Colombo Telegraph

අප‍්‍රිකාව: ගෝත‍්‍රවාදය, හොඳට සහ නරකට, තවමත්

ජොනතන් පවර්

ජොනතන් පවර්

ගෝත‍්‍රවාදය ගැන කතා කිරීම දේශපාලනික වශයෙන් නොහොබිනා ක‍්‍රියාවක් බව අප‍්‍රිකානු නායකයන් උදක්ම කියා සිටි කාලයක් තිබුණි. ඒ මීට වැඩි ඈතක දී නොවේ. යටත්විජිත අතහැර ගිය යටත්විජිතවාදීන්ගේ රාජ්‍ය පාලනය උරුම කරගත් දේශීය අප‍්‍රිකානු නූතනවාදීහූ, අප‍්‍රිකාවේ පැරණි මුහුණුවර වුණේ ඒ ගෝත‍්‍රවාදය යැයි පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. අද අප‍්‍රිකානු නායකයන් එතරම් බොරු නොකීමට උගෙන තිබේ. මේ බොරුව උඩ ගමන් කරන අළුත්ම රට දකුණු සුඩානයයි. ඊට පෙර, කටන්ගාව සහ බියාෆ‍්‍රා සිට ඇංගෝලාව, බුරුන්ඩි සහ රුවන්ඩාව දෙසටත්, කෙටි කලකට සිම්බාබ්වේ, උගන්ඩාව සහ සෙනෙගාල් යන රටවලත් එය සැරිසැරීය. සිය වසක් (බොහෝ රටවල් ඊටත් අඩු කාලයක්) විජිතවාදයට යටත්ව සිට, දුසිම් හතරක් පමණ නව රාජ්‍යයන් බිහි කර ගැනීමෙන් අනතුරුව, යටත්විජිතවාදියා ඉතිරි කර ගිය දේශසීමා අනාගත ගැටුම් අවම කර ගනු වස් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමෙන් පසුවත්, පැරණි ගෝත‍්‍රික දේශසීමා 1000 කට වැඩි ප‍්‍රමාණයක් මකා දැමීමට අප‍්‍රිකාව තවමත් අසමත්ව සිටී.

යුරෝපීයයන් විසින් අප‍්‍රිකාව බෙදා වෙන් කෙළේය යන්න, අප‍්‍රිකාවේ වාමාංශය තුළ පොදුවේ සංසරණය වන දෝෂාරෝපණයකි. එහෙත්, ඇත්තෙන්ම ඔවුන් කෙළේ, අප‍්‍රිකාව එක්කාසු කිරීමයි. උදාහරණයක් වශයෙන්, 250 කට අධික වාර්ගික ප‍්‍රජාවන්ගෙන් සමන්විත මිලියන 170 ක් වන ජනතාවක්, බි‍්‍රතාන්‍ය ජාතික ලූගාඞ් සාමිවරයා විසින් නයිජීරියාව නැමැති තනි දේශපාලන ඒකකයක් යටතට ගෙනා තත්වය සැලකිල්ලට ගැනීමේ දී, යටත්විජිතවාදීන් ඇත්තෙන්ම ක‍්‍රියා කොට ඇත්තේ, රටක් කැඞීමට වඩා රටක් එක්සත් කිරීම සඳහා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

තරුණ වින්ස්ටන් චර්චිල් ‘අප‍්‍රිකාවේ මුතු ඇටය’ යැයි ගත්, සියවස් ගණනාවක් තිස්සේ එදිරිවාදිකම්වලින් පෙලූණු උගන්ඩාවේ නිලොටික් සහ බන්ටු නැමැති ජන වර්ග දෙක, බි‍්‍රතාන්‍යයන් විසින් තනි රටක් වශයෙන් ගොඩනැගීය. බි‍්‍රතාන්‍යයන් පිටව ගොස් වැඩි කල් ගියේ නැත. එරට කෑලිවලට කැඩුණි. ඉඩි අමින්ගේ මිනීමරු පාලනය, ඒ ගෝත‍්‍රික වෛරයේ ප‍්‍රතිඵලයකි. සුඩානයේ දී, පසමිතුරු අප‍්‍රිකානු ගෝත‍්‍ර පමණක් නොව, අරාබි ජනවර්ග පවා එකට තබා ගැනීමට බි‍්‍රතාන්‍ය බැලීය. එහෙත් මීට අවුරුදු 50 කට කලින් යුද්ධය ඇවිළුණි. ඒ, තෙල් සොයා ගැනීමට හෝ චීනය අතගැසීමට බොහෝ කලකට කලිනි.

අද දකුණු සුඩානයේ සිවිල් යුද්ධය හටගත්තේ, අප‍්‍රිකානු ගෝත‍්‍රිකවාදය එහි අන්තයට තල්ලූ වීමේ ප‍්‍රතිවිපාකයක් වශයෙනි. එහෙත් ඒ මහද්වීපයේ වෙනත් තැන්වල ගෝත‍්‍රිකවාදයේ සාධනීය පැත්තක් එදිනෙදා ජීවිත තුළ දක්නට ලැබේ. එවැනි තැන්වල සමාජය එකට බැඳ තබන බැම්ම එයයි. එහෙත්, දේශපාලනය, ආර්ථිකය හෝ ජනාකීර්ණ දරිද්‍රතාව එකට තෙරපෙද්දී, එයම එම රටවල් ගිනි තියන වෙඩි බෙහෙත් ද වන්නේය.

දෛනික ගැමි සමාජය තුළ ගෝත‍්‍රිකත්වය ක‍්‍රියා කරන්නේ පරණ ඉස්කෝල බැම්මක් මෙනි: රස්සාවක් සොයා දීම, පේ‍්‍රම සම්බන්ධතා ඇති කර ගැනීම, ගොයම් කපන කාලයේ බර හෝ නිවසක් හදා ගැනීමේ බර බෙදාහදා ගැනීම, පවුල් අඩදබර විසඳා ගැනීම සහ, ඒ හා සමානම වැදගත්කමක් දරණ, කලාශිල්ප සහ සංගීත ආදිය වර්ණවත් කර ගැනීම ඒ මගින් සිදුකෙරේ. එම පුරුෂාර්ථම, අණක් ගුණක් නැති ප‍්‍රචණ්ඩත්වයට පාර කපමින්, කෙනෙකුගේ සිරුරේ කොටා ඇති වැරදි ගෝත‍්‍රික අඩයාලම එම පුද්ගලයාගේ මරණ වරෙන්තුවක් බවට පත්කර ගන්නේ ද, යම් ගැටුම්කාරී තත්වයක් හේතුකොටගෙනම පමණි.

අප‍්‍රිකාව නැවතත් කෑලි 1000 කට කැඩිය යුතු යැයි මෙයින් අදහස් නොවේ. තේරීමකට අවස්ථාවක් ඇති අවස්ථාවලදී, අප‍්‍රිකානු නායකයෝ පරණ යටත්විජිතවාදියාගේ දේශසීමා එයාකාරයෙන්ම පවත්වා ගැනීමට (එරිත‍්‍රියාව, ඉතියෝපියාවෙන් වෙන් වූ අවස්ථාවේ දී හැර) පියවර ගෙන තිබේ. යටත්විජිතවාදියා ඇඳ දුන් දේශසීමාවල ඇති යහපත, එහි ඇති අයහපතට වඩා වැදගත් බව ඔවුන් පිළිගෙන තිබේ.

සම්ප‍්‍රදායික නායකයන් ජනතාවට වඩාත් ‘සමීප’ වෙතත්, එය අනිවාර්ය සද්ගුණයක ආදර්ශයක් වන්නේ නැත. උතුරේ මුස්ලිම් ප‍්‍රාන්ත ලෞකික නයිජීරියාවේ කොටසක් නොවිණි නම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන්වල අවශ්‍යතාව කෙරෙහි මේ තරම්වත් ඔවුන් සැළකිලිමත් නොවන්නට තිබුණි.

කොටින්ම, මුතුන්මිත්තන්ගෙන් දායාද වූ මිනිස් අණ්ඩකෝෂ මාලයක් කරේ එල්ලා ගත් ලූන්ඩා වටයම්යෝ වැනි ගෝත‍්‍රික ප‍්‍රධානීන් යටතේ පාලනය වීමට කාට නම් දැන් අවශ්‍ය විය හැකි ද? ඔහුගේ අණසක සැම්බියාවේ සිට සයරේ දක්වා බලපැවැත්වුණි. සයරේ රාජ්‍යයේ හිටපු ඒකාධිපති මොබුටු සෙසි සෙකෝ පවා එයින් තැතිගත්තේය.

කෙසේ වෙතත්, අප‍්‍රිකාවේ සිතියම නැවත ඇඳීම, සාකච්ඡුා මාර්ගයෙන් කළ හැකි නම්, නරකක් නැත. නයිජීරියානු ජනාධිපති ඔබසන්ජෝ, බකාසි අර්ධ ද්වීපයට ඇති අයිතිය පිළිබඳව කැමරුන් රට සමග තමන්ට පැවති මතභේදය ජගත් අධිකරණයට ගෙන ගොස්, තෙල් සම්පත පිරි ඒ ප‍්‍රදේශයේ අයිතිය ජගත් අධිකරණය මගින් කැමරුන් රාජ්‍යයට පැවරූ විට, ඒ තීන්දුව භාර ගත්තේය.

සුළු පරිමාණයේ බොහෝ ප‍්‍රශ්න මතුවෙමින් තිබෙතත්, නිවැරදි දේශපාලන නායකත්වයක් ඇතොත් ඒවා සමනය කර ගැනීමටත්, එදිරිවාදිකම් අවම කර ගැනීමටත් හැකියාවක් ඇති බව නයිජීරියාව පෙන්නුම් කරයි. විශාල ජන විවිධත්වයක් තිබුණත්, මෑතක දී එරටේ හටගත් ගෝත‍්‍රික ගැටුම්වලදී සිදුවූ මරණ සංඛ්‍යාව අල්ප ය. කෙසේ වෙතත්, පසුගිය තෙවසරක කාලය තුළ, ‘බොකෝ හරාම්’ නැමැති අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරයක් එරටේ හිස එසැවීම කණස්සල්ල දනවන්නකි. කෙසේ වෙතත් එය, අර්ධ=ආගමික ව්‍යාපාරයක් මිස, ගෝත‍්‍රික කණ්ඩායමක් නොවේ.

මේ තත්වය තුළ දකුණු සුඩානයේ නායකයන්, නයිජීරියාව දෙස බැලිය යුතුව තිබේ. 1960 දශකයේ බියාෆ‍්‍රාවේ හටගත් සිවිල් යුද්ධයේ ගොරතර බව අද මිනිසුන්ට මතක නැත. එහෙත්, එහි දී තම ගෝත‍්‍රයෙන් කාලක්ම අහිමි කරගත් ‘ඉග්බෝ’ ප‍්‍රජාව, වර්තමාන නයිජීරියාවට හොඳින් අවශෝෂණය වී සිටින අතර, ඒ යුද්ධය නිසා හටගත් බොහෝ කැලැල් සුව කරගෙන තිබේ. වෙනත් බොහෝ මිනිසුන්ට වඩා අප‍්‍රිකානුවෝ සමා භජනයට රිස්සෝය.

දකුණු සුඩානයේ පවා සාමය ඇති කරගත හැකිය. එරටේ රඳවා සිටින, දැනටත් විශාල ප‍්‍රමාණයක් වන සාම සාධක හමුදාව දෙගුණ කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ ගත් තීරණය යහපත් එකකි. ඊට අමතරව, අත්දැකීම් සහිත මැදිහත්කරුවෙකු ඒ සඳහා පත්කිරීම ගැන ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සළකා බැලිය යුතුව ඇත. හමුදා ඒකාධිපතිත්වයක් යටතේ වසර ගණනක් පැවති නයිජීරියාව ආපසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙතට ගෙන ආ, දැනට දේශපාලනයෙන් විශ‍්‍රාමිකව සිටින, ඔබසන්ජෝ ඒ සඳහා වන හොඳ තේරීමකි.

*2004 ජනවාරි 2 වැනි දා  Daily Times හි Africa: Tribalism Lives for Better and for Worse නමින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’ 

Back to Home page