Colombo Telegraph

‘‘ජී.එස්.පී-ප්ලස්’’ පිළිබඳ ඇත්ත දැන් අපි දනිමු

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී – ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට අහිමි වන අවස්ථාවේ පාලකයන් අපට කීවේ වෙනම කතාවකි. එයින් අපේ ඇඟළුම් කර්මාන්තයට අහිතකර ප‍්‍රතිවිපාක අත්වෙති යි යන්න ප‍්‍රතික්ෂේප කළ අමාත්‍යාංශ බලධාරීහූ එවැනි ආධාරයක් ඇත්තෙන්ම අපට අවශ්‍ය නොකරන බවට ද වහසි බස් දෙඩූහ.

අපූරු ප‍්‍රශ්නයක්

දැන් ඇත්ත හෙළිවෙයි. එය හෙළිදරව් වන්නේ, වෙන කිසිවෙකුගෙන් නොව, අකමැත්තෙන් වුවත්, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධනගේම කටිනි. පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එම ආධාරය නතර වීම හේතුවෙන්, ‘‘ඇඟළුම් කම්හල් 25 ක් වැසී ගොස් ඇති බවත්, 10,000 කගේ රැුකියා අහිමිව ගොස් ඇති’’ බවත් කියන අමාත්‍යවරයා, ඒ මගින් ‘‘ඇඟළුම් කර්මාන්තයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 782 ක් ඉක්මවන’’ බව ද කියයි.

මෙම පහසුකම සැපයීම සඳහා යුරෝපා සංගමය, අපෙන් පමණක් නොව, වෙනත් ඕනෑම රටකින් බලාපොරොත්තු වන පූර්ව කොන්දේසි පිරිමැසීමට ආණ්ඩුව පස්ස ගැසුවේ මන්දැ යි යන්න, මේ ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය කෙනෙකුට වුවත් තේරුම්ගත නොහැකි ප‍්‍රශ්නයකි. අපේ රට වෙනත් බලවතුන්ගේ අවශ්‍යතාවන්ට යටත් කිරීම ඉලක්ක කොටගත් බටහිර කුමන්ත‍්‍රණයක් ඒ කොන්දේසි පසුපස තිබිණැ යි විශ්වාස කළ නිසාවත් ද? රටකට කළ නොහැකි දෙයක් කරන්නැ යි එම බලවතුන් අපෙන් ඉල්ලූවේ ද? එසේත් නැත්නම්, දෙමළ කොටින්ට එරෙහි යුද්ධය ජය ගත් ලංකාවට මදිපුංචිකමක් කිරීම සඳහා ඒ කොන්දේසි ඔවුන් පනවන්නට බැලූවේ ද?

ප‍්‍රඥාගෝචර ප‍්‍රතිපත්තියක් ඉවතලීම

සැබෑව එයින් බොහෝ දුරස්ථ ය. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ සහ හැම පඳුරක් ගානේම කොටියෙකු සැඟව ඇතැ යි යන හැඟීම අද තරම් එදා විකාරයක් බවට පත්ව නොතිබුණු බව සැබවි. මේ සෙල්ලම වඩාත් හාස්‍යාකාර වුණේ, අග විනිසුරුවරියගේ දෝෂාභියෝගයත් සමගිනි. එහි දී මහනායක හිමිවරුන් පවා, ආගමික සම්මේලනවල ජ්‍යෙෂ්ඨ පූජ්‍ය පක්ෂය සහ කර්මාන්ත අංශ නායකයන් පවා, කුමන්ත‍්‍රණකරුවන් වශයෙන් චෝදනාවට ලක්වුණි. ඒ, දෝෂාභියෝගය ගැන තම අප‍්‍රසාදය ඔවුන් පළ කළ අවස්ථාවේ ය.

2009 හමුදාමය පරාජයෙන් පසු කොටි සංවිධානය හෝ ඊට අනුබද්ධිත බලවේගවල ප‍්‍රචාරණ ජාලය සැහැල්ලූවෙන් ගත යුතුව තිබිණැ යි මින් අදහස් නොවේ. එහෙත් ඊට මුහුණදිය යුතුව තිබූ හොඳම මග වුණේ බුද්ධිමත් ප‍්‍රතිචාරයයි. එසේ තිබියදී ආණ්ඩුව කෙළේ, වෙනස් මතයක් දරණ ඕනෑම කෙනෙකු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවෙකු වශයෙන් හංවඩු ගැසීමයි. අවසානයේ සිදුවුණේ ආණ්ඩුවේ ප‍්‍රචාරණය ලෝකයා ඉදිරියේ විහිළුවක් බවට පත්වීමයි. ලංකා ආණ්ඩුවේ, සාධනීය වේවා නිෂේධනීය වේවා, ජාතික හෝ ජාත්‍යන්තර ක‍්‍රියාකලාපයන් ගැන මතු කෙරුණු විවේචන තුළ, අර කී ආණ්ඩුවේ විකාර ප‍්‍රචාරණය මගින් ඇති කරන ලද ප‍්‍රතිවිපාක අගේට දක්නට ලැබුණි. එවැනි විවේචනාත්මක මතධාරීන්ව හෑල්ලූවට ලක්කිරීම සහ අපහාසයට පත්කිරීම සඳහාම අපේ කේවට්ටයන් එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ කරක් ගැසීම මගින් තත්වය තවත් අවුල් කෙරුණි. අපේ මිනිසුන්ගේ මේ අසැබි හැසිරීම මොන තරම් ප‍්‍රශ්නයක් වී ද යත්, දශක ගණනාවක යුද්ධයකට මුහුණදුන් ජාතියක් වශයෙන් තමන්ගේ වැරදි නිවැරදි කර ගැනීමට යම් කාලයක් ලංකාවට සැපයිය යුතු යැයි කලින් සිතා සිටි ඇතැම් විදේශ රටවල් පවා, මේ නොමනා හැසිරීම ඉදිරියේ පස්ස ගසන්නට විය. ගිය වසර වන විට ඒ තකතිරු හැසිරීම තරමක් සමනය වී තිබුණත්, ඒ වන විට සිදුවිය හැකිව තිබූ හානිය සිදුවී හමාර ය.

‘‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’’ යෝජනා ගුප්ත ආකාරයකින් පෙරදැකීම

‘‘ජී.එස්.පී – ප්ලස්’’ පහසුකම සැපයීම සඳහා යුරෝපා සංගමයෙන් ඇත්තටම ඉදිරිපත්ව තිබූ පූර්ව කොන්දේසි කවරේ ද? රාජ්‍යයේ ස්වෛරීත්වය හෝ රටේ ජාතික ආරක්ෂාව ඒ මගින් අවදානමට පත්වීද?

සැබෑව වන්නේ එහි අනිත් පැත්තයි. පසු කාලයක ඇති වීමට නියමිතව තිබූ තත්වයක් ගුප්ත ආකාරයකින් පෙරදුටු අවස්ථාවක් එම කොන්දේසි තුළ ගැබ් වන්නේය. ඉන් වසර කිහිපයකට පසු ආණ්ඩුව විසින්ම පිහිටුවන ලද දේශීය විමර්ශණ යාන්ත‍්‍රණයක් වූ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ ඊට කලින් යුරෝපා සංගමය අපෙන් ඉල්ලා සිටි බොහෝ දේවල් තමන්ගේ නිර්දේශ තුළින් ද ඉදිරිපත් කෙළේය. මේ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ රටට ද්‍රෝහී වී ඇතැ යි, ඔල්මාද පතුරක් වන ජාතික හෙළ උරුමයට චෝදනා කරන්ට සිදුවුණේ ද එබැවිනි.

‘ජී.එස්.පී-ප්ලස්’ වෙනුවෙන් යුරෝපා සංගමය ඉල්ලා සිටි කොන්දේසි සහ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ අතර ඇති සාම්‍යත්වය සමාලෝචනය කිරීම ඉතා වැදගත් කාර්යයක් වෙතත්, එය වෙනත් අවස්ථාවක් සඳහා පසෙකින් තබමි. එහෙත්, පොලිස් පරීක්ෂණ ක‍්‍රියාවලිය දේශපාලනීකරණය වීම පිළිබඳ විවේචනය, ස්වාධීන පොලිස් කොමිසමක අවශ්‍යතාව අවධාරණය කිරීම සහ හමුදා ව්‍යුහයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඉවත් කිරීම වැනි වැදගත් කරුණු, යුරෝපා සංගමයේ ඉල්ලීම් සහ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ අතර තිබූ බව සඳහන් කළ යුතුය. හමුදාවට සම්බන්ධ දේශපාලන අධිකාරියක් යටතේ, නීතිය හා සාමය පිළිබඳ ව්‍යාජ අමාත්‍යාංශයක් අළුතෙන් පිහිටුවීමෙන් එම අවශ්‍යතාව සපුරාලිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ තත්වය තුළ ඇති විය හැකි අභූතරූපී භාවය මේ සතියේ හොඳින්ම ඉස්මතු විය. උතුරු පළාත් සභා මහඇමති සී.වී. විග්නේෂ්වරන්, පොලිස් බලතල අර්ථවත් අයුරින් බෙදාහැරිය යුතුව ඇතැ යි යෝජනා කළ අවස්ථාවේ, ඊට එරෙහිව දෝෂාරෝපණය කෙළේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. එසේ වන්නේ කෙසේ ද? ආණ්ඩුව රටට කියන හැටියට, පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධයක් නැති අමාත්‍යාංශයකට අනුබද්ධ කොට ඇත්නම්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ ඇයි? එයින් පෙන්නුම් කරන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව තවමත් පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අණසක යටතේ බවයි.

කයිවාරුව නිසා රටට සිදුවන අලාභය

අවසාන වශයෙන්, මේ කාරණය පැහැදිළි විය යුතුය. 2010 දී ‘ජී.එස්.පී-ප්ලස්’ සහනය ලංකාවට සැපයීම යුරෝපා සංගමයෙන් නතර කෙරුණේ, ලංකා ආණ්ඩුව ලංකාවේම ජනතාව වෙනුවෙන් ගත යුතු ඇතැම් පියවර නොගත් නිසා ය. එය, ශ‍්‍රී ලංකාව සමච්චලයට ලක්කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව දියත් කළ සැලසුමක් නොවේ. රාජපක්ෂලාට මෙතරම් බියගුළු ආකාරයෙන් වහල් නොවන විදේශ ඇමතිවරයෙකු සිටියේ නම්, ඒ කාලයේම එය තේරුම් ගනු ඇත.

එහෙත් අපට දකින්ට ලැබුණේ, බොල් පුරසාරම් සහ හිස් කයිවාරු පමණි. අපේ සමාජයේ අවවරප‍්‍රසාදිත කම්කරු කොටසකින් සමන්විත ඇඟළුම් අංශයට ඒ හේතුවෙන් දරන්ට සිදුව ඇති අලාභය මෙතෙකැ යි ආණ්ඩුව පිළිගන්නේ දැන් ය. තරු පහේ හෝටල් සහ අධිවේගී මංමාවත් සුඛෝපභෝගීත්වය තුළ වැජඹෙන දේශපාලනික සිටුවරුන්ට මේවා වැදගත් දේවල් නොවේ. අවාසනාව වන්නේ, මෙය පශ්චාත් යුද කාලීන ශ‍්‍රී ලංකාවේ වෙසෙන බහුතරයේ මෙන්ම සුළුතරයේ ද ජන කොටස්වල අවාසනාවන්ත අභාග්‍යය වශයෙන් තවදුරටත් පැවතීමයි.

*So Now We Know The Truth About EU GSP Plus ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page