Colombo Telegraph

ඡන්දය දා කැළණි ගඟට මුදාහැරුණේ ඩීසල්ද, නැතිනම් මෙතිල්ඉමිඩසෝල්ද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පසුගිය අගෝස්තු 17 වැනි දින පැවැත්වුණු තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි කාගේත් අවධානය යොමුව තිබුණු අවස්ථාවේ, කොළඹ නගරයේ සහ අවට තදාසන්න ප‍්‍රදේශවල වෙසෙන ලක්‍ෂ හතරකට වැඩි පිරිසක් අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්හ. එදින පාන්දර සිය නිවෙස්වල ජල කරාම විවර කළ ඔවුනට දැකගන්නට ලැබුණේ, ජලය සමඟ කිසියම් තෙල් වර්ගයක් මුසුවී ඇති බවය. තමන්ගේ ගෙවල්වල ජල ටැංකි ඇති උදවිය මුලදී සැක කළේ එම ටැංකිවලට කිසියම් අපද්‍රව්‍යයක් මිශ‍්‍රවී ඇති බවය. එහෙත්, බියගම ප‍්‍රදේශයේ පිහිටි කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් කැළණි ගඟට තෙල් වර්ගයක් මුදාහැරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව පසුව දැනගන්නට ලැබුණේය. එම තෙල් වර්ගය ඞීසල් බව ද තවදුරටත් කියැවුණේය.

එදින ම සවස මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොකා කෝලා සමාගම පවසා සිටියේ, අගෝස්තු 17 වැනි දින අලූයම කර්මාන්තශාලාවේ තෙල් නලයක සිදුවූ ඞීසල් කාන්දුවක් නිරීක්‍ෂණය කළ බවයි. එම සිදුර වසා දමා නලය කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමට සේවකයන් සමත් වුවද, ඒ අතරතුර තෙල් යම් ප‍්‍රමාණයක් ගඟට ගලා ගොස් ඇත. රජයේ බලධාරීන් තමන්ට ඒ බව දැනුම් දුන් විගස ම අමතර ආරක්‍ෂණ පියවර ගත් බවද, කොකා කෝලා සමාගම නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් විය. කෙසේ වුවද, කොකා කෝලා සමාගමට ලබාදී තිබුණු පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත් අතර, අදාළ ප‍්‍රදේශයෙන් ලබා ගත් ජල සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කරනු ලැබිණි.

ඊට සමගාමීව, තෙල් තට්ටුව ඉවත් කොට ජලය පිරිසිදු කිරීමට මෙන්ම පෙරහන් පද්ධති පවිත‍්‍ර කිරීමට ද බලවත් පරිශ‍්‍රමයක් දැරීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට සිදුවිය. කැළණි ගෙඟන් ජලය ලබාගන්නා මධ්‍යස්ථාන දෙකක් ජල සම්පාදන මණ්ඩලය සතුව ඇති අතර, බියගම පිහිටි ජල පොම්පාගාරයෙන් දිනකට ජලය ඝන මීටර් 180,000ක් පමණ පිරිසිදු කොට උතුරු කොළඹ, ජාඇල, කළණිය යන ප‍්‍රදේශවලට බෙදාහරිනු ලැබේ. අඹතලේ පිහිටි අනෙක් මධ්‍යස්ථානයෙන් දිනකට ජලය ඝන මීටර් 500,000ක් පමණ පිරිසිදු කොට දෙහිවල, කඩුවෙල, මාලිගාකන්ද, කොලොන්නාව, මහරගම, යන පෙදෙස්වලට බෙදාහැරේ. ඒ අනුව, ජල සැපයීම අත්හිටුවීම හේතුවෙන් ද බලවත් පාඩුවක් විඳීමට ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට සිදුවූ අතර, මෙම සිද්ධිය හේතුවෙන් මණ්ඩලයට අත්වූ මුළු පාඩුව රුපියල් කෝටි 13ක් පමණ වෙතැයි කියැවේ.

කෙසේ වුවද, පසුගිය සැප්තැම්බර් 1 වැනිදා සිට බියගම කොකා කෝලා කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කෙරුණු අතර, තාවකාලිකව අත්හිටුවා තිබුණු පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය නැවත ලබාදී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ, ජල සාම්පල එකතු කිරීමට සහ පරීක්‍ෂණ කටයුතු සඳහා තම ආයතනයට වැයවුණු රුපියල් ලක්‍ෂ 15ක මුදල කොකා කෝලා සමාගම විසින් ගෙවන ලද බවයි. එහෙත්, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට අත්වූ පාඩුව හෝ, මෙම සිද්ධිය හේතුවෙන් ජනතාවට විඳින්නට සිදුවූ අපහසුතාවය වෙනුවෙන් කිසිම වන්දියක් හෝ කොකා කෝලා සමාගම විසින් ගෙවන ලද බවක් දැනගන්නට නැත. අඩුම තරමින්, තමන් අතින් සිදුවූ මෙම බරපතළ වරද පිළිබඳව කොකා කෝලා සමාගම සමාව අයැද සිටියේ ද නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපීය රටක හෝ මෙවන් දෙයක් සිදුවූයේ නම්, කවර බහුජාතික සමාගමක් වුවද හැසිරෙන්නේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට බව ද අමුතුවෙන් මතක් කර දිය යුතු නැත.

පරීක්‍ෂාවට ලක්කරන ලද ජල සාම්පල පිළිබඳ වාර්තාව මෙතෙක් ප‍්‍රසිද්ධියට පත්කොට නැතත්, පරිසරවේදීන් චෝදනා කරන්නේ පසුගිය අගෝස්තු 17 වැනිදා බියගම කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් කැළණි ගඟට මුදාහැරුණේ ඞීසල් නොව වෙනත් රසායනිකයක් බවයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ විශේෂ ප‍්‍රශ්නයක් නගමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර සිටියේ, මෙම ජල සාම්පල ඉන්දියාවේ පර්යේෂණායතනයකට යොමුකොට පරීක්‍ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ 4-මෙතිල්ඉමිඩසෝල් නමැති රසායනිකය එම ජලයේ අඩංගු වී තිබණු බවයි. එම සංයෝගය ජලය ලීටරයකට මිලි ග‍්‍රෑම් 0.5ක් තරම් වූ විශාල ප‍්‍රමාණයක් මිශ‍්‍රවී ඇති බවයි. පරිසරවේදීන් විසින් පෙන්වා දෙන අන්දමට, 4-මෙතිල්ඉමිඩසෝල් අඩංගු ද්‍රව ලීටර් 1900ක් පමණ අගෝස්තු 17 වැනි දින පමණක් කැළණි ගඟට කාන්දු වී ඇත්තේය. තවද, ප‍්‍රදේශවාසීන් පවසන කරුණුවලට අනුව, බියගම කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් පසුගිය කාලය පුරාම අපජලය පිරිපහදු කිරීමකින් තොරව කැළණි ගඟට මුදාහැර ඇත්තේය. අනුර කුමාර දිසානායක මහතාට පිළිතුරු සපයමින්, අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ මෙතෙක් ලැබී ඇති පරීක්‍ෂණ ප‍්‍රතිඵලවලට අනුව අදාළ ජල සාම්පලවල 4-මෙතිල්ඉමිඩසෝල් අඩංගු බව තහවුරු වී නැති බවයි.

4-මෙතිල්ඉමිඩසෝල් යනු ලා කහ පැහැති, සාමාන්‍ය උෂ්ණත්‍වයේදී ඝන අවස්ථාවේ පවතින කාබනික රසායනියකයකි. ඇරොමැටික කාබනික සංයෝගයක් වන ඉමිඩසෝල්හි එක් හයිඩි‍්‍රජන් පරමාණුවක් වෙනුවට මෙතිල් කාණ්ඩයක් එකතුවීමෙන් මෙතිල්ඉමිඩසෝල් සෑදෙන්නේය. බොහෝ ආහාර ද්‍රව්‍ය දුඹුරු පැහැයක් ගනිද්දී කාබෝහයිඩ්‍රේට සහ ඇමයිනෝ සංයෝග ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් මෙතිල්ඉමිඩසෝල් නිපදවෙන අතර, බදින ලද හා පුලූස්සන ලද ආහාරවල මෙය අඩංගු වන්නේය. එමෙන්ම, විවිධ ආහාර ද්‍රව්‍ය දුඹුරු පැහැ ගැන්වීමේ වර්ණකාරකයක් ලෙස ද 4-මෙතිල්ඉමිඩසෝල් භාවිත කරනු ලබන්නේය. විශේෂයෙන්, කොකා කෝලා, පෙප්සි වැනි පැණි බීම වර්ගවල මෙන්ම, තද දුඹුරු පැහැති බීරවලද මෙම රසායනිකය අඩංගු වන්නේය. සාමාන්‍යයෙන්, කොකා කෝලා ලීටරයක 4-මෙතිල්ඉමිඩසෝල් මයික්‍රෝ ග‍්‍රෑම් 700ක් පමණද, බීර ලීටරයක මයික්‍රෝ ග‍්‍රෑම් 28,000ක් පමණ ද අඩංගු වන බව සොයාගෙන ඇත.

4-මෙතිල්ඉමිඩසෝල් නමැති රසායනිකය මිනිස් සිරුරට අහිතකර බවට විවිධ විද්‍යාඥයන් දැන් කලක සිට මත පළකරන අතර, එය පිළිකාරකයක් විය හැකි බවට ද සැක පහළ වී ඇත්තේය. අනෙක් අතට, තවත් පිරිසක් පවසන්නේ අප එදිනෙදා පරිභෝජනයට ගන්නා කොකා කෝලා, පෙප්සි වැනි බීම වර්ගවල අඩංගු 4-මෙතිල්ඉමිඩසෝල් ප‍්‍රමාණය, මිනිස් සිරුරට අහිතකර මාත‍්‍රාවට වඩා ඉතා අඩු මට්ටමක පවතින බවයි. මේ කරුණු හැමෙකක් ම පාහේ තවමත් විද්‍යාත්මක කල්පිත මට්ටමේ පවතින අතර, පර්යේෂණාත්මකව ඔප්පු කොට නැත. කෙසේ වුවද, 2007දී ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් මීයන් කණ්ඩායමක් යොදාගෙන වසර දෙකක් තිස්සේ කරන ලද දිගු පර්යේෂණ මාලාවකින් වැදගත් තොරතුරු රැුසක් අනාවරණය වී ඇත. පරීක්‍ෂණයට බඳුන් වූ මීයන්ට, උන්ගේ සිරුරේ බර ප‍්‍රමාණයෙන් කිලෝ ග‍්‍රෑම් එකකට 4-මෙතිල්ඉමිඩසෝල් මිලි ග‍්‍රෑම් 40, 80 හා 170 යනාදී වශයෙන් වූ විවිධ ප‍්‍රමාණවලින්, වසර දෙකක කාලයක් දිනපතා අඛණ්ඩව ලබාදී ඇත. වසර දෙකකට පසුව, පරීක්‍ෂණයට බඳුන් වූ සියලූම ගැහැණු මීයන්ගේ පෙණහලූවල අසාමාන්‍ය වැඞීම් (ගෙඩි* දක්නට ලැබුණු අතර, පිරිමි මීයන් අතුරින් ඉහළ 4-මෙතිල්ඉමිඩසෝල් මාත‍්‍රාවක් (මිලි ග‍්‍රෑම් 80 හෝ 170ක්* ලබා දුන් සතුන්ගේ පෙණහලූවල ගෙඩි වර්ධනය වී ඇති බවක් නිරීක්‍ෂණය විය. ඒ අනුව බලනා විට, එක දිගට දිගු කාලයක් තිස්සේ 4-මෙතිල්ඉමිඩසෝල් සිරුරට ඇතුළුවීම හානිකර විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

අනෙක් අතට, මෙම පර්යේෂණ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය අවධාරණය කරන්නේ, අප සාමාන්‍යයෙන් පරිභෝජනයට ගන්නා බීම වර්ගවල අඩංගු 4-මෙතිල්ඉමිඩසෝල් මාත‍්‍රාව මිනිස් සිරුරට අහිතකර නොවන බවයි. ඉහත කී පර්යේෂණයේදී මීයන්ට ලබා දුන් ප‍්‍රමාණයට ළඟාවීමට නම්, එක් පුද්ගලයෙකු මිලි ලීටර් 300 ප‍්‍රමාණයේ කොකා කෝලා කෑන් දවසකට දහසක්වත් පානය කළ යුතු බවයි. කෙසේ වුවද, 4-මෙතිල්ඉමිඩසෝල් සම්බන්ධ නිර්ණායක දැඩි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්ත බලධාරීහු 2011දී තීරණය කළහ. ඒ අනුව, කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ විකුණනු ලබන කොකා කෝලා සහ පෙප්සි බීමවල අඩංගු 4-මෙතිල්ඉමිඩසෝල් ප‍්‍රමාණය, ලෝකයේ අනෙක් සෑම තැනකටම වඩා අඩුය. යටකී පරිදි, 4-මෙතිල්ඉමිඩසෝල් නමැති රසායනිකය මිනිස් සිරුරට කොතෙක් දුරට අහිතකරද යන්්න, තවමත් විද්‍යාඥයන් අතර විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි.

මෙවන් පසුබිමක් තුළ, පසුගිය අගෝස්තු 17 වැනිදා බියගම කොකා කෝලා කර්මාන්තශාලාවෙන් කැළණි ගඟට මුදාහැරුණේ ඞීසල් ද, නැතිිනම් 4-මෙතිල්ඉමිඩසෝල් නමැති රසායනිකය ද යන්න තවම හරිහැටි පැහැදිලි නැත. මෙහිදී සිදුවූයේ තෙල් නලයක ඞීසල් කාන්දුවක් යැයි කියමින් කොකා කෝලා සමාගම හිතාමතාම ජනතාව නොමඟ යැවූයේදැයි හරිහැටි පැහැදිලි නැත. එමෙන්ම, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන පරිදි, තාවකාලිකව අත්හිටවූ පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය යළි ලබා දුන්නේ, රසායනික අපද්‍රව්‍ය සහ තෙල් වර්ග තවදුරටත් කැළණි ගඟට කාන්දු නොවීම සඳහා අවශ්‍ය ආරක්‍ෂණ ක‍්‍රියාමාර්ග කොකා කෝලා සමාගම මේ වන විට ගෙන ඇති නිසාද යන්න සාමාන්‍ය ජනතාවට නම් තවම හරිහැටි පැහැදිලි නැත.

Back to Home page