Colombo Telegraph

ඇන්. එම්.: ලංකාවේ සුවිශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයා

කුමාර් ඬේවිඞ්

මේ රට බිහි කළ, ජාත්‍යන්තර ආරෝහ ගුණයෙන් යුත් එකම රාජ්‍ය තාන්ත්‍රිකයා ඇන්. එම්. යැයි බොහෝ දෙනා කියනු ඇත. එහෙත් නේරු සහ ලී ක්වාන් යූ වැනි ආසියාතිකයන් තරම් ඔහු ප‍්‍රසිද්ධ නැත. හේතුව, ඔහු කිසි විටෙක අගමැතිවරයෙකු නොවීමයි. (ශ‍්‍රී ලංකාව නොලද හොඳම අගමැතිවරයා ඔහු යැයි අජිත් සමරනායක එකල කීමට පුරුදුව සිටියේය). ඔහුට ගෞරවය පිදෙන සාර්ථකතා හතරක් වෙයි: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රාහී සටන්කරුවා සහ අද්විතීය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා, රැුඩිකල් වාම දේශපාලනය සහ නිදහස් අරගලය ලංකාවට ගෙනා කණ්ඩායම් සාමාජිකයා, ක‍්‍රියාකාරී දේශපාලන ජීවිතයේ දී කම්කරු ව්‍යාපාරය තුළ කැපී පෙනුණු අසහාය නායකයා සහ සිව්වැනුව, විපක්ෂයේ සිටි ලංකාවේ ශ්‍රේෂ්ඨතම ආර්ථික විචාරකයා සහ ඇමතිවරයෙකුව සිටි කෙටි කාලය තුළ රාජ්‍ය මූල්‍ය ක්ෂේත‍්‍රය තුළට විනය ගෙනා කළමනාකරුවා යන කරුණු එම සාර්ථකත්වයන් ය. සභාග ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය විවේචනය කරන්නන් පවා, ජාතික ආර්ථිකය කළමනාකරණය කිරීමෙහි ලා ඇන්. ඇම්, විශිෂ්ටයෙකු වූ බව පිලිගනී. සමහර විට, ලංකාව දන්නා එකම සැබෑ මුදල් ඇමතිවරයා ඔහු විය හැකිය. වෙනත් කිසි මුදල් ඇමතිවරයෙකු ආර්ථික විද්‍යාඥයෙකු වශයෙන් බරසාරව සැළකිය නොහේ.

අගෝස්තු 14 වැනි දාට යෙදෙන ඔහුගේ මරණ සංවත්සරයේදී අපි ඇන්. ඇම්. සහෝදරයාට සිය ගෞරව ප‍්‍රණාමය පුද කර සිටිමු. වමේ සහෝදරවරු විටෙක මෙසේ අසති: ‘‘ඒ යෝධයන් (ඇන්.ඇම්. කොල්වින්, පීටර්, ලෙස්ලි, බර්නාඞ්, එස්. ඒ. වික‍්‍රමසිංහ) සහ වර්තමාන නායකයන් අතර පවතින දේශපාලනික ආරෝහ ගුණයේ විශාල වෙනස හැරුණු කොට එදා සිටි නායකයන් අනුගමනය කළ සභාග දේශපාලනික උපාය මාර්ගයම නොවේද, වර්තමාන වාම පක්ෂත් අනුගමනය කරමින් සිටින්නේ?’’ උත්තරය, ස්ථිරසාරවම නැත යන්නයි. උපාය මාර්ගික සහ උපක‍්‍රමික යන දෙඅංශයෙන්ම එහි වෙනසක් තිබේ. උපාය මාර්ගික වශයෙන් සළකන කල, පැරණි වමේ ව්‍යාපෘතිය වූ කලී, රාජ්‍යය නැමැති සංස්ථාව පරිණාමයට ලක්කරමින් ලංකාව සමාජවාදයට යම් පියවරකින් ළං කිරීමට ගත් වෑයමකි. එහි ප‍්‍රතිඵලය අසාර්ථක වුවද, ජනරජ ව්‍යවස්ථාව, ඇන්. ඇම්. ගේ අයවැය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ සහ වතු පවරා ගැනීම, නිවාස ප‍්‍රතිසංස්කරණ සහ ඉන්දියාව සමග ඇති කර ගත් සමීප මිත‍්‍රත්වයන්, 1970-77 කාලයේ වමේ මැදිහත් වීමෙන් ඇති කර ගත් ජයග‍්‍රහණයන් වශයෙන් දැක්විය හැකිය. එහෙත් වර්තමාන වම, රාජපක්ෂ ආණ්ඩුවේ උපායමාර්ග තුළ, විශාල වේවා සුළු වේවා, මොන විදිහක හෝ බලපෑමක් කිරීමට සමත්ව නැත. පෞද්ගලිකවත්, උපක‍්‍රමිකවත් ගත් විට, ඇන්. ඇම්. වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙකු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතී වෙතැ යි කෙසේ නම් සිතන්නද? අනිත් අතට, ඇන්. ඇම්. නැමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය අවඥාවට ලක්කරනු හැර වෙන මගක් ගනු ඇතැ යි කෙසේ නම් සිතිය හැකිද?

ඇන්. ඇම්. ගේ පරම්පරාවේ වාමාංශික නායකයන් විවේචනයට ලක්වන කාරණා දෙකක් තිබේ. සභාග දේශපාලනික උපාය මාර්ගය, අතාර්කික ව්‍යාපෘතියක් හෙවත් සිතින් ගත් සමාජවාදයක් වෙත යන්නට ගිය අදූරදර්ශී සහ ප‍්‍රායෝගික නොවන කෙටි මාර්ගයක් ද? දෙවැනුව, මෙරටේ වෙසෙන සුළු ජාතීන්ව, විශේෂයෙන් දෙමළ ජනතාව, ජාතික ප‍්‍රශ්නයේ දී වම විසින් අතහැර දමන ලද්දේද? අද අපි ඒ සිද්ධිවලින් බොහෝ ඈතට විත් සිටින නිසා ඒ ගැන අවංක පිළිතුරු සැපයීමට හැකියාවක් තිබේ. ප‍්‍රථම ප‍්‍රශ්නයට පිළිතුර වන්නේ, උපාය මාර්ගික අනුවණ කමකට වඩා (එවැනි දේවල් ද තිබුණත්), එක පැත්තකින් අවාසනාවත්, තවත් පැත්තකින් වැරදි කාල නිර්ණයත් එහි දී තීරණාත්මක වූ බවයි. දෙවැනි ප‍්‍රශ්නයට පිළිතුර වන්නේ, ඇතැම් වැරදි සිදු වුවද, ප‍්‍රධාන වශයෙන් නැත යන්නයි. ඇන්. ඇම්. ගේ බුද්ධිමය ප‍්‍රභාවට ගෞරවයක් වශයෙන්, ඒ කාරණා දෙකම ගැන විස්තරාත්මකව සළකා බැලීමට අපට පුලූවන. 

ජාතික ධනේශ්වර පක්ෂයක් වශයෙන් එදා හඳුනා ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් හරහා සමාජ ප‍්‍රතිසංස්කරණයක් අත්කර ගැනීමේ හැකියාවක් පිළිබඳ විශ්වාසය, පක්ෂයේ සිටි අප ඇතුළු මාධ්‍යමික සහ වාම කොටස් විසින් නිවැරදිව එදා විවේචනයට ලක්කළද, එම විශ්වාසය සහසුද්දෙන් හිතළුවක්ම නොවුණි. 60 දශකයේ ජාත්‍යන්තර බල තුලනය ගැන සළකා බැලීමේ දී, ආසියාවේ, අප‍්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ මාධ්‍යමික-වාම ව්‍යාපාර යම් ප‍්‍රගතියක් එදා අත්කර ගනිමින් සිටියේය. කෙසේ වෙතත්, 70 දශකයේ මැද භාගය වන විට, ලෝක නව-ලිබරල් ව්‍යාපෘතිය කලඑලි බැසීමට පටන්ගත්තේය. දෙවරක්ම තෙල් මිල ඉහළ යාම මගින් දිළිඳු රටවල් අර්බුදයට තල්ලූ කරමින් තිබුණි. ඒ සියල්ලටම උඩින්, ලංකාවේ රාජ්‍යය තීරණාත්මකව දකුණට හරවන තල්ලූව 71 නැගිටීමෙන් සැපයුණි. ගෝලීයකරණය, ආර්ථික ක‍්‍රියාවලියක් වශයෙන් එක පිම්මේ ඉදිරියට ඇදෙන විට, දේශීය දැක්මක් සහිත සභාග පන්නයේ ආර්ථික ව්‍යාපෘතිවලට කණකොකා හැඬවුණි. එවිට සභාගයේ සිටි ලංකාවේ වම එම උගුලේ හිරවුණි.

සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීම සඳහා වන යෝජනාවක් ඇන්. ඇම්. විසින් 1955 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බව දන්නේ ටික දෙනෙකි. ඒ, ස්වකීය ජාතිවාදී භාෂා ප‍්‍රතිපත්තිය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ගෙන ඒමට බොහෝ කලිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් ‘සිංහල පමණයි’ පනත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට බලවත් සේ විරෝධය පළ කළ ඇන්. ඇම්, එම කෙටුම්පත, ‘‘සිංහල සහ දෙමළ භාෂා දෙකම දිවයින පුරා සමාන තත්වයන් සහිත රාජ්‍ය භාෂා බවට පත්කෙරෙන සේ සංශෝධනය කළ යුතු’’ බවට යෝජනා කෙළේය. සිංහල ජාතිවාදීන් උලූප්පා දක්වන සහ එවැනිම දෙමළ සගයන් සැඟවීමට බලන එදා යථාර්ථය එය විය. 1972 ව්‍යවස්ථාව තුළ ජාතික ප‍්‍රශ්නය සහ බුද්ධාගම සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය ගැන ඇන්. ඇම්. කිසි විටෙකත් සෑහීමකට පත්ව සිටියේ නැත. දෙමළ ජනතාවගේ සාධාරණ සහ යුක්ති සහගත අපේක්ෂාවන් සාධනය කිරීමට එම ව්‍යවස්ථාව අසමත් වූ බව 1979 දී ඇන්. ඇම්. කියා ඇති බව වාර්තාගතයි. කරුණු එසේ වෙතත්, දෙමළ ජනතාවගේ භාෂා අයිතීන් ආරක්ෂා දීමට තරම් වන ශක්තිමත් සහ ප‍්‍රමාණවත් ස්ථාවරයක් ගැනීමට 1965-75 දශකය තුළ ලංකාවේ වම අපොහොසත් වූ බව පිළිගත යුත්තකි. ඒ වරදින් කොටසක් ඇන්. ඇම්. ගේ ඇෙඟ් ද තැවරෙයි.
රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් ඇන්. ඇම්. සතුව තිබූ ගුණාංග සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා, කම්කරු ඉල්ලීම් සඳහා, සුළු ජාතීන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට ඔහු සතුව පැවති ධෛර්යය, ආදර්ශමත් ය. සභාගයට ගොඩ වූ කාලයේ අවාසනාවට ඔවුන් හසු විය. එසේම, 1965-75 අතර කාලය තුළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන් මුළා විය. එසේ වෙතත්, සංක්ෂිප්තව ගතහොත්, ඇන්. ඇම්. යනු ශ‍්‍රී ලංකාවේ සුවිශිෂ්ඨ රාජ්‍යතාන්ත‍්‍රිකයා වන්නේය.

Back to Home page