Colombo Telegraph

සම්මුතිවාදී දේශපාලනය පරීක්ෂාවට ලක්වීම

ජයතිලක ද සිල්වා

දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප‍්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ.

මොන නමකින් හැඳින්නුවත්, ඒ වූ කලී, මූලික වශයෙන් ගත් කල, එක්සත් ජාතික පක්ෂ/ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාගයකි. දීර්ඝ කාලයක් තිස්සේ එකිනෙකා කෙරෙහි විරසකව සිටි මේ පක්ෂ දෙකට සහජීවනයෙන් වැඩ කළ හැකි වේද? බොහෝ දෙනාගේ සිත් තුළ නලියන පැනය එයයි. කෙසේ වෙතත් පක්ෂ දෙකම පෙනී සිටින්නේ, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ආධාරයෙන් ගොඩනගා ගන්නා ධනේෂ්වර සංවර්ධනයක් වෙනුවෙනි. වෙනස තිබෙන්නේ, ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා පක්ෂ දෙක යොදා ගන්නා සංයුක්ත කි‍්‍රයාමාර්ග තුළ පමණි. ඒකාධිපති නැඹුරුවකින්, යල්පීනූ ගජමිතුරු ධනවාදය ඔසවා තැබීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන අතර, එක්සත් ජාතික පක්ෂය, සාපේක්ෂ වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත වැඩි නැමියාවක් දක්වයි. ඊටත් වඩා, පක්ෂ දෙකම සිය පැවැත්ම සඳහා පරායත්ත වන්නේ, එකම සමාජ පංතීන් මත ය. පක්ෂ දෙක අතර ඉස්සර පැවති වෙනස තවදුරටත් දැන් නැත. එක පක්ෂයකින් අනිත් පක්ෂයට මාරු වීමට එම පක්ෂ දෙකේ සාමාජිකයන් දක්වන සුරුබුහුටි කමත්, එසේ පක්ෂය මාරු කරමිනුත් තම පාර්ලිමේන්තු නියෝජනය රැුක ගැනීමට මැතිවරණයේදී ඔවුන් සමත් වීමත් මගින් පෙන්නුම් කරන්නේ එයයි. පක්ෂ දෙක තුළම එක සේ පහසුවෙන් කරණම් ගැසීමට ඔවුන්ට පිළිවන.

ඇමති ධුර බෙදා දීම

කෙසේ වෙතත්, ප‍්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් සළකා බලන විට, නොමනා අතීත කැරැුට්ටුවක් සහිත පැරැුන්නන් නව ඇමති මණ්ඩලය තුළ වැඩිමනත් තනතුරු ලබා ගැනීම ගැන ජනතාව තුළ ඇත්තේ නොමනාපයකි. වැරදිකරුවන්ට එරෙහි චෝදනා පිළිබඳ පරීක්ෂණ සහ ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවීම නතර වීමක් මේ නිසා සිදුවේදෝ යන සැකය ජනතා සිත්සතන් තුළ දැන් රැුව්දෙයි.

ආණ්ඩුවට මුහුණදීමට ඇති බරපතල අභියෝග කවරේදැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පෙන්වා දුන්හ. ඒවා අතරින් වඩාත් හදිසි සහ වැදගත් ප‍්‍රශ්න විසඳනු වස්, ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය කරගත යුතුව ඇති බව ඔවුන්ගේ මතයයි. ඒ ප‍්‍රශ්න අතරින් ප‍්‍රධාන වන්නේ, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය සඳහා ප‍්‍රතිපත්ති සකසා ගැනීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් සම්පාදනය කර ගැනීමයි.

ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම කෙරෙහි නව ආණ්ඩුව සාධනීය ප‍්‍රවේශයක් පෙන්නුම් කොට තිබේ. විපක්ෂ නායක ධුරයට ආර්. සම්පන්දන් මහතා පත්කර ගැනීම, අන්තර්-වාර්ගික සුහදත්වය පිළිබඳ අනාගත බලාපොරොත්තු දල්වාලන්නකි. එසේ වෙතත්, විපක්ෂයේ ඇතැම් කොටස්, විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන වාටියේ එල්ලී සිටින පිරිස් සහ හිටපු ජනාධිපතිවරයා වටේ කැරකෙන විරුද්ධවාදියෝ තවමත් නිරුපද්‍රිත ය.

දැනටමත්, ඕමන්තෙයි මුරපොල ඉවත් කිරීම සහ සාම්පූර් ප‍්‍රදේශයේ කලින් පදිංචිව සිටි ජනතාවට හිමි ඉඩකඩම් නැවත ඔවුන්ට පවරා දීම වැනි ක‍්‍රියාවන් මේ පිරිස් ජාතිවාදී ආකාරයකින් විවේචනයට ලක්කරති. එසේම, යුද්ධයේ අවසන් අදියරේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සිදු කෙරෙන මොනයම්ම හෝ දේශීය පරීක්ෂණයකටත් ඔවුහූ හතුරුව සිටිති. ජාත්‍යන්තර සංවිධානයක් මගින් රටේ ස්වෛරීත්වයට අතපෙවීමක් වළක්වාගත හැකි එකම ක‍්‍රමය, දේශීය පරීක්ෂණ කරා යොමුවීම පමණි.

වඩාත් පුළුල් දේශපාලන එකඟතාවක් මත ගැටුම් නිරාකරණය කිරීමේ සම්මුතියක් වටා ජනතා බලය ගොඩනැංවීමක් තුළින් ඉහත කී කඩාකප්පල්කාරී බලවේග දමනය කර නොගතහොත්, ජාතික ප‍්‍රශ්නය සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රීය විසඳුමකට කිසි ඉඩක් ඉතිරි නොවනු ඇත. ඒ සඳහා ආණ්ඩුව විසින් ජනමාධ්‍ය කාර්යක්ෂම අයුරිනුත්, ඵලදායි අයුරිනුත් පාවිච්චි කළ යුත්තේය. එසේම, ඊට අදාළ ගැටළු පිළිබඳ විචාරවත් පුළුල් කතිකාවක අවශ්‍යතාවද තිබේ.

නව ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත

ආර්ථික ප‍්‍රතිපත්ති සංයුක්ත ආකාරයකින් නිර්වචනය කර ගැනීමේ වගකීම නව ආණ්ඩුවට පැවරෙයි. එසේ කිරීමේදී, දළ දේශීය නිෂ්පාදන වර්ධනය, සැබෑ වර්ධනය පිළිබඳ විශ්වසනීය සහ තීරක නිර්ණායකයක් නොවන බව මතකයේ තබාගත යුතුව තිබේ. අවශ්‍ය කරන්නේ, සාධාරණත්වය මත පදනම් වන වර්ධනයකි. සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට නොලැබෙයි නම් සහ එම ප‍්‍රතිලාභ යන්නේ අතලොස්සක් අතට නම්, එවැනි සංවර්ධනයක් කෙරෙහි මහජන අප‍්‍රසාදය ලියලනු ඇත. එයම, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කප්පාදු කිරීමටත් මග පාදනු ඇත. පසුගිය පාලන සමයේ භෞතික යටිතල සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දී තිබුණත්, සමාජ යටිතල වර්ධනය පැවතියේ බඩගාමිනි. භෞතිත යටිතල වර්ධනයේ ප‍්‍රතිලාභ ගියේද, පාලන තන්ත‍්‍රය වෙත ඇලී සිටි ගජමිතුරන් අතලොස්සක් අතට ය. එසේම, එම පාලනය යටතේ, ප‍්‍රමුඛතා පටලවාගෙන තිබුණි. නව ආණ්ඩුව සංවර්ධනය පිළිබඳ සාකල්‍ය ප‍්‍රවේශයක් ඇති කරගත යුතුව තිබේ. ඊට, නිෂ්පාදනය සහ නිෂ්පාදන වර්ධනය, ඉතිරි කිරීම් සහ ආයෝජන ප‍්‍රවර්ධන, ණය බර සහ පරිසර ආරක්ෂණය මෙන්ම ජනතා සුභසාධනය වැනි අංග අඩංගු විය යුතුය.

ආණ්ඩුවේ සෑම ප‍්‍රතිපත්ති සම්පාදනයකදීම ඇති කරගත යුත්තේ, හැම අංශයක්ම ආවරණය කෙරෙන, එවැනි සාකල්‍ය එළැඹුමකි. නිදහසින් පසු බලයට පත්වූ ආණ්ඩුවල අත්දැකීම් දෙස විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් එහිදී වැදගත් විය හැකිය. උදාහරණයක් වශයෙන්, ප‍්‍රශ්නයක් ඔඩුදිවූ පසු පරීක්ෂණ කොමිෂන් සභා පත්කිරීමත්, පසුව එම පරීක්ෂණ වාර්තා හමස් පෙට්ටියට දැමීමත්, බලයට පත් බොහෝ පරණ ආණ්ඩුවල පුරුද්දකි. ප‍්‍රකාශයට පත්නොකළ එවැනි කොමිෂන් සභා වාර්තා, රාජ්‍ය පරිපාලන සහ වෙනත් අංශවල මොන තරම් නම් පුස් කමින් තිබේද? රාජ්‍ය සේවය පිළිබඳ වනසිංහ කොමිෂන් වාර්තාව, තක්සේරු කොමිෂන් වාර්තාව සහ රතුපස්වල ඛේදවාචකය පිළිබඳ කොමිෂන් වාර්තාව, එසේ ප‍්‍රසිද්ධියට පත් නොකළ අවස්ථාවන්ට නිදසුන් කිහිපයක් පමණි.

මෙය, ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් පිළිබඳ පැවතිය යුතු පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ප‍්‍රශ්නය මතු කරවයි. ඒ අනුව, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත වහාම සම්මත කර ගැනීම මෙහිදී අතපසු කළ නොහැකි කර්තව්‍යයකි. එමෙන්ම විගණන කොමිෂන් වාර්තාවද වැදගත් වෙයි. මේ සියල්ල යහපාලනයට අත්‍යාවශ්‍ය කෙරේ. පසුගිය මැතිවරණ දෙකක් තුළින්ම ජනතාව අපේක්ෂා කෙළේ එයයි. යහපාලනය යනු, මායාමය හෝ වියුක්ත යමක් නොවේ. එය, බලධාරීන් සමග කෙරෙන ජනතාවගේ දෛනික ගනුදෙනුවට අත්‍යාවශ්‍ය කෙරේ. එය, පොලීසිය සම්බන්ධයෙන් විය හැකිය. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් විය හැකිය. අධ්‍යාපනය හෝ සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන් විය හැකිය. පලාත් පාලනය සම්බන්ධයෙන් විය හැකිය. නීතියේ ආධිපත්‍යය සහ නීතිය ඉදිරියේ සියල්ලන්ගේ සමානත්වය ඒ මගින් සහතික කෙරේ. අත්තනෝමතික නඩු විභාගවලට, නොසන්ඩාල කල්ලිවලට, පැහැර ගැනීම් සහ අතුරුදහන්වීම්වලට යහපාලනය තුළ ඉඩක් නොලැබේ. පසුගිය පාලන සමය තුළ ඒ දේවල් ගැන නිතර අපට අසන්ට දකින්ට ලැබුණි. කලින්ද සඳහන් කළ සේ, යහපාලනය යනු යුගයේ අවශ්‍යතාවකි.

මෙහිදී, මෑතකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී මායාදුන්නේ මහතා කළ ප‍්‍රකාශයක් වැදගත් වෙයි. යහපාලනය ගැන ජනතාවගේ උනන්දුවක් නැති බව ඔහු කීවේය. ඊට උදාහරණයට ඔහු ගත්තේ, ජනතාව විසින් මෙවර, රටම දන්නා බොහෝ දූෂිතයන්ව පාර්ලිමේන්තුවට පත්කොට එවා තිබීමත්, අවංක, උගත් සහ දූෂණයෙන් තොර බොහෝ පුද්ගලයන්ව ප‍්‍රතික්ෂේප කොට තිබීමත් ය. ඒ හා සමානවම කළකිරවන සුළු තවත් කාරණයක් වන්නේ, ජනතාව විසින් මැතිවරණයේදී පරාජය කරවන ලද තවත් පුද්ගලයන්ව ජාතික ලැයිස්තු හරහා පාර්ලිමේන්තුවට පත්කොට එවීමයි.

දූෂිත පාලන තන්ත‍්‍රය

මැතිවරණ පැවැත්වෙන්නේ සමාජ රික්තයක් තුළ නොවන බව මෙහිදී තේරුම්ගත යුතුව තිබේ. භින්න දේශපාලනික බලවේග එහිදී ක‍්‍රියාත්මක වෙයි. ඒ නිසා, ප‍්‍රතිපත්ති පරයා දේශපාලනින අවස්ථාවෝචිත භාවය ඉස්මත්තට පැමිණිය හැකිය. ස්වකීය පටු අභිමතාර්ථ පෙරදැරි කරගත් පක්ෂ විසින් වැරදි තොරතුරු ඡන්දදායකයාට ඉදිරිපත් කරමින්, පවුල් කොල්ලය යළි රජ කැරැුවීමට කඹුරන ලදි. එහිදී, ඡන්දදායකයන්ගෙන් සෑහෙන කොටසක්, පුද්ගලයන් දෙස බලනවාට වඩා, ඇති විය හැකි පොදු ප‍්‍රතිඵලය ගැන සිතූහ. තම ඡන්දයෙන් බලයට එන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයද, නැතහොත් එක්සත් ජාතික පක්ෂයද යන්න එහිදී ඔවුන්ට වැදගත් විය. ප‍්‍රධාන පක්ෂ දෙකට විශාල නියෝජනයකුත්, ජනතා විමුක්ති පෙරමුණට අඩු නියෝජනයකුත් ලැබුණේ එබැවිනි. ඒ වනාහී, ගස් දකින අතරේ කැලය නොදැකීමක් නොව, කැලය දකින අතරේ ගස් (අන්ත දූෂිතයන්ද ඇතුළුව) නොදැකීමකි.

මේ තත්වය වෙනස් කර ගත යුතුව තිබේ. ඉස්පාසුවකට කාලයක් නැත. ආණ්ඩුව අනලස්ව වැඩ ඇරඹිය යුතුව ඇත. මුලින්ම, රාජ්‍ය තන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරණය විය යුතුය. ව්‍යවස්ථා සභාව පත්කළ යුතුය. සභාග කැබිනට්ටුවේ සහෝදරත්වය වෙනුවෙන්, ප‍්‍රධාන පෙළේ දේශපාලඥයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට එරෙහිව දූෂණ සහ බල අපහරණය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම අතපසු කිරීම හෝ නතර කිරීම නොකළ යුතුය. දේශපාලඥයන් විසින් රැුකගත යුතු ප‍්‍රධාන භාරය වන්නේ, ජනතාව විසින් ඔවුන් කෙරෙහි තබන ලද විශ්වාසයයි.

*2015 සැප්තැම්බර් 11 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Consensual Politics on Trial” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page