලාංකේය සමාජය තුළ ක‍්‍රියාකාරී දේශපාලනඥයන්ගේ ගුණාත්මකභාවය දරුණු ලෙස ඛාදනය වන්නට පටන් ගත්තේ 1978න් පසුව බව අපගේ නම් අදහසය. භූගෝලීය වශයෙන් කළමනාකරණය කරගත හැකි ප‍්‍රදේශයකට සීමාවී තිබුණු මැතිවරණ කොට්ඨාස ක‍්‍රමය වෙනුවට පරිපාලන දිස්ත‍්‍රික්කයක් පුරාවට දේශපාලනයෙහි නිරත වීමේ අවශ්‍යතාවය මතුව ආවේ, 1978දී හඳුන්වා දුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අඩංගු වූ නව ඡන්ද ක‍්‍රමය හරහාය. පරිපාලන දිස්ත‍්‍රික්කයක් තරම් වූ විශාල භූමි ප‍්‍රදේශයක දේශපාලනයේ නිරත වීමට සෑහෙන ධනස්කන්ධයක් අවශ්‍ය වන බැවින්, ඒ මට්ටමට වත්පොහොසත්කම් නැති උදවිය ක‍්‍රමයෙන් ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්වන්නට පටන් ගත්තේය. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි සැලකෙන සමානුපාතික ඡන්ද ක‍්‍රමයට මනාප ක‍්‍රමයක් ද ඈඳීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරුණේය. ප‍්‍රතිවාදී පක්‍ෂවල දේශපාලනඥයන් අතර පමණක් නොව එකම පිළේ අපේක්‍ෂකයන් අතර පවා ගැටුම් ඇති කළ මනාප පොරය රටේ දේශපාලන සංස්කෘතිය දරුණු සෝදාපාළුවකට ලක්කළේය. මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීම, විශ‍්‍රාම වැටුපක් ද සහිත ආකර්ෂණීය ධනෝපායන මාර්ගයක් බවට පත්වූයේ ද 78න් පසුවය. දේශපාලනයේ නිරත වීම සමාජ සේවයක් වෙනුවට ලාභදායී රැුකියාවක් බවට පත්වූයේ ද 78න් පසුවය.

මහජන නියෝජිතයන් ලෙස සේවය කිරීමට තරම් සුදුසුකම් නොමැති, එතරම් උගත්කමක් හෝ බුද්ධියක් නොමැති උදවිය ක‍්‍රියාකාරී දේශපාලනයට පා තැබුවේ මෙම පසුබිම තුළය. අල්ලස් හා දූෂණ චෝදනා එල්ලවූවන්, කැසිනෝ හා ගණිකා මඩම් වැනි සමාජ විරෝධී ව්‍යාපාරවල නිරතවූවන්, මත්කුඩු සහ එතනෝල් ජාවාරම්කරුවන් බුරුතු පිටින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප‍්‍රාදේශීය සභාවට පත්වන්නට පටන් ගත්තේ මෙම පසුබිම තුළය. අතීතයේ ද මෙවැනි උදවිය ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අවස්ථා ඉඳහිට දක්නට ලැබුණු බව ඇත්තක් වුවද, මෑත කාලයේ එම තත්ත්වයේ සීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබෙන්නේය. පසුගිය පාර්ලිමේන්තුව තුළ අපව නියෝජනය කළ මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මීට අපූරු සාක්‍ෂියක් සපයන්නේය. පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 225 දෙනා අතරින් 95 දෙනෙක් (42%ක්) අ.පො.ස (සා.පෙ.) අසමත් උදවිය වූ අතර, 145 දෙනෙක් (64%ක්) අ.පො.ස (උ.පෙ.) අසමත් අය වූහ.

කෙසේ වුවද, පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුත්තේ හුදෙක් උගතුන් පමණක්ය යන සාවද්‍ය ආකල්පය මෙහිලා අප විසින් ඇතිකර නොගත යුතුය. උගත්කමින් අගතැන්පත් සමහර උදවිය ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමෙන් පසුව පිස්සු නටනා අයුරු, මෑත කාලයේ අපට කොතෙකුත් දැකගන්නට ලැබුණේය. සමහර උගත් දේශපාලනඥයන් සිය උගත්කමට මුුවාවී ජනතාව නොමඟ යවන අයුරු, අපට කොතෙකුත් දැකගන්නට ලැබුණේය. මහජන සේවයට ඉදිරිපත් වන දේශපාලනඥයන් සතුව තිබිය යුතු වඩා වැදගත් සුදුසුකම උගත්කම ද බුද්ධිමත්බව ද යන ප‍්‍රශ්නය අප විමසිය යුතුය. කිසියම් පුද්ගලයෙකු උගතෙකු වූ පමණින් ම බුද්ධිමතෙකු නොවනා බවත්, එමෙන්ම උගතුන් හැම විට ම දක්‍ෂ නායකයන් නොවනා බවත් අප තේරුම් ගත යුතු වන්නේය.

බුද්ධිය යනු කුමක්දැයි නිවැරදි අර්ථකතනයක් සැපයීම මනෝ විද්‍යාඥයන් හමුවේ ඇති අසීරු කාර්යයක් වන අතර, සාමාන්‍යයෙන් බුද්ධිමත්බව සහජයෙන් උරුමවන්නක් ලෙස සැලකේ. අපේ බුද්ධි මට්ටම නිරූපණය වන්නේ අපේ හැකියාවන් සහ නිපුණතා හරහාය. ඕනෑම පුද්ගලයෙකු සතුව බහුවිධ බුද්ධිමය හැකියාවන් පවතින අතර, ඒවා එක් එක් පුද්ගලයා තුළ එක් එක් මට්ටම්වලින් පවතින්නේය. අපගේ බුද්ධිමය හැකියාවන් වර්ධනය කරගැනීමට (ඔප්නංවා ගැනීමට) අධ්‍යාපනය හරහා මංපෑදෙන අතර, ඒ අනුව බලනා විට නිවැරදි අධ්‍යාපනයක් ලැබූ තැනැත්තා බුද්ධියෙන් ද ඉහළ මට්ටමක සිටිය යුතුය. වෙනත් වචනවලින් කියතොත්, අධ්‍යාපනය හරහා දැනුම ලබාදීමට අමතරව, නිපුණතා සංවර්ධනයක් ද සිදුවිය යුතුය. අදාළ පුද්ගලයාගේ බුද්ධි මට්ටම වර්ධනය වන්නේ මෙම නිපුණතා සංවර්ධනය හරහාය. සහජයෙන් උරුම වූ බුද්ධිය වර්ධනය කරගැනීම සඳහා ඉගෙනීම සහ පුහුණුව අවශ්‍ය වන්නේය. එහෙත්, අධ්‍යාපනය හුදෙක් දැනුම ලබාදීමට පමණක් සීමාවූ විට, එබඳු අධ්‍යාපන පද්ධතියකින් බිහිවන උගතා බුද්ධිමතෙකු වන්නේ නැත. අද සමහර ලාංකික උගතුන් නිිසි කලට වේලාවට, නිවැරදි තීන්දු-තීරණ ගත නොහැකිව පොතේ ගුරන් බවට පත්ව සිටින්නේ අපේ අධ්‍යාපන ක‍්‍රමයේ ඇති දුර්වතා හේතුවෙනි. මේ පොතේ ගුරන් දේශපාලනඥයන් බවට පත්වූ විට ද, තීන්දු-තීරණ ගන්නේ අඳ බාලයන් ලෙසය.

මෑත කාලයේ සමාජ විද්‍යාඥයන් විසින් ගොඩනගනා ලද, “දේශපාලන බුද්ධිය” නමැති සංකල්පය තරමක් දුරට හෝ වටහා ගැනීම ද මෙහිලා ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත වන ඕනෑම පුද්ගලයෙකු සතුව තිබිය යුතු මෙම “දේශපාලන බුද්ධිය” සංරචක කිහිපයකින් සමන්විත වන්නේය. සමාජ ක‍්‍රියාකාරිත්‍වය නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාව, බලය නමැති සංකල්පය නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාව හා බල ව්‍යුහය ප‍්‍රතිසංස්කරණ කිරීමට (ඊට බලපෑම් කිරීමට) ඇති හැකියාව, සමාජය තුළ තීරණ ගැනීමේ ක‍්‍රියාදාමය වටහා ගැනීම සහ ඊට බලපෑම් කිරීමේ හැකියාව යනාදී ගතිලක්‍ෂණ දේශපාලන බුද්ධියක් සතු අයෙකු තුළ තිබිය යුතුය. මීට අමතරව, බුද්ධිමත් දේශපාලනඥයා හැමවිටම දක්‍ෂ සන්නිවේදයෙකු විය යුතුය. (මින් අදහස් කෙරෙන්නේ අපේ සමහර දේශපාලනඥයන් මෙන් බොරුව ඇත්ත කර පෙන්වමින් ව්‍යාජ රංගනයක යෙදීමේ හැකියාව නොවේ.) සමාජය තුළ තොරතුරු ගලායන ක‍්‍රමවේදය තේරුම් ගැනීම සහ තමා ඒ ප‍්‍රවාහය තුළට ඇතුල් කරගැනීමේ හැකියාව, ස්වකීය දේශපාලන මතවාද හා ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට සහායක ජාලයක් පවත්වා ගැනීමේ හැකියාව, දේශපාලන බුද්ධියට අයත් වන අනෙකුත් ලක්‍ෂණ වන්නේය.

මේ අනුව බලනා විට, මහජන නියෝජිතයන් ලෙස අප පත්කරගත යුත්තේ හුදෙක් දැනුමට පමණක් කොටුවූ පොතේ ගුරන් නොව, උගත්කමට සරිලන බුද්ධියක් ද ඇති උදවිය බව පැහැදිලිය. උසස් අධ්‍යාපන සුදුසුකම් තිබූ පමණින්, බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාවක් නොමැති උදවිය රටේ නායකත්‍වයට, මහජන සේවයට නොගැලපෙන බව මේ අනුව පැහැදිලිය. ඒ අතර ම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකුට යම් මට්ටමක හෝ අධ්‍යාපන සුදුසුකමක් නොමැති විට (මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක් අ.පො.ස (සා.පෙ.) හා අ.පො.ස (උ.පෙ.) අසමත් අය වූ විට), ඒ පාර්ලිමේන්තුවේ ගෞරවය හීනවන බවද අප අමතක නොකළ යුතුය. අඩුම තරමින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවා බලා තේරුම් ගැනීමට හැකියාවක් නොමැති උදවිය, අප වෙනුවෙන් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු වීමට නුසුදුසු බව ද අප අමතක නොකළ යුතුය.

මීට අමතරව, මැතිවරණ සමයේදී වැඩිපුර කලඑළි බසින පක්‍ෂයට-කණ්ඩායමට වැඩි බලවේගයක්, වැඩි ජනතා සහයෝගයක් තිබෙන්නේය යන මතයේ එල්බගෙන ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රවණතාවයක් ද අප රට තුළ පවතී. අපේක්‍ෂකයන්ගේ සිනාමුසු මුහුණුවලින් පිරුණු වෛර්ණ පෝස්ටර් බිත්තියක් තාප්පයක් පාසා ඇලවූ තරමට, පාරවල් පුරාවට දැවැන්ත බැනර් කටවුට් එල්ලූ තරමට, මැතිවරණ කාර්යාල නමින් හැඳින්වෙන පාට-පාට පොලිතීීන්වලින් සැරසූ පොල් අතු මඩු ගමක් හන්දියක් පාසා ඉදිකරනු ලැබූ තරමට, අදාළ අපේක්‍ෂකයාට හා පක්‍ෂයට විශාල ජනතා ප‍්‍රසාදයක් තිබෙන්නේය යන මතය ලාංකේය සමාජය තුළ පැතිර ඇත්තේය. දිස්ත‍්‍රික්කය පුරාවට පාරවල් දිගේ වාහන පෙළපාලි ගිය තරමට, ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කරමින් උදේ සිට ? වනතුරු යටිගිරියෙන් කෑ ගැසූ තරමට, විශාල ජනතා ප‍්‍රසාදයක් තිබෙන්නේය යන මතය ලාංකේය සමාජය තුළ පැතිර ඇත්තේය.

දේශපාලන දැනුම හා අත්දැකීම් අතින් ඉහළ මට්ටමක සිටින ලාංකේය ඡුන්දදායකයන් ගෙන් බහුතරයක් (අපව රැුවටීම සඳහා දේශපාලනඥයන් විසින් නිතර මතුරන මෙම සාවද්‍ය ප‍්‍රකාශය අපි නම් පිළිනොගන්නෙමු.) මෙවැනි බොරු සෝබනවලට රැුවටෙන්නේ නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත්, අපේ දේශපාලනඥයන් ඉහත කී විකාරරූපී රංගනයන්හි නිරත වන්නේ, ඡුන්දදායකයන් ලෙස අප අතරින් වැඩි දෙනෙකු ඒවාට රැුවටෙන නිසා නොවේදැයි සිතා බැලිය යුතුය. තමන් වෙත ප‍්‍රබල ජනරැුල්ලක් (අද ඇතමෙකු කියනා පරිදි “සුළඟක්”) ඇති බව මවාපෑමට අපේ දේශපාලනඥයන් හැකි සෑම වීරියක් ම දරන්නේ, ඒ හරහා තමන්ගේත් තම පක්‍ෂයේත් ඡන්ද ගොඩ වැඩි කරගත හැකි බව ඔවුන් අත්දැකීමෙන් ම දන්නා නිසා නොවේද? අඩුම තරමින්, ඔවුන් එසේ සිතා සිටිනා නිසා නොවේද? මැතිවරණ සමයේදී ප‍්‍ර‍්‍රතිවාදී පිළේ අපේක්‍ෂකයන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයට බාධා පැමිණවීමට පවා අපේ දේශපාලනඥයන් ඉදිරිපත් වන්නේ මෙබඳු පසුබිමක් තුළ බව අප තේරුම් ගත යුතුය. මැර ක‍්‍රියා මගින් ප‍්‍ර‍්‍රතිවාදී අපේක්‍ෂකයන් බිය ගන්වා, ඒ හරහා ජනරැුල්ල (සුළඟ) හමන්නේ තමන්ගේ පැත්තට පමණක් බව පෙන්වීමට දේශපාලනඥයන් ඉදිරිපත් වන්නේ මෙබඳු පසුබිමක් තුළ බව අප තේරුම් ගත යුතුය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයකදී මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ ප‍්‍රචාරක ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරී සාමාජිකයෙකු (වඩාත් නිවැරදිව කියතොත්, දේශපාලන හෙංචයියෙකු) බවට පත්ව සිටි අප හිතවත් තරුණයෙකු කී කතාවක් මෙහිදී අපගේ මතකයට නැගෙන්නේය. “අපේ ගමේ අනිත් පැත්තෙ කට්ටිය පහුගිය දවස්වල ඔලූව උස්සන්නයි ආවෙ. ලවුඞ් ස්පීකර් දාගෙන එහාට මෙහාට යනව, පෝස්ටර් ගහනව ඉවරයක් නැහැ. අපි දවස් දෙක තුනයි ඉවසුවෙ. දවසක් ? වෙලා මඟ රැුකල ඉඳල දෙතුන් දෙනෙකුට බඩකට පිරෙන්න දුන්න. කොඩිවැල් තුන හතරකුත් කපල දැම්ම. වාහන දෙකක ටයර් කපල හුළං ඇරිය. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙත් හුළං බැස්ස. දැන් ඔය අපූරුවට ගෙවල්වලට වෙලා ඉන්නෙ සද්ද-බද්ද නැතුව. දැන් ගමේ මිනිස්සුත් දන්නව කොයි පැත්තටද ඡන්දෙ දෙන්න ඕනෙ කියල.” අප හිතවත් තරුණයා කියාගෙන ගියේය. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විසින් මැතිවරණ සමයේදී පෙන්නුම් කරන හැසිරීම් රටා තේරුම් ගැනීමට, මෙම තරුණ දේශපාලන අනුගාමිකයාගේ ප‍්‍රකාශය හොඳට ම ප‍්‍රමාණවත්ය. මෙහිලා වඩාත් කනගාටුවට හේතු වන්නේ, මෙයාකාරයේ කොඩිවැල් කැපීම්, පෝස්ටර් ගැලවීම් වැනි සුළු සිද්ධීන් පවා මැතිවරණ සමයේදී බරපතල ගැටුම් දක්වා වර්ධනය වීමය. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණය උදෙසා වෙනම ආයතන හා සංවිධාන පවා බිහිවී ඇත්තේ මෙම පසුබිම තුළය.

මෙයාකාරයට, පවත්නා මැතිවරණ ක‍්‍රමයේ සහ එය ක‍්‍රියාත්මක වන ආකාරයේ කෙතරම් අඩුපාඩු තිබුණද, ඒ තුළින් අපට හිමිවී ඇති මනාප කතිරයෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනීමට, ඡන්ද දායකයන් ලෙස අප ඉදිරිපත් විය යුතුය. මෙවර ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් අතුරින් වඩාත්ම සුදුසු අය තෝරා ගැනීම සඳහා අපේ වටිනා කතිරය යොදාගත හැකිය. අප මනාපය පළකරන දේශපාලන පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතුරින් වඩාත්ම සුදුසු යැයි අපට හැෙඟන උදවිය පත්කර ගැනීමට අපේ වටිනා කතිරය යොදාගත හැකිය. ඒ අනුව, උගත් බුද්ධිමතුන් (නැතිනම් බුද්ධිමත් උගතුන්) කිහිප දෙනෙකු හෝ පාර්ලිමේන්තුවට පත්කිරීමට, ලබන අගෝස්තු 17 වැනිදා අපේ වටිනා කතිරය යොදා ගනිමුද?

Back to Home page