Colombo Telegraph

අපේ ආයතනවලට මුලින් ගරු කළ යුත්තේ අප ය

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ශ‍්‍රී ලංකාවේ ආයතන පද්ධතියට අනිත් රටවල් ‘ගරු කළ යුතුව’ ඇති බවට, 2013 නොවැම්බරයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව ඉලක්ක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශය, ප‍්‍රශ්න ගණනක් මතු කරයි.

ආයතනික ස්වාධීනත්වයෙන් උපන් තුලන ගුණය තවදුරටත් නැත

ලංකාවේ ආයතනවලට ලංකාවේ දේශපාලඥයෝ ගරු කරත් ද? රටේ වෙසෙන සාමාන්‍ය මිනිසා හෝ ගැහැනිය ඒවාට ගරු කරන බවක් පෙනෙන්ට තිබේ ද? 2009 න් පසු රාජපක්ෂ පාලනයේ කල්ක‍්‍රියාව තුළ, අපේ ‘ආයතන’ යනුවෙන් අදහස් වන්නේ මොනවා ද?

උදාහරණයක් වශයෙන්, මීට දශක එකහමාරකට පෙර ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු දීම තරමක් පහසු වන්නට තිබුණි. එදා ‘ආයතන’ වශයෙන් අදහස් වුණේ, ආයතනික ව්‍යුහ දේශපාලනීකරණය වීමට එරෙහිව අරගල කළ, සකී‍්‍රය අධිකරණය, මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම සහ නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුව වැනි, ‘ආයතන පද්ධතියකි’. එදා මේ ආයතන, ස්වකීය ව්‍යවස්ථාමය සහ නෛතික කාර්යභාරය තමන් විසින්ම නැති කරගන්නා අඩියකට වැටී සිටියේ නැත.

එහෙත් එවැනි සාවධාන තුලන කාර්යයක් අද එම ආයතනවලින් ඉෂ්ට වන්නේ නැත. ඒ වෙනුවට අද අපට දකින්ට ලැබෙන අමුතු සිදුවීම්, ඉස්සර කාලෙක නම්, ශිෂ්ට සම්පන්න බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ බඩ දඟලවනු ඇත. මේ අයුරින් අද වන විට, අගමැතිවරයා සහ ඔහුගේ පුතා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර කිරීමේ සහ ඔවුන්ගෙන් වාසි ලැබීමේ චෝදනාවක පැටලී සිටිති. (මධ්‍යම පළාත් සභා ඡුන්දයෙන් මේ කියන පුතා විශාල ජයග‍්‍රහණයක් ද ලැබීම, මේ සන්දර්භය තුළ, හරි අපූරු ය). එසේ වතුදු, මේ කියන අය තවමත් සිය දේශපාලනයේ යෙහෙන් වැජඹෙති.

අප ඉන් පුදුමයට පත්විය යුතු ද? තමන්ගේ පක්ෂයේම ජ්‍යෙෂ්ඨයෙකු ඝාතනය කළ බවට චෝදනා ලද, කුඩු ජාවාරම්කරුවෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද වන පුද්ගලයෙකු තවමත් එම මන්ත‍්‍රී ධුරයේ වැජඹීම ගැන සළකා බලද්දී, ඇත්තෙන්ම පුදුමයට පත්විය යුතු නැත. පාලක පක්ෂ දේශපාලඥයන්ගේ එවැනි ගන්දස්කාර කල්ක‍්‍රියාවන් පිළිබඳ නිදර්ශන මෑත කාලයේ අඩුවක් නැතිව අසන්නට දකින්නට ලැබේ. එසේ තිබියදී, අපේ ‘ආයතන පද්ධතිවලිට’ ගරු කිරීම, මේ ආණ්ඩුව පැත්තෙන් ගත් විට, හරියටම ස්ථානගත වන්නේ කොහේද?

නොම්මර එකේ කෝලම් බවට පත්වීම

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය දෙන ලද විනිශ්චයන්ට පටහැනිව, සකල යුක්ති ධර්මය සරදමට හෙලූ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක්, එවක සේවයේ නියුතු අගවිනිසුරුවරියක්ව පරිභවයට ලක්කොට දෝෂාභියෝගයට පැමිණවීම සහ ආණ්ඩුවේ මාධ්‍ය ජාලය ඉන් පසුවත් නොනැවතී ඇය පස්සේ පන්නන විට, එය ආයතන පද්ධතියක් කෙරෙහි දක්වන ‘ගෞරවයක්’ ද?

ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවලට අත්වූ ඉරණම ඊට වෙනස් නැත. අඩු වශයෙන්, මානව හිමිකම් කොමිසමේ එක සාමාජිකයෙක් එම ධුරයේ ව්‍යවස්ථාමය කාර්යභාරය මගින් තමන්ට පැවරෙන ස්වාධීනත්වය ගැන පොට පටලවාගෙන සිටින බවක් පෙනේ. ඔහු අද කරන්නේ, නිර්ලජ්ජීව ආණ්ඩුවට කඬේ යාමකි. මිනිස් අයිතින් බරපතල ආකාරයෙන් උල්ලංඝනය වෙද්දී මානව හිමිකම් කොමිසමේ අධිකාරියට කළ හැකි කෙංගෙඩියක් නැත. මෙවැනි ආයතනයක තිබිය යුතු ස්වාධීනත්වය මෙසේ මස්තබාල්දු වෙද්දී බලාගෙන සිටිය නොහැකි එක් සාමාජිකයෙක් මීට කලකට ඉහත දී එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. ග‍්‍රාම නිලධාරීන්ට සහ දේශපාලනික බලවතුන්ගේ අනුග‍්‍රහයෙන් එළියට වීසි වූ අගවිනිසුරුවරියන්ට එරෙහිව නඩු පැවරීම අල්ලස් සහ දූෂණ කොමිසම විනෝදයක් කරගෙන තිබියදී, අනිත් පැත්තෙන්, ත‍්‍රස්ත-විරෝධී අණපනත් අත්තනෝමතිකව ක‍්‍රියාවේ යෙදවීම ගැන අහක බලාගෙන සිටින මානව හිමිකම් කොමිසම, මැද මට්ටමේ අසරණ රජයේ සේවකයන් පස්සෙන් පන්නා වීර කම් පෙන්නයි.

පිරිසුදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ නිරායුධ ගැමියන්ට හමුදාව වෙඩි තැබීමෙන්, පැත්තක සිටි තිදෙනෙකු ඝාතනය කළ වැලිවේරිය සිදුවීම අළලා මේ මානව හිමිකම් කොමිසම පැවැත්වූ විමර්ශනයට කුමක් වී දැ යි දන්නා කෙනෙකු නැත. එවැනි තත්වයක් තුළ, කොමිසමේ නිර්දේශ වඩාත් ඵලදායී කරනු වස් මානව හිමිකම් මූල නීතියට (1996) ඉදිරිපත් කිරීමට යෝජනා කරන මහ ලොකු සංශෝධන ගැන කෙසේ නම් කෙනෙක් විශ්වාස කරන්න ද?

බලගතු දේශපාලන හස්තයන් මගින් රැුකවරණය වීම

කොරේ පිටට මරේ කීවා සේ, වෙන කිසිවෙකු නොව, අල්ලස් සහ දූෂණ කොමිසමේ සභාපතිවරයාම දූෂණ චෝදනාවට ලක්වීම තුළින් මේ ජාතික කොමිසම අද අන්ත නවනිංගිරාවට මුහුණදෙයි. ඒ අතර, මහජන මුදල් කන්දරාවක් වැය කොට පවත්වාගෙන යන ජාතික පොලිස් කොමිසමට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු, පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි සැබෑ අධීක්ෂණ බලයක් නැතැ යි එම කොමිසම අවංකවම පිළිගනී. අනිත් අතට, සියයට 5.4 ක් වන ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6 ක් වන විදිහට ‘සම්භාහනය’ කරන්නැ යි තමන් වෙත බලපෑම් එල්ල වූ බවට, සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ අධ්‍යක්ෂවරයෙකු මෑතක දී කළ හෙළිදරව්වෙන් පසු, මේ ආණ්ඩුවේ විශ්වසනීයත්වය ගැන කෙනෙකුට තැබිය හැකි විශ්වාසය කුමක් ද?

ඊළඟට, කලක් යුද්ධයෙන් අවතැන්ව සිටි උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩකඩම් අත්පත් කරගන්නා විට ඔවුන්ට කිසි පිළිසරණක් නොලැබන විට සහ යුද්ධයෙන් පසුවත් ඔවුන්ව බිය ගැන්වීම්වලට සහ තාඩනපීඩනවලට ලක්කෙරෙන විට, තත්වය කුමක් ද? ගත වූ හත් වසර තුළ, දණ්ඩ නීති සංග‍්‍රහය හෝ ‘වධ හිංසාවට එරෙහි ප‍්‍රඥප්ති පනත’ වැනි වෙනත් අණපනත් යටතේ විමර්ශනය කොට නඩු පවරා ඇති මානව හිමිකම් උල්ලංඝණයන්හි ප‍්‍රතිශතය, බිංදුවට ආසන්න ය. තවද, දූෂණය සහ ලිංගික අඩන්තේට්ටම් දිනෙන් දින ඉහළ අගයක් දරණ වටපිටාවක, සෑම ජාතියකටම අයත් කාන්තාවන් මුහුණදෙන්නේ බරපතල අවදානමකටයි. ඊටත් වඩා, ලිංගික වෙනස්කම් ගැන අපහාස මුඛයෙන් කතා කරන දේශපාලන විගඩමෙකු රටේ කාන්තා කටයුතු භාර ඇමති ධුරය දැරීම මොන තරම් කරුමයක් ද?

ත‍්‍රිකුණාමලේ දෙමළ ශිෂ්‍යයන් ඝාතනය කිරීම සහ දකුණේ සංචාරක හෝටලයක දී බි‍්‍රතාන්‍ය ජාතික සමාජ සේවකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම ආදී ඇස්පනාපිට පෙනෙන අපරාධවල සැකකරුවන්ව පවා බලගතු දේශපාලන හස්තයන් මගින් ආරක්ෂා කෙරේ. ඒවා සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ නඩු පැවරීම් සිදුවුණේ, ලංකාවට පිටස්තරින් එල්ල වූ බලපෑම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි. මේ අතර, අන්තවාදී බෞද්ධ කල්ලි, එක දිගටම, මුස්ලිම් පල්ලි, ක‍්‍රිස්තියානි පල්ලි සහ හින්දු කෝවිල්වලට පහර දෙති. ඒවාට අදාළ වන රටේ නීතියක් ඇත්තේ නැත.

සතේකට වැඩක් නැති පුහු කෝපය සහ බොරු ඝෝෂාව

ඉතිං, අපේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන බැලීමට ‘ආයතන පද්ධතියක්’ අපට තිබෙති යි කියමින්, ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ හෙංචයි ගිරා පෝතක විදේශ ඇමති ජී. ඇල්. පීරිස් ලෝකයාට පාන විරෝධය, ශ‍්‍රී ලාංකිකයන්ට මෙලෝ සෙතක් ගෙන නොදෙන පුහු කෝපයක් සහ බොරු සද්දක් පමණි.

අපේ ආයතනවලට ගරු කරන්නැ යි පිටදේසක්කාරයන්ගෙන් ඉල්ලා සිටීමට කලින් එම ආයතනවලට ගරු කිරීමට අප පුරුදු විය යුතු බව වටහා ගැනීමට කාලයයි, මේ. අනුන්ට ඇඟිල්ල දිග් කිරීමට අපට හැකි වන්නේ ඉන් පසුව යි.

*Duty Cast On Us To ‘Respect’ Our Systems First නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page