Colombo Telegraph

ඔබ අප ආලෝකේ – අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවය වේ – අප… (වි)මුක්තිය… ඔබ වේද?

ක්‍රිෂ්මාල් වර්ණසූරිය සහ උදාර එස්. සුවන්ද ආරච්චි –

“බුදුන් ගැන දන්නෝ” වූ අපේ ජාතිය

රටතුළ සාකච්ඡාවට බදුන් කළ යුතු කොතරම් වැදගත් කාලීන ප්‍රශ්න තිබුණත්, විනෝදකාමී ජනකොටසක් වෙසෙන අප රටේ සංගීතය අන් සියල්ල අභිබවා දැවෙන ප්‍රශ්නයක් බවට මෑතකදී පත්වී ඇත. නිදහස් දිනයේදී “දන්නෝ බුදුන්ගේ” ගීය නව ආරයකින් ගායනා කිරීමත් සමගම ප්‍රචලිත වූ විවිධ විචාරාත්මක මත අතර පසුගිය නිදහස් දිනයේදී ජාතික ගීය ගායනා කිරීමද දැවෙන කටගැස්මක් බවට පත්වී ඇත.

68 වන නිදහස් උත්සවයේදී ජාතික ගීතය දෙමළ බසින් ගායනා කිරීම මේ දිනවල විවාදාත්මක කතාබහකට ලක්වී ඇත. එවන් මොහොතක ඒ සම්බන්ධයෙන් දක්වන මෙම අදහස කිසිසේත්ම භේදයක් ඇතිකිරීමේ අරමුණින් කරන්නක් නොවන බව අවධාරණය කරගත යුතුය. ජාතියක් වශයෙන් එක්ව නැගී සිටීමට නම් සියලු ජාතිභේද. කුලභේද නොසලකා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමට කටයුතු කළයුතු බව අප විශ්වාස කරන අතර එවන් අනාගතයක් සහ නව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමෙහිලා එසේ දෙමළ බසින් ගායනා කිරීම සුලු හෝ උපකාරයක් වනවානම් එය අප ඉතසිතින්ම පිලිගනිමු; එයට අපගේ කිසි විරෝධතාවයක් නොමැත. නමුත් එසේ වෙනසක් සිදුකරනවානම් එය නීතියේ රාමුව සහ ජනතා පරමාධිපත්‍යයට යටත්ව කළයුතු බව අපගේ පදනමයි; මන්දයත් අප ජනරජය නීතියේ ආධිපත්‍යයට යටත් පුරවැසි ස්වාධිපත්‍ය බලය මත ක්‍රියාකාරන ජනරජයක් බව ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති නිසාය. ජාතික ගීය ගායනා කිරීම පිළිබද නීතිමය තත්ත්වය සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෙම ජාතික ගීයේ ආරම්භය

1815 දී බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට අත්පත්කරගැනීමත් සමග එක්සත් රාජධානියේ යටත් විජිතයක් වශයෙන් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පැවතුණි. පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත අපට ආගන්තුක වූ නව පාලන ක්‍රමයන් කෝල්බෘක්-කැමරන් සිට සෝල්බරි දක්වා සිදුවූ ආණ්ඩුක්‍රම විකාශනයත් සමග අපට හිමිවිය. අපේ ජාතික විරුවන් දියත්කළ නිදහස් අරගල මෙන්ම ඉන්දියාවේ සීඝ්‍ර වශයෙන් දියත් වූ නිදහස් අරගලද හේතුකොට ගෙන 1948 දී ලංකාවට නිදහස හිමිවිය. එසේ ලද නිදහසින් පසු යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ජාතික ගීය ගායනා කළ අපට අපේම ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූ අතර ඒ සදහා සුදුසු ගීතයක් තොරාගැනීමට ගාන්ධර්ව සභාව මගින් තරගයක් පැවැත්වූ බවත්, එම තරගයේදී ශ්‍රී ලංකාව ගැන ලියවූ ගීත රැසක් අතුරින් පී.බී. ඉලංගසිංහ මහතා විසින් රචිත ගීය මුල්ම ජාතික ගීය ලෙස තෝරාගත් බවත් වාර්තා වී ඇත. ඉන්පසුව ආනන්ද සමරකෝන් මහතා විසින් රචනාකොට ගායනා කරවන ලද “නමෝ නමෝ මාතා” ගීතය 1951 දී පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මතයක් මගින් ජාතික ගීය වශයෙන් පිළිගන්නා ලද අතර, “නමෝ නමෝ මාතා” යනුවෙන් තිබූ ජාතික ගීයේ ආරම්භය පසුව “ශ්‍රී ලංකා මාතා” යනුවෙන් වෙනස්කරන ලදුව එතැන් පටන් අද දක්වා ශ්‍රී ලංකා රාජ්‍යයේ ජාතික ගීය වශයෙන් නොකඩවා භාවිතා වේ.

1952 දී ද්‍රවිඩ බසින් ගායනා කිරීම

1951 දී ඩී.එස්. සේනානායක මහතා විසින් ගෙන එන යෝජනාවක් අනුව 1952 දී සැමරූ නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් “නමෝ නමෝ තායි” වශයෙන් ගායනා කොට ඇති බවත් එමෙන්ම දෙමළ ජනතාව බහුලව ජීවත්වන උතුරු පළාත්වලදී එය ඒ ආකාරයෙන් භාවිතා කොට ඇති බවත් වාර්තා වේ. මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව ඩොමිනියන් නිදහස ලබා තිබුණද තවදුරටත් වෙස්ට්මිනිස්ටර් ආකෘතිය අනුව නිර්මාණය කර තිබූ සෝල්බරි ව්‍යවස්ථාව අනුව පාලනය විය. 1952 වකවානුවේ ශ්‍රී ලංකාවේ බලපැවැත්වූ ව්‍යවස්ථාවේ, ජාතික ගීය ව්‍යවස්ථාවේ කොටසක් වශයෙන් අන්තර්ගත කොට තිබූ බව හෝ එය ව්‍යවස්ථානුකූලව භාවිතා කළ යුතුයැයි නීතියක් එකළ පැවතියේ නැත. එමනිසා ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි ජාතික ගීය ගැයීම පිලිබඳ සාකච්චාවක් 1952 දී පැන නොනගී; නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

උක්ත තත්ත්වය වඩාත් හොඳින් වටහාගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය විකාශනය මඳක් විමසා බලමු. ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වශයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් බොහොමයක් ශ්‍රී ලංකාවට ආගන්තුක වූත්, විදේශීය භූමියකදී සම්පාදනය කර ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නා වූත් ඒවාය. එමගින් ලාංකික ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය නොවූ අතර බ්‍රිතාන්‍ය කිරීටයට වගකිවයුතු ඒවා විය. එහෙත් 1972 දී සහ 1978 දී සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් උක්ත තත්ත්වයෙන් සපුරා වෙනස් වූ ජනරජ ව්‍යවස්ථාවන් වේ. මෙම කරුණ මෙම ලේඛකයා විසින්ම පසුගිය වකවානුවේ මාධ්‍ය කිහිපයකම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළනිසා ඒ පිළිබද වැඩිදුර විස්තරයක් අවශ්‍ය නොවේ. කෙටියෙන් පවසනවානම් ජනරජ ව්‍යවස්ථාවක් යනු මහජනයා විසින්ම ඇතිකරගන්නා ලද වූත්, කිරීටයට යටත්නොවූ ස්වාධිපත්‍ය බලය අප කෙරෙහිම තබාගෙන රාජ්‍යයේ පාලනය පමණක් සුලුකලකට මහජන භාරයක් වශයෙන් ආයතනයන් කෙරෙහි රදවන්නාවූත් පාලනක්‍රමයකි.

දෙවන ජනරජ (1978) ව්‍යවස්ථාව යටතේ තත්ත්වය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 ව්‍යවස්ථාව දක්වන්නේ “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය, ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය” යනුවෙනි. එකී උපලේඛනයෙහි එහි පදමාලාව සිංහල අකුරින් පෙරදිග සංගීතයේ තනුව සමග දක්වා ඇත. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේද ඉංග්‍රීසියෙන් දක්වා ඇත්තේ “The National Anthem of the Republic of Sri Lanka shall be Sri Lanka Matha , the words and music of which are set out in the third schedule” යනුවෙනි. එම ඉංග්‍රීසි ව්‍යවස්ථාවෙහි තුන්වන උපලේඛනයෙහිද අන්තර්ගත වන්නේ ඉංග්‍රීසි අකුරින් ලියවුණු සිංහල වචන ඇති ශ්‍රී ලංකා මාතා යන ජාතික ගීයයි. එහි දෙමළ අනුවර්තනයක් පිළිබද මෙම දෙකේම සදහනක් නැත. මෙම ව්‍යවස්ථාවෙහි මුල් කෙටුම්පතේ (1978) 18 වන වගන්තියෙහි දැක්වෙන්නේ එක රාජ්‍ය භාෂාවකි, එනම් සිංහල භාෂාවයි; නමුත් 19 වන වගන්තියෙහි සිංහල සහ දෙමළ ශ්‍රී ලංකාවෙහි ජාතික භාෂා බවට හදුනාගෙන ඇත. මෙහි වෙනස්කම නම් ව්‍යවස්ථාවේම දැක්වෙන පරිදි රාජ්‍ය භාෂාව යනු රාජ්‍ය පොදු කටයුතුවලදී භාවිතා කරන, රාජ්‍ය උත්සව වලදී පිළිගැනෙන භාෂාව යන්නයි. එසේනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී රාජ්‍ය භාෂාව පිළිබද තත්ත්වය මෙයයි.

13 වන සංශෝධනයෙන් දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීම

කෙසේ වුවත් 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 13 වන සංශෝධනය මගින් ඉහත කී 18 වගන්තිය සංශෝධනය කරමින් දෙමළ භාෂාවට ද රාජ්‍ය භාෂාවක තත්ත්වය ලබාදුන් බව දැකිය හැක. එමෙන්ම 1988 දී 16 වන සංශෝධනය මගින් දෙමළ ජනතාව වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශවල දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස භාවිතා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනද සලසා ඇත. එවන් ව්‍යවස්ථානුකූලභාවයක් තුල රාජ්‍ය උත්සවයන්හිදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ එම දෙමළ බසින් දෙමළ වචන යොදා සකසා ඇති ජාතික ගීයේ පරිවර්තනය ව්‍යවස්ථාවේ තුන්වන උපලේඛනයෙහි කවදා කෙසේ ඇතුළත් වූයේද යන්නයි; මන්ද එය එසේ ඇතුල්කරනවා නම් ඒ සදහා අනුගමනය කළයුතු ප්‍රතිපාදනද ව්‍යවස්ථාව තුළම දක්වා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුව 7 වන ව්‍යවස්ථාවේ ඇති ජාතික ගීය සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක කැමැත්තක් මෙන්ම ජනතාවගේ කැමැත්ත විමසන ජනමත විචාරණයක දී ලබාගන්නා බහුතර කැමැත්තද අවශ්‍ය වේ. ප්‍රශ්නය වන්නේ ඒ ආකාරයට ජාතික ගීතයට සිදුකරන ලද සංශෝධනයක් කවදා සිදුවූයේද? එය 1987 න් පසු සිදුවූවානම් එකී ව්‍යවස්ථානු කාර්යපටිපාටිය අනුගමනය කලේ කවදාද? කෙසේද? ඒ පිලිබදව ලේඛනගතව ඇත්තේ කොහේද? යන්නයි.

දෙමළ භාෂා පරිවර්තනය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහත කී ආකාරයේ දෙමළ භාෂා පරිවර්තනයක් 1987 වකවානුවේ සිදුකළාද යන්න සොයාගැනීමට අප දැරූ සියලු උත්සාහයන් ව්‍යවර්ථ විය. එහෙත් පසුගිය දින නිදහස් දිනයේදී ගායනා කරන ලදුව එවන් පරිවර්තනයක් පවතින බවත්, අන්තර්ජාලයෙහි දැක්වෙන එම පරිවර්තනයෙහි එය “ශ්‍රී ලංකා තායි” ලෙස ආරම්භවී ඉහත කී 7 වන ව්‍යවස්ථාවේ 3වන උපලේඛනයෙහි පදමාලාවට වෙනස් වන බව අප අධ්‍යයනය කලෙමු. මෙහිදී අපට උද්ගතවන ප්‍රශ්නය වන්නේ දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ 1978 වර්ෂයේදී රාජ්‍ය භාෂාව සිංහල පමණක්ව පවතිද්දී මෙවන් පරිවර්තනයක් ව්‍යවස්ථාවට අඩංගුවූයේ කෙසේද? එසේ නැත්නම් ඉහත අප ප්‍රශ්න කළ ආකාරයට එවන් වෙනසක් කවදා කෙසේ සිදුවූවාද යන්නයි.
මෙවන් ප්‍රශ්නයක් උද්ගත වී ඇති අවස්ථාවක යහපාලනය අරමුණු කරගත් වගකිවයුතු රජයක කාර්යභාරය වන්නේ මෙම කරුණු ජනතාව ඉදිරියෙහි නිරවුල් කරදීම මිස හුදු දේශපාලන කතා ගිරිය පුප්පාගෙන කෑගසමින් ප්‍රශ්නය තවත් සංකීර්ණ කිරීම නොවේ. දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් ඇතුළත් කර ඇත්තේද යන ප්‍රශ්නයට නිශ්චිත පිලිතුරක් ලබාදී මේ පිළිබදව ඇති දුර්මතයන් දුරුකිරීමයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මහජනයාට තොරතුරු දැනගැනීමට අයිතියද දැන් ලබාදී ඇත. එවන් පසුබිමක් තුල මෙම ප්‍රශ්නය පිළිබදව කිසිදු වගකිවයුතු පාර්ශවයක් නිල ප්‍රකාශයක් නිකුත් නොකිරීම කණගාටුවට කරුණකි.

ව්‍යවස්ථාවට අනුව නව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුක්‍රමයෙන් සිදුකළ සංශෝධන ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ දෙමළ භාෂාවටද සිංහල භාෂාව මෙන් සමාන රාජ්‍ය පිළිගැනීමක් ලබාදී ඇති බවයි. එය සුලුකොට තැකිය නොහැකි කරුණකි. රටක් වශයෙන් සියලු ජාතීන් සන්හිදියාවෙන් ඉදිරියට යාමට එවන් ප්‍රගතිශීලී ක්‍රියාකාරකම් සිදුකිරීම අත්‍යවශ්‍යයි. එහෙත් ඒ සියල්ල නීතියේ රාමුව තුල සිදුවිය යුතුය; නීතියේ ආධිපත්‍යය ආරක්ෂා විය යුතුය; ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනයට සම්බන්ධ අපිට අවශ්‍යවන්නේ එයයි.

මේ සියලු සංගීතයන් ඉතාම උද්වේගයෙන් සාකච්ඡා කරන අපිට ජාතික ගීය සමග කියන තවත් පද පෙළක් ක්ෂණයෙන් මතකයට නැගේ. එනම් ජාතික ගීය අවසානයේදී සෑම නිදහස් දිනකම රටේ රාජ්‍ය නායකයා ඉදිරියේ සුන්දර ලලනාවන් කණ්ඩායමක් ගායනා කරන “දේවෝ වස්සතු කාලේන” ආශිර්වාද ගාථාවයි. මෙය දිනපතාම උදෑසන ගුවන්විදුලි ආරම්භවන විටත් මෙම ධර්මද්වීපයේ සතර කොන අසන්නට ලැබේ. එම ගාථාව හා එහි ආසන්න සිංහල අනුවර්තනය මෙයයි.

දේවෝ වස්සතු කාලේන – දෙවියෝ / වැස්ස වළාහක දෙවියෝ කාලයට වර්ෂාව දෙත්වා
සස්ස සම්පත්ති හොතුච – ඒ හේතුවෙන් කෙත්වතු සරු සාර වේවා
පීතෝ භවතු ලෝකෝච – ඒ සශ්‍රීක වීම හේතුකොටගෙන ජනතාව ප්‍රීති ප්‍රමෝදයෙන් ඉතිරේවා
රාජා භවතු ධම්මිකෝ – ඒ සියල්ල සිදුවීමට පාලකයා ධර්මයට අනුව/නීත්‍යනුකූලව රට කරත්වා

මෙම කරුණද අප ජාතික ගීය හෝ දන්නෝ බුදුන්ගේ ගීය පිළිබද කතාකරන උද්වේගයෙන්ම වැදගත්කමක් ලබාදී සාකච්ඡාවට ලක්කළ යුතු කරුණක් බව අපගේ විශ්වාසයයි.

Back to Home page