Colombo Telegraph

‘ගෞරවාන්විත සමුගැනීම‘ හා පූර්ණ යහපාලනයේ සමාරම්භය

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ඒ ඓතිහාසික දිනය අගෝස්තු 17 වෙනිදාය. ඒ සඳහා තව ඇත්තේ පැය කීපයක දුරක් පමණි. රටේ සියලු දෙනාම පාහේ ඒ මොහොත එනතුරු ඇඟිලි ගණිමින් බලා සිටිනවාය. ඊටද සුවිශේෂ වූ හේතුවක් ඇත. මේ රටේ පැහැදිලි ධනාත්මක වෙනසක් සඳහා පසුගිය ජනවාරි 8 වෙනි දා ඔවුහු මුල්ගල තැබූහ. ඒ ‘යහපාලනය‘ නම් වූ ජනතා මන්දිරය තනන්නටය. ඒ සඳහා දින 100ක සැලැස්මක් තිබුණි. එහෙත් ඊට දින දෙසීයක් පමණ ගතවිය. දැන් එය සම්පූර්ණ වීමට ඉතා ආසන්නය. අගෝස්තු 17 වෙනිදා සිදුවන්නේ එහි පදිංචි වීමය. මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව ඇඟිලි ගණිමින් බලා සිටින්නේ එකී සුභ මොහොත එළඹෙන තුරුය.

අනෙක් ඕනෑම අවස්ථාවක් මෙන්ම මෙකී දින සීයේ ගමන් මඟද මල් ඇතිරූ මාවතක් නොවීය. බැලූ බැලූ අත දිස්වුනේ මඩ වගුරු, කටු පඳුරු හා මාර්ග බාධකය. යහපාලන ප්‍රවේශයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට එය කිසිසේත් දරාගත නොහැකි විය. හැකි සෑම විටම එය කඩා බිඳ දමා ගමන නතර කොට එය ආපසු හැරවීමට උත්සාහ කළේය. ඒ සඳහා විවිධ උපාය උපක්‍රම යෙදීය. මඩ ගැසීම්වලින්, අවලාද නැගීම්වලින් නිමක් නැතිවිය. කුමන මොහොතක හෝ අප ආපසු හැරෙන තුරු බෙහෝ දෙනා බලා සිටියහ. එහෙත් නොනැවතී දිගටම ගමන් කළ අප ඉලක්කය ළඟා කර ගත්හ. එබැවින් අද එය යථාර්තයක් වී අවසානය. ඒ මොහොත සතුටින් සෙනෙහසින් වැළඳ ගැනීම සඳහා බලා සිටිය යුත්තේ තවත් එක් නිමේෂයක් පමණකි. ඒ අගෝස්තු 17 වෙනිදා රාත්‍රිය පහන්වන තුරුය. මේ නොඉවසිලිමත්කම ඔබටද දැන් දැන් දැනෙනවා ඇත.

කෙතරම් සැඟවීමට උත්සාහ කළද ‘සත්‍යය‘ අප හැමෝම හොඳින් දන්නවාය.එය අදටත් හෙටටත් අනිද්දාටත් වෙනසක් නැත. මෑත යුගයේ අතිශය සංවේදී තීරණාත්මක අවස්ථාවක් වන මේ මොහොතේ එක්තරා පිරිසකට දැනෙන වේදනාව මා නොදන්නවා නොවේ. මවිසින් එක දිගට මාස දෙකක් පමණ තිස්සේ ඒ ගැන අතීත අනාගත තත්වයන් මේ පුවත්පත ඔස්සේ රටට පෙන්වා දුනිමි. වපුරපු දේම නෙළාගත යුතු බවද අවධාරණය කළෙමි. මේ ගෙවී යන්නේ එහි කූටප්‍රාප්තියේ අවසන් හෝරා කීපය බැවින් අද මා වචන පාවිච්චි කරන්නේ අන් කවරදාටත් වඩා සැළකිලිමත්වය. කිසිදු හැඟීම්බර තත්ත්වයක් ආරූඩ කර නොගෙන මැදහත් සිතින් ඒ සියල්ල විඳ දරා ගැනීමට ඔබ සූදානම් නම් පමණක් අද ඉතා වටිනා තොරතුරු සමූහයක් පිළිබඳව අපට සාකච්චා කළ හැකිය.

අපගේ ඉතිහාසය තුළ ‘පෙබරවාරි 4‘‍්, ‘මැයි 22‘ හා ‘මැයි 18‘ යන දිනයන්ට කිසියම් සුවිශේෂ වටිනාකමක් ඇත. එසේ වුවද ඊටත් වඩා වැඩි වටිනාකමක් සහිතව අප විසින් සැමරිය යුතු දිනයක් ලෙස ‘ජනවාරි 8‘ දිනයද ඉතිහාසයට එක් වී හමාරය. ඒ අතිශයින් සුවිශේෂ වූ යුගපෙරළියක් එදින සිදු වූ නිසාය. මෙම ‘අගෝස්තු 17‘ දිනයද ඊටම අයත් වන්නේ එම යුග පෙරළිය පිළිබඳ සැකය අවසන් වී එහි පැවැත්ම තහවුරු වීම එදින සිදු වීමට නියමිත නිසාය. එහෙයින් අගෝස්තු 17 වෙනි දින සිට මේ රටේ අලුත් ජාතියක්, අලුත් සමාජයක්, අලුත් සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතින්නේය. එමගින් ලෝකයේ ‘අලුත් රටක්‘ බවට ශ්‍රී ලංකාව පත්වන්නේය. එම අලුත් සමාජය තුළ අලුත් සංස්කෘතිය තුළ සිදු වන්නා වූ සියලු මත ගැටුම් අලුත් සංකල්ප නිර්මාණය කරගැනීම උදෙසා මිස එකිනෙකා අතර වස්තුව කොල්ල කා ගැනීම පිණිස නොවන්නේය.

මී ළඟට අප සළකා බැලිය යුත්තේ එම අලුත් සමාජ සංස්කෘතිය තුළ අපගේ හැසිරීම කෙබඳු විය යුතුද යන්න හා එය පටන් ගත යුත්තේ කොතනින්ද යන්නය. මෙහිදී මා අවධාරණය කරන්නේ අගෝස්තු 17 ට පෙර මේ ගෙවීයන හෝරා කීපය තුළම අප එය ආරම්භ කළයුතු බවය. ඊට ඉතාමත් උචිත වූ පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇත. ආණ්ඩු පක්ෂය විපක්ෂය කියා බේදයක් නොමැතිව සියල්ලටම එක සමාන අයුරින් නීතිය ක්‍රියාත්මක වීම එහි ප්‍රධාන ලක්ෂණය වී ඇත. මැතිවරණය වඩාත් සාධාරණව පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසියද එයමය.

පසුගිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රට පුරා පැවති විවාදයේදී දැනට පවත්නා ‘මනාප ක්‍රමයට‘ එරෙහිව අති බහුතරයක් දෙනා එක හඬින් කියා සිටියේ එමගින් මැතිවරණ සමයකදී සමාජය විශාල වශයෙන් දූෂණයට ලක්වන බවය. අපරාධ බහුල වන බවය. යහමින් මුදල් වියදම් කරන තැනැත්තාට පමණක් එමගින් වාසි අත්වන බවය. ඊට අදාළව මාගේ ස්ථාවරය වූයේ එකී මනාප ක්‍රමය ආශ්‍රිත සමානුපාතික නියෝජන ක්‍රමය දේශපාලන විද්‍යාත්මකව ගත්කළ වඩා ප්‍රජාතන්ත්‍රවාදී එකක් වන බැවින් එහි භාවිතය පිළිබඳ ඇති ගැටලු මත පමණක් එය සහමුලින්ම අහෝසි කිරීම සඳහා තීරණය කිරීමට ප්‍රථම යහපාලන යාන්ත්‍රණයක් යටතේද පළමුව එය ක්‍රියාත්මක කොට ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම වඩා ප්‍රඥා ගෝචර බවය. දැන් අප මේ අත් විඳින්නේ එම අවස්ථාවය. ඒ අනුව ඉහත කී ‘අඳෝනා‘ කිසිවක් අද නැත. මනාප ඡන්ද ක්‍රමය යහපාලන ආණ්ඩුවක් යටතේ මීට පෙර ක්‍රියාත්මක වී නැත. එහෙයින් අද අප රටේ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවලදී පෙර පැවති ආකාරයේ සිදුවීම්වලින් සියයට දහයක්වත් පාරේ තොටේ දකින්නට නැත.

පසුගිය ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු එම කණ්ඩායමේ ප්‍රධාන චරිත ගණනාවකට එරෙහිව විශේෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ඉදිරිපත් වූ පැමිණිලි රාශියක් මේ වන විටත් විභාග වෙමින් පවතී. ඒ අතර මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම ඒ පිරිස විසින් තමන් එම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨායට කැඳවූ සෑම අවස්ථාවකම පාහේ මැතිවරණය පෙන්වමින් කාලය දික් කර ගැනීමක් ඉල්ලා සිටි අතර එය ඔවුන්ට ලැබී ඇත. ඒ අතර මහින්ද රාජක්ෂ මහතා එවැනි කාලය දික්කර ගැනීමක් හෝ නොකර අල්ලස් හෝ දූෂණ කොමිසමේ නියමයට පිටු පා ඇත. ඒ කිසිවකටත් යහපාලන ආණ්ඩුව අත පෙව්වේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි පෙන්වා දී ලබාගත් අධිකරණ නියෝගයක් මගින් තම කාලය දික්කර ගත්තේය. තවත් කිහිප දෙනෙකුටම එම අවස්ථාව ලැබුණි. ඒ සියල්ල සිදු වූයේ යහපාලන ආණ්ඩුවට පින්සිදු වන්නටය.

මෙවැනි යහපාලන සංස්කෘතියක වාසි පොදියක්ම පූරුවේ පිනකට හෝ භුක්ති විඳීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායමට ලැබී ඇති මෙම අවස්ථාවද ඔවුන් විසින් අවභාවිත කරන ආකාරය මේ දිනවල දක්ණට ඇත. මැතිවරණයක ජය පරාජය කුමක් වුවද මොනම තත්වයක් යටතේවත් කිසිවකු විසින් හෝ නොකළ යුතු බොහෝ දේ ඔවුන් සිදුකරන්නේ කිසිදු හිරිකිතයක් නැතිවය. ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීම ඒ අතුරින් ප්‍රධානය. වඩා අමාරු කාර්යය වන්නේ යුද්ධය පවත්වා ගැනීම නොව සාමය පවත්වා ගැනීම බව අද මුළු ලෝකයම පිළිගන්නවාය. එහෙයින් අප රටේද යුද්ධය අවසන් කර ගැනීමේ පළමු විරාමය තුළම කල්පවත්නා සාමයේ අත්තිවාරමද දැමිය යුතුය. යුද්ධයේ විනාශය ඉතා හොඳින් අත් දැක ඇති අපට කෙසේවත් යළි යුද්ධය කැඳවා ගැනීම අනවශ්‍යය.

එහෙයින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ වේදිකාවෙන් වේදිකාවට ගොස් කරනු ලබන ජාතිවාදී ගිනිදැල් ඇවිළවීම වහා නතර කළ යුතුය. උතුරේ ඡන්ද නොලැබීමෙන් තමන් පරාජය වූ බව දේශනා කරමින් ඒ මත වෛරය වැපිරීමද නොකළ යුතුය. සෙසු ජාතිකත්වයන්ගේ නියෝජනය නොමැති වෙනස් කොඩියක් පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අවභාවිත කරමින් සිටිනවාක් මෙන් උතුරු නැගෙනහිරක් නොමැතිව ඔවුන් සැලසුම් කරන රටද සැබෑ ශ්‍රී ලංකාවක් වන්නේ නැත. විශේෂයෙන් අපගේ වර්තමාන තරුණ පරම්පරාව හා පාසැල් දරුවන් වඩාත් නැඹුරු වී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදය හැදෑරීමට බැවින් ඔවුන්ගේ සිත්වලද ජාතිවාදී ආගම්වාදී ගිනිදැල් අවුළුවා කුමන මැතිවරණ ජයග්‍රහණයක් ලැබුවද එමගින් ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැගිය නොහැකිය. ඒ අනුව ‘ක්ෂණික නූඩ්ල්ස්‘ මෙන් ක්ෂණික සුරංගනා කතා සහිත මැතිවරණ පොරොන්දු පත්‍රයක් රට හමුවේ තබා බෙදුම්වාදී බිල්ලන් මවා ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමෙන් පසුවද අගෝස්තු 17 වෙනිදා තමන්ට ලැබෙන අනිවාර්ය පරාජය හමුවේ කිසිසේත්ම තමන් හට ‘ගෞරවාන්විත සමුගැනීමක්‘ අපේක්ෂා කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ මහතා වටහා ගත යුතුය.

වත්මන් යහපාලන ආණ්ඩුවද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලන ක්‍රමවේදයම අනුගමනය කළේ නම් මෙවැනි මැතිවරණයකින් රට උණුසුම් වන මොහොතක විපක්ෂයට එරෙහිව පාවිච්චි කළ හැකි තුරුම්බු රාශියක් පිළිබඳව මේ දිනවල මාධ්‍යය අනාවරණය කර ඇත. ඉන් ප්‍රධානම කරුණු දෙක වන්නේ ‘වසීම් තාජුඩීන්‘ හා ‘ප්‍රගීත් එක්නැලිගොඩ‘ සිදුවීම්ය. මෙම නම් දෙකට අමතරව ලසන්ත වික්‍රමතුංග නමද කාලයක් තිස්සේ සමාජය තුළ නිතර කතාබහට ලක් විය. එහිදී ඒ නම් තුනට අදාළ පුද්ගල චරිත තුනට කුමක් සිදුවූයේද යන්න සංවාදයට බඳුන් වීමේ දී එකිනෙකට වෙනස් වචන තුනක් භාවිතා කිරීමට සියලු දෙනා වගබලා ගත්හ. ඒ අනුව ලසන්තට ‘ඝාතනය‘ යන යෙදුමද, එක්නැලිගොඩට ‘අතුරුදහන් වීම‘ යන යෙදුමද, තාජුඩීන්ට ‘හදිසි අනතුර‘ යන යෙදුමද භාවිතා විය. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ ඒ පිළිබඳ බරපතළ සැකයක්ද සමස්ත සමාජය පුරා දිනෙන් දින ව්‍යාප්ත වෙමින් තිබීමය. එකී සිදුවීම් තුනම රාජපක්ෂ පාලනය විසින් හිතාමතාම යට ගසමින් ඒ පිළිබඳ සත්‍යය හෙළිදරව් වීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග යොදා තිබූ බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් වතුර යට කෙතරම් කාලයක් ඔබාගෙන සිටියද ඉඩ ලද සැණින් මතුපිටට එසවී එන රබර් බෝලයක් මෙන් වර්තමානයේ සියල්ලෙහි සුලමුල හෙළිවීම ආරම්භ වී ඇත.

ඒ අනුව පසුගිය ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට පත් වූ සැණින් එවැනි සැකයට තුඩුදෙන සියලු දේ ගැන පරීක්ෂණ ආරම්භ විය. එකී පරීක්ෂණවලින් හෙළිදරව් කරගත් කරුණු අනුව මුලසිටම ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පාවිච්චි කළ ‘ඝාතනය‘ නමැති පදයම පසුගිය සතියේ සිට ඉතිරි දෙදෙනා සම්බන්ධයෙන්ද භාවිතයට එක්විය. ඒ අනුව වසීම් තාජුඩීන් නමැති රගර් ක්‍රීඩකයාද, ප්‍රගීත් එක්නැළිගොඩ නමැති මාධ්‍යවේදියාද ‘ඝාතනය‘ කර ඇති බව ඔප්පු වෙමින් පවතින්නේය. එපමණක් නොව එහි ඇඟිල්ල දිගුවී ඇත්තේද රාජපක්ෂවරුන්ටමය. එහෙත් මෙම මැතිවරණ කාලය තුළ ප්‍රකාශ සටහන් කරගැනීමට හෝ ඔවුන් කිසිවකු පොලීසිය විසින් කැඳවනු ලැබ නැත. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එවැනි අවස්ථාවක් ලැබුණේ නම් දිවා රාත්‍රී පුරාම විද්‍යුත් මාධ්‍ය නාලිකා සියල්ල ඒ සඳහාම යොදා ගන්නවා සිකුරුය. මහජන උද්ඝෝෂණ, උපවාස, සත්‍යක්‍රියා එමටය. එහෙත් වත්මන් යහපාලන ආණ්ඩුව පොලිසියේ කාර්යය පොලීසිටත්, උසාවියේ කාර්යය උසාවියටත්, මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය මැතිවරණ කොමසාරිටත් කරන්නට ඉඩදී ඒ කිසිවකට අත පෙවීමකින් තොරව කටයුතු කිරීමෙන් තමන් භාරගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුවක් බව කදිමට ඔප්පු කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ඉතාමත් දරුණු ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ ද්වේශයට, අපහාසයට, උපහාසයට ලක් වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන දෙපළ සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් කිවයුතු දෙයක් ඇත. ඒ රාජපක්ෂ කණ්ඩායම එදා ජනාධිපතිවරණයේදීද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද එම දෙපළට එරෙහිව අනුගමනය කරන්නා වූ ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවය. ඔවුන් සෑම මැතිවරණ වේදිකාවකම එදා විවිධ වූ අපහාසයට උපහාසයට බඳුන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එහි කිසිදු නෛතික හෝ සදාචාරාත්මක සීමාවක් ලකුණු කර තිබුණේද නැත. ඒ සම්බන්ධයෙන් අවසන් නොවූ අපරාධ නඩු කිහිපයක්ම තවමත් උසාවිය හමුවේ ඇත. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් එම මෙහෙයුම දියත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවය. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ බොහෝ දෙනා නොදන්නා ‘සැබෑ සත්‍යයන්‘ ගණනාවක්ම ඇති බැවින් ඒ පිළිබඳව මේ මොහොතේ රටට හෙළිදරව් කිරීම වැදගත්ය.

මෙරට විධායක ජනාධිපති ධූරය දැරූ හය දෙනා අතුරින් පළමු පස් දෙනාම ජනාධිපති වීමට පෙර අගමැති ධූරයද දරා ඇත. එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති නොවී කෙලින්ම විධායක ජනාධිපති බවට පත් වූ ලංකාවේ ප්‍රථමයාය. එසේම බලයේ සිටි විධායක ජනාධිපතිවරයකු පරාජය කොට එම තනතුරට පත් වූ ප්‍රථමයාද ඔහුය. තමාගේ දේශපාලන ගමන්මඟ තුළ ඔහු අපේක්ෂා කළේ ජනාධිපති ධූරය නොව තමන්ට 2004 වර්ෂයේද යෝජනා වූ අගමැති කමය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම අවස්ථාව ඔහුට ලබා දුන්නේ නැත. එවැනි අවස්ථා කිහිපයක්ම මඟ හරවමින් වසර දහයක් ඉක්මගිය තැන ඔහු කෙලින්ම මහින්ද රාජපක්ෂ මහතා දැරූ විධායක ජනාධිපති ධූරයට පත් කිරීමට අති බහුතරයක් වූ මේ රටේ පොදු ජනතාව තීන්දු කළහ.

ඔහුගේ ඉතිහාසය තුළද ඔහු කිසිදා පරාජය වී නැත. 1989 වර්ෂයේ පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණෙන එතුමා එතැන් සිට සෑම මැතිවරණයකදීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයම රැක ගනිමින් හා තම මනාප ප්‍රතිශතයද අඛණ්ඩව ඉහළ නංවා ගනිමින් ස්ථාවර අපරාජිත දේශපාලන ගමනක නිරත විය. කිසිදා තම පක්ෂය මාරු කළේද නැත. අවසානයේ තමා පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ තත්වයක් තුළද එම තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා වශයෙන්ම තරඟ කොට ජයග්‍රහණය කළේය. ඉන්පසු පක්ෂ ව්‍යවස්ථාවේ නීතිය ක්‍රියාත්මක වෙමින් ස්වභාව ධර්මයේ ආශීර්වාදය මත එහි සභාපතිවරයා සහ නායකයා බවටද පත්විය. වර්තමානයේ මුළු රටේම ආශීර්වාදය ලබා ගනිමින් ඉතා චාම් සරල ගතිපැවතුම් සහිත විධායක ජනාධිපතිවරයකුගේ භූමිකාවට එතුමා අපූරුවට පණ පොවමින් සිටී. මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ඉතා බරපතළ ලෙස අපහාස, උපහාස කළේ එබඳු තැනැත්තකුටය.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද රාජපක්ෂ කණ්ඩායම කාලාන්තරයක් තිස්සේම විවිධ වූ අපහාස, උපහාස, අවලාද එල්ල කරති. විසි නම වතාවක් පැරදුන බවට බොරු මතයක් නිර්මාණය කොට අදටත් ඒ මහා බොරුවම වපුරති. ඊට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතාද කිසිදාක තමන් ගේ නිවැරදි බව හෝ නිකැලැල් බව කියාපාන්නේ නැත. ඒ නිසාම මේ රටේ සමහර පිරිසක් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා ගැන දන්නේ ඔවුන් විසින් වපුරන ලද බොරු බේගල් පමණක් මිස සත්‍යය නොවේ. සත්‍යය කුමක්දැයි ඔවුන් දන්නේ නැත. කිසිවකු විසින් එය ඔවුන්ට කියා දෙන්නේද නැත. එහෙයින් එතුමා පිළිබඳවද මේ රටේ බොහෝ දෙනා නොදන්නා විශ්මය දනවන තොරතුරු සමූහයක් හෙළිදරව් කිරීමට දැන් හොඳම අවස්ථාවය.

අපේ රට 1948 වසරේ නිදහස ලබාගත් තැන සිට ගෙවීගිය වසර 67ක කාලයක් තුළ බිහි වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් අතුරින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හිමි එකම තැනැත්තා ඔහුය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකි. ඉදිරි සතියේ දිනක මේ රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන මොහොතේ ඔහු විසින් තවත් දේශපාලන වාර්තාවක් පිහිටු වීමට නියමිතය. ඒ ශ්‍රී ලංකාවේ හතර වතාවක් අගමැති වූ එකම තැනැත්තා වශයෙනි. මැතිවරණයකින් තොරව වෙනත් සාධාරණ නිර්ණායකයක් යොදා ගනිමින් අගමැති තනතුරට කිසිවකු තෝරා ගැනීමට ක්‍රියා කළේ නම් එවිටද තේරී පත්වන්නේ ඔහුය. ඒ සුදුසුකම කුමක් ද? ඒ අන්කිසිවක් නොව ජ්‍යෙෂ්ටත්වයයි. දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් අතුරින් අඛණ්ඩව තම මන්ත්‍රී ධූරය රැකගනිමින් පැමිණි ජ්‍යෙෂ්ටතම මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු 1977දී පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණිදා සිට මේ දක්වා අඛණ්ඩව තිස් නව වන වසරටත් තම මන්ත්‍රී ධූරය ආරක්ෂා කරගෙන ඇත. ඊ ළඟ සුදුසුකම ශ්‍රී ලංකාවේ කිසිවකුටත් නැත. ඒ 1977 වසරේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණි සැණින් විදේශ නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්ව මාස කිහිපයක් එහි රාජකාරි ඉටු කරමින් සිටියදී ඔහුට ලැබුන අධ්‍යාපන කැබිනට් අමාත්‍යධූරයේ සිට මේ දක්වා පුරා වසර තිස් නවයකට ආසන්න කාලයක් කැබිනට් අමාත්‍යවරයකුගේ මට්ටමට සමාන හෝ ඉහළ තත්වයක නිල තනතුරු දැරීමය. එය යළි කිසිවකු විසින් බිඳ හෙලීමට තබා කිසිදා සම කිරීමටවත් ඉඩක් නොලැබෙන දේශපාලන ‘රෙකෝඩ්‘ එකකි. ඒ සියල්ලට අමතරව ඔහු සතුව පවතින ජාත්‍යන්තර වලංගුතාවය හා දශක හතරක් පුරා ලෝක නායකයින් සමග පවත්නා සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින අන් කිසිවකුටත් නැත. වත්මන් ගෝලීය අභියෝගයන් හමුවේ අප වැනි රටක් සිය අනන්‍යතාවදය රැකගනිමින් ජාත්‍යන්තරය ජයගැනීම යනු කිසිසේත් පහසු අභ්‍යාසයක් නොවේ. පසුගිය පාලන සමයේ ස්වාසිලන්තය වැනි රටවල් මත යැපෙන්නට සිදු වූයේද එම අඩුපාඩුව නිසාය. එහෙයින් දේශපාලන පක්ෂ බේදයකින් තොරව සළකා බැලුවද මී ළඟ අගමැති කමට නියම සුදුස්සා රනිල්ය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම නිතර අපහාස උපහාස එල්ල කරමින් මිත්‍යාවම වපුරන්නේ මනා දේශපාලන පෞරුෂයක් සහිතව මහත්මා දේශපාලනයක් කරන එවැනි තැනැත්තකුට එරෙහිව පවත්නා ඊර්ෂ්‍යාව හා කුහකත්වය නිසාය.

මේ අනුව ලබන අගෝස්තු 17 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔහුගේ වත්මන් අපවිත්‍ර දේශපාලන භාවිතාව වහාම ඉවතලා මෛත්‍රී – රනිල් මහත්මා දේශපාලනයට ගෞරවය පළ කරමින් නව දේශපාලන භාවිතාවක ලක්ෂණ පෙන්නුම් කළ යුතුය. අනෙකාට මඩ ගසන තමන්ගේ බංකොළොත් දේශපාලන භාවිතය පසුගිය ජනාධිපතිවරණයේදීද බහුතර ජනතාව විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබියදී තව දුරටත් එකී බංකොලොත් දේශපාලනයම දෙගුණ තෙගුණ කර පෙන්වා ලැබිය හැකි ජයග්‍රහණයක් නැත. විශේෂයෙන් මෙවර ඔහු මැතිවරණ පොරොන්දු ලබාදෙන ආකාරය පන්සලක සල්පිලක් සිහිගන්වන ආකාරයේ වෙන්දේසියක ස්වරූපයක් ගෙන ඇත. රනිල් වික්‍රමසිංහ මහතා දශක කීපයක්ම විපක්ෂයේ සිටි අයකු බැවින් අනාගතය ගැන ඔහු දෙන සහතිකයට වටිනාකමක් හා විශ්වාසයක් ජනතාව තුළ ඇතිවිය හැකි වුවද වසර දහයක් එක දිගට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතාට එවැනි බොරු පොරොන්දු දී ජනතාව රැවටීමට හැකියාවක් හෝ අයිතියක් හෝ සදාචාරයක් නැත. එහෙයින් ඉතා සංයමයෙන් යුක්තව තම අවසන් දේශපාලන භූමිකාව සැලසුම් කිරීම එතුමා වග බලාගත යුතුය. එය ඔහුටද රටටද ජනතාවටද සැබෑ අස්වැසිල්ලක් වනු ඇත.

Back to Home page