Colombo Telegraph

සරණාගතයන් සහ මානව හිමිකම් අපහරණ: අපට නොදැක්කා සේ සිටිය නොහැක

ජෙෆ් ස්පැරෝ

ටෝනි ඇබොට් ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම මර්දනය කිරීම සඳහා රටවල් දෙකේ නාවුක හමුදා අනාගතයේ දී ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි.

1930 ගණන්වල සරණාගතයන් පිළිබඳ අර්බුද මතු වූ අවස්ථාවේ, මර්දනයෙන් ගැලවී දිවි ගලවාගෙන පළායන්නවුන්ට සළකනු ලැබුවේ කෙසේද යන්න ගැන හැනා ආරෙන්ඞ් විස්තර කොට ඇත. යුදෙව්වන් සහ ට්‍රොට්ස්කිවාදීන් වැනි ජන කොටස් මහ පොළොවේ දහජරාවක් සේ ප‍්‍රජාපීඩක පාලකයන් විසින් හඳුන්වනු ලබන විට, වෙනත් තැන්වලදීත් ඔවුන්ව භාර ගැනුණේ ඒ ආකාරයෙන්ම බව ඇය කියයි. ‘‘අප‍්‍රසන්න පිරිස් වශයෙන් සළකා වධබන්ධනයට පත්කළවුන් යුරෝපයට ද අප‍්‍රසන්න පිරිස්ම විය.’’

ටෝනි ඇබොට් ලංකාවේ දී කළ අසාමාන්‍ය ප‍්‍රකාශය, එනම්, ‘‘මිනිසුන් වධහිංසාවට පත්කිරීම ගැන තම ආණ්ඩුව (ඔස්ටේ‍්‍රලියාව)  කණස්සල්ලට පත්වෙතත්, දුෂ්කර අවස්ථාවන් යටතේ දුෂ්කර දේවල් සිදුවෙති යි කීම ගැන සිතා බැලීමට හැනා ආරෙන්ඞ් මනා රාමුවක් අපට සපයයි.

ඇබොට් කියන ‘වධහිංසා සිදුවීම’ (කිරීම වෙනුවට) යන්න, පරණ තාලේ යථා-දේශපාලනයේ අරුතින් වටහාගත හැකිය. ශ‍්‍රී ලංකාවෙන් එන සරණාගතයන් ආපසු ශ‍්‍රී ලංකාවට පැටවීම සඳහා, ශ‍්‍රී ලංකාවේ අධිකාරීවාදී පාලන තන්ත‍්‍රය දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කරමින් සිටින සෙයක් පෙන්නුම් කිරීමට ඇබොට්ට අවශ්‍යයි. එවැනි විශ්වාසයක් ඔහු දරන්නේ, ‘මානව හිමිකම් සුරැුකීමට ඇති අධිකරණය ඇතුළු වෙනත් ප‍්‍රජාතන්තී‍්‍රය ආයතන ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් හෙමිහිට වුවත් නොවැරදීම අකර්මණ්‍ය කරමින් තිබෙන’ බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අනතුරු අඟවද්දීය. සරණාගතයන්ව ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් රැුගෙන එන ජාවාරම නතර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ සහයෝගය අවශ්‍ය කරන නිසා, ලෝකයේ වඩාත් ලේ තැවරුණු හමුදාවකට යුද නෞකා සැපයීමට ඇබොට් කැමැත්තේය.

දුෂ්කර අවස්ථා යටතේ දුෂ්කර දේවල් සිදුවෙති යි යන කියමනේ යම් ආකාරයක සුපුරුදු ගතියක් පෙනේ නම්, ඒ වෙන කිසිවක් නිසා නොව, ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත ප‍්‍රතිපත්තියේ ආයතනගත කෲරත්වය පදනම් වන්නේම එම තර්කය මතම වන නිසා ය.

සරණාගතයන් සම්බන්ධයෙන් වන ක‍්‍රියාදාමය තුළ කිසිවෙකුට විශේෂ සැළකිලි දැක්වීමට ඉඩක් නැතැ යි යන තර්කය යටතේ, සිව් වියැති ආබාධිත දෙමළ දරුවෙකු ජරපත් නාවුරු රැුඳවුම් කඳවුරට ඕස්ටේ‍්‍රලියානු ආණ්ඩුව විසින් පිටමං කරනු ලැබීම, සැළකිල්ලට ගන්න. එහි දී කියැවුණු හේතුවාචකය මෙවැන්නකි: ‘බෝට්ටුවකට ගොඩවෙන්න හයියක් තියෙනවා නං, අහුවුණාට පස්සේ ප‍්‍රතිවිපාක විඳින්නත් හයියක් තියෙන්න ඕනේ.’

දුෂ්කර අවස්ථා යටතේ දුෂ්කර දේවල් ඇත්තෙන්ම සිදුවෙයි.

සමාන විධික‍්‍රම තුළින් අත්කර දෙන ප‍්‍රතිවිපාකත් සමාන වීම පුදුමයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුළ එරට හමුදාව, දිවි ගලවා ගත් දහස් ගණන් දෙමළ ජනයාව කුප‍්‍රකට රැුඳවුම් කඳවුරු තුළට ගාල් කරන ලදි. පසු කලෙක එම කඳවුරුවලින් ගැලවී ඔස්ටේ‍්‍රලියාවට පළා ආ එම දෙමළ ජනයාව එවැනිම කුප‍්‍රකට රැුඳවුම් කඳවුරු තුළට ඔස්ටේ‍්‍රලියාවේ ද ගාල් කරන ලදි.

හැනා ආරෙන්ඞ් විස්තර කරන අර්ථයෙන් ගන්නේ නම්, ශ‍්‍රී ලංකා බලධාරීන් ‘දහජරාවක්’ වශයෙන් සළකන ජන කොටස්වලට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඔස්ටේ‍්‍රලියාව සළකන්නෙත් ‘දහජරාවක්’ වශයෙනි. මෙවැන් ප‍්‍රතිපත්තියක් ප‍්‍රතිවිපාක වටහා ගැනීම සඳහා හැනා ආරෙන්ඞ් ඇගේ අදහස් දැක්වූ ඓතිහාසික සන්දර්භය සළකා බැලිය යුතුය:

1930 දශකය අවසාන භාගය වන විට, හිට්ලර්ගේ යුදෙව් විරෝධී තිරිසන් ක‍්‍රියාකලාපය හේතුවෙන් යුරෝපය පුරා යෝධ සරණාගත රැුල්ලක් පැතිරී ගියේය. යුරෝපයෙන් ඉතා ඈතින් පිහිටි ඔස්ටේ‍්‍රලියාවේ බලධාරීන්ට පවා එය යම් අනතුරක තර්ජනයක් විය. ‘‘ඔස්ටි‍්‍රයාවේ සිට ඔස්ටේ‍්‍රලියාවට පැමිණීමට බලාපොරොත්තු වන දහස් ගණන් යුදෙව් සරණාගතයන්ගේ අයදුම්පත් සම්බන්ධයෙන් සානුකම්පිකව සළකා බැලීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ අකමැත්තක් නැතත්, මහ පරිමාණ ආගමනයකට ඉඩ දිය නොහැක’’ යනුවෙන්, 1938 අපේ‍්‍රල් 1 වැනි දා ‘ටවුන්ස්විල් ඬේලි බුලටින්’ පුවත්පත වාර්තා කෙළේය. ‘‘ඊයේ එම කාරණය අවධාරණය කරමින් කතා කළ (ඔස්ටේ‍්‍රලියානු) අගමැතිවරයා බි‍්‍රතාන්‍ය ජාතියට ගැනෙන නිසි සංක‍්‍රමණිකයන්ට, වෙනත් පිටස්තර ජාතීන්ට ඉහළින් ප‍්‍රමුඛත්වය දෙන බව ද කීය.’’

එම වසරේ ජුනි 23 වැනි දා තවත් වාර්තාවක මෙසේ සඳහන් වෙයි: ‘‘යුදෙව් සරණාගතයන්ට මෙහි පැමිණීමට අනුබල නොදෙනු ඇත. එවැනි අයවළුන් වසරකට 500 කට වඩා වැද්ද නොගැනීමට තීරණය කොට තිබේ. එය ද, මේ රටේ පිටදේසක්කාර යුදෙව් ජනපද ඇති වීමට ඉඩ නොදෙනු වස්, වරකට කුඩා කණ්ඩායම් වශයෙන් පමණි.’’

ඊට දෙසතියකට පසු ‘ටවුන්ස්විල්’ පුවත්පත නැවතත් එම සිද්ධිය මතු කෙළේය: ‘‘රට ඇතුළට එන යුදෙව්වන් ගැන බලධාරීහූ ඉතා පරීක්ෂාවෙන් බලා සිටිති. එහි දී, ඔස්ටේ‍්‍රලියාවේ ආණ්ඩුව බි‍්‍රතාන්‍ය වැසියන්ට මුල් තැන දෙනු ඇත. එසේම, ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන්ගේ රැුකියා මෙසේ එන අයවළුන් විසින් අවදානමට ලක් නොකෙරෙන බවට ද වගබලාගනු ඇත.’’

එසේ උග‍්‍ර වෙමින් පැවති සරණාගත ප‍්‍රශ්නය ගැන, 1938 ජුලි මාසයේ ප‍්‍රංශයේ ඒවියන් නුවර, රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණි. එහි දී ඔස්ටේ‍්‍රලියානු නියෝජිතයා එක් අපකීර්තිමත් ප‍්‍රකාශයක් කෙළේය: ‘‘අපට ජාතිවාදී ප‍්‍රශ්න දැනට නැති එකේ, මහපරිමාණව සරණාගතයන්ව බාරඅරගෙන ඒක ඇති කරගන්න අපි කැමති නැහැ’’

තමන් කරන්නේ කුමක් දැ යි හිට්ලර්ගේ නට්සිවාදීන් දැන සිටි බවට කිසි සැකයක් නැත. පසුව හැනා ආරෙන්ඞ් ලියූ පරිදි: ‘‘යුදෙව්වන් යනු මහ පොළොවේ වෙසෙන දහජරාවක් යැයි තවම ලෝකයාට ඒත්තු ගොස් නැත්නම්, පාස්පෝට් නැති, ජාතියක් නැති, අතේ සතයක් නැති, නාඳුනන පිටස්තර හිඟන්නන් බුරුතු පිටින් තමන්ගේ රටවල්වලට ඒමට පටන් ගත් විට ඔවුන් එය තේරුම් ගනු ඇතැ යි (හිට්ලර්ගේ* එස්.එස්. නිල පුවත්පත 1938 දී කෙලින්ම ප‍්‍රකාශ කෙළේය.’’

ඉතිං, වධ බන්ධන තව තවත් තීව‍්‍ර කෙරිණ.

නැත, ශ‍්‍රී ලංකාව නට්සිවාදී ජර්මනියක් නොවේ. එසේ වෙතත්, දෙමළ ජනයාට එරෙහිව දැනට සිදුවෙමින් පවතින තාඩනපීඩන, 1938 හිට්ලර්ගේ අපරාධවලට වඩා විධිමත්ව වාර්තා වී තිබේ.

ජර්මනියේ ෆැසිස්ට්වාදය ගැන 1938 ඔස්ටේ‍්‍රලියාවේ විසූ ‘ටවුන්ස්විල් ඬේලි බුලටින්’ පුවත්පතේ පාඨකයන් නොදැන සිටීම ගැන සමාව දිය හැක. එහෙත් අද ඕනෑම කෙනෙකුට, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන කාලයේ සන්නද්ධ හමුදා මගින් 40,000 ක පමණ දෙමළ සිවිල් ජනතාවක් ඝාතනය කළේ කෙසේද යන්න, අන්තර්ජාලය හරහා එක්සත් ජාතීන්ගේ වාර්තාව පරීක්ෂා කිරීමෙන් කෙලින්ම දැනගත හැකිය. එසේම, යුද්ධය අවසානයෙන් පසුව, සිවිල් සමාජය මර්දනය කිරීම ආණ්ඩුව පැත්තෙන් තීව‍්‍ර වී ඇති සැටි ද, ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ වාර්තා හරහා දැනගත හැකිය. හිතේ හයියක් තිබේ නම්, සටන් බිමේ දී යටත් වූවන් රුදුරු ආකාරයෙන් ඝාතනය කර ඇති සැටි, නවීන පන්නයේ දුරකථන කැමරාවලින් ගත් දර්ශන හරහා නැරඹීමට ද පිලිවන.

අප දන්නේ නැතැ යි අප කිසිවෙකුට දැන් කිව නොහැක.

ඔස්ටේ‍්‍රලියාවේ නින්දා සහගත සරණාගත ප‍්‍රතිපත්තියට විරෝධය පෑමේ වගකීමක් අපට පැවරෙන්නේ නම්, ඒ, හුදෙක් අපේ අධිකරණ සීමාව තුළ රැුකවරණ පතන සරණාගතයන් වෙනුවෙන් පමණක් නොව, ලෝකයේ ඕනෑම තැනක වෙසෙන පීඩාවට පත් මනුෂ්‍යයන්ට ද ඒ මගින් ඇති කළ හැකි අයහපත් බලපෑම නිසාවෙනි.

තමා ජීවත් වූ යුගය ගැන ලියමින් හැනා ආරෙන්ඞ් මෙසේ විස්තර කළාය:

‘‘ජාතික වශයෙන් සහතික කළ අයිතිවාසිකම්වලින් අහිමි කරන ලද මිනිසුන්ගේ මානව හිමිකම් ස්ථාපිත කර දීමට යුරෝපීය ජාතික රාජ්‍යයන් දැක්වූ ව්‍යවස්ථාමය අසමත් භාවය, වධහිංසා පමුණුවන රාජ්‍යයන්හි සාරධර්ම ප‍්‍රමිතීන් ඔවුන්ගේ සතුරන් ලවා පවා පිළිගැන්වීමට පාර කැපුවේය. දිනෙන් දින වර්ධනය වන අහිංසක මිනිස් කණ්ඩායමක ඇදහිය නොහැකි අවාසනාව, ඒකාධිපති ව්‍යාපාරයක නරුම ප‍්‍රකාශවල ප‍්‍රායෝගික නිරූපණයක් වැන්න. එම ප‍්‍රකාශ වනාහී, අන්සතු කළ නොහැකි මානව හිමිකම් කියා දෙයක් නොමැත, ඊට ප‍්‍රතිපක්ෂයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පෙන්නුම් කෙරේ නම්, ඒවා හුදෙක් ව්‍යාජ අගතීන් ය, බකතපස් වංචාවන් ය, නව ලෝකයේ කුරිරු තේජස ඉදිරියේ කෙලින් ඉන්නට බැරි බියගුළු කමක් ය, ආදී වශයෙනි. පීඩාවට පත් වින්දිතයා, පීඩකයා සහ කිසිවක් නොකර බලා සිටින්නා යන මේ කවුරුන් සම්බන්ධයෙන් ගත්තත්, ‘මානව හිමිකම්’ යන යෙදුමම, හුදෙක් නිරර්ථක සිහිනයක හෝ බෙලහීන කුහකත්වයක සාක්ෂියක් බවට පත්විය.’’

දැන්, හරියටම සිදුවෙමින් පවතින්නේ එයයි.

*2013 නොවැම්බර් 17 වැනි දාThe Guardian වෙබ් අඩවියේ පළවූ
Refugees & Human Rights Abuses: We can’t pretend that we do not see නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’

Back to Home page