Colombo Telegraph

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු කම්කරුවන් පිරිසක් සිංහල ගැමියන් සමග කෝලාහලයට පැටලූණේ මේ සතියේ ය. එහි සිටි යම් සිංහල තරුණ පිරිසක් දෙමළ තරුණියන්ට නොමනා උසුළුවිසුළු කිරීමත්, එම දෙමළ තරුණියන්ගේ හිතවත් දෙමළ තරුණයන් පිරිසක් ඉන් කෝපයට පත්වීමත් මෙම ගැටුමට තුඩුදී ඇති බව කියැවේ.

දේශපාලනික-ආගමික නඩවලින් ඇවිස්සෙන ආක්‍රෝශ පරිභව

මෙය, පමණට වඩා දිග්ගැස්සුණු විනෝදය හේතුවෙන් හටගන්නා තාවකාලික ගැටුමකින් අවසන් වන්නට තිබුණි. එහෙත් එය ඊට වඩා ලොකු ප‍්‍රශ්නයක් දක්වා ඔඩුදිව්වේය. කාලයක් තිස්සේ ජන කොටස් අතර යටින් පැසවමින් තිබූ ආතතීන් මේ සිද්ධිය හරහා මතුපිටට පැමිණීම නිසා, මේ සුළු ආරාවුලට සම්බන්ධ වූ තවත් ගම්වාසීහූ, දෙමළ වතු කම්කරුවන් ජීවත් වූ ගෙවල්වලට ගල් ගැසූහ. කෙසේ වෙතත්, පළාතේ ප‍්‍රජා වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් තත්වය සමනය කර ගැනුණත්, දෙපිරිස අතර කෝලාහලයට පාර කැපූ අවිශ්වාසය තවමත් එහි ඉතිරිව තිබේ.

මේ රටේ ජීවත් වන විවිධ ප‍්‍රජාවන් අතර පසුගිය මාස කිහිපයේ හටගත් ගැටුම්කාරී සිදුවීම් තුළින් කරලියට පැමිණි අන්තර් වාර්ගික ආතතීන් තුළ දක්නට ලැබුණු අශෝභන ස්වභාවය මේ සිද්ධිය මගින් යළි සිහිපත් කරවන ලදි. ආගමික වේශයෙන් පසු ගිය කාලයේ මොරදුන් ආගමික කල්ලිවල දරුණු ජාතිවාදී ආක්‍රෝශ පරිභවවලට මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජාතීන් ගොදුරු වූ බව අපි දනිමු. එවැනි ව්‍යාපාරවලට කිසි බාධාවකින් තොරව කටයුතු කිරීමේ නිදහස මේ ආණ්ඩුව මගින් පවරා ඇති තත්වය තුළ, ස්වාභාවිකවම, සාමාන්‍ය ගැටුමක් වුවත් කායික ප‍්‍රහාරයන් දක්වා වර්ධනය වීමට තුඩුදෙන්නේය.

ඉටිපන්දම් අතින් ගත් සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම

බොදුබල සේනාවේ මුස්ලිම් විරෝධී ආරෝවට එරෙහිව මේ රටේ පුරවැසියන් පිරිසක් පසුගිය දවසක හැව්ලොක් ටවුමේ අවිහිංසක විරෝධතාවක් දියත් කළ අවස්ථාවේ ඔවුන්ට එරෙහිව බොදුබල සේනා පිරිස් හැසිරුණු ප‍්‍රචණ්ඩකාරී වාතාවරණය, මේ රටේ අද පවතින වෛරයේ තරමත්, එසේ වෛරය වපුරන්නන්ට පොලීසියෙන් ලැබුණු අවිචාරවත් සහයෝගයේ තරමත් මනාව පෙන්නුම් කෙරුණි. එම ඛේදනීය තත්වය කෝලමක් බවට පත්කරමින් පොලීසිය නතර වුණේ, ද්වේෂ සහගත කෑකෝගැසීම් හරහා රටේ දණ්ඩනීති සංග‍්‍රහය උල්ලංඝණය කළ අයවළුන් වෙනුවට සාමකාමීව ඉටිපන්දම් අතින් ගත් විරෝධතාකරුවන්ව අත්අඩංගුවට ගැනීමෙනි. මේ රට පත්ව ඇති තත්වය එය ද? උලූප්පා ප‍්‍රදර්ශනය කෙරෙන සාමයේ යාමයක අපට හිමිවන්නේ එය ද?

ඉටිපන්දම් අතින් ගත් සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම

ආණ්ඩුවේ සහ එහි සහචරයන්ගේ මතයට පමණක් නිදහස සැලසෙන ප‍්‍රතිපත්තිය, ව්‍යාජ හේතූන් මත සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම තුළින් නිරාවරණය වීම, අළුත් දෙයක් නොවේ. අතුරුදහන් වුවන්ගේ පවුල්වල සාමාජිකයන්, ¥ෂණයට එරෙහිව හඩ නගන වෘත්තීය සමිති ක‍්‍රියාධරයන් සහ සිය ඉඩකඩම් හිතුවක්කාරීව අත්පත් කර ගැනීම්වලට විරෝධය පාමීන් සාමකාමීව හඩ නගන ගැමියන්ට එරෙහිව පවා පොලීසිය මෙසේ හැසිරෙනු අප අත්දැක තිබේ.

මෙවැනි සිදුවීම්වලට අදාළ නීතිමය තත්වය ඉතා පැහැදිළි ය. සාමකාමී විරෝධතාකරුවෙකු නීතිය උල්ලංඝණය කෙළේ යැයි තර්ජනයට ලක්වීමට නීතියෙන් ඉඩක් නැත. නීතිය හා සාමයට බාධා පැමිණවිණැ යි කරන පොලීසියේ දියාරු තර්ජන නීතියට අනුකූල නැත.

විරෝධය පෑමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක අනිවාර්ය අංගයකි

විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු වශයෙන් සිටියදී ඉතා ඝෝෂාකාරී අන්දමින් එකී අයිතිය අභ්‍යාස කළ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ තරම් ඒ ගැන දන්නා කෙනෙකු තවත් නැත. විරුද්ධ පක්ෂයේ සිටියදී ඔහු නායකත්වය දුන් ‘ජන ඝෝෂා’ ව්‍යාපාරය තහනම් කරන්නැ යි ඉල්ලා පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික වැදගත්කමකින් යුක්තයි. එදා පැවති ආණ්ඩුවේ ක‍්‍රියාදාමයන් සහ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක් මගින් ‘ජන ඝෝෂා’ ව්‍යාපාරය දියත් කෙරුණි.

එදා මේ විරෝධතාකරුවන්ට පහර දුනි. කඳුළු ගෑස් ප‍්‍රහාරයන්ට ලක්කෙරුණි. පොලීසියේ මේ ක‍්‍රියාවන් හෙළාදකිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එදා මතක් කර දුන් පාඩම ඉතා ප‍්‍රකට ය: ‘‘ආණ්ඩුවලට හෝ දේශපාලන පක්ෂවලටත්, ඒවායේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙලටත් සහාය දැක්වීමට හෝ විරෝධය පෑමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික අංගයකි. භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම, සකල සිවිල් සහ දේශපාලනික ආයතනික ව්‍යුහයේ අරටුව වන නිදහස සහ සාධාරණත්වය පිළිබඳ මූලික ප‍්‍රතිපත්ති උල්ලංඝණය කිරීමකි.’’ (අමරතුංග එදිරිව සිරිමල් සහ වෙනත් අය (1993* 1 ශ‍්‍රී එල්.ආර්. 264).

ගතවූ දශක ගණනාව තිස්සේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වර්ධනය කෙරුණු මේ ප්‍රෞඪ නෛතික ප‍්‍රමිතීන් අද වන විට සුළෙඟ් ගසාගෙන ගොස් ඇති සෙයකි. දැන් ඒවා, මෘග යථාර්ථයක් මගින් අශික්ෂිත අන්දමින් හෑල්ලූවට ලක්කොට ඇති නෛතික න්‍යායන් පමණි. ඊට අඩුත් නැත, වැඩිත් නැත. රටේ අගවිනිසුරුවරියව මන්ත‍්‍රීවරුන් ඉදිරියට කැඳවා නිහීන සේ අපහාසයට ලක්කළ හැකි රටක, දැල්වූ ඉටිපන්දමක් අතින් ගෙන සාමකාමී විරෝධයක නියැලෙන සාමාන්‍ය පුරවැසියෙකුට ඇති ආරක්ෂාව කුමක් ද? එය ඇත්තෙන්ම, අනුකම්පා දනවන පැනයකි.

විසම්මුතියේ අභීත හඩවල්

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ සාමකාමී විරෝධතා යටපත් කිරීම් සහ ඒවා අවමානයට ලක්කිරීම් ගැන දැනුවත්ව සිටින අපට, දැන් සිදුවෙමින් පවතින දේවල් පිළිගැනීමට පුලූවන් කමක් නැත. මේ අතර, අන්තර්ජාල අවකාශය හරහා මේ මර්දනයට එරෙහිව හඩ නංවන පිරිස් වැඩි වෙමින් තිබීම ප‍්‍රශංසා කටයුතු ය. තමන්ට හෝ තම පවුලේ කාටවත් හිරිහැරයක් නැති තාක් කල් එවැනි සිදුවීම් ගැන අහක බලාගෙන සිටින අයට මෙය ප‍්‍රශ්නයක් නොවේ.

එහෙත්, ආගමික සහ ජාතික ලැව්ගින්නක බියකරු සේයාවන් සහිත පරිසරයක කිසිවෙකුට ආරක්ෂාවක් පිළිබඳ සහතිකයක් නැතිව තිබිය දී, කැස්බෑවන් සේ අප අතර සිටින්නන් අවදි විය යුතු කාලය එළැඹ තිබේ. අප අවට පැතිරෙන වෛරයේ ගිනිසිළු දෙස නොබලා සිටීම දැන්වත් නතර කිරීමට මේ කාලයයි. මාර්ටින් ලූතර් කිං වරක් මෙසේ කීවේය: ‘‘අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඩව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.’’ අපේක්ෂා භංගත්වයෙන් පිරි මේ අසාමාන්‍ය යුගයේ දී ඔහුගේ ඒ වික‍්‍රමාන්විත වචනවලට අප සාවධානව සවන්දිය යුත්තේය.

*What Protection Does A Protestor Holding A Candle Have? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page