Colombo Telegraph

‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද?

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡුාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය අතිශය කාලෝචිත ය.

ආචාර ධර්මවලින් වඳපීදුනු රජයේ මාධ්‍ය

ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමේ සහ විසම්මුතිකයන් හඹා යාමේ අරමුණින් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගැනීමේ දී, මීට පෙර සිටි අනිත් හැම අශුද්ධවන්ත පාලනයකටම වඩා මේ ආණ්ඩුව අතිශය විෂඝෝර බව, දැනටමත් පෙන්නුම් කොට තිබේ. උදාහරණයක් වශයෙන්, මාස කිහිපයකට පෙර, ශ‍්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ විවේචකයන්ට රජයේ මාධ්‍ය යොදාගෙන, සකල ශීලාචාර ප‍්‍රමිතීන් කඩකරමින් මඩගැසූ ආකාරය අපි දුටුවෙමු. එහි දී, දෝෂාභියෝගයට ලක්වූ අගවිනිසුරුවරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ තමන්ට ප‍්‍රතිවාදී යැයි හැඟුණු අයවළුන්ගේ චරිත ඝාතනය සඳහා ආණ්ඩුවේ දඩබල්ලන්ව ආතක්පාතක් නැතිව යොදාගැනුණේ, අන්ත නිර්දය අයුරිනි.

දඩබල්ලන්ට සුපුරුදු පරිදිම, හාම්පුතා කසය ගසන සැණින්, මොවුහූ කට දෙකොණින් පෙණ දමමින් විළිස්සන්ට වූහ. එයාකාරයෙන්, තමන්ව පමණක් නොව, මුළු රටමත් ඔවුහූ හෑල්ලූවට ලක්කළහ. පොදුරාජ්‍ය මණ්ඩලයේ ඓතිහාසික නීති සම්ප‍්‍රදායකට උරුම කියන ශ‍්‍රී ලංකාව වැනි රටක් සිය ප‍්‍රධාන අධිකරණ නිලධාරිනියට නිර්ලජ්ජී ලෙස අඩන්තේට්ටම් කරන හැටි, අදහාගත නොහැකිව ලෝකයා බලා උන්හ.

දැන්, රටේ මාධ්‍යට සදාචාරය දේශනා කරන්ට එන්නේ එවැනි ආණ්ඩුවකි. මුග්ධත්වයට සීමා මායිම් නැත. එක පිස්සුවක් වැහෙන්නේ, ඊට වඩා ලොකු පිස්සුවකිනි. කරකියාගත හැකි දෙයක් නැති පේ‍්‍රක්ෂකයන් සේ ශ‍්‍රී ලාංකිකයෝ ඒවා දෙස බලා සිටිති.

‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ ප‍්‍රතික්ෂේප කිරීම

තවත් පැත්තකින්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතියක් වශයෙන් ගෙන ඒම එක දිගටම ප‍්‍රතික්ෂේප කරන්නේ, ඊට අදාළව ක‍්‍රමවත්ව සංගෘහිත කළ, (අවංක භාවයෙන් කීර්තිමත් හිටපු නීතිපතිවරයෙකු වන, ජනාධිපති නීතිඥ, අභාවප‍්‍රාප්ත කේ. සී. කමලසබේනස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක)  කෙටුම්පතක් 2004 වසරේ සිට රජයේ ව්‍යවස්ථා කෙටුම්පත් කාර්යාලයේ තවමත් පුස්කකා තබාගෙන සිටින ආණ්ඩුවකි. එවැනි පනතකට විරෝධය පෑම සඳහා ‘ජාතික ආරක්ෂාව’ වැනි ව්‍යාජ හේතු මුල දී ගෙනහැර දැක්වුණි. එහෙත්, මේ කියන අයිතියට ගැනෙන පරිපථයෙන්, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ කාරණය නිදහස් කොට ඇති බව, එවිට නීති විශේෂඥයෝ පෙන්වා දුන්හ. ඇරත්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ තුළ, එය ඉල්ලා සිටින්නන්ගේ හිතුමතේට ඉඩක් ඇතැ යි කියන ආණ්ඩුවේ ප‍්‍රති=තර්කය පුස්සක් බවත්, යම් විවාදාපන්න අවස්ථාවක දී, මහජන අවශ්‍යතා සහ ආණ්ඩුවේ අවශ්‍යතා අතර සියුම් තුලනයක් කිරීමේ කාර්යභාරය අධිකරණයට පැවරෙන බවත් පෙන්වා දෙනු ලැබුණි. ඉන් පසු, එවැනි බොරු අවසර ගෙනහැර පෑම අවසන් වුණි.

දැන් අප ඉදිරියේ ඇත්තේ, මේ මගහැරීම අරභයා පාලකයාගේ පැත්තෙන් බොරුවට හෝ හේතු දැක්වීමක් අවශ්‍ය නැතැ යි සිතන, අන්ත නින්දනීය තත්වයකි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කිරීමට සූදානමක් නැති බවත්, ඒ වෙනුවෙන් නිදහසට කරුණු කීමේ උවමනාවක් ද නැති බවත් කියන්නට අද ආණ්ඩුවට ලජ්ජාවක් නැත. එය, සකල ශීලාචාරකම් පරයන උද්ධච්ච භාවයකි. මේ හිතුවක්කාරී තීරණයේ සිටින, දකුණු ආසියාවේ එකම රට ලංකාවයි. ඒ අර්ථයෙන් ගත් විට, රටේ මාධ්‍ය ප‍්‍රජාව සමස්තයක් වශයෙන් සිටින්නේ, අන්ත අසාර්ථකත්වයකයි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතියේ’ යහපත ගැන කොළඹ පැවැත්වෙන විවිධ සම්මන්ත‍්‍රණවල ආරාධික කථිකයන්ගේ සාරගර්භ කතා කොතෙකුත් තිබියේ වී නමුත්, ඒ තිත්ත ඇත්තෙන් ගැලවෙන්නට අපට පුලූවන් කමක් අපට නැත.

ආණ්ඩුවේ මේ දඩබ්බර ප‍්‍රතික්ෂේප කිරීමේ හරය වශයෙන් පවතින්නේ, මහජන මුදල් පරිහරණය කරන ආකාරය ගැන මොනම පරීක්ෂාවකටවත් ඔවුන් තුළ ඇති නොසූදානමයි. එය, ආණ්ඩුවේ හැම අස්සක් මුල්ලක් නෑරම පවතින ප‍්‍රතිපත්තියකි. විකාර ආචාර ධර්ම පද්ධතියක් හරහා තවදුරටත් මාධ්‍යයේ ගෙල සිර කිරීමට ආණ්ඩුව ගන්නා ප‍්‍රයත්නය එහි ප‍්‍රතිඵලයකි. එබැවින් කිසි දවසක, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කිරීමට මේ ආණ්ඩුව ඉදිරිපත් නොවෙනු ඇත. බලවතුන්ගේ හොඳ හිත නැති කරගත් අගවිනිසුරුවරියකට එරෙහිව සහ තවත් දිස්ත‍්‍රික් විනිසුරුවරයෙකු කළා යැයි කියන ¥ෂණයකට එරෙහිව විදුලි වේගයෙන් ඇවිස්සෙන ‘අල්ලස් සහ ¥ෂණ කොමිසමක්’, දේශපාලන කම්බ හොරුන් පස්සෙන් මත්තටත් පන්නන්නේ නැති බව, ඒ අනුව, සහතිකයි.

ආණ්ඩුවේ වගකීම් කෝ?

කෙසේ වෙතත්, මේ කියන ඊනියා ‘ආචාර ධර්ම පද්ධතිය’ කුමක් දැ යි විමසා බලමු. ‘පුද්ගලයාගේ අයිතීන් සේම, පොදුවේ මහජනයාට දැන ගැනීමට ඇති අයිතියත් මේ ආචාර ධර්ම පද්ධතිය මගින් ආරක්ෂා කෙරෙනු ඇතැ’ යි, එහි මුල් ෙඡ්දවලින් කියැවේ. එහෙත් ආණ්ඩුව මත පැවරෙන විශේෂිත වගකීම් සමහරකින් තොරව, ‘මහජනයාට දැන ගැනීමට ඇති අයිතිය’ (එනම්, තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය) ආරක්ෂා කෙරෙන්නේ කෙසේද? ඒ සන්දර්භය තුළ ආණ්ඩුවට පැවරෙන වගකීම් කවරේ ද? උදාහරණයක් වශයෙන්, ඉහත කී, කුණු කූඩයට ගිය 2004 කෙටුම්පත තුළ, එක්තරා නියමිත වටිනාකමකට වැඩි සෑම ව්‍යාපෘතියකටම අදාළ සියලූ විස්තර සැපයීමට ආණ්ඩුව බැඳී සිටියේය. තමන්ගේ මුදල් රටේ පාලකයන් විසින් වැය කරන්නේ කෙසේ දැ යි දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය ඒ මගින් සුරක්ෂිත කිරීමට අපේක්ෂා කෙරුණි.

ඒ කෙටුම්පත තුළ තවත් වැදගත් කාරණයක් තිබුණි. එහි 34 වැනි වගන්තියට අනුව, ‘දුෂ්කෘත නිවේදකයන්’ (යම් හොරකමක් හෝ ¥ෂණයක් හෝ අක‍්‍රමිකතාවක් පිළිබඳ රහසින් තොරතුරු සපයන්නන්) යම් තාක් දුරකට එම පනත මගින් ආරක්ෂා කළ යුතුව තිබුණි. ඒ අනුව, මේ පනත යටතේ සැපයීමට නීතියෙන් අවසර ඇති ඕනෑම තොරතුරක් යම් රජයේ සේවකයෙකු සපයන්නේ සද්භාවයෙන් යුතුව නම් සහ සපයන තොරතුරු මූලික වශයෙන් නිවැරදි ය යන සාධාරණ විශ්වාසයක් ඇත්නම් සහ යම් අක‍්‍රමිකතාවක් නිසා ඕනෑම පුරවැසියෙකුගේ හෝ පරිසරයේ සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට බරපතල තර්ජනයක අනතුරක් ඇති නම්, එවැනි තොරතුරක් සපයන ‘දුෂ්කෘත නිවේදකයෙකුට’ එම පනත තුළ නීතිමය ආරක්ෂාව සැපයේ. මේ ෙඡ්දය ඇතුළත් කරන ලද්දේ, යම් සේවකයෙකු තුළ ඇති කෝන්තරයක් හෝ අසන්තෝසයක් පෙරදැරිව තොරතුරු හෙළි කිරීම වළක්වාලීම සහ තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය අතර සාධාරණ තුලනයක් ඇති කර ගැනීම සඳහා ය.

අනිත් අතට, මෙම ෙඡ්දය අනුව, තොරතුරු හෙළි කිරීමට කෙනෙකුට ඇති නිදහස පටු කෙරෙති යි කෙනෙකුට හැෙඟන්නට පිළිවන. ඇත්ත වශයෙන්ම නම් සිදුවිය යුත්තේ, යම් නිලධාරියෙකු තොරතුරු සපයන්නේ සද්භාවයෙන් නම්, ඒ හේතුව නිසාම එවැන්නෙකු මෙවැනි නීතියක් මගින් ආරක්ෂා කරගත යුතු බවයි. එහෙත්, වර්තමානයේ පවතින පරිදි කිසිදු තොරතුරක් හෙළි කිරීමට ඇති තහනම ඉදිරියේ මෙය පවා යම් ඉදිරි පියවරකි. කෙසේ වෙතත්, එම කෙටුම්පතත්, තවත් එවැනි වෙනත් දියුණු යෝජනාත් තවම තිබෙන්නේ කුණු කූඩයේ ය. ඊනියා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හරහා ජනතාවට ‘දැන ගැනීමට’ ඇති අයිතියක්, වර්තමාන පාලකයන් ස්ථාපිත කරන්නට සැරසෙන්නේ එවැනි තත්වයක ය.

නොපැහැදිළි සහ බොල් භාෂා භාවිතය

වැරදි තොරතුරක් පළ කළහොත් ඒ ගැන නිවැරදි කිරීමක් පළකොට සමාව අයැදීමක් කළ යුතු බවට, ලංකා කර්තෘ සංසදයේ ස්වයං ආචාර ධර්ම පද්ධතිය තුළ දැනටත් ඇති පැනවීම් නැවතත් මෙම පනතට ඇතුල් කර තිබීමට අමතරව, අයාලේ යන නිර්වචන, සදොස් භාෂා ව්‍යවහාර සහ එකම දේ නැවත නැවතත් කීම වැනි කරුණුවලින් ද, මේ කියන ආණ්ඩුවේ ආචාර ධර්ම පද්ධතිය ගහණ ය. උදාහරණයක් වශයෙන්, අධිකරණයට අපහාස වන කරුණු පළ කිරීම ගැන එක තැනක අවවාද කරන අතරේ, ‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට හානි විය හැකි’ වැනි, බොල් සහ නොපැහැදිළි යෙදුම් මත පදනම් වෙමින්, තවත් තහනම් කිරීම් පැනවෙයි. ‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවය’ යනුවෙන් හරියටම අදහස් කරන්නේ කුමක් දැ යි වටහාගත යුත්තේ තම තමන්ට රිසි පරිදි ය. මේ කියන ආයතනවලින් එකකවත් සුපිළිපන් භාවයක් අද වන විට ඉතිරිව ඇත් ද යන්න තවත් වැදගත් ප‍්‍රශ්නයකි.

වඩාත් භයානක සහ අනාගතයට වඩාත් අනතුරුදායක ඇඟවීම් දනවන්නේ, ‘ජාති-විරෝධී ආකල්ප’ ප‍්‍රවර්ධනය කෙරෙන ප‍්‍රවෘත්තිවලට එරෙහිව කෙරෙන නියෝගත් මේ තුළ අඩංගු වීමයි. ‘ජාති-විරෝධී’ යන්නෙහි ඇත්තම අර්ථය කුමක් ද? මෙය, ‘ආණ්ඩු=විරෝධී’ යන්නට සමාන අරුත් දනවන්නක් විය නොහැකි ද? තවත් වගන්තියකින්, ‘ජනතාව නොමග යවන’ තොරතුරු ගැනත් අනතුරු අඟවයි. දැනටමත් බෙල්ල හිරකොට ඇති ලංකාවේ මාධ්‍ය කෙරෙහි මෙවැනි අවිනිශ්චිත සහ නොමග යවනසුළු භාෂාවක් තුළින් සිදුවිය හැකි අනර්ථය සිතා ගැනීම අපහසු නැත.

අන්ත ප‍්‍රශ්නකාරී පියවරක්

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය සඳහා යම් ආචාර ධර්ම පද්ධතියක් නොපැවතිය යුතු බවක් මේ කර්කශ නිරීක්ෂණවලින් අදහස් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එවැන්නක් දැනටමත් පවතින්නේය. එසේම, ස්වයං-නියාමනයේ දී, අදාළ සාරධර්ම කෙරෙහි අනිවාර්ය අවනත භාවයක් සහතික නොකෙරෙන්නේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය. එහි යම් ඇත්තක් ද නැතුවා නොවේ.

එහෙත් එවැනි ගැටළුවකට විසඳුම වන්නේ, ප‍්‍රතිපත්තිමය ආචාර ධර්ම පද්ධතියක් රජයෙන් පැනවීම නොව. ඊටත් වඩා, අවම ආචාර ධර්ම කෙරෙහි පවා මොනම තැකීමක්වත් නැති වත්මන් ආණ්ඩුවෙන් එවැන්නක් පැනවීම මොන විදිහකින්වත් පිළිගත හැක්කක් නොවේ. එවැනි ප‍්‍රශ්නකාරී පියවරක් තුළ, ප‍්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් මර්දනය කිරීමේ ශක්‍යතාවක් ඇතැ යි අපට සිතෙන්නේ එබැවිනි.

*2009 ජුනි 09 වැනි දා පළවු What Are ‘Anti-National’ Criticisms Exactly? ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page