Colombo Telegraph

මහින්ද රාජපක්ෂගේ ‘අපූරු අදහස්’

කැත් නෝබල්

කැත් නෝබල්

මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ ‘සිව්වැනි පර්ෂදය’ වශයෙන් ගැනෙන මාධ්‍ය ක්ෂේත‍්‍රය විධිමත්ව පාලනය කිරීමේ යාන්ත‍්‍රණයක් ඒ මගින් ඇති කර ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වූවාට සැක නැත. ඔහුගේ අවාසනාවට මෙන්, එම ලියවිල්ල මොන තරම් සදොස් ද යත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින ඔහුගේ හෙංචයියන්ට පවා එය දිරවාගත නොහැකි විය. සත්තකින්ම ඒ කෙරෙහි ගොඩනැගුණු විරෝධය බොහෝ දුරට ඒකමතික විය. අවසානයේ ජනාධිපතිවරයාටම මැදිහත් වී ඒ කටයුත්ත ආපසු මාධ්‍යව්දීන්ටම බාර කිරීමට සිදුවිය.

ඒ ප‍්‍රයත්නය ව්‍යර්ථ වූ තත්වය තුළ, විකල්පයක් කෙරෙහි දැන් මහින්ද රාජපක්ෂ තත්පරව සිටී. ස්වයං=වාරණයක් සඳහා වන අදහස් වැපිරීම ඔහුගේ වර්තමාන රාජකාරියයි. පුවත්පත් කතුවරුන් සමග පැවැත්වෙන සතිපතා හමුවේ දී, ගිය සතියේ ඔහු අපූරු අදහසක් ඉදිරිපත් කෙළේය. එනම්, අන්තවාදී සංවිධාන උරදෙන මුස්ලිම් විරෝධී ක‍්‍රියාවන් මාධ්‍ය මගින් ආවරණය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු ය යන්නයි. ‘‘ප‍්‍රසිද්ධියක් නොලැබෙන කොට ඒවා නිකංම දියවෙලා යාවි’’ යැයි ඔහු කියා ඇත.

එවැනි යෝජනා සාමාන්‍යයෙන් ඉදිරිපත් කෙරෙන සන්දර්භය ඔහු නොදන්නේ ද යන සැකය මෙහි දී කෙනෙකු තුළ ඇතිවේ. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් ඇති වූ සැණින් බටහිර රටවල කියැවෙන එක් අදහසක් මගේ මතකයට නැගිණ. එනම්, ත‍්‍රස්තවාදියාට අවශ්‍ය කරන දේ නොදිය යුතු බවයි. ත‍්‍රස්තවාදය සාර්ථක වීමට නම්, මාධ්‍යයේ සහභාගීත්වය අවශ්‍ය කෙරේ. කවුරුත් දන්නා පරිදි, සාමාන්‍යයෙන් ඕනෑම වසරක දී, අල් කයිඩා සංවිධානයෙන් ඝාතනය කරනු ලබන මිනිසුන් සංඛ්‍යාවට සමාන ප‍්‍රමාණයක් ඇමරිකාවේ පාසල්වල සිදුවන වෙඩි තැබීම්වලින් මියයති. ඊටත් වඩා මිනිසුන් ප‍්‍රමාණයක්, වැඩිහිටියන් විසින් වෙඩි තබා ඝාතනය කෙරේ. එසේ තිබියදීත්, ත‍්‍රස්තවාදය පිළිබඳ භීතිය අර කී සියල්ලට වඩා බෙහෙවින් උග‍්‍ර ය. එය, මුළුමණින්ම අතාර්කික මනෝභාවයකි.

එහෙත් ඒ ගැන අල් කයිඩා සංවිධානය නම් එක හිතින් සතුටට පත්වෙයි. එසේම, එවැනි මනෝ භාවයක් දිගටම පවත්වා ගැනීම සඳහා, ‘ලෝක වෙළඳ මධ්‍යස්ථාන’ ගොඩනැගිල්ල වැනි තැන්වලට අහස් යානා පදවා පුපුරුවා හැරීම වැනි ත‍්‍රස්තවාදී ක‍්‍රියා හැකි තාක් ‘පේ‍්‍රක්ෂණීය’ කිරීමටත් එම සංවිධාන වගබලාගනී.

අල් කයිඩා සංවිධානයේ වැදගත්කම ජනතා සිත්සතන් තුළ අධිතක්සේරුවට පත්වීම ඇමරිකානු ආණ්ඩුවේ ද අභිප‍්‍රායයි. එවිට, ආණ්ඩුව ගෙන යන ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට’ ජනතා සහයෝගය පහසුවෙන් ලබාගත හැකි වන්නේය. එවැනි අභිප‍්‍රායක් ආණ්ඩුවට නැත්නම්, රජයේ ආරක්ෂක අංශ විසින් රටවැසියාගේ විද්‍යුත් තැපැල් ගනුදෙනු රහසින් නිරීක්ෂණය කරනු ලැබීමත්, දුරකථන සංවාදවලට රහසින් සවන්දෙනු ලැබීමත්, ජාතික ආරක්ෂාව සඳහා රටට අත්‍යාවශ්‍ය ක‍්‍රියාකාරකමකැ යි, පුද්ගල නිදහසට ඒ සා හුරු වු ජාතියකට කෙසේ නම් ඒත්තු ගන්වන්න ද? කිසි දවසක තමන් අසාවත් නැති වෙනත් දේශයක සටන් කිරීමට යාම සඳහා රටවැසියන්ව කෙසේ නම් එකඟ කරවා ගන්න ද? සදාචාරමය වශයෙන් ඊටත් වඩා නිහීන උපක‍්‍රම විදේශ රටවල් තුළත් ඇමරිකාව විසින් අනුගමනය කරනු ලැබ තිබීම ගැන මේ අවස්ථාවේ කතා කිරීමත් අනවශ්‍යයි.

අල් කයිඩා සංවිධානය ගැන තොරතුරු ජනතාවට දැනුම්දිය යුතු නැතැ යි කිසිවෙකු කියන්නේ නැත. මේ කියන්නේ, අදාළ තර්ජනය පිළිබඳ නිවැරදි චිත‍්‍රයක් ඇඳෙන සේ තොරතුරු සම්පාදනය කළ යුතු බවයි.

පාවිච්චි කළ වචන අනුව බලන විට, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය වැනි ව්‍යපාර, ත‍්‍රස්තවාදී සංවිධාන වශයෙන් මහින්ද රාජපක්ෂ සළකන බවක් නොපෙනේ. එසේ යැයි ඔහු සැළකුවේ නම් එවැනි ව්‍යාපාරවලට මාධ්‍යයෙන් ලැබෙන ප‍්‍රසිද්ධිය අවම කිරීම සඳහා වඩාත් සරළ පියවර ඔහුට ගත හැකිව තිබුණි. උදාහරණයක් වශයෙන්, මෑතක දී, ගව ඝාතනයට එරෙහිව කතරගම සිට කොළඹ දක්වා පැමිණි පා ගමන සැළකිල්ලට ගන්න. ඉතා ආශාවෙන් හරක් මස් කන බෞද්ධයන්ගේ ප‍්‍රතිශතය සැලකිල්ලට ගත් විට, මේ කියන පා ගමන සාමකාමීව සිදුවිණි නම්, ඒ ගැන කතා කිරීමක් පවා අවශ්‍ය නොකරන්ට තිබුණි. බෞද්ධයන්ගේ කෑම වට්ටෝරුව වෙනස් කිරීමට බෞද්ධ භික්ෂූන්ට අවශ්‍ය නම්, ඔවුන් එසේ කරපුවාදෙන්. එහෙත් ඔවුන්ගේ අරමුණ වුණේ එය නොවේ. බෞද්ධයන් ඔවුන්ගේ ඉලක්කය නොවුණි. ඔවුන්ගේ පණිවිඩය නිකුත් කෙරුණේ මුස්ලිම් ආගමිකයන් වෙතටයි. හරක් මස් වෙළඳමේ මුස්ලිම් සහභාගීත්වය නතර කිරීම ඔවුන්ගේ ආරම්මණයයි.

තංගල්ලේ මුස්ලිම් මස් කඩයකට ඔවුන් ගිනි තිබ්බේ එබැවිනි. ඔවුන්ගේ ඡුායාරූප ගනිමින් සිටි මුස්ලිම් ජාතිකයෙකුට ඔවුන් පහර දුන්නේ එබැවිනි. පා ගමනේ පරමාර්ථය වුණේ වෙන කිසිවක් නොව, මේ රටේ බෞද්ධයාගේ අණසක යටතේ මුස්ලිම්වරුන් ජීවත් විය යුතු බව ඔවුන්ට දැනුම් දීමයි.

මේ දේවල් ගැන කතා නොකිරීමට අපව පෙළඹවීම සඳහා පාවිච්චි කළ හැකි කාර්යක්ෂම මෙවලමක් ආණ්ඩුව අතේ තිබේ. එහි නම, පොලීසියයි. මේ ක‍්‍රියාකාරකම් සිදුවෙන සැටි පැත්තකට වී බලා සිටීම වෙනුවට, ඊට මැදිහත් වී නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලීසියට පිළිවන් විය යුතුය. මෙවැනි සිදුවීම් සඳහා ආරක්ෂාව සපයන විට, පොලීසිය ආරක්ෂාව සපයන්නේ පහර කැමට ලක්වන්නන්ට නොව, පහර දෙන්නන්ට බව මේ වන විට අපි දනිමු. අන්තවාදි සංවිධානවල සාමාජිකයන් යකා නටද්දී පොලීසිය ඔහේ බලා සිටින සැටි අප අනන්තවත් දැක තිබේ. මෙවැනි අවස්ථා වලදී පොලීසිය සිය රාජකාරිය ඉටු කරයි නම්, ඒ ගැන විශේෂයෙන් ලිවීමට හෝ කීමට දෙයක් මාධ්‍යවේදීන් වශයෙන් අපට ඉතිරි වන්නේ නැත.

අපේ තත්වය ඇමරිකාවේ තත්වයට මූලික වශයෙන් වෙනස් වන්නේ මෙතැනදී ය. ත‍්‍රස්තවාදීන්ව අල්ලා ගැනීම සඳහා ඇමරිකානු පොලීසිය තමන්ට කළ හැකි සියල්ල කරන බව එරට වැසියෝ හොඳින්ම දනිති. බෝම්බ පුපුරුවා හැරෙන විට ඇමරිකානු පොලීසිය අහක බලාගෙන ඉන්නේ නැති බව නම් සහතිකයි.

අපේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් කොට දින්නේය. රටවැසියන්ගෙන් වැඩි පිරිසක් ඊට බෙහෙවින් කෘතඥ වෙති. ලංකාවේ රාජ්‍යයට එල්.ටී.ටී.ඊ. සංවිධානය එල්ල කළ අභියෝගය සුළුපටු නැත. එය, රටේ ජනතාවට දැරීමට සිදුවූ රුදුරු බරකි. එම සංවිධානය පෙනී සිටින්නේ යැයි කී ජනතාවට ද එය මහත් පීඩාවක් විය.

අන්තවාදී සංවිධානවල ක‍්‍රියාකාරකම් මැඩලීමට ආණ්ඩුවක් ක‍්‍රියා නොකරන්නේ නම්, එහි තේරුම, එසේ කිරීමට අවශ්‍යතාවක් ආණ්ඩුවට නැති බවයි. අන්තවාදීන්ට රිස්සක් කර ගැනීමට ඉඩ දුන්නොත් කුමක් සිදුවේද? ජනාධිපතිවරයා යෝජනා කරන පරිදි, නිකංම එවැනි සංවිධාන දියවී යයි ද?

එල්.ටී.ටී.ඊ. සංවිධානය එසේ දියවී නොගියේය. එය, දිය කර හැරීමට සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැනත් අහක බලාගෙන සිටියේ නම්, වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා එම සංවිධානය එක දිගටම ක‍්‍රියාත්මක වෙනු ඇත. සමහර විට ඔවුන් එය සාර්ථක කර ගැනීමටත් ඉඩ තිබුණි. කොටි සංවිධානයේ කොඩි ලෙළවමින් කෑකෝගසන පිරිස් තවමත් විදේශ රටවල සිටින බව අප ආවරණය නොකළ යුතු ද?

ඒ ආකාරයෙන්ම, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය වැනි සංවිධානවල මුස්ලිම් විරෝධී ක‍්‍රියාකලාප පරාජය කළ හැක්කේ ඒවා ගැන වාර්තා නොකර සහ කතා නොකර සිටීමෙන් නොව. එම ක‍්‍රියාකාරකම් නිසි කාලයේ පාලනය නොකෙරෙතොත්, මුළු රටකම සිත්සතන් ¥ෂ්‍ය කරමින් නිදහසේ යන්නට එවැනි සංවිධානවලට අවස්ථාව සැලසෙනු ඇත. සමහර විට තවත් එහාට ගියොත්, කෙලින්ම වෙනත් ප‍්‍රජාවන් සමග අභිමුඛ වෙන මහ පරිමාණයේ ගැටුමකට ද මගපෑදිය හැකිය. ඒ නැතත්, අඩු වශයෙන්, තමන්ට ඕනෑ අන්දමින් ජීවත් වීමට මුස්ලිම් ජාතිකයන්ට ඇති අයිතිය ඔවුන්ගෙන් පැහැර ගැනීමට පිළිවන. මේ අන්තවාදීන් කෑකෝගසන තෙක්, මේ රටේ අති මහත් බෞද්ධයන්ට මොන විදිහකිනිවත් කිසි ප‍්‍රශ්නයක් නොවුණු හලාල් සහතිකය ඉවත් කර දැමීමට දැනටමත් ඔවුන් සමත්ව තිබේ. ඔවුන්ට අද අභියෝග නොකරන්නේ නම්, හෙට ඔවුන් ඊළඟ පියවර තබනු ඇත.

මේ කලබැගෑනි මැද්දේ පසුගිය මාස කිහිපය තුළ එකම නිස්කලංකයක් විණි නම්, එය ඇති වුණේ මේ අන්තවාදීන් ගැන සිදුකෙරුණු කර්කශ මාධ්‍ය ආවරණයට පින්සිදු වන්නටයි. ඒ මගින් ඇතැම් ප‍්‍රති=විරෝධතා ව්‍යාපාර ගණනාවක් ද කොළඹ දී සංවිධානය කෙරුණි.

මොවුන්ගේ ක‍්‍රියාකලාපයන් ගැන ඇති කෙරෙන තෙරපීම සැහැල්ලූ කිරීම වෙනුවට ඇත්ත වශයෙන්ම කළ යුතුව ඇත්තේ තවත් ඒ තෙරපීම තීව‍්‍ර කිරීමයි.

මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශ නිර්ණය කිරීම ගැන ජනාධිපතිවරයා මැදිහත් නොවිය යුත්තේ එබැවිනි. රටට යහපතක් වන්නේ කුමක් දැ යි සිතීමට වඩා, තමන්ට සහ තමන්ගේ අනාගතයට යහපතක් වන්නේ කුමක් දැ යි සිතීමට දේශපාලඥයන් ශූර ය. ඒ දෙක, එකක් නොවීම, ජනතාවගේ පැත්තෙන්, කණගාටුවට කාරණයකි. මේ කාරණයේදීත්, මෙවැනිම තවත් සිදුවීම්වලදීත් මහින්ද රාජපක්ෂ මැදිහත්ව ඇති ආකාරය, එම වෙනස පැහැදිළිව පෙන්නුම් කළ අවස්ථාවන් ය.

Mahinda Rajapaksa’s ‘Bright Ideas’ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page