Colombo Telegraph

ජාත්‍යන්තරය දිනා ගනිද්දී රට තුළ විශ්වාසය දියවී යාවිද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී රටේ බහුතරයක් විසින් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාව වැඩි ඡන්ද 449,072කින් ජයග‍්‍රහණය කරවනු ලැබුවේ බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ අවසාන භාගයේදී රට ඒකාධිපතිත්‍වයක් කරා තල්ලූවෙමින් පැවති ගමන නවතා දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම, ජනවාරි 8 නිහඬ විප්ලවයේ මූලික අරමුණක් වූූයේය. ඒ හැරුණු කොට, නීතියේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම, සමස්ත ලාංකේය සමාජය පුරාවට පිළිකාවක් ලෙසින් පැතිර යමින් පැවති වංචාව සහ දූෂණය මුලිනුපුටා දැමීම මෙන්ම පසුගිය කාලයේ මහා පරිමාණ වංචා-දූෂණවල නිරත වූ අයට දඬුවම් පැමිණවීම ද ජනවාරි 8 විප්ලවයේ අරමුණු අතර විය. මෙම අරමුණු ඉලක්ක කරගෙන, “100 දිනකින් අලූත් රටක් හදන දිනපොත” නමින් වූ වැඩසටහනක් ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ ඒ කාර්යයන් සඳහා නිශ්චිත දින වකවානු ද එහි සඳහන්ව තිබුණේය.

දින සියයක කාලයක් සඳහා පත්කරනු ලැබූ යහපාලන ආණ්ඩුව, ජනවාරි 8 වැනිදා සිට ජූනි 26 වැනිදා තෙක් වූ මාස පහහමාරක කාලයක් ඇදී ගිය අතර, ඒ කාලය තුළ දින සියයේ වැඩසටහනෙහි අඩංගු වී තිබුණු පොරොන්දු (කි‍්‍රයාකාරකම්) හැමෙකක් ම ක‍්‍රියාවට නැංවුණේ ද නැත. විශේෂයෙන්, පසුගිය පාලන සමයේ සිදුවූයේ යැයි කියූ දූෂණ-වංචා පිළිබඳ පරීක්‍ෂණ මන්දගාමී ස්වරූපයක් ගත් හෙයින්, ඒ සම්බන්ධයෙන් වූ ජනතා විශ්වාසය පළුදුවන්නට පටන් ගත්තේය. කෙසේ වුවද, එම කාලය තුළ යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම උදෙසා මූලික අඩිතාලම වැටුණු බව අතිශයෝක්තියක් නොවන්නේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක බලතල තරමක් දුරට හෝ කප්පාදු කිරීමක් සිදුවූ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමට පාර කැපූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් ද සිදුවූයේය. ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම මෙන්ම ස්වාධීන කොමිෂන් සභාවල නීත්‍යානුකූලභාවය යළි ලබාදීම ද, මාස පහහමාරක යහපාලන ආණ්ඩුවෙන් ඉටුවූ යහපත් මෙහෙවර වන්නේය. අවසානයේ, ජූනි 26 වැනි සිකුරාදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර, නව පාර්ලිමේන්තුවක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම පසුගිය අගෝස්තු 17 වැනිදා පවත්වනු ලැබීය.

එම මැතිවරණයේදී, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්‍වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ 5,098,916ක (45.66%ක) ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගනිද්දී, මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ යළි නැගිටීමට උත්සාහ දැරූ අය ද එකතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත්තේ ඡන්ද 4,732,664ක් (42.38%ක්) පමණය. මෙම ඡන්ද ප‍්‍රතිඵලය පිළිබඳ විවිධ විග‍්‍රහ, අර්ථකතන රාශියක් මේ වන විට ඉදිරිපත්ව තිබෙනාතර, ජයග‍්‍රහණයෙන් ඔලූව උදුම්මා නොගත් එක්සත් ජාතික පෙරමුණ සන්ධාන මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ද එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟවීම අගය කළයුතු වන්නේය. මෙම අලූත් ජාතික ආණ්ඩුවේ පළමු ඇමතිවරුන් කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 4 වැනිදා දිවුරුම් දුන් අතර, ඒ අනුව බලනා විට නව රජයේ ආයු කාලය තවම මාස තුනකටත් වඩා අඩුය. ජනවාරි 8 වැනිදා සිට මේ දක්වා කාලය සැලකිල්ලට ගත්තද, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලනයට තවම අවුරුද්දක්වත් පිරී නැත්තේය.

අද සමහර උදවිය වත්මන් රජය විවේචනය කරන්නේ එහි වයස මාස දහයක් තරම් වූ කෙටි කාලයක් බව අමතක කොට වසර හත-අටක් පැරණි ආණ්ඩුවක් පරිද්දෙන් යැයි, පසුගිය නොවැම්බර් 17වැනි දින අරලියගහ මන්දිරයේ පැවති විදේශගත ශ්‍රී ලාංකිකයන් 2000කට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ උත්සවයකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කොට තිබුණේ මෙබඳු පසුබිමක් තුළය. ජනාධිපතිතුමාගේ මෙම ප‍්‍රකාශය සත්‍යයක් බවට කිසිදු විවාදයක් නැතත්, මෙම කෙටි කාලය තුළ ඇතැම් ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපයන් බහුතර ජනතාවගේ බලවත් නොසතුටට හේතුවී ඇති බව ද අසත්‍යයක් නොවන්නේය. මාස තුනක් වයසැති ළදරු ජාතික ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපයන් තුන්මස් වියැති ළදරුවන්ගේ කි‍්‍රයාකාරකම්වල තත්ත්වයට පත්ව තිබීම සැබවින් ම කනගාටුදායකය. තුන්මස් වියැති ළදරුවන් මෙන් ඇතැම් ඇමතිවරුන් දැනටමත් හත්පොළේ ගාගෙන තිබීම සැබවින් ම කනගාටුදායකය. වත්මන් ජාතික ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ මෙම අබුද්ධිමත් ක‍්‍රියාකලාපයන් නිසා, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප‍්‍රමුඛ රජයේ ජනප‍්‍රියතාවය ඉතා ඉක්මනින් දියවී යාමේ තර්ජනයක් මතුව ඇත්තේය. විශේෂයෙන්, පසුගිය කාලය තුළ ජාත්‍යන්තර තලයේ පළුදු වී තිබුණු ශ්‍රී ලාංකේය නාමය යළි ගොඩනගන්නට මෛත‍්‍රී-රනිල් පාලනය සාර්ථක වෑයමක නිරතව සිටියදී, ඊට සමගාමීව රට අභ්‍යන්තරය තුළ ජනප‍්‍රියතාවය හීනවී ගියහොත් එය රජයේ ඉදිරි පැවැත්මට හිතකර නොවන්නේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය සැප්තැම්බරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70වැනි සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ලබාදුන් සහතිකය මතකයට නගාගැනීම මෙහිලා ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමස්ත ලෝකයේ ම විශ්වාසය දිනා සිටින රාජ්‍ය නායකයෙකු වන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් අතහිතදීමට ලෝකයේ රටවල් රැුසක් අද ඉදිරිපත්ව සිටින්නේ යැයි මහ ලේකම් බෑන් කී මූන් මහතා ඒ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනු ලැබුවේය. තවද, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපතිවරණය මෙන්ම අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ද නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වීමට කැපවීම පිළිබඳව ද බෑන් කී මූන් මහතා ජනාධිපතිවරයාට ප‍්‍රශංසාව පළ කරනු ලැබුවේය. මෙය, මෑත කාලයේ ලාංකේය රාජ්‍ය නායකයෙකු ලැබූ ඉහළ ම ඇගයීමක් බව අතිශයෝක්තියක් නොවන්නේය.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ නව රජය මේ වන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පමණක් නොව තවත් බොහෝ රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට පාත‍්‍රව ඇත්තේය. එය, දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා ඇතැම් උදවිය කියනා පරිදි, මෛත‍්‍රී-රනිල් රජය බටහිර රටවල පදයට නැටීම නිසා ලබාදෙන ව්‍යාජ ප‍්‍රශංසාවක් නොව, රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමට දරන උත්සාහය ඇගයීමට ලක්කිරීමක් වන්නේය. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට, මානව අයිතීන් සුරක්‍ෂිත කිරීමට, ජාතික සංහිඳියාව ගොඩනගන්නට මෛත‍්‍රී-රනිල් රජය දරන වෑයම ඇගයීමට ලක්කිරීමක් වන්නේය. එපමණක් නොව, චීනයට සුවිශේෂී පක්‍ෂග‍්‍රාහී බවක් දක්වමින්, මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ක‍්‍රියාත්මක කෙරුණු අසමබර-අදූරදර්ශී විදේශ ප‍්‍රතිපත්තිය වෙනුවට, පෙරදිග-අපරදිග හැම රටක ම හොඳහිත පවත්වා ගනිමින් නව රජය දියත් කරන්නට මුලපුරා ඇති විදෙස් පිළිවෙත ඇගයීමට ලක්කිරීමක් වන්නේය. එසේ වුවද, ඉහත කී පරිද්දෙන්, ජාත්‍යන්තර විශ්වාසය කොතෙක් දිනා ගත්තද, ඒ අතරතුර රට අභ්‍යන්තරයේ ජනප‍්‍රියතාවය දියවී ගියහොත් එය රජයේ පැවැත්මට අහිතකර වන්නේය.

මෙයාකාරයට, ජාත්‍යන්තරය තුළ ඉමහත් ප‍්‍රසාදයට ලක්ව තිබියදීත් රට ඇතුලත ජනප‍්‍රියතාවය බිඳවැටීම නිසා, රටේ නායකත්‍වය (බලය) අහිමි වූ රාජ්‍ය නායකයන් මෑතකාලීන ලෝක ඉතිහාසය තුළ ද කොතෙකුත් දක්නට ලැබෙන්නේය. මෙහිලා, මුලින්ම අපගේ මතකයට නැගෙන්නේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ අවසාන රාජ්‍ය නායකයා වූ මිහායිල් ගොර්බාචොව් මහතාවය. 1985 අපේ‍්‍රල් මාසයේදී සෝවියට් දේශයේ බලයට පත්වූ ගොර්බාචොව් මහතා සෝවියට් සමාජය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට මුල පිරූ අතර, එම කි‍්‍රයාදාමය හඳුන්වනු ලැබුවේ ”පෙරෙස්ත්‍රොයිකාව” නමිනි. (1982 සිට 1993 දක්වා වසර 11ක කාලයක් මොස්කව් නුවර පැටි‍්‍රස් ලූමුම්බා මිත‍්‍රත්ව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අපට, ගොර්බාචොව් මහතාගේ පෙරෙස්ත්‍රොයිකා ක‍්‍රියාදාමය හරහා සෝවියට් සමාජය වෙනස් වූ ආකාරය සියැසින් දැකගැනීමේ භාග්‍යය හිමි විය.) සෝවියට් සමාජය ප‍්‍රතිසංවිධානයකට ලක්කළ යුතු යැයි නිගමනය කිරීමෙහිලා බලපෑ සාධක පිළිබඳව, මිහායිල් ගොර්බාචොව් මහතා විසින් 1991දී ප‍්‍රකාශයට පත්කරන ලද ”අගෝස්තු කැරැල්ල” නමැති ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් කොට තිබුණේය: ”තවදුරටත් ඒ අන්දමට ජීවත්විය නොහැකි බව අවබෝධ වීම පෙරෙස්ත්‍රොයිකාවේ මූලාරම්භයට හේතුවූ ප‍්‍රධාන සාධකය වන්නේය. රටේත් සමාජයේත් පූර්ණ පරිවර්තනයකට මුල්වීම ගැන මම කනගාටු නොවන්නෙමි. ඒකාධිපතිත්වයේ සහ ප‍්‍රජා පීඩනයේ නීතිරීතිවලට අනුකූලව ගොඩනැගී තිබුණු එම සමාජයේ පැවැත්මට තවදුරටත් ඉඩදීම කිසිසේත් ම කළ නොහැක්කක් විය. පීඩනය, මුසාව සහ බිය මත පදනම් වූ එම පාලන තන්ත‍්‍රය මුළු සමාජය ම ප‍්‍රපාතයකට ඇද දැමීමට සූදානම්ව සිටියේය. තව වසර කිහිපයක් පමාවූයේ නම් කවර විනාශයක් සිදුවීමට ඉඩ තිබුණේ දැයි කිව නොහැකිය.” 1985දී මිහායිල් ගොර්බාචොව් මහතා දුටු සෝවියට් සමාජය, 2015 ජනවාරියට පෙරාතුව ලංකාවේ පැවති තත්ත්වයට කෙතරම් සමාන වන්නේද?

සිය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය හේතුවෙන් ගොර්බාචොව් මහතා ජාත්‍යන්තරය තුළ ඉමහත් ප‍්‍රසාදයක් දිනා ගත්තද, ඒ අතරතුර සෝවියට් දේශය තුළ සිටි ප‍්‍රතිසංස්කරණ විරෝධී පිරිස් ඔහුගේ පෙරෙස්ත්‍රොයිකා ක‍්‍රියාදාමයට අකුල් හෙලන්නට පටන් ගත්හ. ඒ හේතුවෙන්, රට අභ්‍යන්තරය තුළ ගොර්බාචොව් මහතාගේ ජනප‍්‍රියතාවය වේගයෙන් හීනවන්නට ද පටන් ගත්තේය. අවසානයේ, 1991 දෙසැම්බරයේදී, සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටී නව නිදහස් රටවල් 15ක් බිහි විය. මිහායිල් ගොර්බාචොව් මහතා සෝවියට් ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් පසෙක ලා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල පදයට නටන්නට පටන් ගැනීම, රට තුළ ඔහුගේ ජනප‍්‍රියතාවය දියවීමට ප‍්‍රධාන හේතුව යැයි මෙහිලා ඇතමෙක් තර්ක කරති. එහෙත්, ජාත්‍යන්තර දේශපාලනය සහ රට අභ්‍යන්තරයේ දේශපාලනය සමබරව පවත්වා ගෙනයාමට අසමත්වීම ගොර්බාචොව් මහතාගේ ඇදවැටීමට ප‍්‍රධාන හේතුව බව අපගේ නම් අදහස වන්නේය. දේශීය සහ ජාත්‍යන්තර දේශපාලන කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සමබරව පවත්වා ගෙනයාම කවර රාජ්‍ය නායකයෙකුගේ (දේශපාලනඥයෙකුගේ) වුවද වගකීමක් වන්නේය. එම සමබරතාවය බිඳුණු වහාම ඔහු අසාර්ථකත්‍වයට පත්වන්නේය. සෝවියට් දේශයේ අවසාන රාජ්‍ය නායකයා වූ මිහායිල් ගොර්බාචොව් මහතාගේ දේශපාලන ජීවිතය ද ඒ බව තහවුරු කරන්නේය.

ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්නා අතරතුර රට අභ්‍යන්තරයේ ජනප‍්‍රියතාවය රැුකගැනීම කෙරෙහි ද, මෛත‍්‍රී-රනිල් පාලනය විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇතැයි අප අවධාරණය කරන්නේ මෙබඳු පසුබිමක් තුළය. ඒ සඳහා, හුදු ජනප‍්‍රිය සටන් පාඨවලට මුවාවී කයිවාරු ගසනු වෙනුවට, ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත්තේය. බොරු සද්ද නවත්වා සැබෑවට වැඩ කිරීම පටන් ගත යුතුව ඇත්තේය. යටකී පරිදි, ජාතික ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් තුන්මස් වියැති ළදරුවන් සේ හැසිරීම නතර කළ යුතුව ඇත්තේය. ජනවාරි 8 විප්ලවයේ අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා වූ කි‍්‍රයාකාරකම් කඩිනමින් දියත් කළ යුතුව ඇත්තේය. එසේ නොවුණහොත්, පසුගිය ජනවාරි 8 වැනිදා රටේ බහුතරයක් තැබූ බලාපොරොත්තු ඉක්මනින් බොඳවී යාමට ඉඩ ඇත්තේය.

Back to Home page