Colombo Telegraph

ශී‍්‍ර ලංකාව අඳුරු යුගයට පසුබසී

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් සමග ආලෝකයේ දීප්තිය පහවී රජයන අඳුර, අපේ සමාජය මුහුණදී ඇති අවදානම තර්ජනීය ආකාරයෙන් සංකේවත් කරන්නකි. මෙසේ වන්නේ, දේශපාලනික බලපුලූවන්කාරයන්ගේ නිෂ්ඵල සාටෝප වෙනුවෙන් ජනතාවගේ ධනස්කන්ධය නැති නාස්ති කරන අතරතුරේ ය. ජාත්‍යන්තර ගුවන් සේවා තවදුරටත් නොපැමිණෙතැ යි වාර්තා වන, ආරම්භයේ දී මහත් උත්කර්ෂයෙන් විවෘත කළ දකුණු ඉමේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉන් එකකි. අධි=සුඛෝපභෝගී වාහන සහ එළැඹීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා වන අති විශාල වියපැහැදැම්, මේ වේදනාකාරී විලාසිතාවේ තවත් පැත්තකි.

ඇත්ත වශයෙන්ම අප, එදා ඉඩි අමීන්ගේ කාලයේ උන්මත්තක උගන්ඩාවට සමීප වෙමින් සිටින සෙයක් පෙනේ. අඩුවකට ඇත්තේ, එකල මහත් සේ ප‍්‍රසිද්ධියට නැංවූ එම රටේ මිනීමස් කෑම මෙහි නැති කමයි. ඒ වෙනුවට, වෙනස් අදහස් දැරීම පාගා දැමෙයි. නැත්නම්, ඝනීභූත කරයි. ආණ්ඩුවේ ආයතන රාජ්‍ය බැංකුවලට ණය වන මහ ධනස්කන්ධයේ නොදැරිය හැකි බරෙන් ආර්ථිකය කෙඳිරිගායි. ඒ අනුව, අපේ අඳුරු අනාගතය පුරෝකථනය කිරීමට සාත්තරකාරයෙකු විය යුතු නැත.

විපක්ෂයේ ප‍්‍රගාමී චින්තනයක අඩුව

මේ සමස්ත ව්‍යාකූලත්වයේ කොටසක් වශයෙන්, ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ විවේචකයන්ට තවත් තුරුම්පුවක් දුන්නේය. එනම්, පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට, විධායක ජනාධිපති ක‍්‍රමයේ වෙනසක් ඇතුළු නොවන බවයි. ඒ වෙනුවට කෙරෙන බව කියන්නේ, එම ධුරය සතු බලතල සමහරක් කප්පාදු කිරීමකි. එසේම එම ක‍්‍රමයේ මුලින් පැවති චාරිත‍්‍රමය අංග සමහරක් එක්තැන් කරමින්, බලයේ සිටින තැනැත්තා දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බව ද යෝජනා කෙරේ.

එක්සත් ජාතික පක්ෂය විසින්ම නිර්මාණය කරන ලද සහ එදා පටන් මේ දක්වා මොන තරම් රටට වින්නැහියක් වී දැ යි කවුරුත් අත්දැකීමෙන්ම උගත් මේ තනතුරට පත්වීමට තමාටත් ඇතැ යි සිතන අයිතිය අතහැරීමට වර්තමාන පක්ෂ නායකයා අදිමදි කරනවා විය හැකිය. ජනතාව තුළ මේ පක්ෂය ගැන පැවති විශ්වාසය බරපතල ලෙස පලූදු වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන්, කලක් යෝධයෙකු වන් මේ පක්ෂය අද වන විට අබ්බගාත තත්වයට පත්ව තිබේ. මේ නිසා, බරපතල දේශපාලන ගැම්මක් සහිත මේ සා වැදගත් කාරණයක් එම පක්ෂය විසින් එසේ අතහැර දැමීම පුදුමයක් නොවේ.

අවධානය වෙනතකට හැරවීමේ ආණ්ඩුවේ ප්‍රෝඩාවට ප‍්‍රතික‍්‍රියා කිරීම

ජනතා අවධානය වෙනතක හැරවීම සඳහා ආණ්ඩුව විටින් විට යොදාගන්නා උප්පරවැට්ටිවලට දුර්වල ආකාරයෙන් උත්තර බැඳීම හැරෙන්නට, තමන්ගේම වන මූලෝපායක් හරහා ආණ්ඩුව ඇවිස්සීමට විපක්ෂය (දේශපාලන පක්ෂ සේම, සිවිල් සමාජය ද* අසමත්ව සිටීම, වර්තමාන පාලකයන්ට සැපයී ඇති විශාලතම වාසියයි. ඒ අර්ථයෙන් ගත් කල, ¥ෂණය, වැරදි කළමනාකරණය සහ අස්සක් මුල්ලක් නෑර කාන්දු වන හමුදාකරණය වැනි දැවෙන ප‍්‍රශ්නවලින් ජනතා අවධානය වෙනතකට හැරවීම සඳහා ආණ්ඩුව විසින් බොදුබල සේනා පාවිච්චියට ගැනීම හොඳම උදාහරණයකි.

දින කිහිපයකට පෙර වාර්තා වු අන්දමට, වෙසක් සංකල්පයට වැරදි අරුතක් දෙතැ යි කියන වෙසක් කාඞ්, වෙසක් කූඩු ආදිය ප‍්‍රදර්ශනය කරන කඩකාරයන්ට තැලීමට බොදුබල සේනා සාමාජිකයන් වේවැල් අරගෙන පාරට බසින්නේ ලූ. රටේ ඉහළම තැන්වල පාලකයන්ගේ ආශීර්වාදය මෙවැනි ක‍්‍රියාකලාපයන්ට නොලැබෙන්නට, බොදුබල සේනාවේ මෙකී ක‍්‍රියා විකාරයක් වශයෙන් පැත්තකට දැමිය හැකිව තිබුණි. වෙසක් සමයේ සම්ප‍්‍රදායික ආලෝක විභූතියෙන් සංකේතවත් කෙරෙන්නේ, බුදුදහමෙහි එන සුපිරිසුදු, අභ්‍යන්තර ශාන්තිය බව අපි දනිමු.

රස්තියාදුකාර පෙනුමක් ඇති භික්ෂූන් පිරිසක් බුද්ධාගමට ‘උචිත’ නැතැ යි තමන් විශ්වාස කරන හැසිරීමකට අනුගත නොවන තවත් පිරිසකට පහර දීමට වේවැල් අරගෙන පාරේ යාමේ රූපකය මොන තරම් ජුගුප්සා ජනක ද/ මේ අනුව, බුද්ධාගමට ‘උචිත’ වන්නේ කුමක් ද, නැත්තේ කුමක් ද යන්න තීරණය කළ යුත්තේ, විකෘතියෙන් පෙළෙන බොදුබල සේනා පිරිසක් යැයි අපි විශ්වාස කරමු ද? කෙසේ වෙතත්, මෙවැනි උචිත අනුචිත කම් සොයා බැලීමට දැනටමත් නීතිරීති ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒවා වර්තමාන ආණ්ඩුවට අදාළ වන බවක් පෙනෙන්ට නැත.

නිදහස සුරැකීමේ වගකීමෙන් පසුබැසීම

කෙසේ වෙතත්, මේ වන විට නීතිරීති ඒවායේ අරුත්වලින් විතැන් කොට ඇත. මීට කලකට පෙර, පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටි අධිකරණය, පුද්ගලයන් සහ රාජ්‍ය ආයතන අතර ප‍්‍රශ්න ඒ දෙපාර්ශ්වය අතර බේරුම් කරගත යුතු බවට දැන් අනුශාසනා කරන තරමට අද පල්ලම් බැස ඇත. අල්ලස් හෝ ¥ෂණ කොමිෂන් සභාව ඉදිරියේ, හිටපු අගවිනිසුරුවරිය ගර්හාවට ලක්කෙරෙන අතරේ එම ආයතනය රජයේ බලවතුන්ගේ යෝධ දුෂණ සහ අක‍්‍රමිකතා කෙරෙහි අන්ධව සිටීම මගින් කියාපාන්නේ අප ආධ්‍යාහාරයෙන් මෙන්ම වාච්‍යාර්ථයෙන් ද අඳුරු යුගයකට පියවර තබමින් සිටින බවයි.

අන්ධකාර යුගය, මධ්‍යතන යුරෝපයේ පැවති, විචාර බුද්ධියෙන් තොර, එක් කාල පරිච්ෙඡ්දයකි. එදා බුද්ධිමත්තු විරල වූහ. සියල්ලට බලපෑවේ ආගමික අන්ධ භක්තියයි. මීට ප‍්‍රතිපක්ෂව ඊළඟට පැමිණි පුනරුද යුගයේ දී, හේතුවාදය පැතිර ගොස්, සාපේක්ෂ වශයෙන් ගත් කල, ආගමික සහ සංස්කෘතික නිදහස ද ස්ථාපිත කෙරුණි.

‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අපභාවිතයට ගැනීම

එහෙත් තමන්ගේම වන පුනරුද යුගයක් උදා කර ගැනීමට ශ‍්‍රී ලංකාව උත්සුක වන බවක් නම් නොපෙනේ. මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලිව මේ පනත යටතේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ නියාලූ අයුරින් විස්මයට පත් අයවළුන් මතක් කරගත යුතු කාරණයක් තිබේ. එනම්, මේ පනත 1979 දී මුලින් පැනවූ අවස්ථාවේ ඊට ගොදුරු වු මුල්කාලීනයන් අතර සිංහල ජාතියේ වාම දේශපාලන ක‍්‍රියාධරයන් ද සිටි බවයි. ඉන් පසු එම පනත ඉතා අසාධාරණ අන්දමින් පාලකයෝ සිය සේවයට ගත්තෝය. ත‍්‍රස්තවාදය පිළිබඳ සැකයට පාත‍්‍ර දෙමළ ජාතිකයන් පමණක් නොව, වෙනස් මතධාරී සිංහල සහ මුස්ලිම් අයට එරෙහිව ද එය යොදාගන්නා ලදි. එහෙත් ඇතැම් නිර්භීත අවස්ථාවක, අපේ ශ්‍රේෂාඨාධිකරණය එය මෙල්ල කිරීමට ඉදිරිපත්ව සිටි බව අප අමතක කළ යුතු නැත.

එක් කැපී පෙනෙන අවස්ථාවක් වුණේ, ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම, සාධාරණ සැකයක් තහවුරු කොට නැති තත්වය තුළ, ව්‍යවස්ථානුකූල නොවන බවට අධිකරණය තීන්දු කිරීමයි. එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතාමතාම වැරදි තොරතුරු ආරක්ෂක අමාත්‍යවරයාට (එදා සිටි ජනාධිපතිනියට* සපයා තිබුණි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමේ ඇගේ නියෝගය නොමග යාමක් බව අධිකරණය තීන්දු කෙළේය. තවදුරටත්, ඇගේ විනිශ්චය ස්වාධීනව අභ්‍යාස කළ දෙයක් නොවු බව ද අධිකරණය පෙන්වා දුනි.

පැහැදිළි පූර්වාදර්ශ කාටත් සමාන ආකාරයකින් භාවිත කිරීම

මේ පැහැදිළි පූර්වාදර්ශ භාවිතයට ගත යුත්තේ, පවතින පාලනයේ පාට අනුව නොවේ. අධිකරණයේ භූමිකාව ප‍්‍රශ්න කරන මහජන සුපරීක්ෂාවට අදාළව මේ කොලම කියවන පාඨකයෙකුගේ වැදගත් ප‍්‍රශ්න කිහිපයක් මගේ මිතුරෙකු ගිය සතියේ මට ලියා එවා තිබුණි. හදිසි වැදගත්කමකින් යුත් ඉන් එක ප‍්‍රශ්නයක් වන්නේ, අධිකරණමය තීන්දුවක නෛතික හරි වැරැුද්ද ගැන, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්වීමේ බියකින් තොරව, ප‍්‍රසිද්ධියේ සාකච්ඡුා කළ හැකි ද යන්නයි. මීට පෙර ඒ ගැන මේ කොලමේ සාකච්ඡුා කොට ඇතත්, නැවතත් කිව යුතුව ඇත්තේ, තීන්දුවක් පිළිබඳ යුක්ති සහගත සහ සාධාරණ විවේචනයක් කිරීමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේම කොටසක් වන බවයි. ‘‘යුක්තිය ඉටු වීම පමණක් නොව, යුක්තිය ඉටු වන බව පෙනෙන්ට ද තිබිය යුතුය’’ යන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයට අරුතක් ලැබෙන්නේම, විනිශ්චය ක‍්‍රියාවලියක තිබිය යුතු විවෘත භාවය පදනම් කරගෙන ය. ඒ ආශ‍්‍රයෙන්, වැදගත් අභිලාෂ තුනක් ගම්‍ය කෙරේ. ඒවා වන්නේ, අපක්ෂපාතීත්වය, සේවයේ විවෘත භාවය සහ කාර්යසාධකත්වය යි. එසේම, අධිකරණය ගැන කෙරෙන ප‍්‍රසිද්ධ නිරීක්ෂණ හේතුවෙන් මහජන බලය හසුරුවන විනිසුරුවරුන් කෙරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ද ඇති කෙරේ.

තර්ක බුද්ධිය තුළින් මෝහය දුරැලීම

කෙසේ වෙතත්, අධිකරණයේ විනිශ්චයන් පරීක්ෂාවට ලක්කිරීමේ හැකියාව ඇතත්, අධිකරණය ගැන කෙරෙන අයෝග්‍ය සහ අශිෂ්ට විවේචනයන්ට ඉඩක් ලැබෙන්නේ නැත. මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ දී, අධිකරණය සහ අධිකරණ විනිශ්චයක් ගැන විවේචනය කිරීමට පුද්ගලයෙකුට ඇති අයිතිය සහ යුක්තිය පසිඳලීමේ ආරක්ෂාව සඳහා වන සාමූහික අවශ්‍යතාව අතර සියුම් තුලනයක් පවත්වාගත යුත්තේය. මේ වැදගත් ප‍්‍රතිපත්ති, අධිකරණයට අපහාස කිරීමේ නීතිය තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීමට මීට කලකට පෙර යම් ප‍්‍රයත්නයක් ගැනුණි. එය තවම ඵලදායී වී නැත. එහෙත් ඉන්දියාවේ එවැනි නීතියක් ඇත. අධිකරණ විනිශ්චයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම ඉන්දියාවේ මෙන්ම, නේපාලයේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ද සරුවට කෙරෙයි. එහිදීත්, ශ‍්‍රී ලංකාව ඉන්නේ ඒ සෑම රටකටම පිටිපස්සෙනි.

අතීතයේ අඳුරු යුග අවසන් කෙරුණේ බුද්ධියෙන් සහ හේතුවාදයෙන් පමණක්ම බව නිගමනාත්මකව කිව යුතුව තිබේ. අද පවතින අඳුරු කාල පරිච්ෙඡ්දයේ දී ශී‍්‍ර ලංකාවට අවශ්‍ය කරන්නේ, නොනැමෙන නිර්භය භාවයෙන් යුත් ගැහැනුන් සහ පිරිමින් ය. සමහර විට එදාට, අපේ රටටත් පුනරුදයක් බිහි වන්නට පිළිවන. අඩු වශයෙන්, එවැන්නක් අපේක්ෂා කරන්නටවත් පිළිවන.

*Sri Lanka Retreats Into The Dark Ages ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page