Colombo Telegraph

මනාප කතිරය හරහා මතුවන ලාංකේය ග්‍රෝතිකවාදය

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පසුගිය අගෝස්තු 17 වැනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය මෑතකාලීන ලාංකේය ඉතිහාසයේ පැවති වඩාත් සාමකාමී, නිදහස් හා සාධාරණ ඡුන්ද විමසීම ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවන්නේය. ඡන්ද මංකොල්ලකෑම්, ඡුන්දදායකයන් බියවැද්දීම් හා පහරදීම්, රාජ්‍ය සම්පත් සහ දේපළ අවභාවිතය වැනි අයහපත් ලක්‍ෂණවලින් අපවිත‍්‍ර වී ඇති ලාංකේය මැතිවරණ ඉතිහාසය දෙස බලනා විට, මෙබඳු නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනු ලැබීම, එක් අතකින් විස්මයට හේතුවක් වන්නේය. තවත් අතකින්, දැඩි සතුටට ද හේතුවක් වන්නේය.

එවකට පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කර ගැනීමේ අටියෙන්, 1982 දෙසැම්බර් 22 දින පැවැත්වුණු ජනමත විචාරණය ලාංකේය ඉතිහාසයේ දූෂිතම ඡන්ද විමසීමක් වන්නේය. ලාම්පු-කළගෙඩි සෙල්ලම නමින් පසුකාලීනව ප‍්‍රසිද්ධියට පත් එම ජනමත විචාරණය තනිකරම ඡන්ද මංකොල්ලයක් වූයේය. 1999 ජනවාරි 25 දින පැවැත්වුණු වයඹ පළාත් සභා මැතිවරණය ද ඊට නොදෙවෙනි ඡන්ද මංකොල්ලයක් වූයේය. එවකට බලයේ සිටි සමහර දේශපාලන ලොක්කන් පවා හොර ඡුන්ද දමන්නට ඉදිරිපත් වුණු 1999 වයඹ පළාත් සභා මැතිවරණය ලාංකේය ඉතිහාසයේ තවත් කළු පැල්ලමකි. මෑත කාලයේ පැවති මැතිවරණ බොහොමයක් නිදහස් හා සාධාරණ ඒවා නොවන බවට, අඩු-වැඩි මට්ටමින් චෝදනා එල්ල වූයේය. පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද බරපතළ චෝදනා එල්ල වූ අතර, රජයේ ජනමාධ්‍ය අතිිශය පක්‍ෂග‍්‍රාහී ලෙස කටයුතු කිරීම, රාජ්‍ය ආයතනවල මුදල් හා සම්පත් ඡන්ද ප‍්‍රචාරක වැඩට යොදාගැනීම, රජයේ සේවකයන් ඡුන්ද ප‍්‍රචාරක කටයුතුවල නිරතවීම වැනි චෝදනා ඒ අතර විය. ඒ අනුව බලනා විට, මෙවර මැතිවරණයේදී එබඳු චෝදනා අවම කර ගැනීමට හැකිවීම සැබැවින්ම සතුටට කරුණක් වන්නේය.

මෙවර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ද රාජ්‍ය දේපළ අවභාවිතය ශුන්‍යයය කර ගැනීමට නොහැකි වූ බව ඇත්තක් වුවද, එය ඉතා අවම මට්ටමක පැවතියේය. ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද මන්ත‍්‍රීවරුන් සුළු පිරිසකට මෙම චෝදනාව එල්ල වුවද, එය මැතිවරණ ප‍්‍රථිඵලයට එතරම් බලපෑමක් ඇති නොකළේය. ඡුන්දදායකයන්ට භාණ්ඩ සහ වෙනත් ප‍්‍රදාන ලබාදීම මෙවර ද සමහර ප‍්‍රදේශවල දක්නට ලැබුණද, ඒ කටයුත්ත ද අවම කරලීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ නිලධාරීහු සමත් වූහ. ඡුන්දයට පෙර දිනයේ ද මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කණින් රිංගා පන්සල් ගානේ යමින් උපාසක උපාසිකාවන්ට සිල්රෙදි බෙදාදීමට ඇතැම් අපේක්‍ෂකයන් මෙවර ද ඉදිරිපත් වූ අතර, ඒ සිද්ධීන් මැතිවරණ නිරීක්‍ෂකයන්ගේ උකුසු ඇස්වලට හසුවිය. මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු තවත් සුවීශේෂී ලක්‍ෂණයක් වන්නේ, පෝස්ටර් හා කටවුට් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මැතිවරණ නිලධාරීන් සහ පොලීසිය ඉදිරිපත් වීමයි. ඇතැම් ගම්වල තැනින් තැන ගස්වල හා ලයිට් කණුවල, අපේක්‍ෂකයන්ගේ සිනාමුසු මුහුණු රැුගත් පෝස්ටර් කිහිපයක් දක්නට ලැබුණද, පෝස්ටර්-කටවුට්වලින් තොර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් පැවැත්වීම නව දේශපාලන සංස්කෘතියක ආරම්භයක් විය හැකිය. පෝස්ටර්-කොඩිවැල්-කටවුට් අවම වීම පරිසර හිතකාමී ඡුන්ද ව්‍යාපාරයකට මං පෑදුවා පමණක් නොව, මැතිවරණ සමය තුළ අනවශ්‍ය ගැටුම් වලක්වාලීමට ද හේතුවක් වූයේය. කොඩිවැල් හා කටවුට් කැපීම්, පෝස්ටර් ගැලවීම් වැනි සුළු සිද්ධීන් පවා බරපතල ගැටුම් බවට වර්ධනය වන අයුරු, මෑත කාලයේ පැවති මැතිවරණ බොහොමයකදී අපට දක්නට ලැබුණේය.

මෙයාකාරයට, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තමනට ලැබුණු බලතල උපරිම ලෙස භාවිත කරමින් සහ නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරමින්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ගෙනගිය අපක්‍ෂපාතී පිළිවෙත සියලූ රජයේ නිලධාරීන්ට ආදර්ශයක් වූයේය. පොලිස්පතිතුමාගේ නායකත්වය යටතේ පොලීසිය ද මැතිවරණ නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදෙමින් විශිෂ්ඨ සේවයක් ඉටුකළ බව පිළිගත යුතුය. පොලීසියේ නිලධාරීන් කෙතරම් ප‍්‍රශස්ත අයුරින් සිය රාජකාරිය ඉටුකළේද යත්, මේ සැබෑවටම ලංකාවේ පොලීසිය දැයි හාස්‍යය මුසුව විමසන්නට පවා ඇතමෙක් ඉදිරිපත් වූහ. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන හා කණ්ඩායම් මෙන්ම සෙසු සිවිල් සංවිධාන ද මැතිවරණ ව්‍යාපාරය පුරාවට අවදියෙන් සිටිමින් සුවිසල් කාර්යභාරයක් ඉටුකළේය.

ඒ අතරම, මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ සහ සම්පත් භාවිතයෙන් වළකින ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ නියෝගය ද ධනාත්මක බලපෑමක් ඇති කළේය. රජයේ ඇමතිවරයෙකු ප‍්‍රචාරක කටයුතු සඳහා නිල වාහන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා මසකට රුපියල් ලක්‍ෂයක මුදලක් ගෙවිය යුතු බවට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය ද ධනාත්මක බලපෑමක් ඇති කළේය. එමෙන්ම, අග‍්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ කටයුතුවලට අනිසි බලපෑම් කරන්නට ඉදිරිපත් නොවීම ද අගය කළ යුතුය. කෙසේ වුවද, අපගේ අදහස අනුව නම්, මේ සියලූ පාර්ශ්වයන්ට නොදෙවෙනි ගෞරවයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතුය. තමන් මෙවර මැතිවරණයේදී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරනා බවට, ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අකුරටම පිළිපැද්දේය. එතුමා මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය පුරාවට විධායක බලතල භාවිත නොකළා පමණක් නොව, නිදහස්-සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දුන්නේය. ඒ සඳහා පොලීසියට හා මැතිවරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය.

කෙසේ වුවද, මෙහිලා මතුවන ප‍්‍රශ්නය වන්නේ, අගෝස්තු 17 දා පැවැත්වුණු මැතිවරණයේදී ජනමතය නිවැරදිව ප‍්‍රකාශ වූයේද යන්නයි. එහෙත්, ලෝ පුරා දේශපාලන හා සමාජ විද්‍යාඥයන්ගේ අදහස අනුව, නිදහස් වටපිටාවක ප‍්‍රකාශ වූ ජනමතයක් නිවැරදිද-වැරදිද යන ප‍්‍රශ්නය ම නිවැරදි නොවන්නේය. මන්ද යත්, ඡන්ද විමසීම නිදහස්ව සහ සාධාරණව පැවැත්වුණු විට, ප‍්‍රකාශිත ජනමතය නිවැරදිදැයි විමසීම තාර්කික නොවන්නේය. එහෙත්, තම තමන්ගේ දේශපාලන දැනුම, බුද්ධිය හා දැක්ම අනුව මැතිවරණ ප‍්‍රථිඵල විග‍්‍රහ කිරීම් ලෝ පුරාම සිදුවන්නේය. පසු විපරම් ඉදිරිපත් කිරීම් ලෝ පුරාම සිදුවන්නේය. එබඳු ප‍්‍රවේශයකින් බලනා විට, මෙවර මැතිවරණයේදී ලාංකේය ඡන්දදායකයන්ගෙන් බහුතරයක් නිවැරදි තීරණයක් ගත් බව අපගේ නම් අදහසයි. එනම්, පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී පරාජය කරනු ලැබූ රාජපක්‍ෂ රෙජීමය සහ එම මතවාදය, යළි නගා සිටුවන්නට දැරූ උත්සාහය අගෝස්තු 17 දා දෙවැනි වතාවටත් පරාජය වූයේය.

මහජන ඡන්ද විමසීම්වලදී ප‍්‍රකාශ වන ඡන්ද ප‍්‍රමාණයන් සහ ඒවා කලින් කලට වෙනස්වන ආකාරය සරල අංක ගණිතයෙන් පහදා දිය නොහැකි බව තේරුම් නොගත් මහින්ද රාජපක්‍ෂ හිතවාදීහු මුල සිටම වැරදි තක්සේරුවක සිටියහ. නැතිනම්, අඩුම තරමින්, ඒ බවක් ජනතාව ඉදිරියේ පෙන්වූහ. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගත් 5,768,090ක ඡන්ද ප‍්‍රමාණය මෙවර ද ගෙඩි පිටින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන බවටත්, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162ක ඡන්ද ප‍්‍රමාණය විපක්‍ෂයේ පක්‍ෂ අතර බෙදී යන බවටත් ඔවුහු තර්ක කළහ. පුදුමයට මෙන්, මහින්ද රාජපක්‍ෂ හිතවාදීන්ගේ දෙවෙනි අනාවැකිය හරියටම හරි ගියේය. එනම්, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ එජාපය, ජවිපෙ, දෙමළ සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සහ මුස්ලිම් කොංග‍්‍රසය යන පක්‍ෂ මෙවර ලැබූ ඡන්ද ප‍්‍රමාණයේ එකතුව 6,231,614කි. එය ජනවාරි 8 වැනි දින ප‍්‍රථිඵලය හා සසඳන විට සුළු (14,452කින්) වැඩිවීමකි. අනෙක් අතට, මෙවර සන්ධානයට ඡන්ද 4,732,664ක් ලැබුණු අතර, එය ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගත් ප‍්‍රමාණය හා සසඳන විට 1,035,426ක අඩුවීමකි. ඒ අනුව බලනා විට, මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිතවත් දේශපාලන පක්‍ෂ ජනවාරියේ පැවති ස්ථාවරය අගෝස්තුවේදී ද එලෙසින්ම රැුකගනිද්දී, මේ කෙටි කාලය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම ලක්‍ෂ දහයකටත් වැඩි ප‍්‍රමාණයකින් අඩුවී ඇත.

විවිධ දේශපාලන පක්‍ෂ සතු ඡුන්ද පදනම කලින් කලට වෙනස්වන ආකාරය අංක ගණිතයේ සරල මූලධර්මවලින් (අඩු කිරීම, එකතු කිරීම වැනි) පහදා දිය නොහැකි බව මේ අනුව තහවුරු වන්නේය. තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී බරපතල පරාජයක් ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමකට ඉඩ නොදී, ඔහුගේ කර පිටින් පාර්ලිමේන්තුවට රිංගා ගත් ඊනියා ජාති හිතෛෂීහු මේ තත්ත්වය තේරුම් ගත යුත්තාහ. ඔවුන්ගේ තේරුම් ගැනීම් කෙසේ වෙතත්, ඡුන්දදායකයන් ලෙස හා සිවිල් පුරවැසියන් ලෙස අප මේ දේශපාලන ප‍්‍රවණතාවයන් නිවැරදිව තේරුම් ගත යුතුය. බඩගෝස්තරවාදී දේශපාලනඥයන්ගේ බොරු චාටු බස්වලට නොරැුවටී සිටින්නට නම් අප මේ දේශපාලන ප‍්‍රවණතාවයන් නිවැරදිව තේරුම් ගත යුතුය.

මීට සමගාමීව මතුවන අනෙක් ප‍්‍රශ්නය වන්නේ, ඡුන්දදායකයන් විසින් අගෝස්තු 17 දා කතිරය ගසද්දී නිවැරදිව මනාපය ලබා දුන්නේද යන්නයි. වෙනත් වචනවලින් කියතොත්, මෙවර ඡන්දයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් අතරින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වඩාත් ම සුදුසු අය ඡුන්දදායකයන් විසින් තෝරා පත්කරගනු ලැබුවේ ද යන ප‍්‍රශ්නය මතුව එන්නේය. මෙවර මැතිවරණයේදී, පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු අය තුළ තිබිය යුතු සුදුසුකම් හා ගතිලක්‍ෂණ පිළිබඳ පුළුල් සංවාදයක් දියත්ව තිබුණේය. පැෆරල් සංවිධානය විසින් සම්පාදනය කරන ලද, ”නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්‍ෂ සලකා බැලිය යුතු මූලික නිර්ණායක” නමැති ලියැවිල්ලෙන් මෙම සංවාදයට උත්තේජනයක් ලැබුණු අතර, සිවිල් සංවිධාන බොහොමයක් විසින් මැතිවරණ ව්‍යාපාරය පුරාවට එම කතිකාව පවත්වා ගෙන යනු ලැබුවේය. එහෙත්, මෙවර මනාප ප‍්‍රථිඵලවලින් කියැවෙන්නේ, ඒ වැදගත් කරුණු ඡුන්දදායකයන් බහුතරයකගේ සිත්සතන් තුළට කාවැද්දීමට සිවිල් සංවිධාන අසමත් වී ඇති බවය.

විශේෂයෙන්, පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය පිළිබඳව, ඡන්දදායකයන් බහුතරයක් තුළ තවමත් නිවැරදි වැටහීමක් නොමැති බවක් පෙනෙන්නට ඇත්තේය. මෙවර ද මැතිවරණ වේදිකාවන් මත රැුව්දුන් මාතෘකාවලින් ඒ බව මොනවට තහවුරු වන්නේය. ගමේ පාරට තාර දැමීම (නැතිනම් කාපට් කිරීම), බෝක්කුවක් සවි කිරීම, ග‍්‍රාම සංවර්ධන සමිතියේ ගොඩනැගිල්ල අලූත්වැඩියා කිරීම වැනි ප‍්‍රාදේශීය සභාවෙන් ඉටුවිය යුතු කරුණු පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ කතාබහට ලක්වීමෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව බහුතරයකට නිවැරදි අවබෝධයක් නොමැති බවය. රජයේ ආයතනයක රැුකියාවක්, පදිංචියට නිවසක්, දරුවාට පාසැලක්, රැුකියාවේ ස්ථාන මාරුවක් වැනි කරුණු මුල්කරගෙන ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ලාංකික ඡන්දදායකයන් බහුතරයක් පෙළඹීමෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ඔවුනට නිවැරදි අවබෝධයක් නොමැති බවය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ප‍්‍රධාන කාර්යභාරය, නීති සම්පාදනය සහ රටේ උන්නතිය සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය බව අපේ ඡන්දදායකයන් බහුතරයකට වැටහෙන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධාන කාර්යභාරය විය යුත්තේ ගමේ තරුණ-තරුණියන්ට රැුකියා ලබාදීම නොව, රැුකියා අවස්ථා උත්පාදනය වන අන්දමේ ව්‍යවසායන් බිහිකිරීම බව අපේ ඡන්දදායකයන් බහුතරයකට වැටහෙන්නේ නැත. මනාප ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී අපේක්‍ෂයන්ගේ උගත්කම සහ බුද්ධිමත්බව සලකා බලනු වෙනුවට, ජාතිය, ආගම, කුලය වැනි කරුණුවලට ඡන්දදායකයන් ප‍්‍රමුඛතාවය දෙන්නේ ඉහත කී නොදැනුවත්භාවය නිසාය. උගත් බුද්ධිමතුන්ට මනාපය ලබාදෙනු වෙනුවට, පවුලේ ඥතියාට, තමන්ගේ ජාතියේ නැතිනම් කුලයේ තැනැත්තාට, ගමේ එකාට කතිරය ගැසීමට ඡන්දදායකයන් පෙළඹෙන්නේ ඉහත කී නොදැනුවත්භාවය නිසාය. ලාංකේය සමාජය තුළ කිඳා බැස ඇති ඒ ගෝත‍්‍රිකවාදී ආකල්ප මෙවර මනාප ප‍්‍රථිඵලවලින් ද පිළිබිඹු වන්නේය.

ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වන මහජන නියෝජිතයන්ගෙන් ඔවුනට අදාළ කාර්යභාරය හරිහැටි ඉටු කරවා ගැනීමට නම්, පළමුකොටම ඡන්දදායකයන්ගේ නොදැනුවත්භාවය තුරන් කළ යුතුය. ලාංකේය සමාජය තුළ කිඳා බැස ඇති ගෝත‍්‍රිකවාදී ආකල්ප තුරන් කළ යුතුය. පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු අය තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව මෙවර මැතිවරණයේදී ආරම්භ වූ සංවාදය දිගටම පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා ඊළඟ ඡන්දය එනතෙක් බලා නොසිටිය යුතුය.

Back to Home page