Colombo Telegraph

ලාංකේය සමාජවාදී ව්‍යාපාරයේ වත්මන් පෙරගමන්කරුවා කව්ද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

වසර හතළිස් හතක් තරම් වූ දිගු කාලයක් සමාජවාදී කියුබාවට නායකත්‍වය දුන් ෆිදෙල් කස්ත්‍රෝ නමැති ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා පසුගිය නොවැම්බර් 23 දින මෙලොවින් සමුගත්තේය. 1926 අගෝස්තු 23 දින උපත ලැබූ කස්ත්‍රෝ මිය යන විට 90වැනි වියේ පසුවූයේය. 1959දී එවකට කියුබානු ජනාධිපතිවරයාව සිටි බැටිස්ටාගේ පාලනය සන්නද්ධ අරගයකින් පෙරළා දැමූ ෆිදෙල් කස්ත්‍රෝ කියුබාව තුළ සමාජවාදී රාජ්‍යයක් ගොඩනගන්නට මුල පිරුවේය. කස්ත්‍රෝගේ සමාජවාදී පාලනය යටතේ කියුබාව සුවිසල් ජයග‍්‍රහණ රැුසක් ම අත්පත් කරගත් අතර, සෞබ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර ඒ අතර ප‍්‍රධාන තැනක් ගන්නේය. එහෙත් ඔහුගේ විරුද්ධවාදීහු කස්ත්‍රෝව ඒකාධිපතියෙකු ලෙස හඳුන්වති. ප‍්‍රතිවිරුද්ධ අදහස් නොඉවසූ කස්ත්‍රෝගේ කියුබාවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින් ම අතුගා දැමුණු බවටත්, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වළ දැමුණු බවටත් ඔවුහු චෝදනා කරති. තවත් පැත්තකින් බලනා විට, කස්ත්‍රෝ නායකත්‍වය දුන් සමාජවාදී කියුබානු රාජ්‍යය ලෝ පුරා විසුරුණු සමාජවාදීන් දහස් ගණනකට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. ලෝ පුරා සමාජවාදීන් දහස් ගණනක් තුළ නව අපේක්‍ෂාවන් පුබුදුවාලීමට සමාජවාදී කියුබානු රාජ්‍යය සමත් වූයේය.

කස්ත්‍රෝගේ වියෝව ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ විශාල හිඩැසක් නිර්මාණය කරන ලද අතර එය පිරවීම පහසු කටයුත්තක් නොවන්නේය. එමෙන්ම, සමාජවාදී ව්‍යාපාරයේ අනාගතය කෙබඳු වේද, සමාජවාදය යනු හුදෙක් හිතලූවක් පමණක්ද යන ප‍්‍රශ්න, කස්ත්‍රෝගෙන් තොර ජගත් සමාජවාදී ව්‍යාපාරය තුළ වඩාත් තීව්ර ව මතුවීමට ඉඩ ඇත්තේය. එවන් සංවාදයකට ලෝක සමාජවාදීන් තල්ලූ කරවන තවත් සුවිශේෂී කරුණක් වන්නේ, 2016 දෙසැම්බරය වන විට සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටී වසර 25ක් පිරීමය. වඩාත් නිශ්චිතව කියතොත්, 1991 දෙසැම්බර් 26 වැනිදා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය නිල වශයෙන් විසුරුවා හරිනු ලැබුවේය. එදා මෙදා තුර ගතවූ දශක දෙකහමාරක කාලය තුළ, ලෝ පුරා සමාජවාදීහු බොහෝ දෙනෙක් සමාජවාදයේ වලංගුතාවය පිළිබඳ වූ සංවාදයට ක‍්‍රියාකාරීව එක්ව සිටියහ.

අපගේ අදහස අනුව නම්, සමාජවාදය පිළිබඳ වූ සිහිනය මානව වර්ගයා වෙතින් කිසිදා මැකී නොයනු ඇත්තේය. වඩා යුක්ති සහගත, වඩා සාධාරණ සමාජයක් පිළිබඳව මානව වර්ගයා තුළ ඇති ඇල්ම කිසිදා මැකී නොයනු ඇත්තේය. ඒ නිසාම, සමාජවාදී ස්ථාවරයේ පිහිටා සිටින වාමාංශික දේශපාලන පක්‍ෂවලට ද සදාකාලිකව ම උරුම වූ කාර්යභාරයක් ඇත්තේය. ලෝකයේ බොහෝ රටවල විවිධ නම්වලින් ක‍්‍රියාත්මක වන මාක්ස්වාදී, සමාජවාදී, වාමාංශික දේශපාලන පක්‍ෂවලට පැවරුණු කාර්යභාරයක් ඇත්තේය. එම කාරණය අප රටේ වාමාංශික දේශපාලන පක්‍ෂවලට ද එලෙසින් ම අදාළය. මෙහිලා විවිධ දේශපාලන මතවාදවලින් සන්නද්ධ වී සිටින දේශපාලන පක්‍ෂ නා නා ප‍්‍රකාර තර්ක-විතර්ක ඉදිරිපත් කළද, වඩා වැදගත් වන්නේ අදාළ දේශපාලන පක්‍ෂය පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන් ද, කාගේ අවශ්‍යතා වෙනුවෙන් ද යන්නයි. වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ හඬ, දුප්පත් මිනිසුන්ගේ හඬ නියෝජනය කරන්නට අදාළ දේශපාලන පක්‍ෂය කොතෙක් දුරට සමත් වන්නේ ද යන්නයි.

ඒ දෘෂ්ඨිකෝණයෙන් බලනා විට, ලාංකේය දේශපාලන කරළියේ සමාජවාදී හා/හෝ වාමාංශික දේශපාලන පක්‍ෂ අතුරින් ඉදිරියට ඒමට ජනතා විමුක්ති පෙරමුණ සමත් වී ඇති බවක් පෙනෙන්නේය. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය ජනතාවගේ හඬ නියෝජනය ප‍්‍රධාන දේශපාලන බලවේගයක් බවට පත්වීමට ජවිපෙ සමත්ව සිටින්නේය. වෙනත් වචනවලින් කියතොත්, මීට දශක කිහිපයකට ඉහතදී ලංකා සමසමාජ පක්‍ෂයටත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයටත් හිමිව තිබුණු තැන තමන් වෙත නතුකරගැනීමට ජවිපෙ මේ වන විට සමත්ව සිටින්නේය. එදා ජනතාව වෙනුවෙන් හඬ නැගූ වාමාංශික දේශපාලනඥයන්ව ජනතාව විසින් ම හඳුන්වනු ලැබුවේ, “අන්න නියම සමසමාජකාරයෙක්” නැතිනම් “නියම කොමියුනිස්ට්කාරයෙක්” හැටියටය. එහෙත් එදා සමසමාජකාරයාට හා කොමියුනිස්ට්කාරයාට සමාජයේ හිමිව තිබුණු ඒ තැන, අද වන විට “ජේවීපීකාරයාට” හිමි වී ඇත්තේය. 2014දී අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ නායකත්‍වයට පත්වීමෙන් පසුව පක්‍ෂය පොදු ජනතාව අතරට ගෙනයාමට දරන ලද ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵල මේ වන විට ලැබෙමින් තිබෙන බවක් පෙනෙන්නේය. 1994දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක්වීමෙන් පසුව මේ දක්වා වූ වසර 22ක කාලය තුළ ජවිපෙ මුහුණ දුන් විවිධ හැලහැප්පීම් දෙස බලනා විට, එම පක්‍ෂය මේ වන විට ලබා ඇති ජනප‍්‍රියතාවය අගය කළ යුතුය.

ලාංකේය සමාජවාදී ව්‍යාපාරය තුළ වත්මන් පෙරගමන්කරුවා බවට පත්වීමට ජවිපෙ සමත් වී තිබුණද, අප රටට සමාජවාදී සංකල්ප හඳුන්වාදීමෙහිලා සමසමාජ-කොමියුනිස්ට් පක්‍ෂ වෙතින් ඉටු වූ මෙහෙය සුළුපටු නොවන්නේය. වර්තමානයේ සමාජවාදී අදහස් නියෝජනය කරන ඇතැම් තරුණ දේශපාලනඥයෝ පැරණි වාමාංශික පක්‍ෂ ඉටුකළ කාර්යභාරය ගැන හරිහැටි නොදනිති. නැතිනම් හිතාමතා ම අමතක කරති. ඔවුන් එයාකාරයට අතීතය අමතක කරන්නට උත්සාහ දැරුවාට, ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්‍ෂය හැටියට ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉටු වූ සුවිසල් මෙහෙය ලාංකේය දේශපාලන ඉතිහාසයෙන් මකා දැමිය නොහැකිය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන වැනි වාමාංශික දේශපානඥයන්ගේ මූලිකත්‍වයෙන්, 1935 දෙසැම්බර් 18දා පිහිටුවනු ලැබු ලංකා සමසමාජ පක්‍ෂයෙන් එදා මෙදා තුර ඉටුවූ සේවය මකා දැමිය නොහැකිය.

1936, 1947 සහ 1956 යන වසරවල පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී ප‍්‍රධාන විපක්‍ෂය බවට පත්වීමෙන් ම, එවකට ලංකා සමසමාජ පක්‍ෂය සතුව තිබුණු ජනපි‍්‍රයතාවය පැහැදිලි වන්නේය. සමාජවාදී දේශපාලන සංකල්ප ලාංකේය සමාජයට හඳුන්වාදීමෙහිලා පැරණි වාමාංශික නායකයන්ගෙන් ඉටු වූ මෙහෙය කිසිසේත් ම අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. ධනවාදී සමාජයක් තුළ පීඩිත පන්තිය සූරාකෑමට ලක්වන ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලාංකේය කම්කරු ජනතාවට මුල්වරට ලබාදුන්නේ පැරණි වාමාංශික නායකයන්ය. වෙනත් වචනවලින් කියතොත්, ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරය නිවැරදි දේශපාලන දැක්මක් සහිතව මුවහත් වන්නට පටන් ගැනෙන්නේ සමසමාජ-කොමියුනිස්ට් පක්‍ෂවල මඟ පෙන්වීම යටතේය. දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් බවට පත්වූ, 1953 හර්තාලය ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවන්නේය.

කෙසේ වුවද, බොහෝ දේශපාලන විචාරකයන්ගේ පිළිගැනීමට අනුව, ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ බිඳවැටීමේ ආරම්භය සිදුවූයේ ශ්‍රීලනිපය සමඟ සන්ධානගත දේශපාලනයකට එළැඹීමෙන් පසුවය. 1964දී පැවති ලංකා සමසමාජ පක්‍ෂ සම්මේලනයෙන් පසුව, සුළු ධනේෂ්වර, එහෙත් ප‍්‍රගතිශීලී කඳවුරට වැඩි නැඹුරුවක් දක්වන ශ්‍රීලනිපය සමඟ සන්ධානගතවීමේ තීරණයකට එළැඹුණේය. 1970දී, ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂවලින් සමන්විත සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීම, ශ්‍රීලනිප-වාමාංශික සන්ධාන දේශපාලනයේ සුවිශේෂී කඩඉමක් වන්නේය. සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණ රැුසක් දියත් කෙරුණු බව ඇත්තක් වුවද, වැඩි කල් නොගොස් ශ්‍රීලනිපයේ ධනේෂ්වර බලවේග ආණ්ඩුව තුළ වාමාංශික මතවාදය යටපත් කර නැගී සිටියේය. අවසානයේ, සමසමාජ-කොමියුනිස්ට් දෙපක්‍ෂයේ ම නායකයන්ට එල්ල වූ චෝදනාව වූයේ, ඇමති වරප‍්‍රසාද වෙනුවෙන් සමාජවාදී අරමුණු පාවා දුන්නේය යන්නයි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමසමාජ-කොමියුනිස්ට් දෙපක්‍ෂය ම බරපතල සෝදාපාලූවකට ලක්වූයේ මෙම පසුබිම තුළය.

ඊට අමතරව, පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ පැරණි වාමාංශික නායකයන් කටයුතු කළ ආකාරය ද, සමාජවාදයට හා වාමාංශික මතවාදයට ඇල්මක් දක්වන ජනතාවගේ දැඩි අප‍්‍රසාදයට හේතුවූයේය. 2009 මැයි මාසයේදී තිස් වසරක සිවිල් යුද්ධය නිමවීමෙන් පසුව ද මහින්ද රාජපක්‍ෂ රජය දිගින් දිගට ම ජාතිවාදී මඩ ගොහොරුවේ එරෙද්දී, පැරණි වම නියෝජනය කරන දේශපාලන නායකයන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජනතාවගේ අප‍්‍රසාදයට හේතුවූයේය. යුද ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි සන්ධාන රජයේ ඇතැම් බලධාරීන් ජාතිවාදී සටන්පාඨවලට මුවා වී තම තමන්ගේ දූෂිත ක‍්‍රියාකාරකම් වසා ගැනීමට වෙර දරද්දී, පැරණි වාමාංශික නායකයන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජනතාවගේ අප‍්‍රසාදයට හේතුවූයේය. පැරණි වමේ දේශපාලන නායකයෝ එසේ නිහඬව සිටිමින්, මහින්ද රාජපක්‍ෂ රජයේ අවසාන අදියරේ ක‍්‍රියාත්මක වූ දූෂිත පාලනයට සහයෝගය දුන්නාහ. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී වඩා ප‍්‍රගතිශීලී පිළ නියෝජනය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය නොදැක්වීමෙන්, පැරණි වම තවදුරටත් අප‍්‍රසාදයට ලක්වූයේය. ඇතැම් වාමාංශික නායකයෝ එතෙකින් නොනැවතී, දෙවරක් ම බහුතර ලාංකේය ජනතාවක් විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලද මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ යළි නැගිටින්නට උත්සාහ කරති. වඩාත් නිවැරදිව කියතොත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පිහිටෙන් තමනට අහිමි වූ මැතිඇමති වරප‍්‍රසාද යළි ලබාගන්නට උත්සාහ කරති.

ඉහත කී පරිදි, සමසමාජකාරයාට හා කොමියුනිස්ට්කාරයාට සමාජයේ හිමිව තිබුණු තැන අද වන විට තමන් වෙත නතුකරගැනීමට ජේවීපීකාරයා සමත්ව සිටින්නේ මෙවන් පසුබිමක් තුළය. ඒ අතර ම, ජවිපෙට අද සමාජය තුළ හිමි වී තිබෙන මෙම පිළිගැනීම (ප‍්‍රසාදය) රැුකගත හැකි වන්නේ, ඉහත කී පරිදි, ඔවුන් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිනා තුරු පමණය. ඔවුන් පොදු ජනතාවගේ හඬ, දුප්පත් මිනිසුන්ගේ හඬ නියෝජනය කරනා තුරු පමණය. යම් හෙයකින් ජවිපෙ එම කාර්යයෙන් දුරස් වුවහොත්, සමාජවාදයට හා වාමාංශික මතවාදයට ඇල්මක් දක්වන ජනතාව වෙනත් දේශපාලන බලවේගයක් සොයා යනු ඇත්තේය. ඉහත කී පරිදි, සමාජවාදය පිළිබඳ වූ සිහිනය සාමාන්‍ය ලාංකේය ජනතාව වෙතින් ද කිසිදා මැකී නොයනු ඇත්තේය.

Back to Home page