Colombo Telegraph

දේශපාලන වාසියට ජාතිවාදය ඇවිලවීම

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

මෑතකාලීන ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට, එවකට ඉන්දීය අගමැතිවරයාව සිටි රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් අත්සන් තබනු ලැබුවේ 1987 ජූලි 29 වැනි දිනය. ලාංකේය රාජ්‍ය ව්‍යුහයේ සුවිසල් පරිවර්තනයක් ඇති කළ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද මං පෑදූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම ජනතා සංවාදයට ලක් නොකොට රහසිගතව අත්සන් තැබූවක් වූ අතර, ඊට එරෙහිව බරපතළ විරෝධයක් මතු වූයේය. එහෙත්, ශ්‍රීලනිපය ප‍්‍රමුඛ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ වැඩි හරියක් ඉන්දු-ලංකා ගිවිසුමට දැඩි විරෝධතාවක් එල්ල කරද්දී, කොමියුනිස්ට් පක්‍ෂයත් සමසමාජ පක්‍ෂයත් ඊට පූර්ණ සහයෝගය පළ කළහ. අප ඒ අවධියේ මොස්කව්හි පැටි‍්‍රස් ලූමුම්බා මිත‍්‍රත්ව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් තබා මාස කිහිපයකට පසුව (දිනය හරියටම අපගේ මතකයේ නැත), එවකට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයාව සිටි කේ.පී. සිල්වා මහතා මොස්කව් නුවරට පැමිණියේය. ඉන්දු-ලංකා ගිවිසුමට බහුතරයකගේ විරෝධය එල්ල වී ඇති පසුබිමක් තුළ ඊට සහාය දීමට ඉදිරිපත්වීමෙන් කොමියුනිස්ට් පක්‍ෂයට දේශපාලන අවාසියක් සිදු නොවන්නේදැයි, අපි එවේලේ කේ.පී. සිල්වා මහතාගෙන් විමසුවෙමු. අපේ ප‍්‍රශ්නයට ඒ මහතා ලබාදුන් පිළිතුර සැකෙවින් මෙසේය.

“රටට ජාතියට වැදගත් වෙන ප‍්‍රශ්නවලදි තමන්ගෙ පක්‍ෂයට ලැබෙන වාසි අවාසි ගැන හිතල බැහැ. කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කරපු දවසෙ ඉඳල ම ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරයක හිටියෙ, අදටත් එහෙම මයි. අපි හැමදාම කියන්නෙ අපේ රටේ ජීවත්වෙන දෙමල-සිංහල-මුස්ලිම්-බර්ගර් හැම කෙනෙකුට ම එක සමාන අයිතියක් තියෙන්න ඕනෙ කියලයි. ජාති-ආගම්-කුල භේදවලින් තොරව මේ හැම කෙනෙකුට ම එක සමානව සලකන්න ඕනෙ කියලයි. මාක්ස්-ලෙනින්වාදයට අනුව දේශපාලනය කරන හැම කෙනෙක් ම කටයුතු කරන්න ඕනෙ එහෙමයි. මාක්ස්-ලෙනින්වාදය ඇතුළෙ ජාතිවාදයට කොහෙත්ම ඉඩක් නැහැ. ඉන්දියාවයි ලංකාවයි අතර අත්සන් කරපු ගිවිසුම, ජාතික ප‍්‍රශ්නය විසඳන්න හොඳ ආරම්භයක් විදිහටයි අපි දකින්නෙ. ඒ නිසයි අපි පක්‍ෂයක් විදිහට ඉන්දු-ලංකා ගිවිසුමට සහාය දෙන්න තීරණය කළේ. එහෙම නැතුව, ජාතිවාදය අවුස්සල ලේසියෙන් ම ජනප‍්‍රිය වෙන්න අපිටත් පුළුවන්. කොහොමටත් බුද්ධියට ආමන්ත‍්‍රණය කරනවට වඩා හදවතට කතා කරල හැඟීම් අවුස්සන එක ලේසියි. ඒත් එහෙම ජාතිවාදය අවුස්සන එකෙන් රටේ අනාගතයට බරපතළ අනතුරක් වෙන්නෙ. බුද්ධාගමේ පැත්තෙන් බැලූවත් ඒක මහ පාපයක්.”

මීට වසර 28කට පෙරාතුව එවකට කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයාව සිටි කේ.පී. සිල්වා මහතා මොස්කව්හිදී අප සමඟ පෞද්ගලිකව කරනා ලද මෙම ප‍්‍රකාශය අදටත් එලෙසින් ම වලංගු වන අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද පසුගියදා මීට සමාන ප‍්‍රකාශයක් කරනු ලැබුවේය. පසුගිය දෙසැම්බර් 4 වැනිදා පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනුණු අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කොට තිබුණේය: “කථිකයන් විදිහට අපිත් බොහොම දක්‍ෂයි. ජනතාවගේ ලේ කුපිත වෙන විදිහට කතාකරන්න අපිටත් පුළුවන්. ජාතිවාදය ගොඩනැගෙන විදිහට කතාකරන්න අපිටත් පුළුවන්. ඔය බංකොලොත් අන්ත ජාතිවාදය කරට අරගෙන කතාකරන්න අපිටත් පුළුවන්. එහෙම කළොත් අපිටත් ලේසියෙන්ම ඡන්දවලට ආකර්ෂණය වෙන්න පුළුවන්. මාධ්‍යවලට ආකර්ෂණය වෙන්න පුළුවන්. නමුත්, රටේ ජාතියේ අනාගතය පැත්තෙන් බැලූවහම, එහෙම කරන එක මහා පාප කර්මයක්.”

ජනාධිපතිවරයා මෙවන් ප‍්‍රකාශයක් කරන්නට තුඩුදුන් ප‍්‍රධාන හේතුව, පසුගිය කාලයේ සැඟවී සිටි ජාතිවාදී සර්පයා යළි හිස ඔසවන්නට උත්සාහ දැරීම විය යුතුය. විශේෂයෙන්, ජාතික සංහිඳියාවට මුල පිරීමේ අරමුණින් වත්මන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණ දෙකක් හේතුවෙන්, ඊනියා දේශපේ‍්‍රමීන්ගේ හඬ යළිත් උත්සන්න වී ඇත්තේය. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි එල්ටීටීඊ සැකකරුවන් පිරිසක් ඇප මත නිදහස් කිරීම පළමු තීරණය වන අතර, ත‍්‍රස්තවාදයට සහාය දැක්වීම නිසා තහනම් කොට තිබුණු සංවිධාන 8ක සහ පුද්ගලයන් 264කගේ තහනම ඉවත් කිරීම දෙවෙනි තීරණය වන්නේය. කෙසේ වුවද, කොටි සැකකරුවන් පිරිසක් ඇප මත නිදහස් කිරීම ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයකැයි අද කෑ මොරදෙන ඇතැම් උදවිය, පසුගිය රජය සමයේදී ද විවිධ අවස්ථාවල මෙයාකාරයේ නිදහස් කිරීම් කර ඇති බව හිතාමතා ම අමතක කරති. උදාහරණයක් ලෙස, 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දමිල ජනතාවගේ හොඳහිත දිනාගැනීමේ අටියෙන්, එවකට නීතිපතිවරයාව සිටි මොහාන් පීරිස් මහතාගේ නිර්දේශය මත එල්ටීටීඊ සැකකරුවෝ 140 දෙනෙක් ඇප මත නිදහස් කරනු ලැබූහ. තවද, 2012 පෙබරවාරි හා අගෝස්තු මාසවලදී කොටි සැකකරුවෝ 390 දෙනෙක් ඇප මත නිදහස් කරනු ලැබූහ. එපමණක් නොව, 2009 මැයි මාසයේ යුද්ධය අවසන්වීමෙන් පසුව සමස්තයක් ලෙස එල්ටීටීඊ සාමාජික-සාමාජිකාවන් 12,000ක් පමණ පුනරුත්ථාපනය කොට මුළුමනින්ම නිදහස් කරනු ලැබූ අතර, අපගේ අදහස අනුව නම්, එය ජාතික සංහිඳියාව ගොඩනැගීම උදෙසා ගත් යහපත් පියවරක් වන්නේය. එදා කසාය බිව් ගොළුවන් මෙන් නිහඬව සිටි ඊනියා දේශපේ‍්‍රමීහු, වත්මන් රජය විසින් එවැනි ම සාධනීය තීරණයක් ගනිද්දී, “ජාතික ආරක්‍ෂාව අනතුරේ”, “රටේ ඒකීයභාවයට තර්ජන”, “කොටි ත‍්‍රස්තවාදය යළි හිස ඔසවයි” යනාදී වශයෙන් වූ ජාතිවාදයට උඩගෙඩි දෙන සටන්පාඨ කරපින්නාගෙන කෑ ගසති.

දරුණු ගණයේ අපරාධ සහ ඝාතනවලට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන්ට අධිකරණ ක‍්‍රියාමාර්ග හරහා දඬුවම් පැමිණවිය යුතුය යන්න සාධාරණ තර්කයක් වුවද, මෙවැනි පසුබිමක් තුළ ලෝකයේ වෙනත් රටවල කෙරී ඇති පරිද්දෙන්, සියලූම කොටි සැකකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ද පුළුවන. එසේ කළ නොහැකි නම්, ඔවුන් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දිගින් දිගට රඳවා තබාගනු වෙනුවට, නිසි චෝදනා ඉදිරිපත් කොට අධිකරණය හමුවට පැමිණ විය යුතුය. චෝදනා ඉදිරිපත් කරන්නට තරම් සාක්‍ෂි නොමැති උදවිය නිදහස් කළ යුතුය. යුද්ධය නිමාවී වසර හයක් ගතවීමෙන් පසුවත් හිටපු එල්ටීටීඊ සාමාජික-සාමාජිකාවන්ට වෙනස් ආකාරයකට සැලකිය නොහැකිය. රටේ නීතිය සිංහල-දෙමල-මුස්ලිම් කා හටත් එක සමාන විය යුතුය. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා පසුගිය නොවැම්බර් 26 වැනිදා මාධ්‍ය හමුවේ අනාවරණය කළ පරිදි, තවත් එල්ටීටීඊ සැකකරුවෝ 204 දෙනෙක් රැුඳවුම් භාරයේ සිටිති. ඒ අතුරින් 56 දෙනෙකුට අධිකරණය විසින් වැරදිකරුවන් කොට දඬුවම් පමුණවා ඇති අතර, තවත් 124 දෙනෙකුගේ නඩු විභාග අවසන් අදියරට පිවිස ඇත්තේය. ඒ අනුව බලනා විට, පසුගියදා ඇප මත නිදහස් වූයේ අතිශය භයානක කොටි සාමාජිකයන් නොවන බව පැහැදිලිය. පසුගියදා ඇප මත නිදහස් වූ සැකකරුවන්, මීට ඉහතදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වූ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි භයානක කොටි සාමාජිකයන් නොවන බව පැහැදිලිය. ඒ අනුව බලනා විට, පසුගියදා නිදහස් වූ කොටි සාමාජිකයන්ගෙන් ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට ඇතමුන් අඳෝනා නගන්නේ බොරුවට බව ද පැහැදිලිය. ඔවුනට සැබෑවට ම අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදය අවුලවා දේශපාලන වාසි ලබාගැනීමට බව ද පැහැදිලිය.

මේ දිනවල ඊනියා දේශපේ‍්‍රමීන්ගේ විරෝධයට තුඩුදී ඇති අනෙක් කාරණය වන්නේ, තහනම් සංවිධාන හා පුද්ගලයන්ගේ ලැයිස්තුව සංශෝධනය කිරීමය. මෙතෙක් එම ලැයිස්තුවට ඇතුළත්ව සිටි පුද්ගලයන් 264 දෙනෙකු සහ සංවිධාන 8ක් ඉන් ඉවත් කිරීමය. මෙම තහනම් ලැයිස්තුව සංශෝධනය කරනු ලැබුවේ තනි පුද්ගලයෙකුගේ හෝ දෙතුන් දෙනෙකුගේ හිතුමතයට නොව, ඒ සඳහා විශේෂයෙන් පත්කරන ලද කමිටුවක නිර්දේශයකට අනුව බව, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පසුගිය දෙසැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය. මෙහි සභාපතිත්‍වය විදේශ අමාත්‍යවරයා විසින් දරනු ලබන අතර, ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ති‍්‍රවිධ හමුදා, බුද්ධි අංශ, නීතිපති දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ෂන ඒකකය, ශ්‍රී ලංකා මහ බැංකුව යනාදී වශයෙන් වූ ආයතන ගණනාවක නියෝජිතයෝ කමිටුවේ සාමාජිකත්‍වය දරති. තහනම් ලැයිස්තුවට ඇතුළත්ව සිටි සංවිධානවල සහ පුද්ගලයන්ගේ පසුගිය වසර තුනක කාලය තුළ කි‍්‍රයාකාරකම් කමිටුවේ විශේෂ විමර්ෂනයට ලක්වූ අතර, ත‍්‍රස්තවාදී සංවිධානවලට මූල්‍යාධාර සහ අවිආයුධ සැපයීම, සෘජුව ත‍්‍රස්තවාදී කටයුතුවල නිරතවීම වැනි කරුණු කෙරෙහි කමිටුව විශේෂ අවධානය යොමුකොට ඇත්තේය. ඒ අනුව බලනා විට, තහනම් සංවිධාන ලැයිස්තුව සංශෝධනය කිරීම ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් බවට ඇතමුන් අඳෝනා නගන්නේ ද බොරුවට බව පැහැදිලිය. ඔවුන් එසේ කරන්නේ රට-ජාතිය ගැන වූ අවංක කැක්කුමක් නිසා නොව ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමට බව ද පැහැදිලිය.

මේ අන්දමට ජාතිවාදී සටන්පාඨ හරහා ජනතා හැඟීම් ඇවිස්සීම, පසුගිය රජය සමයේ එක්තරා අන්දමක රෝගයක් බවට පත්ව තිබුණේය. එම රෝගය කෙතරම් උත්සන්න වී තිබුණේද යත්, රජයේ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාකාරකම් විවේචනය කරන උදවිය දේශද්‍රෝහීහු ලෙස හංවඩු ගැසුණාහ. අනෙක් අතට, රජයේ සියලූ කටයුතුවලට එහෙයි කියමින් හිස වැනූ උදවිය දේශපේ‍්‍රමීහු ලෙස ප‍්‍රශංසා ලැබූහ. මේ හේතූන් නිසාම, 2009 යුද්ධය අවසන්වීමෙන් පසුව රට තුළ ස්ථීර සාමයක් උදාකරන්නට, ජාතික සංහිඳියාව ගොඩනගන්නට ලැබුණු අපූරු අවස්ථාවක් මඟහැරුණේය. එහෙත් වාසනාවකට මෙන්, පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී ද බහුතර ලාංකේය ජනතාවක් විසින් ජාතිවාදය තරයේ ප‍්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. නිදසුනක් ලෙස, යාපනය දිස්ති‍්‍රක්කයට ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වුණු පැරණි කොටි සාමාජිකයන් 10 දෙනා ලබාගත්තේ 1,979ක් තරම් වූ සුළු ඡන්ද ප‍්‍රමාණයක් වන අතර, එය එල්ටීටීඊ මතවාදය (අන්ත ජාතිවාදය) යාපනය දිස්ති‍්‍රක්කයෙන් ලැබූ පැහැදිලි පරාජයක් වන්නේය. ඔවුන් පමණක් නොව, තවමත් එල්ටීටීඊ මතවාදයට ආවඩන සහ අන්ත ජාතිවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගේ සහාය ලබන, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්‍වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණ පසුගිය මැතිවරණයේදී ලබාගත් මුළු ඡන්ද ප‍්‍රමාණය 18,644කි. මින් කියැවෙන්නේ, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු-නැගෙනහිර දමිල ජනතාව අන්ත ජාතිවාදය තරයේ ප‍්‍රතික්‍ෂේප කොට ඇති බවය. උතුරේ පමණක් නොව දකුණේ ද බහුතරයක්, ජාතිවාදය කරපින්නාගත් සංවිධානවලට සිය කතිරයෙන් දරුණු ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවේය. බොදුජන පෙරමුණ නමින් නාගයා ලකුණින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණු බොදුබල සේනා සංවිධානය දිස්ති‍්‍රක්ක 17කින් ම ලබාගෙන ඇත්තේ 20,377ක් තරම් වූ සුළු ඡන්ද ප‍්‍රමාණයක් පමණය.

මේ අනුව බලනා විට, ජනවාරි 8 වැනිදා ලාංකේය බහුතරයක් විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබූ ජාතිවාදය, අගෝස්තු 17 වැනිදා දෙවෙනි වතාවටත් ප‍්‍රතික්‍ෂේප වූ බව පැහැදිලිය. මෙම පසුබිම තුළ, මෙරට වෙසෙන විවිධ ජාතීන් අතර සමගිය, සහයෝගීතාවය නැංවීමට තවත් ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය. ජාතික සංහිඳියාව ගොඩනැගීමේ එම දුෂ්කර කටයුත්තට සහාය දෙනු වෙනුවට, ජාතිවාදය අවුලවා දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම, ජනාධිපතිතුමා පවසන පරිදි ම මහා පාප කර්මයක් ම වන්නේය.

Back to Home page