16 April, 2024

Blog

ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින වෙනත් ගැටුම් හදිසියේම පහව යන බවට උදාහරණ තිබේ. එහෙත් ඒවා කිසිවිටෙක තනිවම පහව ගියේ නැත. අතීතයට වෙනුවට අනාගතය දෙස බැලූ නායකයන් විසින් බොහෝ විට තිරය පිටුපස සිට බොහෝ වැඩ කටයුතු සිදුකර ඇති බව දැකගත හැකිය. ශ්‍රී ලංකාව තම දේශපාලන සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඥාණවන්තව තෝරාගෙන, ඒ සඳහා තවත් ප්‍රමාද නොවී ඉක්මණින් අවස්ථාව එම අවස්ථාව ලබාගත යුතුය. දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර යුරෝපය කටයුතු කළ ආකාරය එහිදී උදාහරණයක් ලෙස ගත හැකිය.

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමට පෙර, සිය සන්ධාන එක් ප්‍රතිවාදී කණ්ඩායමකින් තවත් කණ්ඩායමකට මාරුවීම නිසා යුරෝපයේ රටවල් අතර සදාකාලිකව ගැටුම් පවතිනු ඇති බව පෙනෙන්නට තිබිණි. යුරෝපයේ ප්‍රංශය සහ එංගලන්තය අතර වසර සියයක දිගු යුද්ධයක් පැවැතිණි. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමයේ මහා විනාශය සහ ඉන් බැට කෑ යුරෝපීය ආර්ථිකයන් යථා තත්ත්වයට පත්කිරීමට උපකාර කිරීම සඳහා යුරෝපා සංගමය පිහිටුවීමෙන් අදහස් කෙරෙන්නේ, බටහිර යුරෝපයට, යුද්ධය අවසානයේ සිතාගත නොහැකි ප්‍රතිඵලයක් උදාකරදී ඇති බවයි. යුරෝපය විසින්, මෑතකදී අභාවප්‍රාප්ත වූ ජොහාන් ගල්ටුන්ග් වැනි සාමය පිළිබඳ ලෝක ප්‍රකට චින්තකයන් බිහිකළ අතර, ධනාත්මක සාමය සහ නිෂේධාත්මක සාමය අතර සංකල්පමය වෙනස ලෝකයට ලබාදුන්නේය. ශ්‍රී ලංකාවේ ද එවැනිම සංසිද්ධියක් සිදුවිය හැකිය. දශක තුනක යුද්ධය අවසන්වීමෙන් පසු සහ මෑතක දී ආර්ථික බිඳවැටීමෙන් පසු, වාර්ගික ගැටුම උතුරේ සහ නැගෙනහිර යුද පිටියෙන් පිටත පසුබිමේ මැකීයමින් තිබේ. එහෙත් එය, යුද්ධයක් නොමැතිව, මේ රට තම නිවහන ලෙස සලකමින් සියලු ජනකොටස් සමඟ, ඔවුන්ව රටේ දරුවන් ලෙස සලකා සාමය සැමරීමකට වඩා, එය ඍණාත්මක සාමයක් ලෙස හඳුනාගත හැකිය.

බහුවිධ සමාජයක ජීවත්වීම පිළිබඳ තරුණයන් සඳහා පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකදී, ඔවුන්ගෙන් වැඩිදෙනකුට රට තුළ අභ්‍යන්තර යුද්ධයක් පැවති බව හෝ යුද්ධයට හේතු වූ කරුණු පිළිබඳව අවබෝධයක් නොතිබිණි. කෙසේවෙතත්, උතුරින් සහ නැගෙනහිරින් පැමිණි තරුණයන් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් නොවූ නමුත්, ඔවුන් ද මාතෘකාවට සම්බන්ධවීමට විශාල උනන්දුවක් දැක්වූයේ නැත. මෙම නව සංසිද්ධිය පිළිබඳ වඩාත් සාධනීය ඇඟවුමක් බවට පත්වී ඇත්තේ, බඳවාගැනීම් අඩුකිරීමට සහ ජාතිකවාදී කෝපය මගහරිමින් හමුදාව අඩුකිරීමට ආණ්ඩුව ගත් තීරණයයි. ජනතාවගේ අවධානය යොමු වී ඇත්තේ ආර්ථිකය, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ ගැටළු කෙරෙහිය. ජනවාර්ගික ගැටුමට අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක හැකියාව ඉදිරිපත් කරන මුලපිරීම්, කාරුණික ආකාරයකින් ප්‍රශනය දැකීමට කරවනු ඇත. එය එසේම පැවැතිය යුතුය. එහෙත් 13 වැනි සංශෝධනය යටතේ ලබා දී ඇති පොලිස් බලතල අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත වැනි යෝජනා ඊට පටහැනිය.

විශ්වාසය දිනාගැනීම

රට ගොඩනැගීමේ කාර්යයට සහයෝගය දැක්වීමට සහ ඊට පවතින පිළිගැනීම වැඩිකිරීමට වඩාත් උත්සාහ කළයුතු බවට සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් ප්‍රජා නායකයන් අතර පිළිගැනීමක් වර්ධනය වෙමින් පවතී.අන්තර්ජාතික මානව හිමිකම් ගෝලීය මෙහෙයුම(International Human Rights Global Mission) නමැති දේශීයව මෙහෙයවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද මෑත උත්සවයකදී, වඩා හොඳ හෙටක් සඳහා ප්‍රජාවන් සවිබල ගැන්වීමේ තේමාව පිළිබඳව සාකච්ඡා විය. එහි ප්‍රධාන විධායක නිලධාරී එම්.එච්.එම්.නියාස් සමඟ සංවිධායක කණ්ඩායම විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කර තිබිණි. ඔහුට පැමිණීමට නොහැකි වූ විට සංවිධායකයන් සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකට සම්මාන උලෙළේ මුලසුන දැරීමට ආරාධනා කළේය. පසුගිය දශක තුනක කාලය තුළ ‘අවිහිංසාවාදී සන්නිවේදනයේ’ සේවය කළ ආචාර්ය ජෝ විලියම් වැනි ශාරීරික ආබාධ සහිත ජයග්‍රාහකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සමාජ සේවාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ පුළුල් කවයකට ගෞරව දැක්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෑත කාලීනව මුලපිරීම් දෙකක් ලබාගෙන ඇති අතර, විරෝධතාවන් එල්ලවූ නමුත්, ඒවා වඩාත් සංවේදී හා උපදේශනාත්මක ආකාරයකින් සිදුකරන්නේ නම් නිර්මාණාත්මකව එම ගැටළු විසඳීමේ හැකියාව ඇත. පළමුවැන්න සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත පිළිබඳ කොමිසමේ ක්‍රියාදාමයයි. සිවිල් ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර සංචාරය කරන ජනතාව නියෝජනය කරන අය, මෙම නීතිය දැඩි ලෙස විවේචනය කර ඇත. විශේෂයෙන්ම අතුරුදහන්වූවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දිගින් දිගටම පීඩාවට පත්වන පුද්ගලයන්ගේ ඉරණම නොසළකා කටයුතු කෙරෙන ‘විෂ සහිත විශාල පරිසරයක්’ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

නව ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සාමාන්‍ය ප්‍රතිචාරය වන්නේ, ඒ පිළිබඳව බොහෝදුරට උනන්දුවක් නොදැක්වීමයි. මෙම පනත් කෙටුම්පත හුදෙක් අතීතයේ සිදු වූ දේ විමර්ශනය කිරීමට සකස්කෙරෙන තවත් එක් යාන්ත්‍රණයක් සැකසීමක් ලෙස පමණක් සැළකේ. නව යාන්ත්‍රණය සම්බන්ධයෙන් වින්දිත ජනතාව සහ ඔවුන් වෙනුවෙන් හඬ නගන සිවිල් සමාජ කණ්ඩායම් තුළ ඇත්තේ විශ්වාසයක් නොමැතිකමකි. මෙහිදී අමතක කර දමා ඇති කරුණ වන්නේ, සිවිල් සමාජයේ මෙන්ම, එවැනි හේතූන් වෙනුවෙන් උද්ඝෝෂණ කරන දේශපාලන පක්ෂවල සිටින වින්දිත ප්‍රජාවගේ නියෝජිතයන් සමඟ රජය සාකච්ඡා කිරීමයි. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සිය ඥාතීන් වෙනුවෙන් නැවත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවට වන අවශ්‍යතාවය කුරිරු විය හැකිය. ඔවුන් දැනටමත් බොහෝ වාරයක් සාක්ෂි ලබා දී ඇති නමුත් එම තොරතුරු අනුව ක්‍රියාත්මක වීමට රජය අපොහොසත් වී ඇත.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ, සංහිඳියාව බොහෝ ක්ෂේත්‍රවල වැඩිදියුණුවට කටයුතු කිරීමෙන් පමණක් නොව, නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසුව ද නිර්මාණය විය. යුදෙව්වන්, ස්ලාව් ජාතිකයන් සහ ජිප්සි පිරිස් වර්ග සංහාරය ඇතුළු ඔවුන්ගේ අපරාධ සම්බන්ධයෙන්, පරාජයට පත් වූ පාර්ශ්වයට වගකිව යුතු වූ බැවින් එම නඩු විභාග කළ හැකිවිය. එහෙත්, ශ්‍රී ලංකාව තුළ, වගකිව යුතු අය බොහෝවිට සිටින්නේ, යුද්ධයෙන් ජයගත් පාර්ශ්වයේ වන අතර, එය උඩු යටිකුරු කාර්යයක් බවට පත්කරයි. මෙය ප්‍රහේලිකාවක් වන අතර, විශේෂයෙන් මෙය අභ්‍යන්තර ගැටුමක් වූ බැවින්, වින්දිත ප්‍රජාවන්ගේ නියෝජිතයන්ට සාකච්ඡා මේසයේ අසුන් ගැනීමට සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය වේ.

දේශපාලන විසඳුම

දෙවැනි මුලපිරීම වන්නේ,’හිමාලය ප්‍රකාශනය’ සඳහා පදනම වූ දෙමළ ඩයස්පෝරා-බෞද්ධ භික්ෂු සංවාදයක ස්වරූපයෙන් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමයි. මෙම ගිවිසුම දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් විසින් ප්‍රශ්න කරන අතර, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍රයේ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් නියෝජනය කරන සමහර සිවිල් සමාජ කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කර ඇත. කෙසේවෙතත්, එය අතීතයේ බොහෝ අවස්ථාවන්හිදී විරෝධයන්ට ලක්වූ ගිවිසුම් අතර, තවත් ප්‍රසිද්ධියේ ඇති කරගත් ගිවිසුම් කුඩා සංඛ්‍යාවෙන් එකක් ලෙස සැලකිව හැකිය. මේ වන තෙක් අත්සන් කර ඇති මෙම ගිවිසුම් අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් විසින් අත්සන් කර තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය. ‘හිමාලය ප්‍රකාශනය’ මගින් ප්‍රකාශ කරන ලද මූලික තේමාවන් විශේෂිත වීමටත් වඩා ඒවා පොදු ය. එහෙත් ඒවා ඉදිරියට ගමන් කරවීමට ඇති විභවය ප්‍රදර්ශනය කරයි.

එම ප්‍රකාශයට අත්සන් තැබූ භික්ෂූන් වහන්සේලා බෞද්ධ ශාසනය තුළ උසස් තනතුරු ලබාගත් සාමාජිකයන් වීමද විශේෂත්වයකි. රට තුළ වාර්ගික හා ආගමික සහජීවනය ඇතිකිරීමට වැඩි කාලයක් ගතකිරීමට තමන් සූදානම් බව පැවසූ ධුරාවලියේ සිටින ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා සමඟ මෙන්ම, වෙනත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ ද හිමාල ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙමගින් ඔවුන්ට හැකි වී තිබේ. හිමාලය ප්‍රකාශනයේ සඳහන් කරුණු හයෙන් එකක් වන්නේ, ‘එක්සත් නොබෙදුණු රටක බලය බෙදාහැරීම’ යන්නයි. මෙය ඉන්දියාවේ සහ අපේ කලාපයේ මැලේසියාව හා ඉන්දුනීසියාව වැනි සමාන බහුවාර්ගික සහ බහු ආගමික රටවල් ඇතුළු තවත් බොහෝ රටවල ක්‍රියාත්මක වේ.

යුද්ධය සහ ගැටුම් නැවත ඇති නොවීමට නම් ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන අදියර වන්නේ, විවිධ ජනවාර්ගික හෝ ආගමික ප්‍රජාවන් රටේ අනාගතය තීරණය කිරීමේ බලය බෙදාහදා ගන්නා ආකාරයක් සොයාගැනීමයි. වින්දිත ප්‍රජාව සඳහා, වගවීම ප්‍රමුඛ අවශ්‍යතාව වනු ඇත. එහෙත් සමස්තයක් වශයෙන් දෙමළ ජනයාගේ අසහනයට ප්‍රධානතම හේතුව වන්නේ, වාර්ගික සහ ආගමික සුළුතරයන්ට තමන්ගේම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට, තමන් විසින්ම තීරණය කිරීමට සහ තමන් විසින්ම පාලනය කිරීමට නොහැකිවීමය. මැතිවරණයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මෙමගින් පෙන්වාදෙයි. වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ උපදේශන සහ සහභාගීත්වය ඇතිව සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යථාර්ථයක් වුවහොත්, ශ්‍රී ලංකාව බටහිර යුරෝපයේ මෙන් වාර්ගික ගැටුම් අතීතයට තල්ලු කිරීමේ මාවතට පිවිසෙනු ඇත. එසේ නොවුවහොත්, 1980 දශකයේදී, දශක තුනක යුද්ධය මතුවීමට වගකිව යුතු දේශපාලන නායකයන් විසින් ප්‍රකාශ කරන ලද මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් නොමැතිකම හේතුවෙන්, සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි එයින් අදහස් කළ හැකිය.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    මම හිතන්නේ සුළු ජාතීන්ගේ හැඟීම් රිදවන ඕනෑම සන්නිවේදනයක් අවම වශයෙන් වසර කීපයකට මේ රටේ නීතියෙන් ප්‍රසිද්ධියේ තහනම් කළ යුතුයි.
    .
    දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය කිසි විටෙක මානව ගරුත්වයට ගරු කිරීම ගැන වැඩිය කතා කළේ නැත. අදටත් යුද්දෙට සම්බන්ධ දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න ලැජ්ජයි.. ප්‍රධානම දේ තමයි තාමත් ජනවාර්ගික ප්‍රශ්න බරපතළ විදියට සලකන්නේ නැති එක.
    .
    ශ්‍රී ලංකාවේ කැරලිකරුවන් සහ රාජ්‍යය අතර වසර 30 ක් තිස්සේ සටන් කළද, සමහර දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් තවමත් සුළු ජාතීන්ට ප්‍රසිද්ධියේ රිදවීමට විහිළු කරති. විශේෂයෙන්ම අනුන්ගේ වියදමින් සසර ගමනක් ගිය අපේ ඊනියා “සිංහල බෞද්ධ භික්ෂූන්” ජාතිවාදී ප්‍රකාශ කළ හැකි මචෝ බවට පත්වෙලා. බොහෝ අය අද විශ්වාස කරන්නේ ඔවුන්ගේ හැසිරීම් අද වන විට ගිහි මිනිසුන්ට සමාන බවයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.