Colombo Telegraph

විධායක ජනාධිපති ක්‍ර​මය, අහෝසි කළ හැක්කක් බවට පත්ව තිබේ

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි මුඛ්‍ය කාරණය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය විසින් යම් අර්බුදයක් ආණ්ඩුකරණය තුළ නිර්මාණය කොට තිබේ. ඊට පාදක වූ පසුබිම තුළ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර බල අරගලයක් විවෘතව මෝරා වැඩෙනු දක්නට ලැබුණි. විධායක බලයේ ද්විත්ව-කේන්ද්‍රීයභාවය පිළිබඳ අවුලක් එහිදී නිර්මාණය වුණි. එක පැත්තක, මහජන ඡන්දයෙන් සෘජුව තෝරා පත්වෙන, රාජ්‍ය නායකත්වය සහ ආණ්ඩුවේ නායකත්වය දරණ ජනාධිපතිවරයා සිටී. අනිත් පැත්තෙන්, පාර්ලිමේන්තුවේ වැඩි සහයෝගයක් සහිත අගමැතිවරයාටත් විධායක බලතල යම් ප‍්‍රමාණයක් හිමිව තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඝට්ටනයක ඉඩකඩ, දැන් පවතින පරිදි, ඔවුන් දෙන්නා එකිනෙකින් වෙනස් පක්ෂ දෙකක් නියෝජනය කරන අයවළුන් වන තත්වයක් තුළ, උග්‍ර වී තිබේ. මීට පෙර මෙවැනි තත්වයක් පැනනැගුණේ, රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරණතුංග, පිළිවෙලින් පාර්ලිමේන්තු මැතිවරණයකදී සහ ජනාධිපතිවරණයකදී වෙනස් ජනවරමක් ලබා තිබුණු තත්වයක් තුළ සහවාස ආණ්ඩුවක් ඇති කර ගැනීමට දෙදෙනාට බල කෙරුණු 2001-2004 කාලයයි. ඒ කාලයේත්, දෙදෙනා අතර සහයෝගී සම්බන්ධතාවක් නොතිබුණු අතර එය නිතරම ගැටුම්කාරී තත්වයක් කරා වර්ධනය වී පසුව 2004 දී ජනාධිපතිවරිය විසින් රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව විසුරුවා හරින තත්වයට කටයුතු පිළියෙල වුණි. අද, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා, අගමැතිවරයාව අස් කළ නොහේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනස් පක්ෂ දෙකක් නියෝජනය කරන අවස්ථාවක ඇති විය හැකි ද්විත්ව බලය පිළිබඳ එකී ප්‍රශ්නය මගින් කියාපාන්නේ මේ ක‍්‍රමයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි. වර්තමාන ක‍්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මක කළ හැක්කේ දෙන්නාම එක පක්ෂයක් නියෝජනය කරන අවස්ථාවකදී පමණි. විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් 1978 සිට වැඩි කාලයක් තිස්සේ දෙන්නාම එක පක්ෂයකින් නියෝජනය වන තත්වයක් තිබී ඇත. එවැනි තත්වයක් තුළ. අගමැතිවරයා යනු බොහෝ කොට, නාමික බලධාරියෙකි. අගමැති ප්‍රේමදාස වරක් කියා ඇති පරිදි, ජේ.ආර්. ජයවර්ධන යටතේ ඔහු ‘පියන්’ කෙනෙකුට වෙනස්ව නැත. එසේ වුණේ ප්‍රේමදාසගේ නොහැකියාවක් නිසා නොව, එම තනතුරේ ස්වභාවය නිසාය.

නියම වෙලාව

වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයත් සමග විධායක ජනාධිපති ක‍්‍රමය 1978 දී බද්ධ කළ දිනයේ පටන්ම මේ ක‍්‍රමයේ ඇති හොඳ නරක ගැන සාකච්ඡා කොට තිබේ. 1982 සිට පැවති සෑම ජනාධිපතිවරණයකදීම, මේ ක‍්‍රමය අහෝසි කරන බවට ප‍්‍රතිඥා දී තිබේ. එහෙත් එදා පටන් එම පොරොන්දුව මත බලයට පත් සෑම කෙනෙකුම එය අහෝසි කරනවා වෙනුවට පෙළඹී ඇත්තේ එයින් උපරිම ප‍්‍රයෝජන ගැනීමටයි. එසේම එම ක‍්‍රමය තවත් සරුසාර කොට පවත්වා ගැනීමටත් කටයුතු කොට තිබේ. පසුගිය පාලනය හෙබැවූ ජනාධිපතිවරයා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් කෙළේ ඒ කාර්යයි. ඒ අනුව, ඕනෑම වාර ගණනක් ජනාධිපති වීමේ අවස්ථාව ඔහු උදා කර ගත්තේය.

2015 ජනාධිපතිවරණයේදී දෙනලද ප‍්‍රධාන පොරොන්දුව වුණේ මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, පෙර පැවති වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක‍්‍රමයට ආපසු යන බවය. ඒ පොරොන්දුව ඉටු කිරීමේ යම් ප‍්‍රාරම්භක පියවරක් වර්තමාන ජනාධිපතිවරයා ගත් බව කිව යුතුය. එහෙත් ආණ්ඩුව තුළ සිටින ඇතැම් බලවේග මේ ක‍්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරයි. ඔවුන්ගේ තර්කය වන්නේ, කැඩී ගිය සමාජ දේහයක් සහිත රටක් ඒකාග‍්‍ර කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමයක් තුළ පවතින මධ්‍යගතභාවයේ ශක්‍යතාව අවශ්‍ය කරන හෙයින් ඒ ක‍්‍රමය පවත්වා ගත යුතුව ඇති බවය. මේ ක‍්‍රමය අහෝසි කිරීමට විරෝධය පෑම පසුපස එදා මෙන්ම අදත් පවතින තවත් සාධකයක් වන්නේ, තම තමන්ට එ් තනතුරට යම් දවසක පත්වීමේ හැකියාව ඇති බවට ඇතැමුන් තුළ පවතින බලාපොරොත්තුවයි. එබැවින් වර්තමාන ජනාධිපතිවරයා, ඊළඟ වැදගත් පියවරක් වශයෙන්, මේ තනතුරේ ඇති ඇතැම් බලතල කප්පාදු කෙළේය. ඒ අනුව, කෙනෙකුට එම ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට අඩු කළ අතර, ප‍්‍රධාන රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු පිරවීම සඳහා ජනාධිපතිවරයා සතු වූ බලතල ඉවත් කරමින්, අගමැතිවරයා සමග ඇතැම් බලතල බෙදාහදා ගැනීමේ ක‍්‍රමයක් ඇති කෙළේය.

මේ මොහොතේ, රටේ අවශ්‍යතාවන් සහ ප‍්‍රධාන දේශපාලන නායකයන් තිදෙනාගේ අවශ්‍යතාවන් අත‍ර අනුරූපතාවක් දක්නට ලැබේ. ආණ්ඩුකරණයේ සෑම අංශයකම දක්නට ලැබෙන්නේ ද යම් ආකාරය අවිනිශ්චිතතාවකි. පොදුවේ ගත් විට, ද්විත්ව බල කේන්ද්‍රීයතාව අසාර්ථක වී තිබේ. සාර්ථකත්වක් සේ පෙනෙන එකම දෙය වන්නේ, වෙනස් අදහස් දැරීමට නිදහස සැපයෙන යම් අවකාශයක් නිර්මාණය වී තිබීම පමණි. කෙසේ වෙතත්, විපක්ෂය විසින් ප‍්‍රයෝජනයට ගනු ලැබෙමින් තිබෙන සහ ආණ්ඩුවට එරෙහිව යන වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සහ වාර්ගික ජාතිකවාදී කණ්ඩායම් එම අවකාශය පාවිච්චියට ගන්නා ආකාරය අනුව, රටේ දේශපාලනික සහ ආර්ථික දිසානතියේ ස්වභාවය තවත් ව්‍යාකූල කරනු ලැබ තිබේ. රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අනාගත අපේක්ෂා කෙරෙහි ඒ තත්වය මගින් ඇති කොට තිබෙන්නේ නරක බලපෑමකි. ශ‍්‍රී ලංකාව ආර්ථික වර්ධන වේගය අනුව ගත් විට අද සිටින්නේ අනිත් දකුණු ආසියාතික රටවල්වල පෝලිමේ පහළම මට්ටමට ආසන්නයෙනි.

මැයි 8 වැනිදා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කළවිට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජවිපෙ විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන්නේ එකී සන්දර්භය තුළයි. මෙවර එය සාර්ථක කර ගැනීමේ ඉඩකඩ කලින් කිසි දවසක තිබුණාට වඩා ඉහළින් තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට, අගමැති රනිල් වික‍්‍රමසිංහට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට වෙනත් විකල්පයකට යාමේ ස්වාභාවික උවමනාවක් තිබේ. මේ උවමනාවන්ගේ සමපාතය, සමහර විට නැවත අපේක්ෂා කළ නොහැකි තත්වයක් විය හැකිය. එබැවින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමේ හෝ එය බරපතල වෙනසකට ලක්කර ගැනීමේ හොඳම අවස්ථාව මෙයයි. ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ මෙම යෝජනාව මේ මොහොතේ රටේ අවශ්‍යතාව සමග සාකල්‍යයෙන් අනුරූප වන්නක් බව කිව හැකිය.

ස්වාර්ථය

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමේ උවමනාව පසුපස ඇති ස්වාර්ථයේ පැහැදිළි නිරූපණය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, කෙනෙකුට දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරයට පත්වීමේ ඉඩකඩ ඇහිරී ගියේය. එහි අදහස වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපති වීමේ හැකියාවක් නැති බවය. ඔහුට කළ හැකි ලොකුම දෙය වන්නේ ඔහුගේ දේශපාලනික සගයන්ගෙන් කෙනෙකුට එම තනතුරට පත්වීමට උදව් කිරීම පමණි. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතරේ පවතින තත්වය ගැන සලකා බලන විට, තමාගේ සගයෙකුට වුව වැඩි වාසියක් අත්වෙතැයි සිතා ගැනීමේ හැකියාවක් ඔහුට නැත. එබැවින්, ඔහු සම්බන්ධයෙන් ගත්විට හොඳම විකල්පය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමයි. එවිට ඔහුට අනාගත අගමැතිවරයෙකු වශයෙන් පූර්ණ විධායක බලයක් අභ්‍යාස කිරීමේ අවස්ථාවක් උදාකර ගැනීමේ අවස්ථාව තිබේ.

සෘජු මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන විධායක ජනාධිපති තනතුරක් අහෝසි කර ගැනීම රනිල් වික‍්‍රමසිංහටත් වැඩදායකය. මන්ද යත්, ජනාධිපති තනතුරක් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය හැක්කේ, ඡන්දදායකයාගේ අතාර්කික සහ හැඟීම්බර ආවේගයන් කෙරෙහි පහසුවෙන් ආමන්ත‍්‍රණය කළ හැකි නායකයෙකුටය. එය රනිල් වික‍්‍රමසිංහ වැන්නෙකුට පහසු කටයුත්තක් නොවේ. ඔහුට ආකර්ශනය වන්නේ බුද්ධිමත් ජන කොටසකි. එය ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් ඉතා සුළු කොටසකි. 2005 දී ඔහු ජනාධිපති වීමේ ඉද්දරටම පැමිණි බව ඇත්ත. එය වළක්වන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසින් උතුරු නැගෙනහිර දියත් කරන ලද ඡන්ද වර්ජනය නිසා බවත් ඇත්ත. එහෙත්, ඉහත කී නියාමය ඔහු සම්බන්ධයෙන් අවලංගු වන්නේ නැත. ඔහුට වැඩියත්ම කළ හැක්කේ, පක්ෂ කිහිපයක සන්ධානයක් ඇතිකර ගැනීම, විශේෂයෙන් සුළුජන පක්ෂ සමග සන්ධානගත වෙමින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමය. එවැනි සන්ධානයක නායකත්වය පහසුවෙන් ඔහුට ලබා ගත හැකි දෙයකි.

ජනප‍්‍රිය ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන විධායක ජනාධිපති තනතුරක් අහෝසි කර ගැනීම මෛත‍්‍රීපාල සිරිසේනටත් අවැඩක් නොවේ. 2015 දී ඔහු ජයගත්තේ එක්සත් ජාතික පක්ෂ ඡන්දවලිනි. එහෙත් පසුගිය කාලයේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ක්‍රියාකලාපය නිසා ඒ එජාප ඡන්ද පදනම තවදුරටත් ඔහුට ඇත්තේ නැත. අනිත් අතට, ශ‍්‍රීලනිපයත් දෙකඩ වී ඇති නිසා ඒ පැත්තෙන් වාසියක් බලාපොරොත්තු වීමේ හැකියාවකුත් නැත. එබැවින් ඔහුට වඩාත් යෝග්‍යතම විකල්පය වන්නේ ඉන්දියාවේ මෙන් පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගැනෙන ජනාධිපති ක‍්‍රමයකි. එහෙත් ඉන්දියාවේ ජනාධිපති ධුරය හුදෙක් නාමමාත‍්‍ර ධුරයක් වන නිසා, ලංකාවේ සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගෙන, ජනාධිපති තනතුරට අතිරේක බලතල කිහිපයක් පවරා දිය හැකිය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින සම්බන්ධය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවක් දෙන්නා අතර කෙරෙන බවක් දක්නට තිබේ. එම කර්තව්‍යය සාර්ථක වෙතොත්, වර්තමානයේ පවතින විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කිරීම කෙසේ වෙතත්, සැලකිය යුතු ආකාරයකින් වෙනස් කර ගැනීමේ හැකියාව මෙවර තිබේ.

*2018 අප්‍රේල් 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’’ වෙබ් අඩවියේ පළවූ, ආචාර්ය ජෙහාන් පෙරේරා ලියූ, ‘Abolition of Presidential System Has Become Viable’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Back to Home page