Colombo Telegraph

ජාතික ආණ්ඩුවක හැඩරුව කෙසේ විය යුතුද?

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

දෑස් නොපෙනෙන කිහිප දෙනෙකු අලියෙකුගේ විවිධ බාහිර අවයව අතපත ගාමින්, උගේ හැඩරුව විස්තර කරනා ලද ආකාරය පිළිබඳ අපූරු කතාන්දරයක් අපේ ව්‍යවහාරයේ පවතී. ඒ කතාවට අනුව, අලියාගේ කන පමණක් අත ගෑ එක් පුද්ගලයෙක්, අලියා කුල්ලකට සමාන යැයි කීවේය. හොඬවැල අතගා බැලූ තවත් අයෙක්, අලියා මෝල්ගහක් වැනි යැයි පැවසුවේය. කකුල පමණක් අතගෑ තවත් පුද්ගලයෙක් කීවේ, අලියා වංගෙඩියකට සමාන බවය. වලිගය පමණක් ස්පර්ශ කළ අයෙක් කීවේ, අලියා කොස්සකට සමාන බවය. ජාතික ආණ්ඩුවක හැඩරුව කෙසේ විය යුතුද යන්න පිළිබඳව අද අපේ ඇතමෙකු ඉදිරිපත් කරන අර්ථකතන සහ විග‍්‍රහයන්, ඉහත කී අන්ධ පුද්ගලයන් අලියාගේ හැඩරුව විස්තර කළ ආකාරයට දෙවෙනි නොවන්නේය. අපේ දේශපාලනඥයන් මෙන්ම විචාරකයන් යැයි කියාගන්නා වැඩි දෙනෙකු ද, විවිධ දේශපාලන සංසිද්ධීන් සහ ප‍්‍රවණතා සාමාන්‍යයෙන් විග‍්‍රහ කරනු ලබන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණු සහ ඉලක්කවලට අනුවය. ජාතික ආණ්ඩුවක් පිළිබඳ මේ දිනවල ඇතමුන් ඉදිරිපත් කරන විග‍්‍රහයන් තුළ ද, ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු සැඟවී ඇත්තේය.

කෙසේ වුවද, ජාතික ආණ්ඩු සංකල්පය අද ඊයේ බිහිවූවක් නොවනා වග ලෝක දේශපාලන ඉතිහාසය දෙස බලනා විට මොනවට පැහැදිලි වන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ බිහිවූ ශ්‍රේෂ්ඨත ම රාජ්‍ය නායකයෙකු ලෙස ගැනෙන ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා සිය දෙවෙනි ධූර කාලය සඳහා ඡන්දයට ඉදිරිපත් වූයේ, ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දුවක් ද සමඟය. රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස 1861දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය ජයග‍්‍රහණය කළ ඒබ‍්‍රහම් ලින්කන් මහතා, ඒ වන විට පැවති සිවිල් යුද්ධයට මුහුණදීම සඳහා ජාතික ආණ්ඩුවක් යෝජනා කළේය. ඔහු සිය උප ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තේ ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් පක්‍ෂයේ ඇන්ඩෘ ජොන්සන් නමැත්තෙකි. 1865 අපේ‍්‍රල් මාසයේදී ඒබ‍්‍රහම් ලින්කන් මහතා ඝාතනයට ලක්වන තෙක් ම ඇමෙරිකාවේ පැවතියේ ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවකි.

1806 තරම් වූ ඈතකදී, මහා බි‍්‍රතාන්‍යයේ ද ජාතික ආණ්ඩු සංකල්පය ක‍්‍රියාවට නැංවූ බව වාර්තා වේ. නැපෝලියන් අධිරාජයා මෙහෙය වූ යුද්ධයට මුහුණදීම සඳහා 1806 දී පිහිටුවනු ලැබූ එම ජාතික ආණ්ඩුව 1807 දී බිඳ වැටුණු අතර, නැවත වතාවක් පළමු ලෝක මහා යුද්ධය සමයේදී (1915-1916 කාලය තුළ) ද මහා බි‍්‍රතාන්‍යයේ ජාතික ආණ්ඩුවක් ක‍්‍රියාත්මක වී තිබේ. යුරෝපයේ පිහිටි කුඩා ම රාජ්‍යයයක් වන ලක්සම්බර්ග් ද ලෝක යුද්ධ සමයන්හිදී ජාතික ආණ්ඩු කි‍්‍රයාත්මක වූ තවත් රටකි. පළමු ලෝක මහා යුද්ධය සමයේදී, එනම් 1916දී ලක්සම්බර්ග්හි පිහිටුවනු ලැබූ ජාතික ආණ්ඩුව පැවතියේ මාස 16ක් පමණය. දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය සමයේදී ඉතා බරපතල ලෙස විනාශයට ලක්වූ ලක්සම්බර්ග් රාජ්‍යයය යළි ගොඩනැගීමේ අරමුණින් බිහිවූ ජාතික ආණ්ඩුව වසර දෙකක කාලයක් පැවතියේය. මේ හැරුණු කොට, කැනඩාව, ග‍්‍රීසිය, ඉතාලිය, ක්‍රොඒෂියාව, කෙන්යාව, සිම්බාබ්වේ, ඊශ‍්‍රායලය වැනි රටවල ද විවිධ අවස්ථාවන්හිදී ජාතික ආණ්ඩු බිහිවී ඇත. මෑතකාලීන උදාහරණයන් ලෙස, 1991දී ක්‍රොඒෂියාවේ ද, 2008දී සිම්බාබ්වේහි ද, 2013දී ඉතාලියේ ද බිහිවූ ජාතික ආණ්ඩු පෙන්වා දිය හැකිය.

දේශපාලන හා සමාජ විද්‍යාඥයන්ගේ අර්ථ දැක්වීමට අනුව, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ (අඩුම තරමින්, ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ) අතර ඇතිකර ගන්නා පුුළුල් සම්මුතියක් හරහා පිහිටුවා ගනු ලබන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලැබේ. මෙබඳු ආණ්ඩු හැඳින්වීමට, “ජාතික ඒකාබද්ධතා ආණ්ඩුව”, “ජාතික සමගි ආණ්ඩුව”, “ජාතික සභාග ආණ්ඩුව” යනාදී පදයන් භාවිත කළ හැකිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ කිහිපයක් සන්ධාන ගතවී පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවලට අමතරව, රට තුළ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් පමණක් ක‍්‍රියාත්මක වන විට, එම පක්‍ෂ දෙක එකතු වී පිහිටුවන ජාතික ආණ්ඩු පිළිබඳ සංකල්පයක් ද දේශපාලන විද්‍යා ව්‍යවහාරයේ පවතී. එබඳු ආණ්ඩුවක් ඉංග‍්‍රීසියෙන් ඨර්බා ක්‍ද්කසඑසදබ නමින් හඳුන්වන අතර, අපගේ අදහස අනුව නම්, එජාප-ශ්‍රීලනිප එකමුතුවක් හරහා දැන් බිහිවීමට යන්නේ ද එබඳු ජාතික සමගි සන්ධාන ආණ්ඩුවකි. සාමාන්‍යයෙන්, රටේ ක‍්‍රියාත්මක සෙසු කුඩා දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නියෝජනයක් නොමැති අවස්ථාවන්හිදී මෙයාකාරයේ ජාතික සන්ධාන ආණ්ඩු බිහිවීමේ ඉඩකඩ වැඩිය. එවන් අවස්ථාවන්හිදී, ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක සිය ප‍්‍රතිවිරුද්ධ මතවාද තාවකාලිකව පසෙක ලා, පොදු ඉලක්කයක් හෝ ඉලක්ක කිහිපයක් සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගනු ලැබේ. මෙහිදී දක්නට ලැබෙන විශේෂත්‍වයක් වන්නේ, එක් පක්‍ෂයකට තනිව ම ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබියදීත් එය පසෙක ලා, ප‍්‍රධාන විපක්‍ෂය සමඟ එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමයි. ඊශ‍්‍රායලයේ විටින් විට පිහිටුවනු ලැබූ ජාතික ආණ්ඩු හැමෙකක් ම පාහේ මෙවන් ආණ්ඩු වන අතර, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බිහිවූ ජාතික ආණ්ඩු බොහොමයක් ද මීට සමානය.

කවර හැඩරුවක් ගත්තද, කවර සංයුතියකින් යුක්ත වුවද, මෙතෙක් ලෝකයේ බිහිවී ඇති ජාතික ආණ්ඩු හැමෙකකට ම පාහේ පොදුවූ විශේෂ ලක්‍ෂණයක් දක්නට ලැබෙන්නේය. එනම්, ඒවා හැම විට ම බිහිවී ඇත්්තේ හේතු දෙකක් මුල් කරගෙනය. එක්කෝ අදාළ රට යුද්ධයකට මුහුණ පා සිටින අවස්ථාවක් වන අතර, එසේ නැතිනම් මුළු රටත් ජාතියත් හදිසි තත්ත්වයකට (ස්වභාවික ආපදාවක් වැනි) මුහුණ පා සිටින අවස්ථාවක් වන්නේය. ඒ අනුව නම්, උතුරු-නැගෙනහිර යුද්ධය පැවති සමයේ හෝ එසේත් නැතිනම් සුනාමි ව්‍යසනය හමුවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ වරදක් නැතත්, යුද්ධය නිමාවී වසර හයක් ගතව ඇති අවස්ථාවක ජාතික ආණ්ඩුවක් සාධාරණීකරණය කළ නොහැකි බවට නැගෙනා තර්කය බැලූ බැල්මට සාධාරණය. එනමුදු, තවත් පැත්තකින් බලනා විට, දශක තුනක් තිස්සේ මුළු රටට ම පිළිලයක් වී තිබුණු ම්ලේච්ඡු යුද්ධය 2009 මැයි 18 වැනිදා අවසන් වූවද, ඉන් අනතුරුව අපේක්‍ෂා කළ පරිද්දෙන් සැබෑ ජාතික සංහිඳියාවක් රට තුළ ස්ථාපිත වූයේ නැත. යුද්ධය නිමවීමෙන් පසුව, දිවයිනේ ජීවත්වන සියලූ ජාතීන් අතර සමගිය-සහයෝගීතාවය වර්ධනය කිරීමට පසුගිය සන්ධාන රජය අවංක උත්සාහයක් දැරුවේ නැත. යුද්ධයෙන් අහිමි වූ ජීවිත යළි ලබාදිය නොහැකි බව ඇත්තක් වුවද, අඩුම තරමින් තැලූණු හදවත් සුවපත් කරන්නට වෙර දරනු වෙනුවට, ජාතික ආරක්‍ෂාව නමැති පලිහට මුවාවී පසුගිය රජය දිගින් දිගට ම ජාතිවාදී විශබීජ වපුරුවනු ලැබුවේය. ඒ නිසා ම, ජාතික සංහිඳියාව යළි ගොඩනැගීම අද අප රටේ දැවෙන, හදිසි අවශ්‍යතාවයක් වී ඇත්තේය.

ඊට අමතරව, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධිවිධාන හේතුවෙන් ද අප රට එක්තරා අන්දමක ආපදාවකට-ව්‍යසනයකට මුහුණ පා සිටින්නේය. ඇතැම් දේශපාලන නායක-නායිකාවන්, මෙම ව්‍යවස්ථාව “බහුබූත” එකක් ලෙස හඳුන්වනු ලැබුවේ ද ඒ නිසාය. 19වැනි සංශෝධනය හරහා, 78 ව්‍යවස්ථාවේ අන්තර්ගත අත්තනෝමතික වගන්ති කිහිපයක් ඉවත් කරගැනීමට හැකිි වුවද, විසිඑක්වැනි සියවසට ගැලපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම ද අද අප රටේ දැවෙන අවශ්‍යතාවයක් වී ඇත්තේය. එමතුද නොව, පසුගිය සන්ධාන රජය සමයේ (විශේෂයෙන් එහි අවසාන භාගයේ),දූෂණය හා වංචාව සමස්ත ලාංකේය දේහය ම දරුණු පිිළිකාවක් ලෙසින් වෙලාගෙන තිබුණේය. එම වසංගත රෝගයෙන් රට මුුදවාගෙන, යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම ද දැවෙන, හදිසි අවශ්‍යතාවයක් වී ඇත්තේය. ඒ අනුව බලනා විට, මෙම ඉලක්ක සාක්‍ෂාත් කරගගැනීම උදෙසා රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් (නැතිනම්, සමහරුන් කියනා පරිදි, සභාග ආණ්ඩුවක්) පිහිටුවීමේ වරදක් අපට නම් නොපෙනෙන්නේය.

එහෙත්, මෙහිලා මතුවන ප‍්‍රශ්නය වන්නේ, අද ජාතික ආණ්ඩුවකට පෙළ ගැසී සිටින එජාප-ශ්‍රීලනිප දෙපාර්ශ්වයේ සමහර නායකයන්ට වෙනත් සැඟවුණු ඉලක්ක තිබේ ද යන්නයිි. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙහිලා මොවුන්ගේ සැබෑ අරමුණ වන්නේ ඉහත කී ජාතික අවශ්‍යතා සපුරා ගැනීම නොව, හුදෙක් ප‍්‍ර‍්‍රධාන පක්‍ෂ දෙක අතර මැති-ඇමතිකම් බෙදාගැනීම ද යන ප‍්‍රශ්නය මෙහිලා මතුවන්නේය. දේශපාලන පක්‍ෂ දෙකක් එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමේදී, දෙපාර්ශ්වය ම ඇමති තනතුරු සඳහා කේවල් කිරීම අපේක්‍ෂා කළ යුතුව ඇතත්, ඒ හේතුවෙන් ජාතික ආණ්ඩුවේ මූලික අරමුණු යටපත් වේ නම් එය අනුමත කළ නොහැකිය. විශේෂයෙන්, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් පසුගිය දිනවල කෙරුණු සාකච්ඡුාවලදී තිරය පිටුපස සිදුවූ දෑ ගැන ලැබුණු ආරංචි එතරම් සුබදායී ඒවා නොවීය. වසර දෙකක කාලයක් සඳහා පිහිටවනු ලබන ජාතික ආණ්ඩුවේ අරමුණු මුදුන්පත් කරගැනීමට නම්, දෙපාර්ශ්වය විසින් ම මීට වඩා නම්‍යශීලීී විය යුතු බව අපගේ නම් අදහසයි.

කෙසේ වුවද, විවිධ මත දරන දේශපාලන පක්‍ෂ කිහිපයක එකතුවකින් ගොඩනැගෙන ජාතික ආණ්ඩුවකට වුවද සාමූහික වගකීමෙන් ගැලවීමක් නැත්තේය. ජාතික ආණ්ඩුවට එකතු වන දේශපාලන පක්‍ෂ සුපුරුදු පරිදි එකිනෙකා විවේචනය කිරීමෙන් වැලකී සිටිය යුතු අතර ම, ජාතික ආණ්ඩුවේ තීන්දු-තීරණ පිළිබඳව සාමූහිකව වගකිව යුතු ද වන්නේය. මෙහිදී තම තමන්ගේ දේශපාලන පක්‍ෂවල අරමුණු සහ ඉලක්ක තාවකාලිකව පසෙක ලා, ජාතික ආණ්ඩුවේ අරමුණු මුල්තැනට ගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ සාමාජිකයන් හැම කෙනෙකුගේ ම යුතුකම වන්නේය. ”රටත් ජාතියත් පළමුව, මගේ දේශපාලන පක්‍ෂය දෙවනුව” යන ප‍්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීම ආණ්ඩුවේ සාමාජිකයන් හැම කෙනෙකුගේ ම යුතුකම වන්නේය.

එහෙත්, අද අපේ දේශපාලනඥයන් වැඩි දෙනෙකුට එම සාමූහික වගකීම පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබේදැයි සැක සහිතය. මාස පහහමාරක කාලයක් ක‍්‍රියාත්මක වූ මෛත‍්‍රී-රනිල් යහපාලන ජාතික ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් වැඩි දෙනෙකු කියන ලද කතාවලින් ඒ බව මොනවට පැහැදිලි වූයේය. නිදසුනක් ලෙස, එම ආණ්ඩුව පිහිට වූ විගස ම, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් (ශ්‍රීලනිපය නියෝජනය කරන) කැබිනට් ප‍්‍රකාශකවරයා එකක් කියද්දී, (එජාපය නියෝජනය කරන) සභානායකවරයා තවෙකක් පැවසුවේය. එම රජය යටතේ ක‍්‍රියාත්මක වූ දින සියයේ වැඩසටහනේ දක්නට ලැබුණු අඩුපාඩු පිළිබඳ වගකීම බාරගැනීමට කිසිවෙකු සූදානම් නොවූවද, සාර්ථක වූ ක‍්‍රියාකාරකම්වල අයිතිය බදාගැනීමට ශ්‍රීලනිප-එජාප දෙපැත්තේ ම ඇමතිවරු පොරකෑහ. එපමණක් නොව, තමන්ගේ මීළඟ දේශපාලන ඉලක්කය වන්නේ පවතින ආණ්ඩුව ගෙදර යැවීම යැයි, ඒ ආණ්ඩුවේ ම සිටි සමහර ශ්‍රීලනිප අමාත්‍යවරු විටින් විට පුරසාරම් ෙදාඩන්නට ද වූහ. තමන් ද ඇමතිකමක් දරන ආණ්ඩුව ඉක්මනින් ගෙදර යැවිය යුතු යැයි හඬ නැගීම සැබැවින්ම විහිළුවක් නොවන්නේද? එම ප‍්‍රකාශය, තමන් ද ඇමතිකමක් දරනා ආණ්ඩුවේ සාමූහික වගකීම ගැන කිසිදු වැටහීමක් නොමැති බොළඳ ප‍්‍රකාශයක් නොවන්නේද? ඉන් කියැවෙන්නේ, රටේත් ජාතියේත් උන්නතිය උදෙසා සාමූහික එකඟතාවයක් මත පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවක් තුළ සමගි සම්පන්නව කටයුතු කිරීමට තරම් දියුණු දේශපාලන සංස්කෘතියක්, ස්වයං විනයක් අපේ උදවියට නැති බව නොවේද? මෙබඳු පසුබිමක් තුළ, අලූතින් පිහිටුවන ජාතික ආණ්ඩුවේ මැති-ඇමතිවරුන්ගේ කි‍්‍ර‍්‍රයාකලාපය පිළිබඳව, ඔවුන් කියන කරන දෑ පිළිබඳව ජනාධිපතිවරයාත් අග‍්‍රමාත්‍යවරයාත් නිරන්තර අවදියෙන් සිටීම අත්‍යවශ්‍යයය.

සාමාන්‍යයෙන් ජාතික ආණ්ඩු පිහිටුවනු ලබන්නේ නිශ්චිත කාලසීමාවකට වන අතර, එම කාලසීමාව අවසානයේ ජාතික ආණ්ඩුව විසුරුවා හරිනු ලබන්නේය. ලෝකයේ මෙතෙක් පැවති ජාතික ආණ්ඩු වැඩි හරියක ආයු කාලය වසරකට හෝ දෙකකට වඩා වැඩිවී නැත. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ, විවිධ මත දරන දේශපාලන පක්‍ෂ කිහිපයක සාමාජිකයන් දීර්ඝ කාලයක් එකම ආණ්ඩුවක් තුළ රඳවා තබා ගැනීම අසීරු කාර්යයක් වීමය. එමතුද නොව, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් බහුතරයක් ආණ්ඩුවට එකතුවීමෙන් විපක්‍ෂය දුර්වල විය හැකි අතර, එම තත්ත්වය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර බලපෑම් ඇතිකළ හැකිය. යටකී පරිදි, ජාතික ආණ්ඩුවකට එක්වන අයගේ සාමූහික වගකීම සහ කණ්ඩායම් ක‍්‍රියාකාරිත්‍වය පිළිබඳ නිරන්තරයෙන් ගැටළු මතුවන අතර, ඒ නිසාම ජාතික ආණ්ඩුවක වපසරිය සීමාසහිත වන්නේය. මේ අනුව බලනා විට, ජාතික ආණ්ඩුවක් හරහා කිසියම් රටකට බලපාන සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව පැහැදිලිය. ජාතික ආණ්ඩුවකට සහජයෙන් ම උරුම වන මෙම සංකීර්ණ හැඩරුව නිසාවෙන් ම, වසර දෙකක කාලයක් සඳහා පිහිටුවනු ලබන එජාප-ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවේ ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට නම්, ඊට සම්බන්ධ වන සියලූ උදවිය ජාතික ආණ්ඩුවක කාර්යයභාරය පිළිබඳව නිවැරදි-නිරවුල් අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍යයය.

Back to Home page