Colombo Telegraph

මාවිල්ආරු‍ ජලය හා වැලිවේරිය ජලය: ලබ්බට තැබු අත පුහුලටත්

කරු ජයසූරිය

පිරිසිදු පානීය  ජලය සඳහා ඇති අයිතිය , ප්‍රාථමික මිනිස් අයිතිවාසිකමකි. වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ  ජනතාව බැලුම්මහර හන්දිය අවට  ප්‍රදේශයට එකතු වුයේ  කලාන්තරයක් තිස්සේ තමන්ට අහිමිව තිබු ඒ ප්‍රාථමික මිනිස් අයිතිවාසිකම සුරක්ෂිත කර ගැනිමටය.

කරු ජයසූරිය

එය මාවිල්ආරු‍ සොරොව්ව වසා ගෙන සිටි එල්ටීටීඊ ත්‍රස්තයන්ගෙන්  තමන්ගේ කුඹුරු සඳහා ජලය ලබාදෙන ලෙසට සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාව එදා ඉල්ලා සිටි ආකාරයේ ඉල්ලීමක් විය. ඒ අහිංසක අරමුණු විනා කිසිදු දේශපාලන අරමුණක් ඔවුනට නොවිය. ආණ්ඩුව ගෙදර යැවිමේ හෝ රජයට කනේ පහරක් ගැසීමේ උත්සාහයක් නිෂශසරණාධ්‍යාශයෙන් මතුවු  ඒ මහජන නැගිටීම තුල නොවීය. ඊට නායකත්වය සැපයුයේ  ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වු යුද්ධය තුල අපගේ ගෞරවනීය රණවිරුවන්ට අවශ්‍ය අධ්‍යාත්මිආශීර්වාදය නොමඳවම සැපයු  තෙරිපැහැ සිරිධම්ම හිමියන්ය. උන්වහන්සේ  පමණක් නොව වැලිවේරියේ අවට වැසියන් ද යුද්ධය සමයේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය ඉහල නැංවිමට  තමනට කළහැකි උපරිමය  කළ පිරිසක් විය.  ඒ අර්ථයෙන්, බීමට පිරිසිදු ජලය ඉල්ලා සටනට බැස තිබුනේ  මේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකල පිරිසකි. රට වෙනුවෙන් ඇවසි යුතුකම් ඉටුකළ තමනට, පෙරළා රටකරවන ඇත්තන්ගෙන් සාධාරණයක් ලැබෙතැයි ඔවුන්  අනුමාන කරන්නට ඇත. නමුත් අවසානයේ සාධාරණය වෙනුවට ඒ ජනතාවට රජයෙන් ලැබුනේ වෙඩි උන්ඩය ඒ වෙඩි උන්ඩ වලට බිලිවී වටිනා තරුණ ජිවිත කිහිපයක්  මෙලොව හැර ගියේය. මේ සිදුවීම  අපට සිහිගන්වනුයේ  19 සියවස ආරම්භයේදී රුසියාවේ සිදුවූ පාන් ඉල්ලා අරගල කළ විරෝධතා කරුවන්ට කළ පහරදීමය. සුපැහැදිලිවම  මෙය ඒ පන්නයේ තිරශ්චීන මෘග ක්‍රියාවක්ම ය . නීතියේ පාලනය , යුක්තිය, සාධාරණත්වය යන සංකල්ප පොතට පමණක් සීමා වි ඇති පරිසරයක අපට සැබැවින්ම කළ හැක්කේ  කිසිසේත්ම සිදු නොවිය යුතු  මේ  සිදුවීමට  වගකිව යුත්තන්ට ස්වභාවික යුක්තියෙන් හෝ දඩුවම් ලැබේවි යැයි කල්පනා කිරිම  පමණකි.

වැලිවේරියේ සිදුවීම මේ වන විට රට අභ්‍යතරයේ පමණක් නොව ජාත්‍යාන්තරව ද ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. මේ සිදුවීමෙන්  කාලකණ්නි දේශපාලන සතුටක් ලැබීමේ අවශ්‍යතාවයක් අපට නොමැත. නමුත් පැහැදිලිවම මේ අවාසනාවන්ත සිදුවීම ලෝකයතුල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති දුර්මත තවත් ශක්තිමත් කිරිමට හේතු  වී ඇති බව බැලු බැල්මට පෙනි යයි.

ශ්‍රි ලංකා හමුදාව “ජනඝාතක ” හමුදාවක් බවට කොටි හිතවාදි  ඩයස් පෝරාව ගෙන යමින් සිටින සටන් පාඨයට  “තටුලැබිමක් ”  මේ සමඟ සිදුව ඇත. අපේ ආදරණීය රට, ආරක්ෂක අංශ දුර්වල කිරීමට මාන බලමින් සිටින ඒ දුෂ්ඨ බලවේග වලට මේ ලැබී ඇත්තේ හොඳ ” ෆුල්ටොස් පන්දුවකි ” දැන් ඔවුන් ඊට අත දිග හැර පහර දෙමින් සිටිති. මේ රටේ ආරක්ෂක අංශ  වලට හැමදාමත් ගෞරව කල හිටපු හමුදා නිළධාරියෙකු ලෙස ඒ පිළිබදව මට ඇත්තේ  දැඩි කණගාටුවකි.  “චෝගම්”  යනුවෙන් මේ දින වල මන්ත්‍රයක්  මෙන් රජයේ ප්‍රකාශකයන්  මතුරන පොදුරාජ්‍ය මණ්ඩලීය  රාජ්‍ය නායක සමුළුව තුල දී  නිසැකවම මෙය අපට අවාසියක් වීමට ඇති ඉඩ බෝහෝය ඒ සියල්ලට පෙර  සැප්තැම්බරයෙදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරය පැවැත්වේ එහිදී මෙම සිදුවීම නිසැකවම කරලියට පැමිණිය හැකිය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්  නවීපිල්ලේ මහත්මිය මේ මස අගදී  ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සොයා බැලීමේ අරමුණින් මෙරටට පැමිණෙන ඇයට  ඒ ගැන සෙවිමට දැන් උතුරට යාමට අවශ්‍ය නොවේ .

මේ සිදුවීම  ඊට වඩා පහසු අවස්ථාවක් ඇයට නිර්මාණය කර දී තිබේ. රටක් ලෙස අප සියළු දෙනා මේ සිදුවිම ගැන බිය වනුයේ එබැවිනි. වැලිවේරියේ  උද්ඝෝෂණකල  ජනතාව වෙත ආරක්ෂක  අංශ තම බලය යෙදවූයේ  උද්ඝෝෂන විරෝධතා පිළිබද ඇති සම්මත ක්‍රමවේදයන් මත නොවේ කදුළුගෑස්, අධිපිඩක ජල ප්‍රහාර එල්ල කිරිම, රබර් උන්ඩ වලින්  පලමුව අහසට  හා දෙවනුව පොලවට ප්‍රහාර එල්ල කිරිම මෙබඳු අවස්ථාවක දි කටයුතු කරන සම්මත ක්‍රම වේදය වේ . නමුත් ඒ සියළු ක්‍රම වේදයන්   “බයිපාස් ” කරමින්  විරෝධතා කරුවන්ට ජීව උන්ඩ වරුසාවක් එල්ල කිරිමට  ආරක්ෂක  අංශ කටයුතු කළේ. එල්ටීටීඊයට එරෙහිව වු යුද්ධමය ක්‍රියාන්විත තුලදී යෝධ පවුරක් මෙන් තමන්ට සුවිසල් ශක්තියක්  දුන් ජනතාවකට  උපරිම බලය පාවිච්චි කිරිම සඳහා  ආරක්ෂක අංශ වලට  අණ ලැබුනේ කොතනින්ද කියා  සොයා බැලීම වැදගත් වනුයේ  එවැනි සංදර්භයකදිය . සහතිකවම එය  බලගතු හස්තයක් විය යුතුමය.

එසේ අණ දුන් අය මෙවැනි නින්දිත  ප්‍රහාරයකින් බලාපොරොත්තු වු දේ සුපැහැදිලිය සෑබැ මහජන නැගිටිම් අමානුෂික ලෙස හෝ යටපත් කිරිමට තමන් සුදානම් බවට ප්‍රතිඥාවක්  රටට දිමේ අවශ්‍යතාව රජයට පැවති බව පැහැදිලිවම  පෙනෙන්ට තිබුනි. “වැඩිය නැටුවොත් බලාගෙනයි” රජය දිමට සැරසුනු පණිවුඩය එය විය. නමුත් අවසානයේ දී එය රජයටම පාරාවලල්ලක් බවට පත් වුනි. ඒ  මර්ධනය හමුවේ නොසැලෙමින් රජයට පාඩමක් ඉගෙන්විමට වැලිවේරියේ ජනතාව කටයුතු කල  බැවිනි, වැලිවේරියේ විරෝධාර ජනතාව ලබාදුන් ඒ ආදර්ශය අනුව මුළු රටම වැඩ වැඩකරන්නට පටන්ගත්තොත් මේ රජයේ අවසානය වැඩි ඈතක නොවේ.

මේ බියගුළු ප්‍රහාරය සඳහා අණ දුන් පුද්ගලයා අධිකරණය හමුවට  වහා ගෙන යා යුතුය. වෙඩි තැබු, පහර දුන් අය පමණක්  නොව අවසානයේ  අණ ලබා දුන් පුද්ගලයන්වද  අධිකරණය හමුවට පැමිණවිය යුතුය. එසේ නොමැතිව  රූකාන්ත, චන්ද්‍රලේඛා  සිද්ධියේදී   සිදු වු  ආකාරයට ගෝලබාලයන් පමණක් නීතිය හමුවට ඉදිරිපත් කිරිම  ප්‍රමාණවත් නොවේ. මේ සිද්ධියේදී ජීවිතක්ෂයට පත් වුවන්ට සැබෑ සාධාරණය ඉටු වනුයේ එවිටය.

වන්දි මුදල් පිරිනමමින් ජීවිතක්ෂයට පත් වුවන් හා ඔවුන්ගේ සමිපතමයන් මාධ්‍ය තුල”විකිණිම” වෙනුවට මාධ්‍ය සංදර්ශන පැවැත්විම වෙනුවට ඊට එහා ගිය වැඩ පිළිවෙලක්  මේ ප්‍රශ්ණය පිළිබදව දැන්වත් ආණ්ඩුවට තිබිය යුතුය. මියගිය පුද්ගලයන්ට සැබෑ ගෞරවය පිරිනැමිය හැක්කේ ඔවුන් ජිවිත පරිත්‍යාග කල අරමුණට සාධාරණය ඉටු කිරිම මගිනි. නමුත් එය රජය  තේරුම් ගෙන ඇත්ද යන්න නම් සැක සහිතය.

පසුගිය කාලයේ සිදුවු බොහොමයක් සිදුවිම් වලදී මෙන්, පරික්ෂණ පවත්වන බව කියමින්  අත පිහ දා ගැනිමට මෙහිදි රජය සැරසෙන බව  පෙනෙන්ට තිබේ. රජය මේ මොහොතේ සැබවින්ම කළ යුක්තේ පරික්ෂණ  පැවත්වෙන බව කියමින්  කල් මැරිම නොව,  මෙවැනි සිදුවිම්  මුලින් උපුටා දැමිමට කටයුතු කිරිමය. අනෙක් අතට මෙය  වැලිවේරියෙ ජනතාවට පමණක් මුහුණ දිමට සිදුවු ප්‍රශ්ණයක් නොව  සමස්ථ ජනතාවට  මුහුණ පෑමට සිදුවු  පොදු ප්‍රශ්ණයක් බව රටේ සියළුදෙනා  අවබෝධ කර ගැනිම වැදගත් ය  ” ලබ්බට තැබු අත පුහුලටත් තබනවා ‘‘  යැයි කථාවක් අපේ ජන වහරේ ඇති බව   සැවෝම මතක තබා ගැනිම වැදගත්ය.

Back to Home page