Colombo Telegraph

ශ්‍රීලනිපය ජාතිවාදයෙන් ගලවාගැනීමේ අවශ්‍යතාවය

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

“එක්සත් ජාතික පක්‍ෂයට එකතුවීමෙන් මා තැබූ බලාපොරොත්තු අතුරින් පළමුවැන්න ඉෂ්ඨ වූයේය. එය නම්, ස්ථීරසාර ආණ්ඩුක‍්‍රමයක් පිහිටුවා ගැනීමය. එහෙත්, එජාපයට බැඳීමෙන් මා අපේක්‍ෂා කළ මහජන සංවර්ධන අරමුණු සියල්ලක්ම පාහේ ව්‍යර්ථ වූයේය. ප‍්‍රතිපත්ති සම්පාදනයේදී ඇතිවන මතභේද පිළිගැනීමට මගේ අකමැත්තක් නැත්තේය. එහෙත්, මහජනතාවගේ යහපත අරභයා කෙරෙන කටයුතු පිළිබඳව මේ වන විට උදාවී ඇත්තේ ඛේදණීය තත්ත්වයකි. අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල් නිදහස සම්බන්ධයෙන් මුහුණ දුන් තත්ත්වයට වඩා පහසු තත්ත්වයක් යටතේ අපි ජාතික නිදහස ලබා ගත්තෙමු. අප අතරේ අභ්‍යන්තර භේදයක් නොපැවතුනේ අපේ ජාතික භාණ්ඩාගාරය පිරී පැවතුන නිසාය. මෙය, අපේ නිදහස් ලංකාව තුළ ජාතික ප‍්‍රශ්නය විසඳා ගැනීමට උදාවුණු ස්වර්ණමය අවස්ථාවකි. සමාජයීය වශයෙන්ද, ආර්ථිකමය වශයෙන්ද, සංස්කෘතිකමය වශයෙන්ද එම අවස්ථාව අප හමුවේ පැවතුණේය. එහෙත්, අභාග්‍යයකට මෙන් එම වටිනා අවස්ථාව අපි පැහැර හැරියෙමු. එහි ප‍්‍රතිඵලය වූයේ, ජාතික ප‍්‍රශ්නය වඩ වඩා උග‍්‍රවීමය.”

1952 ජූලි 12 වැනිදා, එවකට සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යවරයාව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගනිමින් පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් උපුටා ගත් කොටසකි ඉහතින් ගෙනහැර දැක්වූයේ. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්ව, 1952 සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ ඞී.එස්. සේනානායක මහතාගෙන් පසුව පක්‍ෂ නායකත්‍වය ලැබෙනා බවට සහතිකයක් නොතිබුණු නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද, ශ්‍රීලනිපයේ බිහිවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට විවාදයක් නැත්තේය. එවකට රට තුළ බලවත්ව පැවති එජාපය ධනේශ්වර දේශපාලනයට නෑකම් කී හෙයින්, ඊට විකල්පයක් ලෙස වඩා ප‍්‍රගතිශීලී මුහුණුවරකින් ශ්‍රීලනිපය නිර්මාණය කරන්නට බණ්ඩාරනායක මහතා සමත් වූයේය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නම්වූ පංච මහා බලවේගය ශ්‍රීලනිපය වටා රොක්වන්නේ, ශ්‍රීලනිපයේ එකී ප‍්‍රගතිශීලී මුහුණුවර නිසාය.

අද බණ්ඩාරනායක චින්තනය වෙනුවෙන් පෙනී සිටින සමහර ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට අමතක වූවාට (වඩාත් නිවැරදිව කියතොත්, හිතාමතා අමතක කරනු ලැබුවාට), බණ්ඩාරනායක මහතා ජාතිවාදය තරයේ ප‍්‍රතික්‍ෂේප කළ අයෙකි. ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් සෘජුව පෙනී සිටි අයෙකි. ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් සඳහා “රට සභා” නමින් හැඳින්වෙන ප‍්‍රාදේශීය පාලන ව්‍යුහයක් ඇතිකළ යුතු යැයි බණ්ඩාරනායක මහතා යෝජනා කළ අතර, එය වර්තමාන පළාත් සභා ක‍්‍රමයට නෑකම් කියන්නකි. 1956 අපේ‍්‍රල් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අගමැති ධූරයට පත්වීමෙන් පසුව, බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පැවතියේ ජාතික ප‍්‍රශ්නය විසඳීමය. බණ්ඩාරනායක අගමැතිවරයා එවකට ප‍්‍රධාන දමිල දේශපාලන පක්‍ෂයේ නායකයා වූ එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා සමඟ, 1957 ජූලි 27 වැනිදා ගිවිසුමකට එළඹෙන්නේ ජාතික ප‍්‍රශ්නයට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අන්ත ජාතිවාදීන්ගේ බලපෑම මත, 1958 මැයි මාසයේදී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඉරා දමන්නට බණ්ඩාරනායක මහතාටම සිදුවීම රටේත් ජාතියේත් අභාග්‍යයක්ම වන්නේය. එදා බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම හරිහැටි ක‍්‍රියාවට නැංවීමට හැකිවූයේ නම්, තිස් වසරක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ නොදීමට තරම් ලාංකේය ජනතාව වාසනාවන්තවීමට ඉඩ තිබුණේය.

බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව ශ්‍රීලනිපයේ නායකත්‍වයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සිය පක්‍ෂයේ ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තීන් දිගටම රැුකගැනීමට සමත් වූවා පමණක් නොව, ශ්‍රීලනිපය ජාතිවාදී බිල්ලාට හසුනොවීමට ද වගබලා ගත්තාය. එහෙත්, 1987 ජූලි 29 දා අත්සන් තැබුණු ඉන්දු-ලංකා ගිවිසුමටත්, ඒ හරහා හඳුන්වා දුන් 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් විරුද්ධවීම, ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ගත් වැරදි තීන්දුවක් බව අපගේ නම් අදහසය. එවකට ජේ.ආර්. ජයවර්ධන පාලනය ගෙනගිය මර්ධනකාරී පිළිවෙතට විරෝධය දැක්වීම සඳහා ඉන්දු-ලංකා ගිවිසුම යොදාගනු ලැබුවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද, අපගේ අදහස අනුව නම්, 13වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මෙතෙක් ක‍්‍රියාත්මක කෙරුණු වඩාත්ම ප‍්‍රගතිශීලී විසඳුම වන්නේය. ඒ අතරම, 13වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා, ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම විවාද සම්පන්න බව ඇත්තය. එමෙන්ම, දැනට ක‍්‍රියාත්මක පළාත් සභාවල දක්නට ලැබෙන අඩුපාඩු-අක‍්‍රමිකතා හේතුවෙන් එවා සුදු අලියන් බවට පත්ව තිබෙන්නේය යන තර්කයට ද සාධාරණ පදනමක් ඇත්තේය. එහෙත්, එසේ වූ පමණින්, ලාංකේය සමාජාර්ථික දේහය වෙලාගෙන ඇති ප‍්‍රශ්නයට ඇති හොඳම විසඳුම බලය විමධ්‍යගත කිරීමය යන තර්කය නිෂේධනය නොවන්නේය.

කෙසේ වුවද, 1994 ඔක්තෝබර් 7 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන්, ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රමාණයෙන් 62%ක වාර්තාගත ප‍්‍රතිශතයක් ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබුවේ සිංහල-දෙමළ-මුස්ලිම් බහුතරයකගේ සහයෝගය ඇතිවය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලනය සම්බන්ධයෙන් කොතෙකුත් චෝදනා ඇතත්, ජාතික ප‍්‍රශ්නය අරභයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සාපේක්‍ෂ වශයෙන් නිවැරදි ස්ථාවරයක පිහිටා කටයුතු කළ බව බැහැර කළ නොහැකිය. එතුමියගේ නායකත්‍වයෙන්, 2000 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ, බලය විමධ්‍යගත කිරීම ඉලක්ක කරගත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය ද, අවසථාවාදී දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් පරාජයට පත්වූයේය. 2005 වසර වන විට, රට පුරා සිංහල-දෙමළ-මුස්ලිම් විශාල පිරිසක් මහින්ද රාජපක්‍ෂ මහතා වටා රොක්වන්නේ යළිත් වතාවක් අපේක්‍ෂාවන් රැුසක් පොදි බැඳගෙනය. ඒ අතුරින් ප‍්‍රධාන අපේක්‍ෂාව මුදුන්පත් කරමින්, තිස් වසරක කුරිරු යුද්ධය නිමාකිරීම සඳහා දේශපාලන නායකත්වය දීමට රාජපක්‍ෂ මහතාට හැකිවිය.

එහෙත්, 2009 දී යුද්ධය නිමාවීමෙන් පසුව, ජාතික සංහිඳියාව ඇතිකිරීම සඳහා උදාවුණු ස්වර්ණමය අවස්ථාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හිතාමතා ම මඟහැරියේය. 1952 ජූලි මාසයේදී, එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුව අමතා පැවසූ වදනින්ම කියතොත්, “අභාග්‍යයකට මෙන් එම වටිනා අවස්ථාව ද අපි පැහැර හැරියෙමු.” යුද ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි මහින්ද රාජපක්‍ෂ පාලනය තවදුරටත් යුද උන්මාදය තුළම ජීවත්වීමට වෙර දැරුවා විනා, තුවාල වූ සිත්සතන් සුවපත් කිරීමට උත්සාහයක් දැරුවේ නැත. යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි-මහාමාර්ග යළි ගොඩනගන්නට පටන් ගත්තා විනා, බිඳුණු හදවත් සුවපත් කරන්නට උත්සාහයක් දැරුවේ නැත. ඒ වෙනුවට, ජාතිවාදී සටන්පාඨවලට මුවාවී තමන්ගේ දූෂිත ක‍්‍රියාකාරකම් වසා ගැනීමට මහින්ද රාජපක්‍ෂ පාලනය උත්සාහ දැරවේය. “බලය”, “සේනාව” යනාදී වශයෙන් විවිධ නම්වලින් බිහිවූ අන්තවාදී ආගමික සංවිධානවලට හිතුමතේ ජාතිවාදය-ආගම්වාදය ඇවිලීමටත්, විටෙක රාජ්‍ය පාලන කටයුතුවලට ඇඟිලි ගැසීමටත් ඉඩකඩ විවර විය. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ සන්ධාන ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද ඉහළ සිට පහළටම ජාතිවාදී මඩ ගොහොරුවේ එරුණේය. කෙටියෙන් කියතොත්, ජාතිවාදී මතවාදය රට පුරා අධිපතිවාදී මතවාදයක් බවට පත්වූයේය. ඊට එරෙහිව යන්නවුන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ලැබිණි.

මෙබඳු පසුබිමක් තුළ හෙම්බත් වී සිටි සිංහල-දෙමළ-මුස්ලිම් බහුතරයක් විසින්, 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාව වැඩි ඡන්ද 449,072කින් ජයග‍්‍රහණය කරවනු ලැබුවේ බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනය. විශේෂයෙන්, උතුරු-නැගෙනහිර දෙපළාතේ දමිල ජනතාවගෙන් අතිබහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ප‍්‍රකාශ කළේ, රට තුළ යළිත් ජාතික සංහිඳියාව ගොඩනගනු ඇතැයි යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනය. 2015 ජනවාරියට පෙරාතුව පැවති තත්ත්වය හා සසඳන විට ගෙවී ගිය මාස පහළොවක පමණ කාලය තුළ, ජාතික සංහිඳියාව ගොඩනැගීමේ අරමුණින් සාධනීය පියවර ගණනාවක්ම ගත් බව ඇත්තය. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධූරයට පත්වීම, උතුර හා නැගෙනහිර දෙපළාතට සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම, පාරම්පරිකව අයිතිව තිබී යුද්ධය නිසා අහිමි වුණු ඉඩම් සැබෑ අයිතිකරුවන්ට යළි පවරාදීම වැනි දෑ ඊට නිදසුන්ය. එහෙත්, ජාතික ගැටළුවට දීර්ඝකාලීන, ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ ක‍්‍රියාවලිය ඉදිරියට ඇදෙන්නේ තරමක මන්දගාමී ස්වරූපයකින් යුක්තවය. එවන් පසුබිමක් තුළ, එනම් දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට යහපාලන ආණ්ඩුව අපොහොසත් වුවහොත්, උතුරු-නැගෙනහිර දෙපළාතේ අන්ත ජාතිවාදය යළි හිස එසවීමේ තර්ජනයක් මතුවීමට ඉඩ ඇත්තේය. උතුරු-නැගෙනහිර දෙපළාතේ පමණක් නොව, මේ වන විට මුළු රට පුරාම ජාතිවාදය යළි හිස එසවීමේ තර්ජනයක් මතුව ඇතැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය. ඒකාබද්ධ විපක්‍ෂය යටතේ ගොනුවී සිටින ජාතිවාදී බලවේග සිය ශක්තිය ප‍්‍රදර්ශනය කරන්නට පටන් ගෙන ඇති හෙයින්, ඉහත කී ජාතිවාදී තර්ජනය වැඩිවෙමින් පවතින්නේය.

පසුගිය මාර්තු 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේ පැවති, ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලැබූ “ජන සටන” විරෝධතා රැුළියට මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 36 දෙනෙකු සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කොට තිබුණේය. ඒ, ශ්‍රීලනිපයේ නොවන වෙනත් පක්‍ෂ හා කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන කටයුතුවලට සහභාගී නොවන ලෙස පක්‍ෂයේ මහලේකම්වරයා ලිඛිතව දැනුම් දී තිබියදීය. ඒ අනුව බලනා විට, “ජන සටන” විරෝධතාවයට එක්ව සිටින ශ්‍රීලනිප මන්තී‍්‍රවරුන් සෘජුවම පක්‍ෂ නායකත්‍වයට අභියෝග කරනා අතර, මෙම වාතාවරණය යටතේ ශ්‍රීලනිපය දෙකඩවීමේ සැබෑ තර්ජනයක් මතුව ඇත්තේය. මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලන පක්‍ෂ අභ්‍යන්තර අර්බුදවලට මුහුණදීම පුදුමයට හේතුවක් නොවන බව ඇත්තක් වුවද, ශ්‍රීලනිපයේ වත්මන් අර්බුදය ජාතික සංහිඳියා ක‍්‍රියාදාමයට සෘණාත්මක බලපෑමක් කිරීමේ අවදානම සුළුකොට තැකිය නොහැකිය. විශේෂයෙන්, ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයක් ජාතිවාදී සටන්පාඨවලට මුවාවී සිය දේශශපාලනය දියත් කරන උදවිය බැවින්, ඔවුන් යළිත් ශ්‍රීලනිපය තුළ බලවත් වුවහොත්, ශ්‍රීලනිපය 2015 ජනවාරියට පෙර පැවති පරිදිම යළි ජාතිවාදය කරා ඇදී යා හැකිය. ශ්‍රීලනිපයේ නායකයා රටේ ද නායකයා වීමේ පසුබිමක් තුළ, මෙම තත්ත්වය ජාතික සංහිඳියා ක‍්‍රියාදාමයට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇත්තේය. ශ්‍රීලනිපය ජාතිවාදයෙන් ගලවාගැනීමේ අවශ්‍යතාවය යළි තදින්ම මතුව ඇතැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය.

Back to Home page