20 April, 2024

Blog

මද​​ කිපුනු තනි අලියා වට කරගත් සුදු අලි රෑන

ජයශ්‍රී ප්‍රියලාල්

ජයශ්‍රී ප්‍රියලාල්

මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ​ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක් නොමැති බවය. ඔහුගේ මතය හා සියළුම සෙසු දේශපාලන පක්ෂ ගැටෙනුයේ ඔවුන් සියළු දෙනාම දැන් සුදානම් වෙමින් සිටිනුයේ පළාත් සභා ඡන්දයෙන් තම පක්ෂය වෙත රොක්වෙන ජනමතය උරගා බැලීමටය. පුංචි ඡන්දය ගැන බලාපොරොත්තු රැසක් විපක්ෂ දේශපාලන පක්ෂ නායකත්වය දෙන මැතිවරණ සංධාන තුල ගොඩනැඟෙමින් තියෙන මොහොතක ජනාධිපතිවරයාගේ ප්‍රකාෂය දෙබරයට ගල් ගැසුවා සේ වීය. හැමෝම දත කන්නේ ලිට්මස් පරීක්ෂනයන් කිරීමටය.

සැබැවින්ම වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, දේශපාලන, සහ ආර්ථික අර්බුදය, බලය ලබා ගැනීමට කැසකවන දේශපාලන පක්ෂ හරිහැටි හඳුනාගෙන තිබේද? අරගලයට පණ පෙවූ සියළු දෙනාම අපේක්ෂා කලේ ජරාජීර්ණ වී ඇති පරිපාලන ක්‍රමවේදය පද්ධතිමය වෙනසකට භාජනය කරවීමයි. එනමුත් දැන් සිදුවෙමින් පවතින්නේ අර්බුදය ගෙනහැරපාමින් නැවතත් දේශපාලන බලය ඩැහැගැනීමට හුදු තවත් එක් මුහුණු මාරුවක් සඳහා සූදානම් වීමය. පොදු සම්මතය නම් ගැටළුව නිවැරදිව හඳුනාගැනීම, අර්බුදයෙන් ගොඩ ඒමට අපේක්ෂිත විසඳුමෙන් හරි අඩක්ම වන බවයි. අරගලයෙන් පසු එවැන්නක් සිදුවූ වගක් දකින්නට නොලැබුනි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සමාජගත කරන දේශපාලන පක්ෂ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට හරවත් සමාජ කතිකාවක් දියත් කර නොමැත. විපක්ෂයේ සිටින පක්ෂ අතර රටට හඳුන්වාදිය යුතු පද්ධතිමය වෙනස කුමක්ද යන්න පිලිබඳව පොදු එකඟතාවක් නොමැත. උනුත් එකයි, මුනුත් එකයි අපි විතරයි යන්න හුදෙක් ඡන්ද දායකයා නොමග ඇරීමේ තවත් එක් උපායක් යන්න මෙම ලියුම් කරුගේ මතයයි.

නිවැරිදි සමාජ කතිකාවක් නෑ

මෙවන් වාතාවරණයක් තුල ඡන්දදායකයා පහසුවෙන්ම නොමග යාමට ඇති සම්භාවිතාව මැතිවරණ පොරපිටියේ ඔස්තාර්ලා හොදින් අවබෝධ කරගෙන සිටී. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බොහෝ රටවල, පසුගිය දශක කිහිපයකම මැතිවරණ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුනේ, සාවද්‍ය තොරතුරු සූක්ෂමව කලමනාකරණය කරගනිමින් පාවෙන ජනමතය නොමග යැවීමෙනි. 2019 විරුවෙකු පෙන්වා 69 ලක්ෂයක් ඡන්දදායකයින් නුසුදුස්සෙකුට රැවටුනේ ඒ අයුරිනි. එහි ප්‍රතිවිපාක මුළු සමාජයම අත්විදින අතර තවත් එවැනිම රැවටීමකට භාජනය වීමට ඇති සියළුම මංපෙත් ඇහිරිය යුත්තේ ජාතියේ අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය අඩිතාලම යොදාගැනීමටය. මෙම ලිපිය සටහන් කරනුයේ ඒ සඳහාය.

සමාජ මාධ්‍ය විසින් වර්තමානයේ ව්‍යාප්ත කරනුයේ පරම සත්‍ය නොව අර්ධ සත්‍යයයි. ඒ අනුව යමින් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොණික මාධ්‍යද වපුරණුයේද සත්‍ය වෙනුවට සාපේක්ෂ සත්‍යයයි. බ්‍රසීලයේ සිට බ්‍රිතාන්‍ය දක්වා පැවැත්වූ මැතිවරණ සහ ජනමත විචාරණ වල සමස්ත ප්‍රතිපලය මෙම තත්වය හොදින් පැහැදිලි කරයි. හුදු ජනප්‍රියත්වය හඹායන මැතිවරණ ව්‍යාපාරවලින් අත්වූ ඉරණම පවත්නා අර්බුදයන් තවත් ව්‍යාකූල කරවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය දැන් ආර්ථික පරාවළල්ලක් වී ඇති බව මොනවට පැහැදිලි කරවයි. සියළුම දේ වෙනස්වන බව බුදු දහමේ උගැන්වීම් තුලින් ගෙනහැර පෑවද, වෙනස්වීම් සිදුවිය යුත්තේ පවතින අර්බුදවලින් යහපත් තත්වයකට සංක්‍රමණය වීමට මිස, තවත් අර්බුද වල සිරවීම සඳහා නොවේ. ශ්‍රී ලාංකේය අප සියළුදෙනා දැන් මුහුණ දී සිටින අර්බුදය ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය අඬිතාලම, පද්ධතිමය වෙනස සොයාගැනීමට සුදුසුම වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් ලෙසට සලකා නව සහශ්‍රයට අනුගත, නැවුම්, අපූර්ව සම්මත රාමුවලින් ඔබ්බට ගිය අපිටම ආවේණික වැඩ පිලිවෙලකට ජාති හිතෛෂී සියළු දෙනාම එකතුව සොයා ගැනීමට කටයුතු කලයුතු වේ. මේ සඳහා දර්ශණයක් සහිත වැඩපිලිවෙලක් දියත් කලහැකි දේශපාලන නායකත්වයක් තවමත් බිහිවී නොමැත. යතාර්ථය එයයි.

පළාත් සභා උවමනා කලේ කාටද?

නොයිදුල් අපූර්ව විසඳුම් සොයායෑම වෙනුවට පැළැස්තර ඇලවීමේ න්‍යාය මත පිහිටා කටයුතු කිරීමේ ආදීනව සාක්ෂි සටහන් ඇතුව පෙන්වාදීමට ඇති කදිම සාධකය ශ්‍රී ලංකාවේ පළාත් සභා ඔස්සේ පවත්වාගෙන යන සමාන්තර පරිපාලන රටාවයි. වර්තමානයේ රාජ්‍ය සම්පත් නාස්තිකරවන ආයතන අතුරින් ප්‍රධානම තැනට පත්වන්නේ මෙකී පරිපාලන ව්‍යුහයයි.

උතුරු නැඟෙනහිර පලාත්වල ජීවත්වූ ජනයාට එල්ලවූ සමාජ අසාධාරණයන් තුලින් පැන නැඟුනු ත්‍රස්තවාදය පෙරදැරිකරගත් බෙදුම්වාදය පරාජය කරවීමට යොදාගත් උපායමාර්ගික විසඳුම පිලිබද ආවර්ජනයක් කිරීමට කිසිම දේශපාලන පක්ෂයක් සුදානම් නැත. මෙකී බලය විමධ්‍යගත කරවීමේ ඊනියා පරිපාලන ව්‍යුහය ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ මැතිවරණ ව්‍යාපාරය තවත් එක් කර්මාන්තයක් බවට පරිවර්තනය කර ඇත. 1987 පළාත් සභා වලට විරුද්ධ දේශපාලන ස්ථාවරයක සිටි පක්ෂ දැන් තිත්ත කසාය බිවු ගොළුවන් සේ කටයුතු කරනුයේ එකී කර්මාන්තයෙන් තම බල කේන්ද්‍රය ශක්තිමත් කරගැනීමටය. මෙම ලිපියට ප්‍රස්ථූණ ජනාධිපතිවරයා විසින් කරන ලද මැතිවරණ කල් මැරීමේ ස්ථාවරය මතු වන්නේ ඔය අයුරිණි.

පළාත් සභා පිහිටුවාලීමට නෛතික බලය ලැබෙන 13 වැනි ව්‍යවස්තා සංශෝධනය පිළිබද ගැටළු තවමත් නිරවුල් කරගෙන නොමැත. වරින් වර ඒවා දේශපාලන තුරුම්පු බවට පත්වෙමින් ඉස්මතුවේ. දැනට ක්‍රියාත්මක පළාත්සභා ක්‍රමවේදය, උතුරු නැඟෙනහිර පුරවැසියන් හෝ ඔවුන් නියෝජණය කරන දේශපාලන පක්ෂ හෝ විමුක්ති සන්නද්ධ සංවිධාන විසින් ඉල්ලා සිටින ලද දෙයක් නොවේ. අපටම ආවේණික නිර්මාණශීලී විසඳුම් සොයාගැනීමට අපොහොසත්වීම නිසා භාහිර බලවේග විසින් කරන ලද බලපෑම් වලට අනුකූලතාවයන් දක්වමින්, නාස්තිකාරී අකාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වාදී අවුරුදු පතා ණය වී වත්මන් ආර්ථික අගාදයට ඇද වැටී සිටින්නෙමු.

2022 මහා බැංකු වාර්තාවේ දත්ත අනුසාරයෙන් පහත සඳහන් ප්‍රස්ථාර සටහන සකසා ඇත.

ඉහත දත්තයන් 2012-2022 දශකය සදහා පමණි. 1987 සිට රජයේ ඒකාබද්ධ අරමුදලට සහ අයවැයට වාර්ෂිකව කර ඇති බලපෑම කොපමණද යන්න තක්සේරු කරගැනීමට පාඨක ඔබට භාර කරමි.

පළාත් සභා වලට තරඟ වදින දේශපාලන පක්ෂ මෙම තත්වය නිවැරදි කරන ආකාරය ඡන්ද දායකයින්ට පැහැදිලි කර තිබේද?

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන නොසලකමින් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනුවස් අවැඩදායි පරිපාලනයක් ආරම්භ කිරීමට කටයුතු කරනුයේ ඡන්දදායකයාට සහ බදු ගෙවන්නන්ට කිසිම වගකීමක් හෝ වගවීමක් නොමැති පාලන තන්ත්‍රයක් සඳහා බලය ලබාගැනීමටය. අඩුම තරමින් පළාත් සභාවල ආදායම වැඩි කරගන්නා හෝ වියදම අඩුකරගන්නා ක්‍රම වෙිදයන් ගැන සාකච්ඡාවක් කර ඇත්ද? හිටපු එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කො‍ෆී අනන් මහතා පිහිටුවා ඇති පදනම විසින් මෙවැනි ජනතාවට වග නොකියමින් දේශපාලන බලය අවභාවිතා කරන පාලන ක්‍රමවේදයන් අධීක්ෂණය කරවීම සඳහා ජගත් දර්ශකයක් ලඟදී හඳුන්වා දී ඇත. The Atlas of Impunity දර්ශකය රටවල් 163 පිලිබද අධ්‍යනයක් කර එහි පළමු වාර්තාව 2023 දී ඉදිරිපත් කර ඇත.

පළාත් සභාවලට සිය පාලිත වැසියන්ගෙන් බඳු අයකරගැනීමට නෛතික බලයක් නොමැත. එබැවින් මධ්‍යම රජයේ සම්පත් වගකීමකින් තොරව රිසි සේ වියදම් කිරීමේ අවස්ථාවක් ලඟා කර ගැනීමේ වාරය එනතෙක් ඇඟිලි ගනිමින් සිටීම අපට තේරුම් ගත හැක. මෙම තත්වය හොදින් තේරුම් ගෙන සිටින වත්මන් දේශපාලන පක්ෂ රාජ්‍ය පාලන බලය සිය අනසකට තබාගෙන ජනතාව පෙලන මැර බලය සිය වන්දිබට්ටයන් වෙත පළාත් සභා තුලින් විමධ්‍යගත කර ඇත. පළාත් සභා මගින් පවත්වාගෙන යන සමාන්තර පරිපාලන ක්‍රමවේදය අහෝසි කරවීමට සියළුම දේශපාලන පක්ෂ දැඩි ස්ථාවරයකට පැමිණීම රට ගොඩනැඟීමට අවශ්‍ය මූලික පද්ධතිමය වෙනස වන බව මෙම ලියුම්කරුගේ මතයයි.

උතුරු නැඟෙනහිර සහ සෙසු පළාත්වල ජීවත්වෙන දෙමළ, මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ සමාන අයිතිවාසිකම් බුක්තිවිදින පුරවැසියන් සේ සලකා රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් කරගනිමින් දැයේ සංවර්ධණයට දායක කර ගතයුතු වීම අපේක්ෂිත පද්ධතිමය ක්‍රම වේදයේ තවත් සංඝටයක් කරගත යුතු බව තවත් එක් අදහසකි. විසිඑක්වෙනි සියවසට ඔබින, සුහුරු තාක්ෂණයට අනුගත සියළුම දෙනාට සහභාගී විය හැකි කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් වර්තමානයේ සීඝ්‍රයෙන් දියුණුවන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් තුලින් හඳුන්වාදී ජාතිය නගා සිටවීමේ ඓතිහාසික කාර්යට සියළු පුරවැසියන් එක් කරගතයුතුවේ. මේ සඳහා පෙරමුණ ගතහැකි නිර්මාණශීලී අදහස් සහිත තරුණ කරුණියන් වෙත දේශපාලන බලය පැවරීමය.

ජනතා හඬ අවදි කලයුත්තේ කුමක් සඳහාද?

දැනට දේශපාලන බලය අත්පත් කරගෙන සිටින ජනාධිපතිවරයාට ජනවරමක් හෝ වත්මන් පාර්ලිමේන්තුව ජන සම්මත නෛතික බලයක් නොමැති බව නැවත නැවත මතක් කර දිය යුතු නැත. එබැවින් පළමුව සිදුවිය යුත්තේ ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑම් කරවීමය. පළාත් සභා සුදු අලින් පත් කරවීමට මැතිවරණ පැවැත්වීමට සම්පත් නාස්ති නොකර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා මහජන මතය අවධි කල යුතු බව සටහන් කරසිටිමි. මෙම කටයුත්තට රොඳ බදින සියළුම දෙනාට සිහිපත් කරගත යුතු වන්නේ, බොරුවට නිදාසිටින අය අවදි කරවීමට උත්සහ නොකර, අළුත් සිහින දැකීමට පමණක් වත් ඔවුන් නැවත නිදිකරවීමය.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරන සෙල්ලමකි. සංස්කෘතිය තුළ ජීවත් නොවන්නේ නම් පිටස්තරයින්ට එය පහසු නොවනු ඇත.

    එය සමීපව කියවන්නටවත් ශිෂ්ට ලෝකයට දැනුමක් නොතිබෙනු ඇත. ශ්‍රී ලංකා දේශසීමා තුළ ගෞරවය, ගෞරවය සහ සම්මතයන් නොමැතිකම සමඟ එය බොහෝ සෙයින් සම්බන්ධ වේ. ඊනියා නීත්‍යනුකූල බලධාරීහු ද ක්‍රියා කරන්නේ අඩපණ වශයෙනි. මම වගේ හේතුවාදියෙක් වන මහාචාර්ය පාතේගම ඝානිස්සර හාමුදුරුවෝ ඒක ප්‍රසිද්ධියේ කියන්න එඩිතරයි, අපේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් “ඡන්දය” පාවිච්චි කරන්න අවශ්‍ය දැනුමක් නැහැ, හැබැයි ඒ අයවත් දන්නේ නැහැ දන්නේ නැහැ.

    මම ඊයේ යුරෝපයේ ඉතිහාසඥයෙකුට අහම්බෙන් මේ සියල්ල එකින් එක පැහැදිලි කළෙමි, අද එය නරක අතට හැරුණේ ඇයි, තවත් බලාපොරොත්තුවක් නොමැතිව?
    රාජපක්ෂ 2019 නොවැම්බරයේදී බලය අල්ලා ගත්තේ ඔවුන්ගේ අපරාධ පරීක්ෂණ නිදොස් කිරීමට ජනතාවගේ වියදමින් සහ මිනිස් බිලි පූජා කරමිනි. හිටපු ජනාධිපති; SIRISENA නමින්, දැන් කියන්නේ අවුලෙහි ගොදුර බව ය. ඔහු එම පාස්කු ඉරිදා සිංගප්පූරුවට යාමට ටික වේලාවකට පෙර ආරක්‍ෂාව පැහැර හැරීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න කිරීම්වලට හසු වූ විට ඔහු කන් සීරීමට පටන් ගනී.
    .
    ඔවුන් එය සාක්ෂාත් කර ගත්තේ ජාතිය ප්‍රපාතයකට ඇද දැමීමෙනි.
    පුදුමය නම් අදටත් මහින්ද රාජපක්ෂට රටේ සමහර ප්‍රදේශ ඉදිරියේ දේශන පැවැත්වීමට හැකිවීමයි. මහජනතාවගේ මානසිකත්වය ගැන කාටවත් හිතන්න පුළුවන්ද? ඒ නිසා සමහර විට මිනිසුන් දොස් පැවරිය යුත්තේ තක්කඩි දේශපාලකයන්ට පමණක් නොවේ.

    – එය හැර මැනිය යුතු අපරාධයක් තිබේද? ගරිල්ලා නායකයන් රිද්මයකින් තොරව කරන ආකාරයට මිනිසුන් මිනිස් පලිහක් බවට පත් කර ඇත. ජාතිය විසින් ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයාට සහාය දුන් (බලය ලබා ගැනීම සඳහා සමාජය හසුරුවමින්) පාර්ලිමේන්තුවේ සිටි පිරිමින්ම ජනාධිපති වූ අතර විපක්ෂ නායක සහ තවත් අය අගමැතිකම ප්‍රතික්ෂේප කළහ. කෙසේ වෙතත්, AKD වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ නම්, එය හොඳ පෙරළියක් ලෙසද පිළිගත හැකිය.

  • 1
    2

    දැන් ලංකාවේ පොලිස්පති කවුද කියලා තීරණය කරන්නේ ලංකාණ්ඩුවට එරෙහිව එල්ටීටී ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටපු ද්‍රෝහී නීතිඥයෙක්. රටට ජනාධිපතියෙක් මොකොටද? හරි නම්, මහජන චන්දයෙන් ප්‍රජාත්‍රන්තවාදීව පත් වෙච්ච ජනාධිපතිවරයෙක්ට තර්ජනය කරලා බය කරලා ජනාධිපති මන්දිරය වට කරලා බලයෙන් පහ කරන්න කැරලිකරුවන්ට උපදෙස් දීපු මේ නීතිඥයාගේ නීති බලපත්‍රය අහෝසි කරන්න ඕනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.