Colombo Telegraph

අපේ ම්ලේච්ඡත්වය දෙස හෙලන නිර්දය බැල්මක්

කිෂාලී පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ම්ලේච්ඡ පාලන තන්ත‍්‍රයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙන් කොට හඳුනා ගැනෙන්නේ නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වන අධිකරණයක් සහ පොලීසියක් මගිනි. ඒ මුලික කාරණය ගැන විවාදයක් තිබිය නොහැක. එහෙත් ඒ නැතිවම බැරි කොන්දේසියේ දී ශ‍්‍රී ලංකාව සිටින්නේ නරක අඩියකයි. ඌව පළාත් සභා ඡුන්දයේ දී අපි එය දුටුවෙමු. මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයට එම ප‍්‍රදේශය ගොදුරු වූ අතර, මැතිවරණ නිලධාරීන්ට සහ පොලීසියට එම තත්වය වැළැක්විය නොහැකි විය. ඊළඟ වසරේ ජාතික මට්ටමේ මැතිවරණ පැවැත්වීමට නියමිත රටකට එම චිත‍්‍රය අනිටු පෙරනිමිති දනවන්නකි.

‘යුද සිරකරුවන්ගේ’ තත්වයට ඇද වැටුණු පොලීසිය

හතර අතින් වැඩෙමින් පවතින දේශපාලීකරණය නිසා පොලිස් දෙපාර්තමේන්තුව ඇද වැටී ඇති අවාසනාවන්ත තත්වය දැන් කාටත් පෙනෙන්ට තිබේ. ඌව පළාත් සභා මැතිවරණය, ඡුන්දයකට වඩා සංග‍්‍රාම භූමියක් වි ඇති සැටි පසු ගිය 31 වැනි දා මේ කොලමේ ලිවීමෙන් පසු, ඒ අදහස සමග අපූරු එකඟතාවක් ජනනය වී තිබේ. වර්තමාන පොලිස්පතිවරයා සහ පොලිස් නිලධාරීන් ‘යුද සිරකරුවන්ගේ තත්වයට පත්ව ඒ අනුව කටයුතු කරන’ බව, හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේගුණවර්ධන හඳුන්වා තිබීම ඉන් එක් අවස්ථාවකි. එය වර්ණවත් සංසන්දයක් වුවත්, අපේ සිත්සතන් කළඹවන්නකි.

දේශපාලනික නිලධාරියෙකු වන ආරක්ෂක ලේකම්වරයාගේ ‘පරිපාලනමය අධිකාරිය සහ පාලනය යටතේ හැසිරෙන’ තත්වයට පොලීසිය ‘බාල්දු’ වී ඇති සැටි, හිටපු පොලිස්පති ෆ‍්‍රෑන්ක් ද සිල්වා විසින් හඳුනාගනු ලැබ තිබීම තවත් අගනා නිරූපණයකි.

මේ ප‍්‍රවිචාරාත්මක අදහස් දැක්වීම් බරසාර මහජන අවධානයට යොමු වීම අත්‍යාවශ්‍යයි. එවැනි ජ්‍යෙෂ්ඨ විශ‍්‍රාමිකයන් විසින් පෙන්වා දී ඇති පරිදි, පොලිස් දෙපාර්තමේන්තුව නිර්-දේශපාලනීකරණය විය යුතුව තිබේ. එහි වෘත්තීයමය මෙහෙයුම් ව්‍යුහය වහා යළි ස්ථාපිත කළ යුතුව තිබේ. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ ඉල්ලා සිටියේ ද එයයි. එහෙත් එවැන්නක් කෙරුණේ නැත.

අධිකරණමය ගෞරවය කෙලසීම

එතකොට අධිකරණය? බලහත්කාරී දේශපාලන අනුග‍්‍රහශීලීත්වයට එරෙහිව පවතින නීතිය නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට තැත් කරන, පළාත්බද ඉඩම් පරිපාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ගිය මාසයේ පැවති සාකච්ඡුා සැසියකදී, ශ‍්‍රී ලංකාවේ අධිකරණයේ ඉහළ තැන්වල කාර්ය භාරය ගැන අදහස් දැක්වූ අවස්ථාවේදී එය සභාවේ ඉමහත් හිනාවට කාරණයක් විය. අධිකරණමය කෘත්‍යය කණපිට හැරී තිබීම ගැන බොහෝ දෙනා කාලයක් තිස්සේ කසුකුසු ගෑමට පමණක් සීමා වී සිටි සැටි දැක පුරුදු මට, දැන් ඒ තත්වය ගැන ඔවුන් මෙසේ ප‍්‍රසිද්ධියේ සිය සෝපාහාස ප‍්‍රතිචාරය පෑම අරුමයක් විය.

අද වන විට, එළවලූ වෙළෙන්දාගේ සිට රාජ්‍ය සේවකයා දක්වා වන සියල්ලෝ, අධිකරණමය ගෞරවය තුට්ටුවට වැටී ඇති සැටි දනිති. අධිකරණය කවදාවත් දෝෂාපවාදයෙන් මිදුණු ආයතනයක් නොවුණු බව ඇත්ත. නිදහසින් පසු අපේ විනිසුරන් තමන්ගේ ව්‍යවස්ථාමය කාර්යභාරය ඉටු කිරීමෙහි ලා මීට වඩා නිර්භය විය යුතුව තිබුණි. ඒ අංශයෙන් වරද පැටවෙන්නේ 1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ අයවළුන්ට පමණක් නොවේ. ව්‍යසනය කෙටී තිබුණු 1972 ව්‍යවස්ථාව සම්පාදනය කළ වාමාංශික සන්ධානයත් ඊට වගකිව යුතුය. මෙය, කීර්තිමත් වාම න්‍යායාචාර්යවරුන් අනුස්මරණය කෙරෙන වාර්ෂික උත්සවවලදී පහසුවෙන් අමතක කර දැමෙන කාරණයකි.

අධිකරණමය ආයතනයේ සුපිළිපන් භාවය සුරැුකීම

එහෙත් එවැනි සීමාකම් අස්සේ වුවද, අඳුරුම යුගයේදී පවා, ඇතැම් විනිසුරුවරු විචාරශීලී සමබර විනිශ්චයන් ලබා දෙමින් දේශපාලනික ස්ථාපනයට ප‍්‍රතිවිරෝධතා පෑහ. විනිසුරුවරයෙකු ස්වාධීන බේරුම්කරුවෙකු වශයෙන් ගැනීමේ හුදු අදහස ගැන පවා සැකසාංකා මතු කරන අධිකරණමය යථාවාදීන්ගෙන් අපට අඩුවක් නැතත්, අධිකරණයේ සුපිළිපන් භාවය සුරැුකීම ඉතා වැදගත් කාරණයක් වන බවට නම් සැකයක් නොවුණි.

සරත් නන්ද සිල්වාගේ අධිකරණය ගැන (1999-2009) මේ කොලම හැම දාමත් නිර්දය විවේචනයක සිටියේ ඒ හේතුවෙනි. විනිසුරු සී. වී. විග්නේශ්වරන් විශ‍්‍රාම ගිය ආසන්නයේ වරක් එක් සති අන්ත පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක දී කියා තිබූ පරිදි, ‘‘අධිකරණයේ මොනයම්ම විදිහේ හෝ විශේෂ අනුග‍්‍රහයක් නොලද යුතු දේශපාලඥයන් සහ පොලිස්කාරයන් වැදගත් භවතුන් සේ සැළකුණු අතර, එවැනි වරදකාරයන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ට කූට්ටාලිකම් කිරීමට බල කෙරෙන සේ නීති විරෝධීව නිකුත් කෙරුණු නියෝග සමග වැඩ කිරීමට, මූලික අධිකරණවල විනිසුරුවරුන්ට සිද්ධ විය.’’

මේ සිදුවීම් ඉතිහාසයේ වාර්තාගතව තිබෙන අතර, එදා නීතිඥයන් සහ විද්වත් නීති ප‍්‍රජාව ඒ ගැන කටක් නෑර සිටි බවත් කවුරුත් දනිති.

අධිකරණයට සුදුස්සන් පත්කිරීම

එහෙත් ප‍්‍රශ්න පැන නගින්නේ සහ ඒවා පහව යන්නේ තනි පුද්ගලයෙකු මුල් කරගෙන යැයි සිතීම සමාව දිය නොහැකි නොන්ජල් කමකි. ඊළඟ දශකය ඒ බව මොනවට කියාපෑවේය. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකගේ නිවස ඉදිරියේ රස්තියාදුකාරයන් නටා ගයා ඇයව දෝෂාභියෝගයට ලක් කළ දේශපාලනික ආන්දෝලනය මැද්දේ පවා, එතෙක් එරී සිටි ගොහොරුවෙන් අධිකරණය ගොඩ ආවේ නැත. ‘‘විධායකය සහ ව්‍යවස්ථාදායකය සමග සමීපස්ථ, විධායකයේ සුවචයන්ගෙන් අධිකරණයේ උසස් තනතුරු පිරවීම’’ ගැන, 2004 දී විනිසුරු විග්නේශ්වරන් කළ ඒ අනාවැකිය, පෙරටත් වඩා කටුක සත්‍යයක් වී ඇති බව අද අපට පෙනේ.

අධ්‍යාපනික සුදුසුකම් සහ ජ්‍යෙෂ්ඨත්වය මත අධිකරණමය පත්වීම් කළ යුතු බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය ගිය සතියේ අවධාරණය කොට තිබුණි. අභියාචනාධිකරණයේ වසර හතකටත් වැඩි කාලයක් සේවය කළ විනිසුරු අනිල් ගුණරත්නව නොසළකා හැර, දැන් එහි සභාපතිත්වයට වෙනත් පුද්ගලයෙකු පත්කොට ඇතැ යි කියන වාර්තාව මෙහිදී සිහියට නැගේ.

අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදි අනුගමනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලිය අවලංගු කළ අභියාචනාධිකරණ විනිශ්චයට අත්සත් තැබුවේ, නැසී ගිය ශ‍්‍රී ස්කන්ධරාජා විනිසුරු සමග අනිල් ගුණරත්න විනිසුරුවරයා ය. ස්කන්ධරාජා විනිසුරුවරයාගේ අකල් මරණයට මත්තෙන් උසස් වීමක් සම්බන්ධයෙන් ඔහුව ද නොසළකා හැරුණි. නම්බුකාර පොලිස් නිලධාරීන්ට මේ ක‍්‍රමය යටතේ පැවතිය නොහැකි ආකාරයෙන්ම ගෞරවාන්විත විනිසුරුවරු ද අධිකරණ ව්‍යුහය තුළ ඉතා කටුක ප‍්‍රහේළිකාවකට මුහුණදෙති.

ආයතන පද්ධති දේශපාලනීකරණයෙන් මලකඩ කෑම

පොලීසිය වේවා, අධිකරණය වේවා, ජාතික ආයතන පද්ධතිය දේශපාලනීකරණයෙන් මලකඩ කෑම දැන් සකල සීමා ඉක්මවා ගොස් තිබේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමේ නරුම කටයුත්තට උර දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ ගැන ආයාචනා කිරීම නිරර්ථක ය. ව්‍යවස්ථාමය වශයෙන් ප‍්‍රායෝගික වන අන්දමින් මෙය යළි පිළිසකර කිරීමේ කාර්යභාරය, ශ‍්‍රී ලාංකීය ජනතා මතය හරහා ඇති කරගත යුත්තකි. මොන පාටක වුවත් දේශපාලඥයන් ස්වකීය කැමැත්තෙන් එය නොකරනු ඇත.

ජනතාවක් වශයෙන් ඊට උරදීමට, මේ ප‍්‍රමාද වී ඇති මොහොතේ පවා අප අසමත් වන්නේ නම්, අත්විඳීමට සිදුවිය හැකි ප‍්‍රතිවිපාක අතිශය කටුක වනු නිරනුමානයි.

*2014 සැප්තැම්බර් 21 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Taking A Long Hard Look at Our Barbarism” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page