Colombo Telegraph

ජනාධිපතිවරණය: බලව්‍යුහයේ කඩා වැටීම හා අලුත් බල කේන්ද්‍රයක ගොඩනැගීම

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2005 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතිශයෙන් වැදගත් වන කරුණු කිහිපය අතර ලාංකික සමාජයේ සංස්කෘතික සාධකයට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. එය සරළව පැහැදිලි කළහොත් එතෙක් සැගවුණු අශිෂ්ඨ මානව ලක්ෂණයක් ලෙස ග්‍රාම්‍යව පැවැති ඒකීයවාදී සිංහල බෞද්ධ සීමාන්තික දේශපාලන මතවාදයට නිල වශයෙන් රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් යැයි කිව හැකිය.

රාජපක්ෂ රෙජීමය මේ දක්වා සුවිසල් මැතිවරණ ජයග්‍රහණයන් ලැබුවේ ද සමාජයේ මේ ධ්‍රැවීකරණය වූ දේශපාලන සීමාන්තිකයන් පෝෂණය කරමිනි. සිංහල බෞද්ධ රාජ්‍යයේ පැවැත්මට භොතිකව අභියෝග කළ අයෝමය සතුරා වෙල්ලමුල්ලවෙක්කාල් වැල්ලේ දී නිහඩ වූයේ අලුත් සතුරකු නිර්මාණය කරමින් යැයි පැවැසිය හැකිය. යුද්ධය මනා ලෙස කළමනාකරණය කරමින් ඒ ගමනේ කූට ප්‍රාප්තියට ආ රාජපක්ෂ රෙජීමයට දැන් අලුත් සතුරකු නිර්මාණය වී තිබේ. 2010 දී අලුත් සතුරෙකු නිර්මාණය වූ අතර 2014 දී වෙනත් සතුරෙකු නිර්මාණය වී තිබේ. පළමු සතුරා මිලිටරමය වූ අතර දෙවැනි සතුරා දේශපාලනික වීම රෙජීමයට වඩා භයානක අත්දැකීමක් වී ඇත. යුද්ධයේ අඛණ්ඩ පැවත්ම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය විසින් ආමන්ත්‍රණය කළ සමාජ තීරුව මේ වනවිට දෙකට බෙදෙමින් පවතින අතර එහි වගකීම රෙජීමයේ අලුත් සතුරාට හිමිවන බව නොකිවයුතුමනාය.

ලාංකික සමාජය අලුත් දේශපාලන මානයන්ගෙන් ධ්‍රැවීකරණය වනවිට ඒ දේශපාලන බලමුළු ගැන්වීමට අභියෝග කිරීමට සමත් ශක්තිමත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් මෙරටේ නොතිබුණි. සමාජ බලයක් හිමි සියළු දේශපාලන ව්‍යාපාර රෙජීමයේ මතවාදයම පුනරුඡ්චාරණය කළහ. නැතහොත් එය යථා පරිදි නියෝජනය නොකරන්නේ යැයි රෙජීමයට චෝදනා කරමින් එම මතවාදයේ සැබෑ නියෝජිතයා වීමට උත්සාහ ගත්හ. ඒ අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍යය හා එක පෙලට සිට ගනිමින් රෙජීමය ආමන්ත්‍රණය කරන සමාජ තීරුවේ වඩා ශක්තිමත් නියෝජනය සදහා පොර බැදුනහ. දැන් ඒ සටන අභියෝගකාරී අවසානයක් කරා එමින් පවතී. ඒ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ ප්‍රබල ඇමතිවරයකු වූ මෙත්‍රීපාල සිරිසේන බල කේන්ද්‍රයෙන් ඉවතට ගනිමින් නව බල කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට විපක්ෂ සංධානයට හැකිවීම සුවිශාල ජයග්‍රහණයකි.

ලාංකික දේශපාලනයේ මතුවී එන මේ ප්‍රවනතා සම්බන්ධයෙන් සමගාමී බවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ගෝලීය දේශපාලන හැසිරීම් අතර පවතින බවක් මෙතෙක් දක්නට නොලැබුණි. වරක් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් යුද්ධය කාලයේ සිදුවූ විශාල මිනිස් ඝාතන ඇතුලත් මානව හිමිකම් කඩ කිරීම් ගැන බරපතල චෝදනාවක් එල්ල කළේ ය. එහෙත් ඒ දිනවලම ශ්‍රී ලංකා රාජ්‍යයට ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් විසදා ගැනීමට විශාල මූල්‍ය පහසුකමක් ලබාදුන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලාංකික සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවීම රටේ ආර්ථික ස්ථාවරත්වයට හානිකර යැයි ප්‍රකාශ කළේය. බලය බෙදීමේ ශක්තිමත් දේශපාලන යෝජනාවක් ගෙන එන්නෙමියි කියමින් රාජපක්ෂ රෙජීමය විසින් ඉන්දියාව නොමග යැව්ව ද පසුගිය කාලය පුරා ඉන්දීය මධ්‍යම රජය උත්සාහ ගත්තේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට රාජපක්ෂ රෙජීමයෙන් යම් සහනයක් ලබා දීමටය. ඒ අනුව ලාංකික දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් මානවවාදී හැගීමක් හෝ සමාජ සාධාරණය සම්බන්ධයෙන් අවංක හැගීමක් හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වන විදෙස් ප්‍රජාවනට ඇතැයි පැවසිය නොහැක.

ගෝලීය දේශපාලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි තීන්දු තීරණ ගන්නේ ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට හානි වන්නේ නම් පමණක් යැයි නිරීක්ෂණ ඇසුරින් පැවසිය හැකිය. නො එසේනම් ඔවුන් තුළ මතුවන්නේ අපැහැදිලි, එකිනෙකට පරස්පර, ආත්මාර්ථකාමී හා අශිෂ්ට අදහස් ගොන්නකි. ලාංකික සමාජයේ දේශපාලන නැඹුරුව කෙසේ විය යුතුද යන්න හා දේශපාලන සැකැස්ම කෙසේ ස්ථානගත විය යුතු ද යන්න සම්බන්ධව මේ මොහොතේදී ත් ගොලීය දේශපාලනයට ශක්තිමත් හා පැහැදිලි දැක්මක් නොපවතී. එහෙත් ප්‍රබල බටහිර රටවල් කිහිපයක්ම රෙජීමයේ වෙනසක අවශ්‍යතාව දකිමින් බලාපොරුත්තු සහගත අපේක්ෂාවෙන් සිටිති.

ලාංකීය දේශපාලන සමාජ සංවර්ධනයේ පලදායි මැදිහත්වීමකට ගෝලීය දේශපාලන බලධාරීන් පෙළඹෙන්නේ නැත. ඒ ඔහුන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් නොමැති බැවිනි. ගෝලීය බලධාරීන්ට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා භූමියේ සන්සුන්තාවයි. ඒ හැරෙන්නට මානවවාදී හැගීමක් ලාංකික දේශපාලනය සම්බන්ධයෙන් ඔහුන්ට ඇතිවන්නේ නැත. නමුත් ප්‍රාග්ධනය පොම්ප කරමින් ක්‍රමයේ පැවැත්ම රුක ගැනීමට ද ක්‍රමයේ තුල්‍යතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් දේශපාලන නායකත්වය මාරු කිරීමට ද ඔවුහු පසුබට නොවෙති. මේ මොහොතේ දීත් ගෝලීය බලධාරීන් ඉන්නේ එවැනි ස්ථාවරයකය යන්න වඩාත්ම පැහැදිලි කරුණකි.

රාජපක්ෂ රෙජීමයේ සමාජ සම්මුතීන් අනුව පුළුල් ශ්‍රී ලාංකික සමාජ කණ්ඩායම ආමන්ත්‍රණය කිරීමට එයට නොහැකිය. යම් යම් පුද්ගල සාධකයන්ට ඒ සදහා අවශ්‍යතාවක් තිබුණ ද රෙජීමයේ පදනම් සමාජ තීරූන් හා එකගතාවක් නොමැතිව අවශ්‍යතා තෘප්ත කරන්නට යෑම ප්‍රති විරෝධතා ඇති කිරීමට හේතු වේ. නො එසේනම් රෙජීමය නැවත ස්ථාන ගත වීමක් මගින් අලුත් සමාජ සම්මුතීන් කරා ගමන් කළ යුතුය. මේ මොහොතේ සිදුවන දේශපාලන පෙල ගැස්වීම් අනුව මේ කිසිවක් කිරීමට රාජපක්ෂ රෙජීමය අසමත් වේ. එසේනම් විවරවන සමාජ දේශපාලන ඉඩකඩ හමුවේ පොදු විපක්ෂ බලවේගයට පැවරී ඇත්තේ සුවිසල් අභියෝගයකි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් ලබාදීමේ දී පුළුල් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එය සිංහල බෞද්ධ සමාජ තීරුවේ සීමාවන් ඉක්මවන දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජාතීන් ද සතුටට පත් කරන්නා වූ වැඩ පිළිවෙලකින් පරිපූර්ණ විය යුතුය. පොදු විපක්ෂ බලවේගයට එවන් හැකියාවක් ඇත්නම් එය සතුටට කරුණකි. එහෙත් පොදු විපක්ෂ බලවේගයේ සමාජ පදනම් පටු අභිලාෂයන්ගෙන් පරිපූර්ණ සරළ දැක්මකින් යුක්ත වන අතර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතල තීන්දු ගැනීමකට යෑමට තරම් මෝරා නැත. ධ්‍රැවීකරණය වූ දේශපාලන තත්ත්වයන් තුළ විකල්ප දේශපාලන කණ්ඩායම් ද මේ විෂය සම්බන්ධයෙන් අවලංගු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ රික්තය තුළ පීඩිත ජාතීන් නැවත හුදකලා වන අතර වර්ගවාදී මහ ජාතිවාදී දේශපාලන බල මුළු ගැන්වීම් මත පරපෝෂිතයකු ලෙස අවස්ථාවාදය වැළද ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුන්ට ඉතිරි නොවේ. මහ ජාතිවාදී ලෙස සිංහල සමාජය ධ්‍රැවීකරණය වීමත් පීඩිත ජාතීන් හුදකලාවීමත් නැවතත් ලාංකික දේශපාලනය හැල හැප්පීම් වලින් ගහණ ප්‍රති විරෝධතාවන්ගෙන් යුත් වඩා සුවිශාල අර්බූදයකට තල්ලු කරයි.

මේ සම්බන්ධයෙන් වඩා පුළුල් හා සාරගර්භ සංවාදයක් ආරම්භ කිරීමට නම් ශක්තිමත් ධනපති ච්න්තකයන් ලාංකික දේශපාලන භූමියේ සිටිය යුතුය. එහෙත් ඒ තබා ශක්තිමත් ධනපති පංතියක් වත් ශ්‍රී ලංකාවේ නොමැත. ධනපති පාලකයන් හා කේවල් කළ හැකි ශක්තිමත් වාමාංශයක් ද නොමැතිවීම වඩා කණගාටුදායකය. මේ තත්ත්වය තුළ තවත් සැලකිය යුතු කාලයක් ලාංකික දේශපාලනය අයාලේ යෑම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි කරුණකි.

වෙන කවර අවස්ථාවකටවත් වඩා ප්‍රබල ලෙස රාජපක්ෂ රෙජීමයේ බල හෙජමොනියට අභියෝග කිරීමට විපක්ෂ බලවේගයට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදී ඉසව්වකින් බැලූ විට ජනතා ජයග්‍රහණයකි. විධායක ජනාධිපති ක්‍රමය වඩා ශක්තිමත් කළ ව්‍යවස්ථාදායකයේ 2/3ක බලය මේ වනවිට අහිමි වීම ඒ අතුරින් ප්‍රබල කරුණකි. එමෙන්ම රෙජීමය බිද හෙළිය හැකි එකක් යැයි ජන මනස තුළ ශක්තිමත් හැගීමක් ඇතිවීම තවත් කරුණකි. මේ සියල්ල කළ හැකි වූයේ මෙත්‍රීපාල සිරිසේන නැමැති දේශපාලන සාධකය නිසා ය.

1978 විධායක ජනාධිපති ක්‍රමය මගින් ස්ථාපිත දේශපාලන සංස්කෘතිය තුළ රෙජීම් මාරු කිරීම දුෂ්කර කටයුත්තකි. විපක්ෂ බලවේග මුළුමනින්ම අක්‍රිය කරන සාධක විධායක ජනාධිපති ක්‍රමය තුළ ඇති නිසා රාජ්‍ය පාලනයේ දී ඇති වන්නේ ”වන් හෝස් රේස්”’ එකකි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවත් බොහෝ විචාරකයන් රාජ්‍යයේ ස්ථාවරත්වය ලෙස දුටුවේ එයයි. එහෙත් එහි ප්‍රතිවිරෝධය ක්‍රමය තුළම ගැබ්ව තිබීම හාස්‍යජනක කරුණකි. 1994 දී ත් 2015 දී ත් විපක්ෂ බලවේගයන්ට රාජ්‍ය බලය ගැනීම සදහා ශක්තියක් ලබාදෙන්නේ රාජ්‍යය මෙහේය වන කණ්ඩායමේ අභ්‍යන්තර පුපුරා යෑම් ය. දේශපාලනික පරිවර්තනයක් සදහා බාහිර ශක්තියක් ඇත්නම් ඇත්තේ විදේශ බලවේගයන්ට පමණි.

කෙසේ හෝ මෙත්‍රීපාල සිරිසේන විසින් රාජපක්ෂ රෙජීමයේ බලව්‍යුහයට එල්ල කළ අභියෝගය ප්‍රශංසනීය මට්ටමේ පවතී. පෙළ ගැස්වෙන කාරණාවන් අනුව ප්‍රබල දේශපාලනික පරිවර්තනයක් රටේ ඇති කිරීම සදහා රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත්‍රයන් තවදුරටත් බාධා නොකරන බව ස්ථිරය.

*කේ.ජී. පිලිප් ශාන්ත – shan.info1978@gmail.com

Back to Home page