Colombo Telegraph

ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන්ට සාමූහික වගකීම අමතකවීම

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පාසල් යන අවදියේ ඔබේ මිතුරෙකු හෝ මිතුරන් කිහිප දෙනෙකු කළ වරදකට මුළු පන්තියට ම දඬුවම් විඳින්නට සිදුවූ අවස්ථාවක් ඔබට මතකද? දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවකදී, හූ කීමකදී හෝ එවැනි වෙනත් ඝෝෂා කිරීමකදී වැරදිකරුවන් අල්ලා නොදීම ( “පාවා නොදීම”) නිසා මුළු පන්තියට ම දඬුවම් විඳින්නට සිදුවූ අවස්ථාවක් ඔබට මතකද? එවැනි සිද්ධීන් සැබැවින්ම සාමූහික දඬුවම් පැමිණවීමක් වන අතර, ඈත අතීතයේ සිට ම ලෝකයේ බොහෝ රටවල එවන් දඬුවම් පිළිබඳව අසන්නට ලැබෙන්නේය. එනම්, කිසියම් කණ්ඩායමක (හෝ සමාජයක) එක් සාමාජිකයෙකු හෝ දෙතුන් දෙනෙකු කළ වරදකට මුළු කණ්ඩායම ම සාමූහිකව වගකිව යුතුය යන ආකල්පය අතීතයේ සිට ම මානව සමාජය තුළ පැවතියේය. දැඩි නීතිරීති යටතේ පාලනය වන සමහර පාසල් නේවාසිකාගාරවල මෙන්ම ඇතැම් රටවල හමුදා කඳවුරුවල ද මෙම සම්ප‍්‍රදාය දක්නට ලැබෙන්නේය. කිසියම් රටකට එරෙහිව ආර්ථික සම්බාධක පැමිණවීම ද සාමූහික දඬුවම් පැමිණවීමේ ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි අතර, එවන් අවස්ථාවකදී අදාළ රටේ පාලකයන් විසින් කරනු ලබන වැරදිවලට සමස්ත රටවැසියන්ට (සාමූහිකව) දඬුවම් විඳීමට සිදුවන්නේය. (වර්තමානයේ, ලෝකයේ බලවත් රටවල් විසින් සෙසු රටවල් තම අණසකට යටත් කරගැනීම සඳහා ආර්ථික සම්බාධක අවිය භාවිත කරනු ලබන අතර, එය වෙනම ම සාකච්ඡුා කළයුතු කරුණක් වන්නේය.)

මේ හැරුණු කොට, යුද්ධයක් පවතින අවස්ථාවන්හිදී ද, සෘජුව යුද වැදී සිටිනා පාර්ශ්වයන්ට අමතරව අහිංසක ජනතාවට නිකරුණේ දඬුවම් විඳීමට සිදුවන අවස්ථා අපමණය. වසර තිහක කාලයක් තිස්සේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ගෙනගිය ම්ලේච්ඡු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් අහිංසක දෙමළ-මුස්ලිම්-සිංහල ජනතාවට විඳින්නට සිදුවූ හිරිහැර (දඬුවම්) මීට කදිම උදාහරණයක් වන්නේය. එමෙන්ම, 1939-1945 කාලය තුළ පැවති දෙවෙනි මහා ලෝක යුද්ධය සමයේ ද, නාසි ජර්මානුවන් විසින් බොහෝ අවස්ථාවන්හිදී සාමූහික දණ්ඩන ප‍්‍රතිපත්තිය අනුගමනය කොට ඇත්තේය. හිට්ලර්ගේ නාසි හමුදා පෝලන්තය ආක‍්‍රමණය කළ අවස්ථාවේ ඊට එරෙහිව සටන් වැදුණු පෝලන්ත ජාතිකයන්ගෙන් පළිගැනීම සඳහා, නාසි ජර්මානුවන් විසින් අහිංසක පෝලන්ත වැසියන් ගම් පිටින් ඝාතනය කරන ලද බව ඓතිහාසික වාර්තාවල සඳහන්ව ඇත්තේය. පෝලන්ත සටන්කාමීන් විසින් මරා දමනු ලැබූ එක් ජර්මානු සොල්දාදුවෙක් වෙනුවෙන් අහිංසක පෝලන්ත වැසියන් 100-400 අතර පිරිසක් අමු අමුවේ ඝාතනය කරන ලද බව වාර්තාවල සඳහන්ව ඇත්තේය.

කෙසේ වුවද, සාමූහික වගකීම සහ සාමූහික දණ්ඩනය යන සංකල්ප දෙක පිළිබඳ වූ මෙම අනවබෝධය නැතහොත් පටලැවිල්ල බොහෝ දුරට ලිහා ගැනීමට නූතන මානව සමාජය සමත්ව සිටින්නේය. සාමූහික වගකීම යනු, හුදෙක් කණ්ඩායමේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු අතින් සිදුවූ වරදකට මුළු කණ්ඩායම ම වගකිව යුතුය යන්නට වඩා පුළුල් අරුතක් ඇති සංකල්පයක් වන්නේය. සාමන්‍යයෙන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී අප පෞද්ගලිකව අකමැති තීන්දු තීරණවලට එකඟවීමට ද සිදුවන්නේය. කණ්ඩායම ඇතුළත කොතෙකුත් වාද විවාද කරනු ලැබූවද, බහුතරයකගේ කැමැත්ත මත කිසියම් පොදු තීරණයකට එළැඹුණු පසුව ඒ පිළිබඳ සාමූහික වගකීමක් කණ්ඩායමේ සාමාජිකයන් සියලූ දෙනා වෙත ම පැවරෙන්නේය. එබඳු පොදු තීරණයක් පිළිබඳව කණ්ඩායමෙන් පිටත, බාහිර පුද්ගලයන් ඉදිරියේ විවේචනය කිරීම කණ්ඩායමේ සාමූහික වගකීම උල්ලංඝණය කිරීමක් වන්නේය. තමන් ඒ තීරණයට කිසිසේත් ම එකඟ නොවන්නේ නම්, වඩා සුදුසු ක‍්‍රියාමාර්ගය වන්නේ එම කණ්ඩායමෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමය. එසේ නොමැතිව, තවදුරටත් කණ්ඩායමේ සාමාජිකයෙකු හැටියට සිටිමින් එහි තීන්දු තීරණ ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම සාමූහික වගකීම උල්ලංඝණය කිරීමක් මෙන්ම සදාචාර විරෝධී ද වන්නේය.

සාමූහික වගකීම පිළිබඳ වූ මෙම මතවාදය කවර රටක වුවද කැබිනට් (අමාත්‍ය) මණ්ඩලයට ද ඒ ආකාරයට ම අදාළ වන්නේය. “කැබිනට් සාමූහික වගකීම” නමින් හැඳින්වෙන මෙය ප‍්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එහි පළමු පැතිමානය වන “කැබිනට් රහස්‍යභාවය” යන්නෙන් අදහස් කෙරෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරන ලද කරුණු ප‍්‍රසිද්ධියේ හෙළි නොකිරීමට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් (අමාත්‍යවරුන්) වගකීමෙන් බැඳී සිටින්නේය යන්නයි. කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීන්දු තීරණ ජනතාවට දැනුම් දිය යුත්තේ ඒ සඳහා විශේෂයෙන් පත්කරනු ලැබූ අමාත්‍යවරයෙකු (කැබිනට් ප‍්‍රකාශකවරයා) විසිනි. කැබිනට් සාමූහික වගකීමේ අනෙක් පැතිමානය “කැබිනට් සහයෝගීතාවය” යනුවෙන් හැඳින්වෙන අතර, කැබිනට් තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටීමේදී එකම මතයක රැුඳී සිටීමට අමාත්‍යවරුන් වගකීමෙන් බැඳී සිටින බව මෙයින් අදහස් කෙරෙන්නේය. කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ කිසියම් තීන්දුවක් සම්බන්ධයෙන් තමන් පෞද්ගලික එකඟ නොවූවද, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් ඊට පක්‍ෂව ඡන්දය දීමට කැබිනට් සාමාජිකයෝ වගකීමෙන් බැඳී සිටිති. කිසියම් කාරණයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ පොදු තීරණයකට පටහැනිව තම තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව ඡන්දය ප‍්‍රකාශ කිරීමට විශේෂ අවසරයක් ලබාදී නොමැති සෑම අවස්ථාවකදී ම කැබිනට් සහයෝගීතාවය ආරක්‍ෂා කිරීමට කැබිනට් සාමාජිකයෝ වගකීමෙන් බැඳී සිටිති.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායයන් ආරක්‍ෂා වී ඇති රටවල කැබිනට් සාමූහික වගකීමට වැඩි පිළිගැනීමක් තිබෙනාතර, ඒ අතුරින්ද එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් මුල් තැනට එන්නේය. කැබිනට් සාමූහික වගකීමේ අවශ්‍යතාවය බොහෝ රටවල ව්‍යවස්ථාපිත නීතියට ඇතුළු කොට නොමැති අතර, එය එක්තරා අන්දමක දියුණු දේශපාලන සංස්කෘතියක ලක්‍ෂණයක් ලෙස ක‍්‍රියාත්මක වන්නේය. කැබිනට් සාමූහිකත්‍වය සහ සහයෝගීතාවය හුදෙක් පාලක පක්‍ෂයේ ආරක්‍ෂාවට පමණක් නොව රටේ ස්ථාවරභාවයට ද බලපාන සාධකයක් බව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේය. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයීය ප‍්‍රකාශන ආයතනය විසින් 2009 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද “වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමයේ සැසඳීමක්” නමැති ග‍්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත්තේය: “කැබිනට් සහයෝගීතාවය සහ සාමූහික වගකීම යනු වගකිවයුතු රජයක සාමාජිකයන් විසින් අනිවාර්යෙන් ම පිිළිපැදිය යුතු මූලික සංකල්පයකි. කැබිනට් මණ්ඩලයක් මගින් රටක් පාලනය කිරීමේ මූලික පදනම මෙම සංකල්පයයි. කැබිනට් සහයෝගීතාවය යනු රාජ්‍ය පාලනය පොදු සම්පතක් ලෙස සලකා එය ආරක්‍ෂා කිරීමට ගොඩනැගෙන දේශපාලන සම්මුතියකි. කැබිනට් මණ්ඩලය සාමූහික ඒකකයක් ලෙස පවත්වාගෙන යාමට මෙන්ම එහි සමගිය රැුකගැනීම උදෙසාත්, තම දේශපාලන ශක්තිය ප‍්‍රදර්ශනය කිරීම උදෙසාත් කැබිනට් සාමූහික වගකීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.”

මේ අනුව බලන විට, ඕනෑම අමාත්‍ය මණ්ඩලයක කටයුතු සාර්ථක වීම සඳහා එහි සාමාජිකයන් හැම කෙනෙකු ම සාමූහික වගකීමෙන් ක‍්‍රියා කළ යුතු වන්නේය. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාට ස්වකීය කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා මෙය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේය. එපමණක් නොව, හැම ඇමතිවරයෙක් ම කැබිනට් සාමූහිකත්‍වය හා සහයෝගීතාවය ආරක්‍ෂා කරන පසුබිමක් තුළ කැබිනට් මණ්ඩලය සමගි සම්පන්න හා ශක්තිමත් එකක් බවට වූ විශ්වාසය තහවුරු වන්නේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලයේ කාර්යක්‍ෂමතාවය ද ඉහළ යන්නේය. අවසානයේ, මෙම තත්ත්වය කැබිනට් මණ්ඩලයේ පමණක් නොව මුළු රටේ ම ස්ථාවරභාවයට සාධනීය බලපෑමක් ඇති කරනු ලබන්නේය.

මේ අතරම, කැබිනට් සාමූහික වගකීම නමැති සංකල්පයට මුවාවී අනවශ්‍ය නීතිරීති පැමිණවීමට කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානීන් ඉදිරිපත් වීමේ තර්ජනයක් ද ඇති බව, මේ ගැන විවිධ විග‍්‍රහයන්හි යෙදෙන දේශපාලන හා සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. එවන් තත්ත්වයක් ඇතිවුවහොත්, අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලය තුළ නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ ප‍්‍රවණතාවයක් ඇති විය හැකි බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙහිලා තේරුම් ගත යුත්තේ, කැබිනට් මණ්ඩලය ඇතුළත දී සිය අදහස් ප‍්‍රකාශ කිරීමට අමාත්‍යවරුන්ට ඇති නිදහසට කැබිනට් සාමූහික වගකීම හරහා වැට නොබැඳෙන බවය. මෙහිලා සීමා පැනවෙන්නේ, කැබිනට් මණ්ඩලයෙන් පිටත දී අමාත්‍යවරුන් හිතුමතයේ අදහස් ප‍්‍රකාශ කිරීමට අදාළව පමණය.

කැබිනට් මණ්ඩලයක පමණක් නොව කවර කණ්ඩායමක වුවද සාමූහික වගකීම පිළිබඳව මෙවන් දිගු පූර්විකාවක් ලියන්නට අප ඉදිරිපත් වූයේ, වත්මන් ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් බොහෝ දෙනෙකුට කැබිනට් සාමූහික වගකීම අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබෙන නිසාය. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක මහජන නියෝජිතයන් එකතු වී පිහිටුවා ගනු ලැබූ ආණ්ඩුවක් තුළ, එක් පක්‍ෂයක ඇමතිවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක දක්නට ලැබෙන තරමේ සාමූහිකත්‍වයක් හා සහයෝගීතාවයක් අපේක්‍ෂා කළ නොහැකි වුවද, වත්මන් ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන්ට ද කැබිනට් සාමූහික වගකීමෙන් මිදිය නොහැකි බව අමතක නොකළ යුතුය. කවර ජාතික ආණ්ඩුවකට වුවද එකතු වන දේශපාලන පක්‍ෂ (පාර්ශ්ව) සුපුරුදු පරිදි එකිනෙකා විවේචනය කිරීමෙන් හා එකිනෙකාට චෝදනා නැගීමෙන් වැලකී සිටිය යුතු අතරම, ජාතික ආණ්ඩුවේ තීන්දු-තීරණ පිළිබඳව සාමූහිකව වගකිව යුතු වන්නේය. වෙනත් වචනවලින් කියතොත්, ජාතික ආණ්ඩුවකට එකතුවීමෙන් පසුව තම තමන්ගේ දේශපාලන පක්‍ෂවල අවශ්‍යතා දෙවෙනි තැනට තබා කැබිනට් මණ්ඩලයේ න්‍යායය පත‍්‍රය පළමු තැනට ගෙන කටයුතු කිරීමට ජාතික ආණ්ඩුවේ ඇමතිවරු වගකීමෙන් බැඳී සිටිති.

එහෙත්, වත්මන් ජාතික ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් කරන කියන දෑ වලින් පෙනෙන්නේ, ඔවුනට කැබිනට් සාමූහික වගකීම හොඳට ම අමතක වී ඇති සෙයකි. උදාහරණයක් ලෙස, ඇවන්ගාඞ් සමාගමේ ක‍්‍රියාකාරකම් සහ එම සමාගම සතු පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් කරනා ලද පරස්පර විරෝධී ප‍්‍රකාශ හරහා, කැබිනට් සාමූහික වගකීම හොඳට ම උල්ලංඝණය වූයේය. තවද, සමහර අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා (හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා) අතර, බලය බෙදාගැනීම සහ විවිධ පත්කිරීම් මුල්කර ගෙන මතභේද නිර්මාණය වී ඇත්තේය. මෙම, මතභේද-ගැටුම් ප‍්‍රසිද්ධියේ හඬගා කීම නිසා ද ආණ්ඩුවේ සාමූහික වගකීම හොඳට ම උල්ලංඝණය වී ඇත්තේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හැම කෙනෙකු ම සාමූහික වගකීමෙන් හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනා බව මතක් කර දෙන්නට, පසුගියදා ජනාධිපතිවරයාටත් අග‍්‍රාමාත්‍යවරයාටත් සිදුවූයේ මෙම පසුබිම තුළය. මෙම තත්ත්වය, ඉහත කී පරිදි, ජාතික ආණ්ඩුවේ පමණක් නොව මුළු රටේ ම ඉදිරි ගමනට හිතකර නොවන්නේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙයාකාරයට දිගින් දිගට ම කුලල් කා ගන්නට ගියහොත්, වැඩි කල් නොගොස් ඔවුන් හැම දෙනාට ම ඇමති පදවි අහිමිවීමට ඉඩ ඇත්තේය.

Back to Home page