Colombo Telegraph

මුස්ලිම් ජනතාව ජිහාඩ්වාදීන්ව​ පැන්නිය යුතුව තිබේ

මහාචාර්ය කුමාර් ඩේවිඩ්

මහාචාර්ය කුමාර් ඩේවිඩ්

‘‘පලිගැනීමේ මාවතට පිවිසීමට කලින් මිනී වළවල් දෙකක් හාරා ගන්න.’’ – කොන්ෆියුසියස්ගේ යැයි කියන කියමනක්

ලැබෙන තොරතුරුවලට අනුව කටයුතු කිරීම, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ අදාළ සිද්ධීන්වලට මැදිහත් වීම ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට කළ හැකිය. එහෙත් දීර්ඝ කාලීනව ගත් විට, ජිහාඞ්වාදය (ධර්ම යුද්ධවාදය) පරාජය කළ හැක්කේ මුස්ලිම් ප‍්‍රජාවටම පමණි. මෙහිදී ජිහාඞ්වාදය වන්නේ, වහබ්බාදය-සලාෆ්වාදය, ‘ඉස්ලාමීය රාජ්‍ය’ කාන්දුව සහ ව්‍යාජ සෘෂිවරු ආදී සියල්ලයි. මේ ආක‍්‍රමණකාරීන්ව පරාජය කළ හැක්කේ ජනතාවටම පමණි. ඒ සඳහා වන ධර්මතාව වටහා ගැනීමට රාජ්‍යයට පුළුවන් කමක් නැත. ඒ නිසා, මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ නායකයන් සංවිධානය කොට දියත් කරන ක‍්‍රියාකාරී සැලැස්මක් තිබිය යුත්තේය. මේ ඇති වූ මිනිස් ඝාතනය තමන් පිළිකුලෙන් හෙළාදකින බව මුස්ලිම් ජාතිකයෝ ප‍්‍රකාශ කර සිටිති. එහෙත් එය පමණක් දැන් ප‍්‍රමාණවත් නොවේ. දෝෂාරෝපණය පමණක් තවදුරටත් නොසෑහෙයි. අත්‍යාවශ්‍ය කරන්නේ මේ අනතුර අතු ගා දැමිය හැකි සංයුක්ත ක‍්‍රියාන්විතයන් ය. යම් ප‍්‍රජාවක් තුළ, විශේෂයෙන් සුළු ජන ප‍්‍රජාවක් තුළ, වැඩෙන විස ගෙඩියක් කපා දැමීම රාජ්‍යයකට කළ නොහේ. එසේ කිරීමට ගියොත් සිදුවන්නේ එම ප‍්‍රජාව රාජ්‍යයෙන් පරාරෝපණය වීමයි. සිංහල ජාතිවාදය සහ සිංහල රාජ්‍යය, පටන් ගත් දා පටන්ම දෙමළ ප‍්‍රශ්නය කුරුවල් කරගත්තේ කෙසේදැ යි මතක් කර ගන්න.

හමුදාව නැවත වතාවක් යාපනයේ ස්වාධීන නගරංකාරයෙකු බවට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බවට, ‘‘බෝම්බ දැමීම්, සරණාගතයන් සහ හදිසි නීති රෙගුලාසි- හමුදා ආඥාදායකත්වයක අනතුර’’ මැයෙන්, රත්නජීවන් හූල් ලියා ඇති ලිපියක (කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය- 2019 මැයි 4) තර්ක කොට තිබුණි. පාස්කු ඉරිදා සිදුවීම් පසුපස ඇති අනතුර වන්නේ ෂරියා නීතියට යට වන ඉස්ලාමීය ශ‍්‍රී ලංකාවක් නොව. එවැන්නක් කිසි දවසක ඇති නොවනු ඇත. අනතුර වන්නේ, එම සිද්ධිය පාවිච්චියට ගෙන මරුමුසුවෙකු බලය ඩැහැගැනීමට ඇති ඉඩකඩයි. සිවිල් ජනාධිපතිවරයෙකුගේ ආරෝහ පරිණාහය සිරිසේන බාල්දු කරගෙන ඇති තත්වය තුළ, නොහික්මුණු හමුදා බක්කන්ට ඔළුව ඉස්සීමට අනුබල දී තිබේ.

මරුමුසුවෙකුගේ සාංගමිකත්වයෙන් තොරව හමුදාමය ප‍්‍රයාණයක් දියත් වීමේ හැකියාවක් නැති බවට කතාවක් තිබේ. මෑත ඉතිහාසයේ අත්දැක ඇති අධිකාරීවාදී සහෝදරත්වය, ඒ සාංගමිකත්වය ගැන කතාබහේදී නිතර සඳහන් වෙයි. පළමුවැනි සැකකරුවා ඔහු ය. ඔහු තරමටම ඉඩක් නැති වුව ද, තවත් කෙනෙකු ඇති බවත් අමතක නොකරන්න. නැත, ඒ සිරිසේන නොව, මා අදහස් කරන්නේ, පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ අධිපති සාර්වරයා වූ ජේ.ආර්. ගේ බෑනා සහ වසර විස්සක කැබිනට් අමාත්‍යවරයෙකු ද වන පුද්ගලයා ය. ගිය සතියේ මට ලැබුණු ඊමේල් පණිවිඩයක් මෙහි දැක්වීමට කැමැත්තෙමි: ‘‘පිටු 80 කින් යුත්, පවරා ගැනීමේ සහ සේවා සැපයීමේ එකඟතාව, ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ඇති කර ගන්නා අන්‍යොන්‍ය ආරක්ෂක සහ හමුදාමය එකඟතාවක් වැනි ය. මෙය, විනාශය කැඳවා ගැනීමකි. එහි එක් ප‍්‍රතිවිපාකයක් වනු ඇත්තේ, මූලික අයිතීන් සහ නිදහස අහිමි කෙරෙන, ත‍්‍රස්ත විරෝධී අණපනත් ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.’’

මා සිතන පරිදි, ප‍්‍රති-ත‍්‍රස්ත පනත් කෙටුම්පත තවම ප‍්‍රසිද්ධියට පත්ව නැත. පොළොවට මුල් ඇද නැති, ඉබාගාතේ යන දුසිමක් දෙකක් ත‍්‍රස්තවාදීන් ආසන්නතම අනතුරක් වුවද, වැඩි කල් නොගොස් ඒ සියල්ලන් අතුගා දැමීමට හැකි වනු ඇත. එහෙත් ඉන් එහා ඇත්තම තර්ජනය විය හැක්කේ, බලය සොයා යන සහ පලිගැනීම පස්සේ පන්නන (පොලීසිය ඇතුළු) 430,000 ක ආරක්ෂක අංශ බව ඉහත ඊමේල් ලිපියේ සඳහන් විය. ‘‘පලිගැනීමේ මාවතට පිවිසීමට කලින් මිනී වළවල් දෙකක් හාරා ගන්න.’’ යැයි කොන්ෆියුසියස් අවවාද කොට තිබේ.

නිදහස් ලංකාවේ මුස්ලිම් කතාව, දෙමළ අත්දැකීම් සමග සැසඳිය නොහැකි බව ඇත්ත. අපේ උඩරට ජනතාවගේ ඡුන්ද අයිතිය අහිමි කිරීමෙන් සහ ඔවුන් වධයට පැමිණවීමෙන් පටන්ගෙන, ‘සිංහල පමණයි’ පනත සහ 1983 සංහාරය, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගීම සහ සිවිල් යුද්ධය හරහා පැමිණි මග, දීර්ඝ වූත්, අතිශය වේදනාකාරී වූත් එකකි. එහෙත් 1948 න් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ කතාව ඒ සා වධක ස්වභාවයක් ගෙන නැති බව කීමට මම මැළි නොවෙමි. ඒ සම්බන්ධයෙන් ඔවුන් අරභයා ඇති එකම ව්‍යතිරේකය වන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයෙන් ඔවුන්ව පන්නා දැමීම සහ නැගෙනහිරදී ඔවුන්ව පීඩනයට ලක්කිරීම පමණි. එල්.ටී.ටී.ඊ, සංවිධානයේ හිස එසැවීම, සිංහලයන්ගේ අසාධාරණත්වය සහ රාජ්‍ය මර්දනයේ ප‍්‍රතිවිපාකයක් බවට ඇතැමුන් මතු කරන තර්කය, මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් මතු කළ හැකි නොවේ. මා කීමට උත්සාහ කරන්නේ මෙයයි: එල්.ටී.ටී.ඊ. සංවිධානය මැඩලීමට උත්සාහයක්වත් ගත හැකි වන තරමේ ශක්තියක් සාමාන්‍ය දෙමළ ජනතාවට ඉතිරි නොකළ ආකාරයේ සැබෑ සමාජ ප‍්‍රශ්න මුස්ලිම් ජනතාවට නැති තත්වයක් තුළ, ජිහාඞ්වාදීන්ට එරෙහිව නැගී සිටීම මුස්ලිම් ජනතාවට පහසුවෙන් කළ හැකි දෙයකි. අඩු වශයෙන්, 1983 සංහාරයෙන් පසුව හෝ බොහෝ දෙමළ ජාතිකයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි දැක්වූ සහකම්පනයට සමාන කළ හැකි ආකාරයේ අනුවේදනයක් ජිහාඞ්වාදීන් කෙරෙහි මුස්ලිම් ජනතාව තුළ නැත. කෙටියෙන් කිවහොත්, මේ ජන කොටස් දෙක අතරේ පවතින ඓතිහාසික තත්වයන් බෙහෙවින් වෙනස් ය.

ජාත්‍යන්තර සම්බන්ධතා පවා බෙහෙවින් වෙනස් ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ එහි දෘෂ්ටිවාදය දේශීය වශයෙන් ගොඩනැගුණු දෙයකි. තමිල්නාඩු සහාය අවම මට්ටමක තිබුණු අතර ඩයස්පෝරාවේ සහාය ආවේ රටින් පලාගිය හෝ සංක‍්‍රමණය වූ දෙමළ ජන කොටස්වලිනි. වහබි දේවධර්මය මත පදනම් වන ජිහාඞ්වාදය එන්නේ ඊට වෙනස් මූලාශ‍්‍රයකිනි. වහබ්වාදය සහ සලාෆිවාදය එකිනෙකට සහසම්බන්ධී ය. වහබ්වාදය යනු වඩාත් ප‍්‍රචණ්ඩ සෞදි අර්ථකථනයක් වන අතර, එතරම් ප‍්‍රචණ්ඩ නොවන සලාෆ්වාදය වෙනත් මුස්ලිම් රටවලින් පැන නැගෙන දෘෂ්ටිවාදයකි. මේ දෙකම ඉහළ මට්ටමේ ලෝක අවධානයට පත්ව ඇතත්, සෞදි අරාබිය සහ කටාර් දේශයෙන් එපිට වෙනත් තැන්වල මුස්ලිම් බහුතරය ඊට අයත් නැත. මේ දෙකම, ඉතා දැඩි ආගමික පිළිපැදීම් අණ කර සිටින අතර ෂරියා නීතියට අවනත වීම අපේක්ෂා කරයි. එහෙත් අත් පා කපා දැමීම, බෙල්ල ගසා දැමීම, පව්කාර යැයි සැලකෙන ගැහැනුන්ව ගල් ගසා මරා දැමීම ආදිය සිදු කෙරෙන්නේ වහබ්වාදය යටතේ ය.

වහබ්වාදය මෙතරම් බලගතු වුණේ, සෞදි රාජධානියේ ආරම්භක රජු වූ අබ්දුල් අසීස් බින් රහමන් හෙවත් ඉබන් සවුද් සහ ආගමික දේශකයෙකු වූ මොහොමඞ් ඉබන් අල්-වහබ් අතර ඇති කර ගත් මිත‍්‍ර සන්ධානයක් හේතුවෙනි. එතෙක් පැවති ඔටෝමන් අධිරාජ්‍යය පළමු ලෝක යුද්ධය තුළ බිඳ වැටුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ සහයෝගය ලබාගෙන ඉබන් සවුද් රජු සෞදි අරාබිය හමුදාමය වශයෙන් එකසේසත් කෙළේය. ඒ අවස්ථාවේ එරටේ විසූ විවිධ ගෝත‍්‍රිකයන් යටපත් කිරීම සඳහා සෞදි රජු පාවිච්චි කෙළේ අල්-වහබ්ගේ ආගමික දෘෂ්ටිවාදයයි. ඔහු එය ඉතා කුරිරු අන්දමින් ක‍්‍රියාවට නැංවූයේය. එසේ තිබියදී 1938 දී ඇමරිකානු ස්ටැන්ඩර්ඞ් ඔයිල් සමාගම සෞදි අරාබියේ තෙල් ආකර සොයා ගත් අතර, සෞදි අරාබිය ඇමරිකානු ජගත් අධිරාජ්‍ය සන්ධානයට එක් විය. වහබ්වාදය විසින් ලෝකය පුරා බෙදා හරිනු ලබන ධනස්කන්ධය සහ ඇති කරනු ලබන බලපෑම ගොඩනැගෙන්නේ ඒ මූලාශ‍්‍රයෙනි. එහෙත් මේ වන විට අර ඇමරිකානු මන්තරකාරයාට තමාගේ වහබ්වාදී ගෝලයාව පාලනය කර ගත නොහැකිව තිබේ.

ආගමික ඉතිහාසය පිළිබඳ මෙතරම් කරුණු මා ගෙනහැරපෑවේ, ජිහාඞ් ත‍්‍රස්තවාදයේ ආගමික ලබ්ධිය වන වහබ්වාදය, ලාංකීය ඉස්ලාම් ආගම තුළ ඓතිහාසිකව රෝපණය වූවක් නොවන බව පෙන්වා දීමට ය. ඒ නිසාම, එය තමන් අතරින් අතුගා දැමීමට ලංකාවේ මුස්ලිම් ජනතාවට පහසුවෙන් හැකි වෙතැයි මම සිතමි. සෙසු අය ඊට සාධනීය සහාය දිය යුතු මුත්, මේ ප‍්‍රජාමය සහ දේවධාර්මික ප‍්‍රශ්නවලට රාජ්‍යය මැදිහත් විය යුතු නැත. රාජ්‍යයේ භූමිකාව, නීතිය හා සාමය පවත්වා ගැනීමට පමණක් සීමා විය යුතුව තිබේ.

මම ආගමික පුද්ගලයෙකු නොවෙමි. එවැනි කිසි අබිං දර්ශනයක් පිළිබඳ දැනුම් තේරුම් ඇත්තෙකු ද නොවෙමි. මගේ මොට්ට ඔළුවට ක‍්‍රිස්තියානිය ඔබන්නට මගේ මව තැත් කළාය. එයම, පාසලේදී යින් පියතුමා කිරීමට බැලූවේය. කෙසේ වෙතත්, ඒ සියල්ල ගඟට කැපූ ඉණි වී ඇති බවක් පෙනේ. එසේ වෙතත්, බුදුන්ගේ දේශනා තුළ ඇතැම් දියුණු පැතිමාන පිළිබඳ මගේ උනන්දුවක් ඇති බවත් කිව යුතුය. හින්දු ආගම සහ එහි සර්වදේව මණ්ඩල පිළිබඳ මට ලොකු වැටහීමක් නැත. ඉස්ලාම් දහමේ ගැඹුරු ධර්ම කාණ්ඩ ගැන එතරම්වත් දැනුමක් මට නැත. ඒ නිසා, ජිහාඞ්වාදයේ ආගමික සිද්ධාන්තවලට එරෙහිව ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මම කියා දීමට නොයමි. ඊට කෙලින්ම මුහුණදීම, ඊට යෝග්‍ය ඉස්ලාම් විද්වතුන්ට භාර කටයුත්තකි. පහත සඳහන් වන්නේ, ෙසෙද්ධාන්තික නොවන, සාමාන්‍ය දැනුමට ගෝචර වන, කරුණු කිහිපයකි.

පළමු ප‍්‍රමුඛත්වය දිය යුත්තේ ළමුන් බේරා ගැනීමට ය. දෙමාපියන්ට දරුවන් පිළිබඳ පාලනයක් තිබිය යුතු අතර, පාසල්වලදී, මුස්ලිම් පාසල්වලදී, මද්‍රසා පංතිවලදී සහ ආගමික පංතිවලදී දරුවන්ගේ ඔළුවලට දමන්නේ කුමක්ද යන්න පිළිබඳ සොයා බැලීමේ වගකීම දෙමාපියන් දැරිය යුතුය. වෛරය, ප‍්‍රචණ්ඩත්වය, ජිහාඞ්වාදය සහ වහබ්වාදයේ විකෘති දේශනා තමන්ගේ දරුවන්ට එකී තැන්වලින් පොවන්නේ නැති බවට දෙමාපියන් සහ ප‍්‍රජාව වගබලාගත යුතුය. අධ්‍යාපනික විෂයමාලා තුළ, සාමය, ඉවසීම සහ අසල්වාසීත්වය අඩංගු වන බවට ඔවුන් වගබලාගත යුතුය. ඔවුන් ගුරුවරුන්ව හොඳින් හඳුනාගත යුතු අතර, ඔවුන්නේ සුදුසුකම් පරීක්ෂා කර බැලිය යුතුය. වෛරය සහ හිංසනය දේශනා කරන කිසිවෙකුට තමන්ගේ දරුවන්ට ළං වීමට ඉඩ නොදිය යුතුය.

දෙවැනි ප‍්‍රමුඛතාව වන්නේ, මුස්ලිම් පල්ලිය ආරක්ෂා කර ගැනීමයි. ආගමික දේශනා කෙරෙන්නේ කෙසේද සහ පූජකවරුන් (ඉමාම්වරුන්) තෝරා ගැනෙන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ පතුරුවා හරිනු ලබන ධර්මතා පිළිබඳ සීමාවන් පැනවිය හැකි වන ආකාරයේ යම් ආගමික මණ්ඩලයක් හෝ විවිධ ප‍්‍රදේශවල ආගමික මණ්ඩල කිහිපයක් මුස්ලිම් ප‍්‍රජාව විසින් පිහිටුවා ගත යුතුව තිබේ. ‘සමස්ත ලංකා ජමියාතුල් උලමා’ සංවිධානයේ පරීක්ෂාවට අද ඒ කාරණා පිළිබඳ සොයා බැලීම ඇතුළත් වන්නේද යන්න මට සැක සහිත ය. (මේ ලියවිල්ල ආමන්ත‍්‍රණය කරන්නේ, මා කියන දේ පිළිබඳ සිතා බැලීමට යම් සූදානමක් ඇති අයට පමණි* මෙය කියවන මුස්ලිම්වරුන් මා කියන කරුණ තේරුම් ගන්නවාට සැකයක් නැත. ජිහාඞ්වාදයට එරෙහිව ලංකාවට ඇති ශක්තිමත්ම ආරක්ෂක පවුර වන්නේ මෙරටේ මුස්ලිම් ප‍්‍රජාවයි. සමහර මුස්ලිම් කණ්ඩායම් මේ අභියෝගය දැනටමත් තේරුම්ගෙන තිබේ. පිටස්තරයන් ඔවුන්ට සහාය විය යුතු අතර, මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ සුසමාදර්ශය අනුකරණය කළ යුතුය. එහෙත්, රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනී යන තරමට සභාග ආණ්ඩුවට ඇනුම්පද කීමෙන් එතුමන් වැළැකී සිටින්නේ නම් මැනවි.

තුන්වැනි කාරණය වන්නේ, අපකීර්තියට පත්ව ඇති හෝ මුස්ලිම් ප‍්‍රජාව සහ වෙනත් ප‍්‍රජාවන් අතර තාප්පයක් බැඳෙන සංස්කෘතික පුරුදුවලින් වැළැකී සිටීමයි. එහිදී මුලින්ම මගේ හිතට එන්නේ, මුළු මුහුණ ආවරණය කරන බුර්කාවයි. මෙය දැන් නීතියෙන් තහනම් කොට ඇත. එහෙත් එය එම ප‍්‍රජාවෙන්ම ඉදිරිපත් වීම ඊට වඩා ඵලදායක ය. මුස්ලිම් ගැහැනු දරුවන් විවාහ වන අවම වයස ගැනත් මේ සමගම සිතා බැලූවොත් නරක ද? පන්සල් ධර්ම දේශනා සහ මුස්ලිම් පල්ලිවල යාච්ඤා ලවුඞ්ස්පීකර්වලින් ඝෝෂාකාරීව ඇසෙන්ට සැලැස්වීම තහනම් කළ යුතුය. යාච්ඤා වේලාව හඬ නගා ප‍්‍රචාරය කිරීම ප‍්‍රශ්නයක් නැත. මන්ද යත්, එය ඉතා කෙටි එකක් වන බැවිනි. තවද, අනිත් ප‍්‍රජාවන්ගෙන් ඈත් වූ සංවෘත ප‍්‍රජාවක් වශයෙන් ජීවත් වීමට මුස්ලිම්වරු පුරුදු විය යුතු නැත. ඔවුන් අසල්වාසීන්ගේ ගෙවල්වලට යාමටත්, අසල්වාසීන් තමන්ගේ ගෙවල්වලට ගෙන්වා ගැනීමටත් පුරුදු විය යුතුය. මිනිස් සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා සෑම ජන වර්ගයකටම කළ හැකි මෙවැනි ඉතා සුළු දේවල් බොහොමයක් තිබේ.

මුස්ලිම් විරෝධී ආගමික යුද්ධයක් ලංකාවේ දියත් වුවහොත්, කොටින්ට එරෙහිව ගෙන ගිය යුද්ධය ඒ ඉදිරියේ ලාබාල දෙයක් වනු ඇත. කොටින් යනු කවුද? ඔවුන්ට ඇත්තෙන්ම තිබුණු බලය කුමක් ද? ඒ බලයේ ගෝලීය පරිමාණය කෙතෙක් ද? මුළු ලෝකයේම දෙමළ ප‍්‍රජාව මිලියන 70 කි. එහෙත් මුස්ලිම් ආගමිකයෝ බිලියනයක් ලෝකයේ වෙසෙති. එයින් භාගයක්ම වෙසෙන්නේ, අප අවට රටවල්වල ය. ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය, අනුපිළිවෙලින් ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රටවල් ය. දෙමළ ජනතාවට පස්ස කසා ගන්නට තුට්ටුවක් තිබුණේ නැත. එහෙත් ඉස්ලාම් දහමට හතුරු යැයි පෙනෙන තත්වයකදී ඩොලර් බිලියන ගණන් පොම්ප කිරීමට මැද පෙරදිගට පිළිවන. ඉස්ලාම් දහම ජිහාඞ් වසංගතයෙන් බේරා ගැනීමට ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවට හැකි වෙතොත් සහ අප කවුරුත් එකතු වී රාජ්‍යය නැමැති ආයතනය අවම සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් දිගේලි කර ගැනීමට සමත් වෙතොත්, එකී බිහිසුණු දර්ශනය අපට අදාළ එකක් නොවනු ඇත. මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ නොකරනු/ ජිහාඞ්වරුන්ට එරෙහිව මුස්ලිම්වරුන් හා එක් වනු/ අපේ දේශපාලනය ශුද්ධ පවිත‍්‍ර කර ගන්නා තෙක් ලංකාවේ ආදර්ශ පාඨය විය යුත්තේ එයයි.

අවසාන වශයෙන්, මා සුභවාදී බව නැවතත් කිව යුතුය. ලංකාව මේ විනාශයෙන් නොපමාව ගොඩ එන බව මට විශ්වාස ය. ජනතා සිත්සතන් නිවැරදි විනිශ්චයන් දෙසට යොමු වී ඇති බව මට පෙනේ. තීරණවලට එළැඹීමට පෙර බොහෝ සේ සිතා බලන බවක් පෙනේ. මෙය, 1983 කළු ජුලිය නොවේ. එදා තිබුණේ ජේ. ආර්. විසින් උසිගැන්වූ මීනිමස් කන දේශයකි. ලංකාව එයින් පාඩම් උගෙන ඇති අතර එදා මනෝ භාවය අද වෙනස්ව තිබේ. ජිහාඞ්වාදයට අපව පැරදවිය නොහැක. ඔවුන්ට ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව යටපත් කළ නොහැක. ජිහාඞ්වාදය ඉදිරියේදී මුළිනුපුටා දමනු ලැබේ. ඊට, දේශීය අක්මුල් නැත. එහි ජන්මය විදේශික ය. එසේම, මුස්ලිම් ලේ ඉල්ලා සිටින කල්ලි ද පරාජය කෙරෙනු ඇත. රට නැවත සශ‍්‍රීක වනු ඇත. ඔබ මා සමග එකඟ නැත් ද? ඊළඟ වසර වන විට මා කියන දේ සත්‍යයක් බව ඔබ වටහා ගන්නවා ඇත.

2019 මැයි 12 වැනි දා කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Muslim People Must Takedown The Jihadists නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page