Colombo Telegraph

යුද්ධයේ කම්පන, වීරත්වය හා පසු යුද තත්ත්ව කළමනාකරණය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

යාපනයේ මිරිසුවිල් හි දී වසර 2000 දී සිදුව ඇති සමූහ මිනිස් ඝාතනයකට වරදකරු වූ යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් බලකායේ සෙබලකු මරණීය දණ්ඩනයට යටත් කිරීමත් සමග දකුණේ සිංහල සමාජයේ පිරිසක් මහත් කම්පනයකට පත්ව තිබේ. වසර 13ක් තිස්සේ ඇදි ඇදී ආ අධිකරණ ක්‍රියාදාමයක් අවසානයේ දුන් මේ තීන්දුව දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවකට ආණ්ඩුවේ උපදෙස් මත අධිකරණය ලබා දුන් තීන්දුවක් බවට සමහරු අර්ථ දැක්වූහ. තවත් සමහරු තම ෆේස්බුක් ගිණුම් වල පින්තූරය මරණ දඩුවමට ලක් කළ යුද හමුදා භටයාගේ රුවකින් සරසමින් ඔහු වීරත්වයට නැංවීමට තැත් කළහ.

පසුගිය භීෂණ සමයේ දී හොරණ ප්‍රදේශයේ යෞවනයකු ඝාතනය කළා යැයි චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියකු වසර 25ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව වසර අටක සිර දඩුවමකට ලක් වුණි. එහෙත් මිරිසුවිල් සමූහ ඝාතනයේ චූදිත හමුදා භටයාව මරණ දණ්ඩනයට ලක් කළ අවස්ථාවේ දී මෙන් දකුණේ සමාජයෙන් ඊට විරෝධයක් එල්ල නොවුණි.

ආණ්ඩු කිහිපයකම පාලන කාලයන් තුළ ඇසෙමින් පැවති මේ නඩුවේ තින්දුව දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවට වත්මන් ආණ්ඩුවේ උපදෙස් මත අධිකරණය ලබාදුන් තීන්දුවක් යැයි කිසිසේත්ම පැවසිය නොහැක. වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස පහමාරක පමණ කාලයක් පමණක් ගතව ඇති නිසා වසර දහතුනක් තිස්සේ ඇසුනු නඩුවක චෝදනා, සාක්ෂි ගොනු කිරීම් හා ඊට අදාළ අනෙකුත් දෑ වත්මන් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතා මත මේ මාස පහක කාලය තුළ වෙනස් කළා යැයි කීම හාස්‍යජනකය.

යාපනයේ මිරිසුවිල් හි දී වසර 2000 දී සිදුව ඇති සමූහ මිනිස් ඝාතනයකට වරදකරු වූ යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් බලකායේ සෙබලකු මරණීය දණ්ඩනයට යටත් කිරීමත් සමග දකුණේ සිංහල සමාජයේ පිරිසක් මහත් කම්පනයකට පත්ව තිබේ.

අදාළ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය නීතියේ පිහිට පැතීමට දෙමළ දේශපාලන පක්ෂයක් වන ඊ.පී.ඩී.පී. සංවිධානයේ සහාය ලබාගෙන ඇත. එම සංවිධානය යුද හමුදාව හා සිද්ධිය වන අවස්ථාවේ ආණ්ඩු බලය දැරූ පොදුජන එක්සත් පෙරමුණ හා පසුව ආණ්ඩු බලය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානය සමගත් සම්මුතිගතව කටයුතු කර ඇත. ඒ නිසා මෙම නඩු තීන්දුව උපුටමින් වත්මන් ආණ්ඩුවට එල්ල කරන චෝදනා පදනම් විරහිත වේ.

නඩු තීන්දුව නිසා විස්සෝපයට පත් පාර්ශ්ව සදහන් කරන්නේ අසීමිත කැප කිරීම් කරමින් කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ රණවිරුවන් ආරක්ෂා කර ගත යුතු වුවත් ආණ්ඩුව ඔවුන් දංගෙඩියට තල්ලු කරන බවයි. එහෙත් වසර දහතුනක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ඇසුණු මේ නඩුව එක් විශේෂිත ආණ්ඩුවක උවමනාව මත ගොනුවූ නඩුවක් නොවේ. එසේම එක් විශේෂිත ආණ්ඩුවක අවශ්‍යතාවට තීන්දුව දුන් නඩුවක් ද නොවේ.

රාජපක්ෂ ආණ්ඩු කාලය තුළ රාජ්‍යයේ දෘෂ්ඨිය සමන්විත වූයේ රාජ්‍ය ආරක්ෂාව ප්‍රමුඛතම කාර්ය ලෙසයි. එසේම යුද්ධය මගින් එල්.ටී.ටී.ය පරාජය කිරීම බෙදුම්වාදය පරාජය කිරීමක් ලෙස උත්කර්ශයට නංවන ලදි. ඒ නිසා විවිධ චෝදනා මත පැනවෙන නඩු මගින් “රණවිරුවන්” අපහසුතාවට පත්වේ නම් ඔවුන්ව පාවාදීමකට ලක්වේ නම් ඒ සම්බන්ධයෙන් වැඩියෙන්ම සංවේදී විය යුතුව තිබුනේ රාජපක්ෂ තන්ත්‍රයයි. එහෙත් ඒ කාලය තුළ ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් හා වෙනත් අපරාධ චෝදනා ලැබූ තම අන්තේවාසිකයන්ට එරෙහි නඩු නීතිපති ලවා ඉල්ලා අස්කරවා ගත්තා මිස තම පාලනයේ පැවැත්ම සහතික කළ “රණවිරුවන්ට” එරෙහි නඩු ඉල්ලා අස්කරවා ගැනීමක් දක්නට නොවුණි.

බලය අහිමිවීමෙන් ප්‍රකෝප වී සිටින රාජපක්ෂ තන්ත්‍රයේ මහින්ද චින්තනවාදීහු සමාජයේ සිදුවන සියළු සිදුවීම් වත්මන් ආණ්ඩුවට එරෙහිව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමේ අසීරු උත්සාහයක් සාර්ථක කර ගැනීමට තැත් කරති. ඒ නිසා තර්කානුකූල මත දැරීමත් තර්කානුකූල අදහස් හුවමාරුවත් ඔවුන් තුළ ඇත්තේම නැති තරම් ය. විශේෂයෙන්ම රාජපක්ෂ තන්ත්‍රයේ මතවාදී දෘෂ්ඨිය නිර්මාණය කළ පිරිසේ සමහරු මේ අපරාධකරු වීරත්වයට ඔසොවා තැබීමට උත්සාහ කළහ. තමන් පෙනී ඉන්නවා යැයි කියන ජාතිකවාදී මතවාදය තුළ අපරාධකරුවන් වීරත්වයට නැංවීම ඔවුන්ට ගැටළුවක් වී නැතිවීම උත්ප්‍රාසය ජනනය කරයි. ඒ නිසා මෙම නඩු තීන්දුවෙන් ඉස්මතුවන සාකච්ඡාවට ලක් කළ යුතු කරුණු කාරණා කිහිපයක්ම ඉන් වැළකී යෑම නොවැළැක්විය හැක්කක් බවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇතිවූ සංවාදයකට ලන්ඩනයේ සිට පිළිතුරු එවන මගේ පැරණි මිතුරකු මට අවවාද කළේ “සැමදෙයකටම රාජපක්ෂ පටලවා නොගන්නා ලෙසත් අදාළ සිද්ධියේ දී දඩුවමට යටත් වූ හමුදාභටයාගේ මානසිකත්වය සම්බන්ධයෙන් ද සලකා බලා අදහස් පළ කරන ලෙස”ත් ය.

රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා සෑම සමාජ සිද්ධියක්ම යොදා ගැනීමට තැත් කරන විට ඒ සෑමදේකටම රාජපක්ෂ පටලවා ගැනීමට සිදුවීම අහඹුවක් නොවේ. එහෙත් මගේ මිතුරා කී පරිදි මෙවැනි සමූහ මිනිස් ඝාතනයක දී සොල්දාදුවකුගේ මානසිකත්වය සලකා බැලීම නම් අත්හළ නොහැකි විශේෂ කරුණක් බව නොකිවයුතු මනාය.

කුඩා දරුවකු ද නව යෞවනයකු ද ඇතුළු අටදෙනකු ඝාතනය කරමින් මේ සා විශාල සාහසිකත්වයකට මෙම හමුදා භටයා යොමු වූයේ පෞද්ගලික ආරවුලක් නිසා නොවේ. එසේම දකුණෙන් උතුරට ගියේ ඒ අටදෙනා ඝාතනයටම නොවේ. එහෙත් රාජකාරිය ඉටු කිරීමේ දී ඔහු එවැන්නකට යොමු වී ඇත. විනය නීති කඩකරමින් හමුදාව තුළ දී වුවද තැන නොතැන නොබලා ඝාතනයන්ට යොමුවීමට ඉඩ අවකාශයක් නොමැත. හමුදා සොල්දාදුවකු වුවද රාජකාරිමය විනයකට බැදී සිටී. හමුදා පාලන ප්‍රදේශයක සැරිසැරූ සිවිල්වැසියන් දිගු දුර මෙහෙයුම් බලකා භටයකු අතින් ඝාතනය වීම ද සැලකිල්ලට ගත යුත්තකි.

සමහරුන් පවසන්නේ ඝාතනය වූවන් අහිංසකයන් නොව එල්ටීටීඊ ඔත්තුකරුවන් බව ය. වැඩිහිටියන් එල්ටීටීඊ ඔත්තුකරුවන් වුවද කුඩා දරුවා එල්ටීටීඊ ඔත්තුකරුවකු විය නොහැක. වැඩිහිටියන් එල්ටීටීඊ ඔත්තුකරුවන් වුවද මෙලෙස ඝාතනය කිරීමට නීතියක් නොමැත. වැඩිහිටියන් එල්ටීටීඊ ඔත්තුකරුවන් වුවද ඔවුන් සමග සිටි නිසා කුඩා දරුවා ඝාතනය කිරීම සාධාරණ නොවේ. මේ සිද්ධියට අදාළව නීතියේ සරණ පතා අගතියට පත්වූවන් ආධාර පතා ඇත්තේ ඊපීඩීපී සංවිධානයෙන් නිසා ඔවුන් එල්ටීටීඊ ඔත්තුකරුවන් යැයි එල්ල කරන චෝදනාව ද පිළිගත නොහැක.

ඝාතනයට ලක්වූවන් සෑම අතින්ම අහිංසකයන් වුවද ඔවුන් ඝාතනය කිරීමට හමුදා පාර්ශ්වයට සාධාරණ හේතුවක් තියෙන්නට ද පුළුවන. ඔවුන් කෙතරම් අහිංසක වුවත් ඔවුන් නිසා හමුදා පාර්ශ්වයේ රහසක් හෙළිවූවා නම් අත්වන ඉරණම එවැන්නක් විය හැකිය. එවැනි අපරාධ පවතින නීතිය අනුව කෙතරම් වැරදි වුවත් යුද්දයක දී ඒ නීතිය නිහඩ වීම අනිවාර්ය කරුණකි.

දිගු දුර මෙහෙයුම් බලකාය වැන්නක් හමුදාවක පිහිටුවන්නේ අති විශේෂ පුහුණුවක් සමගය. එවැනි බලකායක් මගින් රාජකාරිය ඉෂ්ඨ කිරීමේ දී මිනිස් මනසට දරාගත නොහැකි සිදුවීම් සිදුවිය හැකිය. කෙතරම් පුහුණුවක් ලබාදුන්න ද හමුදා භටයාගේ දරා ගැනීමට සීමාවක් ඇත. එවැනි තත්ත්වයක් තුළ භටයකුගේ මනස අති විශාල පීඩනයකට ලක් වී අසාමාන්‍යතාවකට ගොදුරු විය හැක. එවැනි මානසිකත්වයක සිටින හමුදාභටයකුගෙන් නීත්‍යානුකූල හැසිරීම් බලාපොරුත්තු විය නොහැක.

සමාජ දේශපාල අර්බූද විසදීමේ එකම ක්‍රමය යුද්දය යැයි සිතන සමාජ කොටස් තම අවධානයට ලක් නොකරන කරුණක් වන්නේ සමාජයකට යුද්දයක් දරා ගත හැකිද යන්නයි. බලය සදහා නොනවතින පොරයක යෙදෙන දේශපාලකයන් යුද්දයක සමාජ ප්‍රතිලාභ ගැන සංවේදී නොවූවත් සමාජයේ බුද්ධිමය කොටස් ඊට සංවේදී විය යුතුය. එහෙත් විරැකියාවෙන් පෙළෙන තරුණ සමාජය බල අරගලයක් සදහා වූ යුද්දයකට තල්ලු කර ඒ වෙනුවෙන් ඔවුන්ට තම තරුණ ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවෙද්දී එම අවශ්‍යතාව නිර්මාණය කළ දේශපාලකයන් සුව සේ විසීම තක්කඩිකමකි.

මිරසුවිල් ජන ඝාතනයේ යෙදුන හමුදා භටයාට මරණ දණ්ඩනය නියම වුවත් ඒ භටයා යුද්දයට තල්ලු කළ දේශපාලන බලධාරීන්ට කිසිම දඩුවමක් නොවීම හාස්‍යයකි. හමුදා භටයන් රණ විරුවන් ලෙස හදුන්වමින් ද ෆේස්බුක් ගිණුමේ පින්තූරයට ඔවුන්ව යොදා ගනිමින් ද ඔවුන් වීරත්වයට ඔසොවා තැබීම තක්කඩිකමක් වන්නේ එබැවිනි.

මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් හා වෙනත් සමාජ අපරාධකරුවන් වූ දේශපාලන හෙන්චයියන්ගේ නඩු ඉල්ලා අස්කර ගනිද්දී “රණවිරුවන්ගේ” නඩු වලින් ඔවුන්ව මරණ දණ්ඩනයට ලක් කිරීම අසාධාරණයකි. කේපීලා, කරුණා අම්මාන්ලා අත යට ගනුදෙනු වලින් නිදහස ලබද්දී ඔවුන්ගේ නියෝග මත “වැරදි” කළවුන් දඩුවම් ලැබීම ද අසාධාරණයකි. දෙපාර්ශ්වයේම ඉහළ පෙළේ නායකයන් මෙන්ම පහළ පෙළේ සොල්දාදුවන්ට ද එක සේ සාධාරණය ඉෂ්ඨ විය යුතුය.

ඕනෑම රටක යුද්දයක් අවසානයේ සමාජය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව ශිෂ්ඨ සමාජය විසින් තේරුම් ගෙන ඇත. ඒ අනුව දේශපාලනික, සමාජ – මානසික සහ අගතියට පත් වූ/ අගතියට ලක් කළවූවන් වශයෙන් ප්‍රතිසංධානයක් ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි ප්‍රතිසංධාන ක්‍රියාවලියකට මූලික පියවර තැබිය යුත්තේ යුද්දයේ ජයග්‍රාහකයා ය. ඒ තුළ පශ්චාත් යුද අවධිය කළමනාකරණය කළ යුතුය.

සිංහල – දෙමළ ජාතිකත්වයන් අතර ප්‍රතිසංධානය ඇති කිරීම ජනවාරී අට වැනිදා ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ එක් අරමුණකි. ඒ ප්‍රතිසංධානය තුළ ජාතිකත්වයන් අතර අනෝන්‍ය අවබෝධය වර්ධනය විය යුතුය. එහි එක් පියවරක් ලෙස දැනට අත් අඩංගුවේ සිටින සියළු කැරළිකරුවන් නිදහස් කරන්නේ නම් එය ධනාත්මක ප්‍රවේශයකි. එසේම ඊට සමාන්තරව අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හමුදාභටයන්ගේ නඩු ඉල්ලා අස්කරගත යුතුය. ඒ සම්බන්ධයෙන් දණ්ඩනයට ලක් කර ඇති හමුදාභටයන්ට පොදු සමාවක් ලබාදිය යුතුය.

යුද්දයෙන් අගතියට පත් පාර්ශ්වයන් දෙකටම සාධාරණය ඉටු කළ හැක්කේ පශ්චාත් යුද කළමනාකරණ වැඩපිළිවෙලකිනි. ඒ සදහා රැඩිකල් පියවර නොපමාව ගත යුතුය. එසේ නොවන්නේ නම් උතුරේ දෙමළා ද දකුණේ සිංහලයා ද තම තමන්ගේ වීරයන් උත්කර්ශයට පත් කරමින් සිට අවසානයේ සමාජයක් ලෙස අගාධයේ පත්ලටම වැටීම හැර වෙනත් විකල්පයක් ඉතුරු වේ යැයි පැවසිය නොහැක.

*shan.info1978@gmail.com

Back to Home page