Colombo Telegraph

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආණ්ඩුව වෙනස් කර ගැනීම

කුමාර් ඬේවිඞ්

මහාචාර්ය කුමාර් ඬේවිඞ්

ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම් තනතුරක් සඳහා කාල නියමයක් තිබීම, ඊළඟ පත්වීම අනිවාර්යයෙන් යහපත් වන බවට සහතිකයක් නොවෙතත්, ධුර කාලයක් සීමා කිරීමට හේතුවක් තිබේ: එනම්, නව වෙනසක් තුළ නව ප‍්‍රාණයක් තිබීමයි. පාලනය මුදුනේ දීර්ඝ කාලයක් වැජඹීමෙන් පසු මාගරට් තැචර් ගෙදර යාම වැඩදායක විය. නරේන්ද්‍ර මෝඩිට මගේ කැමැත්තක් නැත. එහෙත්, කොන්ග‍්‍රස් පක්ෂය ටික කලකට පසුපස ආසනයක හිඳ ගැනීම හොඳ ය. 

ගෝඨා-මහින්ද ඉවත්ව යාම යහපති. මේ පිරිස, රොබර්ට් මුගාබේ (සිම්බාබ්වේ) හෝ බෂාර් අල් අසාද් (සිරියාව) මෙන්, අවුරුදු 18 ක්, 24 ක් හෝ 30 ක් ආදී වශයෙන් එක දිගටම බලයේ එල්ලී සිටිය යුතු ද? 20 වසකට ආසන්න කාලයක් එකම පාලක සන්ධානයක් බලයේ සිටියා හොඳටම ඇති. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර නොගතොත්, ඊළඟ පුද්ගලයා (රනිල්, කරූ, ෆොන්සේකා හෝ අනුර කුමාර) මීට වඩා දීප්තිමත් වෙතැ යි කීමට සහතිකයක් නැති අතර, වඩාත් සුදුසු කවුරුන්ද යන්නත් වෙනම මාතෘකාවකි. කෙසේ වෙතත්, මෙය වස්සාන පවිත‍්‍රතාවකට කාලයයි. එය මගේ අවම තර්කයයි.

ඒ අවම තර්කයෙන් පසු, මේ ආණ්ඩුව කොහොමත් නරක බව පෙන්වා දීම මගේ ඊළඟ කාර්යයි. ගතවූ අඩ සියවස තුළ බොහෝ පැතිවලින් ගත් විට, අපේ ඉතිහාසයේ නරකම පාලනය, මේ ගෝඨාභය-මහින්ද සන්ධාන පාලනය නොවන්නේ ද? දෙමළ මිනිසුන් ගැන අමතක කරන්න. ඉහත කී ප‍්‍රකාශය මා පදනම් කරන්නේ සමස්ත රටටම අදාළව ය. දූෂණය, කවදත් තිබුණු බව ඇත්ත. විටෙක එය ඉතා නරක විය. විටෙක එතරම් නරක නොවීය. එසේම, රාජ්‍යය මගින් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කප්පාදු කිරීමත් හැම දාම සිදුව තිබේ. එහෙත් ඉතිහාසයේ කිසි දවසක කිසි ආණ්ඩුවක් හැම පැත්තකින්ම, හැම මට්ටමකින්ම (කැබිනට්, පළාත් සභා සහ හෙංචයියන් ආදී) මෙතරම් දූෂිතව නැත. මත්ද්‍රව්‍ය උවදුර මෙතරම් ආරක්ෂා කොට එයින් මෙතරම් ලාභ ලබා නැත. රාජ්‍ය මර්දනය ඉහළින් දියත් වූ 1971 දී සහ දහස් ගණන් තරුණයන් ඝාතනය කෙරුණු පේ‍්‍රමදාසගේ අඳුරු යුගයේ දීවත්, ඒකාධිපතිත්වයක් සඳහා වන පවුරු පදනම් පාලකයන් විසින් මේ සා හිතාමතා ගොඩනගා නැත.

රාජපක්ෂ රෙජිමය වෙනස් කිරීමට එරෙහි කිසි සදාචාරමය විරෝධයක් මේ දක්වා මට අසන්ට ලැබී නැත. අසන්ට ලැබෙන එකම දෙය වන්නේ, ආණ්ඩු වෙනසක් යහපත් වුවත්, යුද ජයග‍්‍රහණයෙන් පසු රාජපක්ෂට හිමිවන ප‍්‍රසාදයත්, රනිල් වික‍්‍රමසිංහගේ සහජ දුර්වලතාත් නිසා එවැන්නක් අත්කර ගැනීම දුෂ්කර බවයි.

එම කතාව, අපි පියවර දෙකකින් සළකා බලමු: කෙනෙකුගේ තර්කය වන්නේ, මහින්ද ශක්තිමත් අපේක්ෂකයෙකු බව නම් (පසු ගිය පළාත් සභා මැතිවරණ දෙකෙන් පසු එහි යම් දුර්වලතාවක් ඇතත්), මම එය අභියෝග නොකරමි. තර්කය වන්නේ, මේ පාලන තන්ත‍්‍රයේ වෙනසක් ඇති කරගත යුතු වෙතත්, එය දුෂ්කර අභියෝගයක් බව නම්, මා එයට විරුද්ධ නැත.

අල්ලස, බල අපහරණය සහ ඥාති සංග‍්‍රහය

අද වන විට, අනුග‍්‍රාහක-සේවාදායක ජාලයක් රටේ ව්‍යාප්ත කොට තිබේ. සර්වබලධාරී නායකයන් 10 ක් පමණ වන රජ පවුලේ සාමාජිකයන් පිරිසක්, 3000 ක් පමණ වන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, පලාත් සභා සහ පලාත් පාලන සාමාජිකයන් සහ වන්දිභට්ටයන්ව නඩත්තු කරති. මේ සරුසාර මැද ස්ථරය, කොන්ත‍්‍රාත්, රැුකියා, හොර ඉඩම් ඔප්පු ආදී වශයෙන් වන නොයෙක් උදව්පදව් සපයමින්, ජනතාවගේ ඡුන්දය සහ ඔල්වරසන් අපේක්ෂා කරති. එම මැද ස්ථරයේ එක හෙංචයියෙකුට මිනිසුන් 300 ක් මෙහෙයවිය හැකි වෙතොත්, (පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හෝ පලාත්පාලන ආයතන සාමාජිකයෙකුට ඇති පන්දම් පදනම ඊට වැඩි ය), එය, සේවාදායකයන් දසලක්ෂයක පමණ ප‍්‍රමාණයකි. සිංහල පලාත් හතේ රාජපක්ෂ පදනම වන්නේ එයයි. සැබෑ සේවාදායකයා වන මහජනයාගේ පිරිහීම, මේ කියන තුන් ස්ථරයේ අනුග‍්‍රාහක-ගජමිතුරු-සේවාදායක කුලකයෙන් පැහැදිළි වෙයි. මෙය, මුළු සමාජයම දූෂණයේ හෙලීමකි.

ලංකාවේ වැසියන් රාජ්‍යය, පාලන තන්ත‍්‍රය සහ දේශපාලඥයන් විසින් කෙරෙන අපහරණයන් ගැන හොඳින් දැනුවත්ව සිටියත් එය නොතකා සිටින්නේ ඒ හේතුවෙනි. මෙහි දී බිය ද හේතුවක් වෙතත්, එය ඉහත කී තත්වය විසින් ඇති කරන මහජන සදාචාරයේ නායයාම තරම් වැදගත් නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය දා ඡුන්ද 23 කින් සම්මත කරගත් යෝජනාව හරහා ලංකාවෙන් ඉල්ලා සිටින දේවල් එම සන්දර්භය තුළින් මතු වු කරුණු ය. එම යෝජනාවේ ඇතුළත් පහත සඳහන් ෙඡ්ද තුන, විනාශකාරී ගෝඨා-මහින්ද තන්ත‍්‍රය යටතේ ලංකාවේ මානව හිමිකම් සෝදාපාළුවේ තත්වය කියාපායි.

1. බිය ගැන්වීම් සහ මානව හිමිකම් මහකොමසාරිස්වරියව මුණගැසුණු අයවළුන් ඇතුළු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ගෙන ගිය ක‍්‍රියාකාරකම්,

2. ලිංගික හිංසනය, බලහත්කාර අතුරුදහන් කැරැුවීම්, මිනිස් ඝාතන, වධහිංසා, ප‍්‍රකාශනයේ නිදහසට, සමාගමයට සහ සාමකාමී රැුස්වීම්වලට බාධා පැමිණවීම්, මානව හිමිකම් ආරක්ෂකයන්ට, සිවිල් සමාජ සාමාජිකයන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහි ක‍්‍රියාවන් ඇතුළු එක දිගටම සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් සහ අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එරෙහි තර්ජන,

3. විශේෂයෙන්, හින්දු, මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ඇතුළු ශ‍්‍රී ලංකාවේ ආගමික සුළුතර කොටස්වලට එරෙහිව දියත් වන හිංසනය සීග‍්‍රයෙන් ඉහළ යාම.

ජාත්‍යන්තර වශයෙන් නීච රටක තත්වයට ඇදවැටීම

මේ රටට රාජපක්ෂලා මෑතක දී අත්කර දුන් අවමානය වන්නේ, ලංකාව ලෝකයාගේ බලවත් අපකීර්තියට ලක්කෙරෙන සදාචාරමය ලැජ්ජාවක් ගෙන දීමත්, සම්බාධක තර්ජනයකට ලංකාව ලක්කැරැුවීමත් ය. ජිනීවා යෝජනාවේ 2 වැනි සහ 10 බී. වගන්තියෙන් මෙසේ කියැවෙයි:

(2) ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම ආදිය.

(10 බී) සිදු වී යැයි කියන බරපතල මානව හිමිකම් අපහරණයන් සහ ඊට අදාල වෙනත් අපරාධ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටීම.

මේ සඳහන් තුළ යම් නොපැහැදිළිතාවක් තිබේ. මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණය පැවැත්වෙන්නේ, ලංකාවේ ආණ්ඩුව, ‘ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම මගහැරියහොත්’ ද? ආණ්ඩුව එවැන්නක් මගහැරියේ නැතත්, මානව හිමිකම් කොමසාරිස්ගේ පරීක්ෂණය පැවැත්වෙන්නේ ද? අදාළ යෝජනාවේ සඳහන් මේ අවුල, චේතනාන්විත එකකි. දේශීය පරීක්ෂණයක් ආරම්භ කෙරුණොත්, එය ව්‍යාජයක් යැයි කියමින් ජාත්‍යන්තර පරීක්ෂණයකට යාමට වඩා, දේශීය පරීක්ෂණයක් පැවැත්වුණත්, අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවත් කල්තියාම දැනුම් දී තිබිණැ යි, මානව හිමිකම් කවුන්සිලයට, ඉහත සඳහන් නොපැහැදිළිතාව මත, දැන් කිව හැකිය.

හාමුදුරුවරුන්ව සහ මහජාතිවාදීන්ව පාරවල් ගානේ යකා නටවමින්, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ඇතැ යි බෙරිහන් දීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇත. එහෙත්, ජාත්‍යන්තර දේශපාලනය ගැන දැනුවත් පිරිස් එයින් රැුවටිය හැකි නොවේ. එසේම, පොදු මහජනතාව රැුවටීමත්, ඉස්සර තරම් දැන් පහසු නැති විත්තිය, පසුගිය පළාත් සභා මැතිවරණ දෙකින් පෙන්නුම් කෙරුණි. රටක් වශයෙන් ලංකාවේ කීර්තිය දැන් කීතු වී ගොසිනි. එය ගොඩගැනීමේ ක‍්‍රියාවලිය, පවතින පාලන තන්ත‍්‍රය වෙනස් කර ගැනීමෙන් තොරව ආරම්භ කළ හැක්කක් නොවේ. ගෝඨා-මහින්දගෙන් අපි වෙන් වෙමු. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය යළි තිරිහන් කරගමු.

*2014 අපේ‍්‍රල් 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Democracy And The Change Of Government නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page