Colombo Telegraph

සේයා දැරියගේ ඝාතන සිද්ධියෙන් ප‍්‍රශ්න කෙරෙන අපේ සදාචාරය

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

කොටදෙණියාව බඩල්ගම ගමේ විසූ පස් හැවිරිදි සේයා දැරිය දරුණු ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධිය ගැන, මේ වන විට විවිධ මාධ්‍ය හරහා බොහෝ කරුණු-කාරණා ලියැවී ඇත්තේය. එම සිද්ධිය කෙතරම් ප‍්‍රබල ලෙස ප‍්‍රචාරයට ලක්වී ද යත්, තවදුරටත් ඒ පිළිබඳව කතා කිරීම අවශ්‍යය ද යන ප‍්‍රශ්නය පවා මතුවන්නේය. එහෙත්, මෙම අමානුෂික ඝාතනයෙන් පසුව ඇතිවූ සිද්ධීන් දාමය පිළිබඳව, නිරවුල් මනසකින් යුතුව, අපක්‍ෂපාතීව විමසා බැලීමේ අවශ්‍යතාවයක් මතුව ඇත්තේය. විශේෂයෙන්, සේයා දැරියගේ ඝාතනයෙන් අනතුරුව, පොලීසිය, ජනමාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව යන පාර්ශ්වයන් ති‍්‍රත්වය හැසුරුණු ආකාරය පිළිබඳව යළි විමසා බැලීමේ අවශ්‍යතාවයක් මතුව ඇත්තේය.

හය හතර නොතේරෙන අහිංසක දැරියක් මෙයාකාරයට නින්දිත ලෙස දූෂණය කොට මරා දැමීම, අද්‍යතන ලාංකේය සමාජය වැටී ඇති ඛේදණීය තත්ත්වය, නැතහොත් අපේ සදාචාරය පිරිහී ඇති මට්ටම පිළිබිඹු කෙරෙන තවත් එක් සිද්ධියක් බව අමුතුවෙන් නොකිවමනාය. පසුගිය මැයි මාසයේ යාපනයේ පුන්කුඩුතිව් ප‍්‍රදේශයේ විද්‍යා ෂිවලෝගනාදන් නමැති පාසල් සිසුවියක සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේදී ද, අපි මෙයාකාරයට ම කතාබහ කළෙමු. සමහර විට වැඩි දිනක් ගතවීමට මත්තෙන්, තවත් මෙබඳු සිද්ධියක් ගැන කම්පාවීමට අපට සිදුවිය හැකිය. එය හුදෙක් අසුභ අනාවැකියක් හෝ සෘණාත්මක ආකල්පයක් නොව, අද අප සමාජය මුහුණ දී සිටින කටුක යථාර්ථය තේරුම් ගැනීමක් වන්නේය. පසුගියදා මාධ්‍ය වාර්තා කළ අන්දමට, ගෙවුණු සිව් වසරක කාලය තුළ ලිංගික අපයෝජනයට ලක්වූ දරුවන්ගේ ගණන 32,353කි. වෙනත් අයුරකින් කියතොත්, මෙම කාලය තුළ, වසරකට දරුවෝ 8000කට වැඩි පිරිසක් ලිංගික අපයෝජනයට ලක්ව සිටිති. සාමාන්‍යයෙන්, ලිංගික අතවරයකට ලක්වූ විට ඒ බව වැඩිහිටියන්ට දැන්වීමට මෙන්ම අදාළ බලධාරීන්ට පැමිණිලි කිරීමට මැලිකමක් දැක්වීම අපේ සමාජයේ සුලභ ලක්‍ෂණයක් වන බැවින්, සෑබෑ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකිය. වත්මන් ලාංකේය සමාජය තුළ සදාචාරය පිරිහී ඇති මට්ටම වටහා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේය.

වසර තිහකට වැඩි කාලයක් ම්ලේච්ඡු යුද්ධයක සිරවී සිටි සමාජයක, වසර තිහකට වැඩි කාලයක් මර බියෙන් ජීවත් වූ සමාජයක සදාචාරය බරපතළ ලෙස පිරීහීම අපේක්‍ෂා කළයුත්තක් බව, මෙහිලා ඇතමෙක් තර්ක කරති. වසර තිහක කාලයක් යුද මානසිකත්‍වයේ ගිලී සිටි සමාජයක සදාචාරය පිරීහීම අපේක්‍ෂා කළයුත්තක් බව, ඔවුහු තවදුරටත් පෙන්වා දෙති. දීර්ඝ කාලයක් එකදිගට යුද්ධයෙන් මුසපත් වූ සමාජයක් තුළ, මානසික ආබාධ, මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසාගැනීම්, ලිංගික අපයෝජන වැනි අයහපත් ප‍්‍රවණතාවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙනා බව සමාජ විද්‍යාඥයන්ගේ ද මතය වන්නේය. එමතුද නොව, යුද්ධයේ ආධිපත්‍යය හේතුකොටගෙන නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ද ලාංකේය සමාජය මෙවන් පහත් තත්ත්වයකට පත්වීමට තවත් හේතුවක් වන්නේය. එහෙත්, ඊට සමගාමීව පැනනගින අනෙක් ප‍්‍රශ්නය වන්නේ, යුද්ධය නිමාවී වසර හයක් ගතවීමෙන් පසුවත්, දරුණු ලෙස බිඳ වැටුණු සදාචාරය යළි ගොඩනගන්නට අපට නොහැකි වූයේ ඇයිද යන්නයි. සේයා දැරියගේ ඝාතනය හෝ එසේත් නැතිනම් විද්‍යා සිසුවියගේ ඝාතනය හෝ හුදෙකලා කොටගෙන ප‍්‍රතිචාර දැක්වීමෙන් ලාංකේය සමාජයට වැළඳී ඇති රෝගයට විසඳුම් සෙවිය නොහැකිය. මේ පිළිබඳව, මුළු සමාජයම එකතුව, සියලූ පාර්ශ්ව එක්ව පුළුල්-අවංක කතිකාවතක් දියත් කළ යුතුය. ඉහත කී පරිදි, සේයා දැරියගේ ඝාතන සිද්ධියෙන් පසුව විවිධ පාර්ශ්වයන් හැසුරුණු අන්දම දෙස බලනා විට, එබඳු කතිකාවතක අවශ්‍යතාවය වඩාත් තීව්ර වන්නේය.

මෙම සිද්ධියේදී, පොලීසිය හැසුරුණු ආකාරය ද සදාචාර සම්පන්න නොවූ බව පළමුකොටම සඳහන් කළ යුතුය. පසුගිය සැප්තැම්බර් 3 වැනිදා සිය 149 වැනි සංවත්සරය සැමරූ ශ්‍රී ලංකා පොලීසිය දක්‍ෂතාවය අතින් ලෝකයේ කිසිදු පොලීසියකට දෙවෙනි නොවනා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. බාහිර බලපෑම්, විශේෂයෙන් දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති විට, ඕනෑම අපරාධකරුවෙකු ඉක්මනින් අල්ලාගැනීමේ හැකියාවක් අපේ පොලීසියට ඇත්තේය. කිසියම් අපරාධයක් සිදුවූ විට ඊට වගකිවයුතු පුද්ගලයා කොටුකර ගැනීමට පොලීසියට යම් කාලයක් අවශ්‍ය වන අතර, එහිදී බාහිර පාර්ශ්වයන් වෙතින් අනවශ්‍ය බලපෑම් එල්ල වන්නේ නම්, පොලීසියට සිය රාජකාරිය හරිහැටි ඉටුකිරීම අපහසු වන්නේය. සේයා දැරියගේ ඝාතන සිද්ධියේදී ද සමහර උදවිය පොලීසියට අනිසි බලපෑම් එල්ල කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා පැමිණ වූ බවක් දක්නට ලැබුණේය. එහෙත්, අනෙක් අතට ඝාතනයට සැක කෙරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කළ ආකාරය ද ප‍්‍රශ්නකාරීය. විශේෂයෙන්, සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කළ ආකාරය සදාචාර සම්පන්න සමාජයකට නොගැලපෙන්නේය. එම සිසුවාගේ ලැප්ටොප් පරිඝණකයෙහි අසභ්‍ය පින්තූර තිබුණු පමණින්, සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව සැක කෙරෙනා බව මුළු රටටම හඬගා කීම සදාචාර සම්පන්න නොවන්නේය. ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුගේ අනන්‍යතාවය, ඔහුගේ අතිශය පෞද්ගලික තොරතුරු, ඔහු අදාළ සිද්ධියට වරදකරු බව සැකහැර දැන ගැනීමටත් කලියෙන් මාධ්‍යයට හෙළිකිරීම සදාචාර සම්පන්න නොවන්නේය. මෙවැනි දරුණු අපරාධකයකදී, මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතුළු සියලූම පොලිස් නිලධාරීන් විසින් රටට කිවයුතු දෑ මොනවාද, සැබෑ අපරාධකරුවා සැකයකින් තොරව හඳුනා ගන්නා තෙක් හෙළි නොකළයුතු දෑ මොනවාද යන්න ප‍්‍රවේශමෙන් තෝරාබේරා ගතයුතු බව අමුතුවෙන් කිවයුතු නැත්තේය.

සේයා දැරියගේ ඝාතනය සිද්ධියේ්දී සමහර ජනමාධ්‍ය සහ සමහර මාධ්‍යවේදීන් (සියල්ලන්ම නොවේ!) හැසිරුණු ආකාරය ද අතිශය කනගාටුදායකය. සදාචාර විරෝධීය. ලාංකේය සමාජයේ සැලකිය යුතු පිරිසක් කුණු රසයට ඇල්මක් දක්වන හෙයින් අපේ සමහර මාධ්‍යවේදීන් එබඳු ප‍්‍රවෘත්ති උලූප්පාලීමට පෙළඹෙන බව, අප හිතවත් ප‍්‍රවීණ මාධ්‍යවේදියෙක් වරක්් අප සමඟ කීවේය. සේයා ඝාතනය සිද්ධියේ්දී ද ඒ බව මොනවට තහවුරු වූ අතර, ඇතැම් මාධ්‍ය එම සිද්ධිය තලූමරමින් රස කර කර විස්තර කළහ. විශේෂයෙන්, පහත් මට්ටමේ ඕපාදූප ප‍්‍රචාරයට කැපවී සිටින සමහර සමාජ වෙබ් අඩවි මෙහිදී සීමාව ඉක්මවා යමින් දැරියගේ නිරුවත් මළසිරුරෙහි ඡායාරූප පවා පළකළ අතර, ඝාතනය සම්බන්ධයෙන් ඇගේ කිට්ටුම ඥතීන්ට චෝදනා කරන්නට ද ඉදිරිපත් වූහ. රට තුළ සමාජය තුළ සිදුවන දෑ, ඇත්ත ඇති සැටියෙන් ජනතාව ඉදිරියේ තැබීම මාධ්‍යවේදියාගේ වගකීම බව ඇත්තක් වුවද, මෙවන් සංවේදී සිද්ධීන්වලදී ස්වයං වාරණයකින් යුක්තව කටයුතු කිරීම මාධ්‍යවේදියාගේ යුතුකම වන්නේය. වත්මන් තරගකාරී සමාජාර්ථික රටාව තුළ උණුසුම් ප‍්‍රවෘත්ති මුලින්ම වාර්තා කිරීමේ ගෞරවය තමන් සතු කරගැනීමට මාධ්‍යවේදීන් පෙළඹීම පුදුමයට කරුණක් නොවූවද, මෙබඳු අතිශය සංවේදී සිද්ධීන් වාර්තා කිරීමේදී, අනිසි කලබලයකින් තොරව ස්වයං විනයකින් යුක්තව කටයුතු කිරීම මාධ්‍යවේදියාගේ යුතුකම වන්නේය. විශේෂයෙන්, අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අයෙකුගේ චරිතය ඝාතනය වන පරිද්දෙන්, ඔහුගේ පෞද්ගලික තොරතුරු මාධ්‍ය හරහා රටටම හෙළිකිරීම සදාචාර සම්පන්න නොවනා බව මාධ්‍යවේදීන් වටහා ගත යුතුය.

මෙම සිද්ධියේදී සාමාන්‍ය ජනතාව හැසිරුණේ ද ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන අන්දමටය. මුලදී, දැරියගේ මළසිරුර සෙවීමේ කටයුත්තේදී අසල්වැසි ජනතාව පොලිස් නිලධාරීන්ට සුවිසල් සහායක් ලබාදීම අගය කළ යුතුව ඇතත්, පොලිස් පරීක්‍ෂණ නිදහසේ කරගෙන යාමට ඉඩ නොදී අනවශ්‍ය බලපෑම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. සේයාගේ පියාත් සීයාත් ප‍්‍රශ්න කිරීම සඳහා පොලීසියට රැුගෙන යාමේ සිද්ධිය මත පමණක් පදනම්ව, ඇතැම් පිරිස් ඔවුන්ව වැරදිකරුවන් බවට පත්කළහ. සේයා දැරියගේ දෙමව්පියන් සහ කිට්ටු ඥතීන් මළසිරුර බදාගෙන යටිගිරියෙන් කෑ නොගැසීම ද ඇතමෙකුට ප‍්‍රශ්නයක් වී තිබුණේය. පවුලේ ඥතීන්ට සිය දියණියගේ අවසන් කටයුතු පවා හරිහැටි කරගැනීමට ඉඩ නොදීම ද අතිශය කනගාටුදායකය. එතෙකින් නොනැවතී ඝාතකයාට නිසි දඬුවම්දීම සඳහා තමන්ට බාරදෙන්නැයි ඉල්ලමින් පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම තුළින්, අප සමාජය තුළ ශේෂවී ඇති ගෝත‍්‍රික ලක්‍ෂණ පෙන්නුම් කෙරෙනා බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. සේයා දැරියගේ ඝාතකයාට ගල් ගසා මැරීමෙන් පමණක්, වර්තමාන ලාංකේය සමාජය මුහුණ පා ඇති මෙම ඛේදණීය තත්ත්වයෙන් ගොඩ ආ නොහැකි බව, මෙම උද්ඝෝෂකයන් තේරුම් ගත යුතුය.

කිසියම් අපරාධයක් සිදුවූ විට යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් ජනතාව වීදි බසින්නේ, නීතිය ආරක්‍ෂා කිරීම හා ක‍්‍රියාවට නැංවීම බාර උදවිය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති නිසා බව ඇත්තය. අපරාධකරුවන්ට දඬුවම් දීමේ කාර්යය තමන්ට බාරදෙන්නැයි ඉල්ලමින් ජනතාව මෙයාකාරයට උද්ඝෝෂණය කරන්නේ, රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති නිසා බව ඇත්තය. එහෙත්, ඒ ප‍්‍රශ්නයට විසඳුම, නීතිය ක‍්‍රියාවට නැංවීමේ වගකීම ජනතාවට පැවරීම නොවන්නේය. වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ වගකීම ජනතාවට පැවරීම නොවන්නේය. මෙම ප‍්‍රශ්නයට නිවැරදි විසඳුම් වන්නේ, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ නීතිය හරිහැටි ක‍්‍රියාත්මක කරන තැනට පත්කරලීමය. අපරාධකරුවන්ට නිසි දඬුවම් නිසි කලට ලබාදෙන ආකාරයට අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමය. අපරාධකරුවන්ට පහසුවෙන් රිංගා යා හැකි අන්දමේ හිඩැස් වත්මන් නීති පද්ධතියේ ඇත්නම්, ඒවා වසා දමීමය. මෙවැනි අපරාධ සම්බන්ධ නඩු උසාවිවල අවුරුදු ගණන් දිග්ගැස්සෙන්ට ඉඩ නොදී අපරාධකරුවන්ට ඉක්මණින් දඬුවම් ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමය. සදාචාර සම්පන්න සමාජයක කටයුතු සිදුවන්නේ ඒ ආකාරයටය.

මෙම පියවරයන්ට සමගාමීව, ඉහත කී පරිදි, වර්තමාන ලාංකේය සමාජයේ සදාචාර පිරිහීම ගැන පුළුල් කතිකාවතක් දියත් කිරීම අවශ්‍ය වන්නේය. මෙම සමාජ ව්‍යාධිය මුලිනුපුටා දැමීමට, හුදෙක් නීතිමය ක‍්‍රියාමාර්ග පමණක් ප‍්‍රමාණවත් නොවන්නේය. ලාංකේය සමාජයට වැළඳී ඇති මෙම දරුණු ව්‍යාධියට දීර්ඝකාලීන-ස්ථීරසාර විසඳුමක් ලබා නොදුනහොත්, අහිංසක සේයා දැරියගේ ඝාතනය වැනි හද කම්පා කරවන සිද්ධීන් අපට යළි යළිත් අසන්නට සිදුවනු ඇත්තේය.

Back to Home page