Colombo Telegraph

19 වැනි සංශෝධනය මගින් සංහිඳියා පදනම් දෙදරවනු ඇත

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

යුද්ධය අවසන් වූ ආසන්න වකවානුවේ ආණ්ඩුව වෙනුවෙන් ප‍්‍රතිඥාවක් දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, සියලූ ජන කොටස්වල සහයෝගය සහිත දේශපාලන විසඳුමක් සොයාගන්නා බව රටට ප‍්‍රකාශ කොට සිටියේය. එම ස්ථාවරය, ඔහුගේ සහෝදර සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ සතියේ යළි තහවුරු කෙළේය.

‘‘13 ටත් එහා යන විසඳුමක් සපයන බවට ඉන්දියාව සහ වෙනත් රටවලට ජනාධිපතිවරයා සහතික වූ බව පෙන්වා දුන් විට, එයින් ජනාධිපතිවරයා එදා අදහස් කෙළේ, සියලූ ජන වර්ගවලට පිළිගත හැකි වඩා යහපත් විසඳුමක් සපයන බව යැයි’’ ගෝඨාභය රාජපක්ෂ කීය.

වාර්ගික ගැටුමට අදාළව ඇති කරගන්නා ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක්, ඒකපාර්ශ්වික නොවී පොදු එකඟතාවයෙන් යුක්ත වනු ඇතැ යි යන නිවැරදි ප‍්‍රවේශය එහි ගැබ්වෙයි.

ආණ්ඩුවේ සුළු ජාතික සහ වාමාංශික පාර්ශ්වකරුවන් වෙතින් එල්ල වූ විරෝධය හමුවේ යෝජිත 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සළකා බැලීමකට ලක්වන බවක් දැන් පෙනෙන්ට තිබේ. පළාත් සභාවලින්, ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට කලින් ගෙන තිබූ තීරණය, ආණ්ඩුව මේ වන විට ඉවත දමා ඇත. ඒ වෙනුවට, පළාත් සභා දෙකකට හෝ වැඩි ගණනකට ඒකාබද්ධ වීමට ඇති අයිතිය අහෝසි කිරීමටත්, 13 වැනි සංශෝධනය සංශෝධනය කිරීම සඳහා පළාත් සභා සියල්ලේම අනුමැතිය අවශ්‍ය කිරීම අහෝසි කිරීමටත්, දැන් සළකා බලාගෙන යයි.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ඉල්ලීමකි. එපමණක් නොව, එය, ස්වාධීන දෙමළ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ දෙමළ කැරලිකාරී සංවිධානවල ද ඉල්ලීමක් විය. ආණ්ඩුවේ සමීප සගයෙකු වන ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී. අද පවා උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව කියයි. ඒකාබද්ධතාව පිළිබඳ ඒ ඉල්ලීම ඒ ප‍්‍රදේශයේ දෙමළ ප‍්‍රජාවේ වැඩි පිරිසකගේ ධර්ම පදයක් වී ඇති තරමි. ඒ තත්වය තුළ, පළාත් සභා දෙකකට හෝ ඊට වැඩි ගණනකට අනාගතයේ ඒකාබද්ධ වීමට ඇති අයිතිය ඉවත් කිරීම, ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයේ ජාතීන් අතර පොදු එකඟතාවක් මත පැමිණෙන නිගමනයක් වීමට ඉඩක් නැත.

අනිත් අතට, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ වීම, වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයකට පාර කපන්නකි යි, ආණ්ඩුව මෙන්ම බොහෝ සිංහලයෝ ද සිතති. ඒ හේතුව නිසා, යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල බහුතරයකගේ ජනප‍්‍රියත්වයට තුඩුදෙනු ඇත. එමෙන්ම, සිංහල බහුතරයකින් යුත් පළාත් සභා හතෙන් එකක්වත්, මේ දක්වා ඔවුනොවුන් ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවක් පෙන්නුම් කොට නැති නිසා, 19 වැනි සංශෝධනයට විරුද්ධ වෙති යි සිතීමට පුලූවන් කමක් ද නැත. මේ නිසා ඒ සංශෝධනය සම්මත කර ගැනීම, සිංහල බහුතරයකගේ දේශපාලනික සහාය දිනා ගැනීම සඳහා ආණ්ඩුවට ප‍්‍රයෝජනවත් වන්නේය.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම අරභයා මුස්ලිම් පක්ෂවල ස්ථාවරය අඩමාන ය. ඒකාබද්ධ වූ උතුරු=නැගෙනහිර පළාත් සභාවක් තුළ සුළුතරයක් වීමට ඔවුන්ගේ කැමැත්තක් තිබිය නොහේ. එවැනි තත්වයක් තුළ ඒකාබද්ධ පළාත තුළ, මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වෙනම පළාත් සභාවක් සේ සංස්ථාපිත විය යුතු යැයි ඔවුහූ උදක්ම කියා සිටිති. එසේම, මුස්ලිම් බහුතරයක් සහිත මුත් භූගොලීය වශයෙන් එකට යා ව නැති වෙනත් පෙදෙස් වෙතොත් ඒවා ද, අළුතෙන් ගොඩනැගෙන මුස්ලිම් පළාත් සභාවට අනුබද්ධ විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

එයින් ගම්‍ය වන්නේ, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොවුණොත්, වෙනම මුස්ලිම් පළාත් සභාවක් ඇති කර ගැනීමට ඔවුන්ට ඇති අවකාශය ද වියැකී යන බවයි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වුව ද, 19 වැනි සංශෝධනයට තමන් විරුද්ධ බව මුස්ලිම් කොන්ග‍්‍රසය මේ වන විට ප‍්‍රකාශ කොට තිබේ. ඒ අනුව, ආණ්ඩුවේ සිටින ප‍්‍රධාන සුළු ජාතික පක්ෂ දෙකම මෙම සංශෝධනයට විරුද්ධ බව පෙනේ. යම් හෙයකින් මේ සංශෝධනය සම්මත වුවහොත්, එය සුළුජාතික අභිලාෂයන්ට පටහැනි වනු ඇත.

දශක තුනක යුද්ධයේ මූලය වුණේ, භාෂාව, රජයේ රැුකියා සහ ඉඩම් පැවරීම් වැනි වැදගත් දේශපාලන ප‍්‍රශ්න කෙරෙහි ප‍්‍රධාන ජාතීන් තුනේ සාමාජිකයන්ව පරස්පර ස්ථාවරයන් වෙත යොමු කළ ජාතික ප‍්‍රශ්නයයි. ජනගහනයෙන් සියයට 75 ක් නියෝජනය කරන සිංහලයන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් කවදත් තිබේ. එනිසා, යම් කරුණක් අරභයා මහජන නියෝජිතයන් අතරේ ඡුන්දයක් පැවැත්වුණොත්, වාර්ගික සුළුතරයේ විසම්මුතිය පරාජය කිරීමට සිංහල නියෝජිතයන්ට පහසුවෙන් හැකි වන්නේය. වාර්ගික බෙදුම්වාදය සහ අවසානයේ වෙනම ඊලාම් රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම වෙත අතීතයේදී සුළු ජාතීන්ව පොළඹවන ලද්දේ, බහුතර වාර්ගිකත්වයේ අභිලාෂයන් සුළුතරය මත පටවන ලද ඒ අධිකාරීවාදය විසිනි.

සිදු වී ඇති වැරදි කවරේදැ යි පරීක්ෂා කොට, අනාගතය සඳහා විසඳුම් නිර්දේශ කිරීමේ ඉලක්කය ඇතිව, යුද්ධය අවසන් වීමෙන් පසු ආණ්ඩුව විසින් ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමක් පත්කරන ලදි. දශක පහකට අධික කාලයක් තිස්සේ දිග් ගැස්සුණු වාර්ගික ගැටුමෙන් පසුවත්, ශ‍්‍රී ලංකාව නැවත සැපත්ව ඉන්නේ සිටි තැනටම යැයි, එම කොමිසම අනතුරු ඇඟවීය. එනම්, එක්සත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමට තවමත් අප අපොහොසත්ව ඇති බවයි. දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවන්නේ, රටේ වාර්ගික සුළුතරයේ විරෝධතා නොතකා බහුතරයේ ඒක පාර්ශ්වීය තීන්දු ක‍්‍රියාත්මක කිරීමේ මාවතට නැවත වතාවක් හැරීමකි.

*2013 ජුනි 23 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවූ 19th Amendment will Undermine Reconciliation Process
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page