Colombo Telegraph

අපේ කෘෂිකර්මය සඳහා වන සාකල්‍ය දැක්මක් වෙතට

ජයතිලක ද සිල්වා

මාධ්‍ය ආවරණය අනුව බැලූවත්, දෙපක්ෂයේම දේශපාලඥයන්ගේ ප‍්‍රකාශන අනුව බැලූවත් පෙනෙන්නේ, අපේ ගොවියාගේ සුභසාධනය සහ කෘෂිකර්මයේ අනාගතය රඳා පවතින තීරක සාධකය වන්නේ පොහොර සහනාධාරය බවයි. මෙය අලූත් දෙයක් නොවේ. අපේ දේශපාලඥයන් පමණක් නොව, වෘත්තීය සමිති සහ සහයෝගීතා සංවිධාන පවා බොහෝ විට සිය අවධානය යොමු කොට ඇත්තේ, පවතින දේශපාලනික රැුල්ල සහ තමන්ට වාසිදායක් සාධක ගැනයි. ඒ වෙනුවට, අපේ කෘෂිකර්මය පිළිබඳ සාකල්‍ය දැක්මක් යටතේ ඇති කරගන්නා, ගොවියාගේ සහ ගොවි නිර්ධනයාගේ සුභසාධනය ග‍්‍රහණය කරගන්නා ප‍්‍රතිපත්ති සහ ප‍්‍රමුඛතා ගැන ප‍්‍රමාණවත් සැළකිල්ලක් දක්වා නැත. අප මෙහිදී තැත් කරන්නේ ප‍්‍රශ්න කිහිපයක් මතු කිරීමටයි. ඒවාට ලැබෙන උත්තර, අපේ කෘෂිකර්මය මුහුණදෙන ප‍්‍රශ්නවල සංකීර්ණතාව හඳුනා ගැනීමට මෙන්ම එම ප‍්‍රශ්න කෙරෙහි සාකල්‍ය එළැඹුමක් ඇති කර ගැනීම සඳහා ආලෝකයක් සැපයීමට උපස්ථම්භක වනවා ඇත. එසේ නොමැතිව, ප‍්‍රශ්න වෙන් වෙන්ව හුදෙකලාව ගෙන විසඳුම් සෙවිය නොහේ.

එවැනි සාකල්‍ය දැක්මක් ඇති කර ගැනීම සඳහා, දේශගුණය, ඉඩම් භාවිතය, තාක්ෂණය සහ මානව සම්පත් ආදී සාධක කිහිපයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුව පවතී. මේ කියන සාධක පමණක් නොව, සැළකිල්ලට ගත යුතු තවත් බොහෝ කරුණු ඇති බව නොකිවමනා ය. මෙය, හුදෙක් මග පෙන්වීමක් සඳහා පමණි.

ශ‍්‍රී ලංකාව, බහුල වර්ෂාපතනයක් ඇති රටවල් කිහිපයෙන් එකකි. එහෙත් අපේ ජල සම්පත සංරක්ෂණය කර ගැනීමට අපොහොසත්ව සිටින අපට විටින් විට ජල ගැලීම්වලට සේම නියඟයටද මුහුණදීමට සිදුව තිබේ. අවාසනාවකට මෙන්, විසඳුමක් වශයෙන් එහිදී අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ කල්පනාවට එන්නේ, ගොවි ජනතාවගේ ජීවිකාව කෙරෙහි ඉතා අහිතකර බලපෑම් ඇති කැරැුවිය හැකි සේ, ජලය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමයි. ප‍්‍රඥාවන්ත ජල කළමණාකරනයකින් සහ වාරිමාර්ග සංවර්ධනය කිරීමාදියෙන් එම වියදම් වළක්වා ගත හැකිව තිබියදී අප කරන්නේ, ජල ගැලීම් සහ නියං සහනාධාර වශයෙන් විශාල ධනස්කන්ධයක් වැය කිරීමයි.

භූගත ජලය දූෂණය වීම නිසා, ජල පිරිපහදුව සහ පානීය ජලය බෙදා හැරීම ඉතා වියදම්කාරී කාර්යයක් වී තිබේ. මොන තරම් පහසුවෙන් කළ හැකි වෙතත්, වැසි ජල සංරක්ෂණ අස්වැන්නක් ගැන තවම සිතා නැත. මහ පරිමාණ වන විනාශයත්, මූල්‍යමය අවශ්‍යතා සහ නොමග ගිය විදේශ උපදෙස් මත විදේශීය වෘක්ෂලතාදිය අලූතෙන් රටට හඳුන්වා දීමත් නිසා අපේ පාරිසරික තුලනයට හානි සිදු වී ඇත. මීට අමතරව පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යාමත්, වෙනත් ලෝක කාලගුණික විපර්යාසත් අපේ දේශගුණික තත්වයන්ට බලපාන බව සැලකිල්ලට ගත යුතුය.

පුද්ගලික අංශය

යුද්ධ කාලයේදී අතහැර දමන ලද ඉඩම් හැරුණු කොට, කෘෂිකර්මය සඳහා පාවිච්චියට ගත හැකිව තිබෙන ඉඩම් ප‍්‍රමාණය අඩු වෙමින් තිබේ. මිනිස් වාසස්ථාන සහ සංවර්ධන කටයුතු වර්ධනය වීමත්, නාගරීකරණයත් නිසා එම ප‍්‍රමාණය තවත් හැකිලෙමින් තිබේ. මේ නිසා, දේශපාලඥයන් පොරොන්දු වන පරිද්දෙන්, සෑම පවුලකටම ඉඩම් කෑල්ලක් ලබා දීම කළ නොහැක්කකි. මෙයින් ගොඩ ඒමට ඇති මග වන්නේ, සූක්ෂම ගොවිතැනකට මාරු වීමයි.

එහිදී යැපුම් කෘෂිකර්මයේ සහ වැවිලි කෘෂිකර්මයේ ශ‍්‍රම ඵලදායීතාව ඉහළ නංවා ගැනීමක් අවශ්‍ය කෙරේ. එවැනි ශ‍්‍රම ඵලදායීතාවක් අත්කර ගැනීමට බාධාවක් වන්නේ, වගා කරන ඉඩම් කැබලිවල කුඩා පරිමාව නිසා යැපුම් ගොවිතැන යාන්ත‍්‍රීකරණය කළ නොහැකි වීමයි. මේ ප‍්‍රශ්නයට පිළියමක් වශයෙන් මෙපමණ කලක් කර ඇත්තේ, වාණිජ කෘෂිකර්මය සඳහා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට විකුණා දැමීමයි. මේ නිසා ගොවි සංවිධානවල සහයෝගය යටතේ සමූහ ගොවිපොළ ක‍්‍රම ගැන සිතා බැලිය යුතුව තිබේ. එවිට ගොවියන්ගේ ඉඩම් අයිතියත් ආරක්ෂා කර දිය හැකි වන්නේය.

පර්යේෂණ සහ සංවර්ධනය මෙහිදී වැදගත් වෙයි. දශක ගණනාවක් තිස්සේ, විශේෂයෙන් පොහොර සහනාධාර ක‍්‍රම යටතේ රසායනික පොහොර අධිකව භාවිත කිරීම නිසා අපේ පස නිසරු වී තිබේ. එසේම උතුරු මැද පළාතේ සහ වෙනත් පළාත්වල භූගත ජලය අපවිත‍්‍ර වී ඇති බවත් කියැවේ. හේතුවක් හඳුනා නොගත් වකුගඩු ආබාධයකටත් එහි යම් සබඳතාවක් ඇතැයි කියැවේ. මේ නිසා කාබනික පොහොර භාවිතයට ආපසු යා යුතුව ඇත. එසේම එවැනි ගොවිතැනකට සහ රටේ පවතින දේශගුණික තත්වයන්ට යෝග්‍ය වන බීජ සහ භෝග වර්ග හඳුනා ගැනීමත් අත්‍යාවශ්‍යයි. නෙළා ගත් අස්වනු සංරක්ෂණය කිරීම ඇතුළු අංශ පිළිබඳ සම්ප‍්‍රදායික දැනුම භාවිතයට ගැනීමත් මෙහිදී වැදගත් ය.
කෘෂිකර්මයේ සංවර්ධනය කෙරෙහි බලපාන තවත් බාධකයක් වන්නේ තාක්ෂණික පදනමේ නොදියුණුවයි.

කෘෂිකර්මයේ විද්‍යාත්මක සැලසුම්කරණය

කෙසේ වෙතත්, විදේශ තාක්ෂණයන් හඳුන්වා දීමේදී දේශීය තත්වයන් ගැන සැලකිලිමත් විය යුතුය. උදාහරණයක් වශයෙන් 1970 දශකයේදී අපේ ගොවිතැන සඳහා රෝද හතරේ ට‍්‍රැක්ටර් ගෙන්වීම පෙන්වා දිය හැක. අපේ කුඹුරු ඉතා කුඩා වීම නිසා එම ට‍්‍රැක්ටර් ලාභදායි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත නොහැකි විය. ඉන් පසු සිදුවුණේ එම ට‍්‍රැක්ටර් වෙනත් ප‍්‍රවාහණ කටයුතු සඳහා යොදා ගැනීම සහ ඒ නිසා තවත් ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවීමත් ය. අපට වඩාත් ගැලපෙන්නේ, තනි රෝදයේ හෝ රෝද දෙකේ ට‍්‍රැක්ටර් බව වටහා ගැනීමට සෑහෙන කාලයක් ගත විය. නව තාක්ෂණය හඳුන්වා දීමත්, තොරතුරු තාක්ෂණය පාවිච්චියට ගැනීමත් නිසා ඵලදාව වර්ධනය කෙරෙනවා පමණක් නොව, තරුණයන් කෘෂිකර්මය වෙත ආකර්ශනය කර ගැනීමටද හැකි වන්නේය. ග‍්‍රාමීය රැුකියා වියුක්තික ශ‍්‍රමය උකහා ගත හැකි නව කෘෂි-කර්මාන්ත ඒ අනුසාරයෙන් බිහි කළ හැක. එම ක්ෂේත‍්‍රය තුළ විශාල ශක්‍යතාවක් තිබේ. විශේෂයෙන්ම, එකතු කළ වටිනාකම් අඩංගු කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කෙරේ යොමු වන්නේ නම් එය තවත් ප‍්‍රයෝජනවත් වන්නේය.

විද්‍යාත්මක සැලසුම්කරණය කෘෂිකර්මයට අත්‍යාවශ්‍ය තවත් අංගයකි. නිෂ්පාදනය මුළුමණින්ම පාහේ වෙළඳපොළ මත පරායත්තව තිබුණත්, වෙළඳපොළ පිළිබඳ තොරතුරු ගොවි ජනතාවට සැපයෙන මාර්ග අල්ප ය. එළවළු වෙළඳපොළේ විටින් විට ඇති වන අධික සැපයුම, වෙනස් වන කාලගුණික තත්වයන් නිසා පමණක් ඇති වන තත්වයක් නොව, වෙළඳපොළේ ප‍්‍රමාණය සැළකිල්ලට නොගැනීමේද ප‍්‍රතිඵලයකි.

ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. ජනතාවගෙන් බහුතරයක් යැපෙන්නේ කෘෂිකර්මයෙනි. එම නිසා ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික නිර්ධනීන්ට යහපත් ජීවන තත්වයක් ඇති නොකොට කිසි සංවර්ධනයක් සාර්ථක විය නොහේ. අවාසනාවකට, කෘෂිකාර්මික භාවිතාවන් නිසාද ගොවි ජනතාව අතර සෞඛ්‍ය ප‍්‍රශ්න ඇතිව තිබේ. විශාල වියදමක් දරා ලබාගත හැකි ඵලදාව පාඩුදායක නම් ඔවුන්ට ජීවිතය ගැටගසා ගැනීමට පුලූවන් වන්නේ නැත.

කෘෂිකාර්මික නිර්ධන පංතිය අතරින් විශාල කොටසක් සැදෙන්නේ වැවිලි කර්මාන්ත අංශයේ කම්කරුවන්ගෙනි. අතිශය දරිද්‍රතාවක වෙසෙන ඔවුන්ගේ ජීවන තත්වය ඉතා පහත් ය. කම්කරු පංතියේ වෙනත් කොටස් භුක්ති විඳින බොහෝ අයිතීන් ඔවුන්ට හිමි වන්නේ නැත. කම්කරු පංතියේ පුරාණතම අංශයක් ඔවුන් නියෝජනය කළත්, තවමත් ඔවුන් සිරව සිටින්නේ යල්පැන ගිය පූර්ව-ධනවාදී නිෂ්පාදන සම්බන්ධතා තුළ ය.

මේ ප‍්‍රශ්න කෙරෙහි ආර්ථික විද්‍යාඥයන්ගේ, කෘෂි විද්‍යාඥයන්ගේ සහ දේශපාලඥයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ. කෘෂිකර්මය පිළිබඳ සාරාර්ථ එළැඹුකට අවතීරණ වීම එහිදී අත්‍යාවශ්‍යයි.

*2016 මාර්තු 11 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Towards A Holistic View of Our Agriculture” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page