Colombo Telegraph

දණින් වැටුණු නීතිය දෙපයින් නැගිට්ටවීමේ අවශ්‍යතාවය

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

අප මොස්කව් නුවර ලූමුම්බා මිත‍්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ සිදුවූ එක් සිද්ධියක් පසුගිය දිනෙක අපගේ මතකයට නැගුණේය. වරක් නිවාඩුවකට ලංකාවට පැමිණි ලාංකික මිත‍්‍රයෙකුව ඇරලීමට ගුවන් තොටුපොළට ගිය අපි කුලී රථයකින් ආපසු පැමිණෙමින් සිටියෙමු. එකල මොස්කව් සිට කොළඹ බලා එන ඒරොෆ්ලොට් යානය ගුවන් ගත වූයේ රාත‍්‍රී කාලයේදීය. එබැවින්, ලාංකික සොහොයුරෙකු හෝ සොහොයුරියක ඇරලීමට ගුවන් තොටුපොළට යන උදවිය ආපසු එන්නේ මැදියම් රැුයේදීය. එදින ද අලූයම එක ද පසුවී තිබුණු බවක් අපට මතකය. මොස්කව් නගරයට ඇතුළු වූ මෝටර් රථය හදිසියේ ම නතර විය. අඩ නින්දක පසුවෙමින් සිටි අප දෙනෙත් විවර කළේ තරමක බියකිනි. “ඇයි මේ හදිස්සියෙම නැවැත්තුවෙ?” – අපි රුසියානු රියැදුරාගෙන් විමසුවෙමු. ”ඇයි පේන්නෙ නැද්ද, ඉස්සරහ කලර් ලයිට් එකක් තියෙනව. ” අප ඉදිරියේ වූ මාර්ග සංඥ පුවරුවේ රතු එළිය දැල්වෙමින් තිබුණි. “ඒ උනාට මේ මහ ? මොකටද නවත්තන්නෙ. පාරෙ වාහනයක් තියා බල්ලෙක්වත් පේන්න නැහැනෙ” “එහෙම හිතන එක වැරදියි. ? – දවල් කියල නීතියට වෙනසක් නැහැ. හැම වෙලේම නීතියට ගරු කරන්න පුරුදු වෙන්න ඕනෙ.”

රුසියානු රියැදුරන් හැම විට ම නීතිය අකුරට ම පිළිපැදීමට වෙර දරනු, මොස්කව්හි ගත කළ වසර එකොළහක කාලය පුරාවට අපි දුටුවෙමු. රියැදුරන් පමණක් නොව, ඒ අවධියේ සෝවියට් වැසියෝ හැම කෙනෙක් ම පාහේ නීතිය අකුරට ම පිළිපැද්දාහ. නීතියට ගරු කළහ. අප ඉහත සිද්ධිය මතකයට නැගුවේ, පසුගිය කාලයේ (2015 ජනවාරි 8 වැනිදාට පෙරාතුව) අප රට තුළ නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටී තිබුණු බව මතක් කර දීමටය. ඒ අතරම, ඒ කාලයේ නීතිය ආරක්‍ෂා කිරීම හා ක‍්‍රියාත්මක කිරීම භාරව සිටි සමහර උදවිය දැන් දැන් (2015 ජනවාරි 8 වැනිදාට පසුව) කියන කතා පොදු ජනතාව පුදුමයට පත්කරවන නිසාය.

පළමුකොට ම, අපි හිටපු රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශ දෙස මොහොතකට අවධානය යොමු කරමු. පසුගිය පාලන සමයේ වැරදි කළ අයට දඬුවම් නොපැමිණවීම සහ ඔවුන් ආරක්‍ෂා කිරීම තමන් අතින් සිදුවූ වරදක් බව එතුමා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව පවසා සිටියේය. අපගේ අදහස අනුව නම්, මෙය බරපතළ ප‍්‍රකාශයකි. කිසියම් පුද්ගලයෙකු වරදක් කළ බව දැනගත් විට ඒ බව සැඟවීම හා ඔහුව ආරක්‍ෂා කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද මහින්ද රාජපක්‍ෂ මහතා මෙයාකාරයේ ම අපූරු කතාවක් කීවේය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා සන්ධාන ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉවත් වූ අවස්ථාවේ, ඔවුන් සම්බන්ධ ලිපිගොනු තමන් සතුව තිබෙනා බවට එදා මහින්ද රාජපක්‍ෂ මහතා තර්ජනය කළේය. ඉන් කියැවෙන්නේ කුමක්ද? යම් දේශපාලනඥයෙකු කොතෙක් වැරදි කළද, තමන්ට සහාය දක්වන තාක් කල් ඔහුගේ දූෂණ-වංචා හෙළි නොකරන බව නොවේද? තමන්ට සහාය දක්වන අයට එක නීතියකුත් විරුද්ධ වන අයට තව නීතියකුත් ක‍්‍රියාත්මක වන බව නොවේද?

මෙයාකාරයට ම, සන්ධාන රජයේ හිටපු ඇමතිවරයෙකු වන බන්දුල ගුණවර්ධන මහතා ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට කලියෙන් අපූරු කතාවක් කියා තිබුණේය. කුමන හෝ චෝදනාවක් යටතේ තමන්ව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවුවහොත්, විවිධ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තමන් සතුව ඇති ලිපිගොනු 100ක් ඊට භාරදීමට කටයුතු කරන බව බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේය. ඉන් කියැවෙන්නේ කුමක්ද? විවිධ වංචා හා දූෂණ පිළිබඳ තමන් දන්නා තොරතුරු හෙළි කරන්නේ, තමන්ට විරුද්ධව කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නම් පමණක් නොවේද? මේ නොකියා කියන්නේ, “උඹලා මගේ වැරදි හොයන්නෙ නැතුව ඉන්න තාක් කල්, මමත් උඹල කරපු වැරදි ගැන දන්න තොරතුරු හෙළිකරන්නෙ නෑ” කියා නොවේද? මේ කතාවලින් කියැවෙන්නේ, පසුගිය කාලයේ රට තුළ නීතිය ක‍්‍රියාත්මක කිරීමට හා නීතිය ආරක්‍ෂා කිරීමට බැඳී සිටි උදවිය, නීතිය තුට්ටුවකට මායිම් නොකළ බව නොවන්නේද? පසුගිය කාලයේ රට කරවූ උදවිය ම හිතාමතා ම, නීතියේ ආධිපත්‍යය වළපල්ලට යැවූ බව නොවන්නේද?

මෑත කාලයේ මෙයාකාරයට, ලාංකේය සමාජය තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමට බලපෑ සාධක ගණනාවක් ම තිබෙනාතර, තිස් වසරක කුරිරු යුද්ධය මෙම තත්ත්වයට වගකිව යුතු ප‍්‍රධාන හේතුවක් වන්නේය. ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදීන් විසින් වසර ගණනාවක් තිස්සේ අහිංසක වැසියන් අමු අමුවේ ඝාතනය කරනු ලැබූ රටක් තුළ නීතියේ ආධිපත්‍යයක් අපේක්‍ෂා කිරීම උගහටය. එමතුද නොව, 1988-89 භීෂණ සමයේ රට පුරා සිදුවූ ඝාතන රැුල්ල හමුවේ ද බොහෝ පාර්ශ්ව නීතිය සියතට ගෙන කටයුතු කරනා බවක් දක්නට ලැබුණේය. එහෙත්, කනගාටුවට හේතුවක් වන්නේ, එසේ වල්වැදුණු නීතිය යළි නිසි මඟට යොමු කරවීමට යුද්ධය නිමවීමෙන් පසුව ද ක‍්‍රියාමාර්ග නොගැනීමයි. මෙහිලා තවත් ප‍්‍රධාන සාධකයක් වන්නේ, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට හිමිව තිබෙන මුක්තියයි. ජනාධිපතිවරයා රාජකාරීමය වශයෙන් හෝ පෞද්ගලිකව හෝ කරනු ලබන කවර හෝ ක‍්‍රියාවක් සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම වලක්වාලන මෙම වගන්තිය මගින් ජනාධිපතිවරයා නීතියට ඉහළින් සිටින අයෙකු බවට පත්කර ඇත්තේය. මෙම තත්ත්වය, නීතිය හමුවේ සියලූ පුරවැසියන් සමානය යන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික සිද්ධාන්තයට පටහැනිය.

නීතියට ගරුකිරීම, නීතිය පිළිපැදීම, නීතියේ ආධිපත්‍යය යනාදී සංකල්ප පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ අදහස් දරන අතර, අපේ දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් තම තමන්ගේ වාසියට නීතියට විවිධ අර්ථකතන සැපයීමට ද උත්සාහ කරති. දැනට ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන නීති සිද්ධාන්තවල මූලාරම්භය සිදුවන්නේ ග‍්‍රීක ශිෂ්ඨාචාර සමයේය. රටක්-සමාජයක් පාලනය උදෙසා යෝග්‍ය ක‍්‍රමවේද පිළිබඳ විවිධ මතවාද ඉදිරිපත් කළ ග‍්‍රීක දාර්ශනිකයෝ, රට තුළ වෙසෙන වඩාත් යහපත් හා දක්‍ෂ පුද්ගලයෙකු විසින් පාලනය කිරීම සුදුසු ම ක‍්‍රමය ලෙස සැලකූහ. ප්ලේටෝ නමැති ග‍්‍රීක දාර්ශනිකයා කීවේ, පරමාදර්ශී චරිතයකට උරුමකම් කියන, දාර්ශනික රජතුමෙකු විසින් රට පාලනය කිරීම වඩාත් සුදුසු ක‍්‍රමවේදය බවයි. ප්ලේටෝගේ එකී පරමාදර්ශී රජතුමා නීතියට ඉහළින් සිටියද, ඔහු සම්මත නීති පද්ධතියට ගරු කරනු ඇතැයි අපේක්‍ෂා කෙරුණේය. ප්ලේටෝගේ ශිෂ්‍යයෙකු වූ ඇරිස්ටෝටල් සිය ගුරුවරයාට වඩා ඉදිරියට යමින්, නීතිය පාලකයාගෙන් වෙන්ව ස්වාධීන විය යුතු බව යෝජනා කළේය. “අධිරාජයාගේ ආධිපත්‍යය” වෙනුවට, ”නීතියේ ආධිපත්‍යය” ස්ථාපිත විය යුතු බව ඇරිස්ටෝටල් යෝජනා කළේය. නීතිය හමුවේ සියලූ දෙනා සමානය යන සිද්ධාන්තය නිර්මාණය වී ඔප් නැංවෙන්නේ ද, නීතියේ ආධිපත්‍යය නමැති සංකල්පය පදනම් කරගෙනය. නීතිය අන්ධ විය යුතු යැයි පිළිගැනීමක් ඇත්තේද මේ හේතුව නිසාමය. එනම්, ජාතිය, ආගම, කුලය, වර්ණය, ස්ත‍්‍රී-පුරුෂ භේදය, දුප්පත්-පොහොසත් භේදය යනාදී බෙදීම් කිසිවක් නීතියට වැදගත් නොවන්නේය. එකී භේද කිසිවක් නීතියට නොපෙනිය යුතු අතර (එනම්, එකී භේද සම්බන්ධයෙන් නීතිය අන්ධ විය යුතු අතර), එම බෙදීම් පදනම් කරගෙන පක්‍ෂග‍්‍රාහීවීමට ද නීතියට නොහැකිය.

කිසියම් රටක හෝ සමාජයක නීතියේ ආධිපත්‍යය තහවුරුවීම සඳහා සම්පූර්ණ විය යුතු පොදු කොන්දේසි හතරක් පිළිබඳව ලෝ පුරා නීති විශාරදයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් අතර ද පොදු එකඟතාවයක් ඇත්තේය. පළමුව, රජය, රජයේ නිලධාරීන්, පුරවැසියන්, පෞද්ගලික ආයතන සහ සංවිධාන යන සියලූ දෙනා හා සියලූ අංශ නීතිය ඉදිරියේ වගවිය යුතු වන්නේය. දෙවනුව, ක‍්‍රියාත්මක නීති පද්ධතිය සාධාරණ, ස්ථාවර, පැහැදිලි හා පොදු මහජනතාවගේ දැනගැනීම පිණිස ප‍්‍රසිද්ධියට පත්කෙරුණු එකක් විය යුතුවා සේම, සැම විට ම සැම දෙනාට ම එක සමානව අදාළ කරගත යුතු වන්නේය. එම නීති පද්ධතිය මගින් මානව අයිතීන් සුරක්‍ෂිත වන අතරම, පුරවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා විය යුතු ද වන්නේය. තෙවනුව, නීති සම්පාදන ක‍්‍රියාවලිය සහ නීතිය ක‍්‍රියාවට නැංවීම සාධාරණ හා කාර්යක්‍ෂම වන්නා සේම කාටත් විවෘත වන පරිදි විනිවිදභාවයකින් යුක්ත විය යුතුය. සිව්වෙනුව, ස්වාධීන, සදාචාරාත්්මක සහ නිසි සුදුසුකම් ලත් සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත හා අදාළ සමාජය නිවැරදිව නියෝජනය වන කණ්ඩායමකින් නිසි කලට, සැමට එකලෙස නීතියේ සාධාරණත්‍වය ඉටුවිය යුතු වන්නේය.

මෑත කාලයේ ලාංකේය සමාජය තුළ නීතිය ක‍්‍රියාත්මක වීමේදී මෙම පොදු කොන්දේසි හතර නිරන්තරයෙන් උල්ලංඝණය වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටුණේය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ම කිිහිපවරක් අවධාරණය කළ පරිදි, අරලියගහ මන්දිරයේ සිට හෝ ජනාධිපති මන්දිරයේ සිට ලබා දුන් දුරකතන ඇමතුම් මත නඩු තීන්දු ලබාදීමේ ඛේදණීය තත්ත්වයක් පසුගිය කාලයේ රට තුළ පැවතියේය. සාමන්‍ය ජනතාවට බලපෑ නීතිය රටේ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, ඥතිහිතමිත‍්‍රාදීන්ට බලපෑවේ නැත. මහින්ද රාජපක්‍ෂ මහතා ම පවසන ආකාරයට, එතුමාගේ පාලන සමයේ වැරදි කළ අයට දඬුවම් නොපැමිණවූූවා පමණක් නොව, ඔවුනට ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව ද හිමිවූයේය. ඉහත සඳහන් කළ පරිදි, දශක තුනක ම්ලේච්ඡු යුද්ධය නිමවීමෙන් පසුව රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුව තිබුණද, සැබෑවට ම සිදුවූයේ ජනාධිපතිවරයාගේ ආධිපත්‍යය තහවුරු වීමයි. එමෙන්ම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව රට ආඥදායකත්‍වයක් කරා තල්ලූවන්නට පටන් ගත්තේය.

පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී, 6,217,162ක ඡන්දදායකයන් පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ මෙම තත්ත්වය වෙනස් කොට නීතියේ ආධිපත්‍යය යළි තහවුරු කරන්නටය. ඒකාධිපති පාලනයක් කරා රට ඇදගෙන ගිය ගමන නවතා දමා, යහපාලනයක් ස්ථාපිත කරන්නටය. අගෝස්තු 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ජනවරම යළි තහවුරු වූ අතර, ලාංකේය බහුතර ජනතාව යළිත් වතාවක් අවධාරණය කර සිටියේ දණින් වැටුණු නීතිය දෙපයින් නැගිටවීමේ අවශ්‍යතාවයයි. මෙහිලා, පළමුකොට ම පසුගිය කාලයේ බරපතළ වැරදි කොට ලොක්කන්ගේ ආරක්‍ෂාවට මුවාවී නීතියට කොකා පෙන්නූ අයට නිසි දඩුවම් ලබාදීම අත්‍යවශ්‍ය වන්නේය. දැනට අකර්මණ්‍ය වී ඇතැයි චෝදනා එල්ල වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අවශ්‍ය ඔක්සිජන් ලබාදී, ඊට ලැබී ඇති සිය ගණනක් වූ පැමිණිලි සියල්ලේ ම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කළ යුතු වන්නේය. මාස පහහමාරක යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කරනු ලැබූ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සියල්ලේ ද විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කළ යුතු වන්නේය. ඇතමුන් පවසනා පරිදි, මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට අදාළ ගැසට් පත‍්‍රයේ කිසියම් ෙදාා්ෂයක් ඇත්නම් එය නිවැරදි කළ යුතු බවට කිසිදු විවාදයක් නැතත්, ඒ හේතුවෙන් දූෂණ හා වංචා පිළිබඳ විමර්ශන නතර කිරීමේ අවශ්‍යතාවයක් නැත්තේය.

එහෙත්, මෙයාකාරයට කාටත් එක ලෙස නීතිය ක‍්‍රියාත්මක කරන්නට පටන් ගනිද්දී, පසුගිය කාලයේ බරපතළ වැරදි කළ උදවිය මහත් සේ කලබලයට පත්වනු ඇත. එම කාලයේ සිදුවූ බරපතළ දූෂණ-වංචා පිළිබඳ විමර්ශන දියත් කෙරෙද්දී, ඔවුන් භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් දඟලනු ඇත. “මෙන්න පලිගන්නවෝ” යැයි කියමින් ජනතාව ඉදිරියේ කිඹුල් කඳුළු සලනු ඇත. එහෙත්, එලෙස කලබලයට පත්වන්නේ වැරදි කළවුන් විනා අහිංසකයන් නොවන බව ජනතාව හොඳින් දනිති.

Back to Home page