Colombo Telegraph

දින 100 කාල සීමාවට කොටු වීම දේශපාලනික වරදකි

කේ. ගොඩගේ

කේ. ගොඩගේ

දෙන ලද පොරොන්දු අනුව යමින් රටට අවශ්‍ය කළ දේවල්, හුදෙක් දින 100 කදී හෝ එම කාලයෙන් දැනට ඉතිරිව පවතින දින ගණන තුළදී හෝ ඉටු කර දීමට ආණ්ඩුවට පුලූවන් කමක් නැති බව දැන් පැහැදිළි ය. එය ආණ්ඩුවේ වරදක්ම නොවේ.

අපේ ඉල්ලීම් සහ අපට පොරොන්දු වු දේවල් කවරේද?

පළමුවැන්න වන්නේ, ගතවූ වසර දහයක කාලය තුළ මේ රටේ සිදුවූ දූෂණ හෙළිදරව් කරමින් එම දූෂිතයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමයි. එය, මේ කියන දින 100 ඇතුළත කළ හැකිද? ඒ සඳහා වන ක‍්‍රියාවලිය ආණ්ඩුව විසින් දියත් කොට ඇතැ යි අපි සිතමු. එසේම තමන්ගේ නිල බලය අපහරණය කළ අයවළුන්ට දැඩි දඬුවම් පමුණුවතැ යි ද අපි බලාපොරොත්තු වෙමු. ඒ සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද?

ජනතාවගේ ඊළඟ ඉල්ලීම වුණේ, එක්කෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීම හෝ එහි අත්තනෝමතික බලතල කප්පාදු කිරීමයි. ඊළඟට, රජයේ ඉහළ නිලතලවලට කරන පත්වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව පවතින ඒකාධිකාරි බලය අහෝසි කොට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම තවත් ඉල්ලීමකි. තෙවැනුව, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම අපි අපේක්ෂා කෙළෙමු. සිව්වැනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගවන තත්වයකට පත්කරමින්, දැනට ඔහු භුක්ති විඳින මුක්තිය ඉවත් කිරීම අපේක්ෂා කෙරුණි. පස්වැනුව, මැතිවරණ ක‍්‍රමය වෙනස් කරමින් දිනේෂ් ගුණවර්ධන කමිටු යෝජනා ක‍්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරුණි. විශේෂයෙන් මෙය දින සීයකින් කළ හැකි දෙයක් නොවේ. මන්ද යත්, ඒ සඳහා මුලින්ම සීමා නිර්ණය කොමිසමක් අවශ්‍ය කෙරෙන බැවිනි. හයවැනුව, දූෂණය පිටුදැකීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතියක්ද අපට වඩාත්ම අවශ්‍ය කෙළේය. එය දිනා ගැනීම සඳහා අප සමහරෙක් අවුරුදු ගණනක් තිස්සේ අරගල කොට තිබෙන අතර, ඒ වෙනුවෙන් වන කෙටුම්පත් වරින් වර සත්තකින්ම සම්පාදනය වී ඇතත්, ආණ්ඩු ගණනාවක්ම එය නීතියක් බවට පත්කිරීමෙන් මගහැරියේය. සමහර විට ඒ, රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීම හරහා එක දිගටම අපව සූරාකෑමට ඔවුන්ට හැකි වන නිසා විය හැකිය. එසේම, ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට හෝ පළාත් සභා මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් හෙළි කළ යුතු බවට අපි ඉල්ලා සිටියෙමු. තවද, අළුතෙන් සකස් කරගන්නා ඕනෑම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ සුළු ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත කෙරෙන, සෝල්බර් ව්‍යවස්ථාවේ අඩංගුව පැවති, 29 වැනි වගන්තිය ඇතුළත් විය යුතු බවත් අපි විශ්වාස කරමු. එය ඉතා වැදගත් කාරණයකි. ඉතිං, ජනාධිපතිතුමනි, මේ සියල්ල දින 100 ක් තුළ සාක්ෂාත් කරගත හැකිද යන් ප‍්‍රශ්නය අප ඉදිරියේ තිබේ.

අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළට මේ වෙනස්කම් ගෙනෙන තෙක්, පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නැත. තුනෙන් දෙකේ බලයක් මින් පසු කිසි පක්ෂයකට නොලැබෙනු ඇත. මෙවර පවා එවැනි තුනෙන් දෙකේ බලයක් අත්වුණේ නීතියෙන් රිංගා ගොස් පක්ෂ මාරු කිරීමට මන්ත‍්‍රීවරුන්ට හැකියාව ලැබුණු බැවිනි.

මේ නිසා වර්තමාන ආණ්ඩුව, දැන් පාර්ලිමේන්තුවේ තිබෙන තුනෙන් දෙකේ බලය පාවිච්චි කොට, මේ අත්‍යාවශ්‍ය වෙනස්කම් කරගත යුතුව තිබේ. මෙය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ වගකීමක් පමණක් නොව, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ වගකීමක් ද වන්නේය. මැතිවරණයට කලින් ඔවුන් දුන් පොරොන්දු මත දැන් කටයුතු නොකළොත්, ඒ සඳහා මොන නිදහසට කරුණු කීවත්, ඒවා ජනතා අභිලාෂයන් ඉදිරියේ පිළිගැනෙන්නේ නැති බව අමතක නොකළ යුතුය.

එබැවින් අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉක්මන් නොවී මේ ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබේ. ඊළඟ මැතිවරණයකදී තමන්ට තුනෙන් දෙකේ බලයක් ලබාගත හැකි යැයි ඔහු විශ්වාස කරන්නේ නම් එය එසේම සිද්ධ වුණාදෙන්. එහෙත් මේ කියන ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ දැන් කළ යුතුව තිබේ. එබැවින්, යෝජිත 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට පෙර සමාජයේ සාකච්ඡුාවට එය බඳුන්විය යුතුව තිබේ.

අප්පමාදෝ අමතපදං.

*2015 මාර්තු 18 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “The 100-Day Deadline is a Faux Pas” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page