Colombo Telegraph

ලංකාවේ දෘෂ්ටිපථය: ගෝම කලාපයේ මහා ජයග‍්‍රහණයක්

කුමාර් ඬේවිඞ්

ආචාර්ය කුමාර් ඬේවිඞ්

පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග‍්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත් මේ ලිපියෙන් තර්ක කෙරේ.

අගමැති තනතුරට පත්වීමට නියමිත නරේන්ද්‍ර මෝඩිට ඉන්දියාවේ අභ්‍යන්තර ලෞකික – ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ විදේශ ප‍්‍රතිපත්තිය කෙරෙහි බලපෑම් කිරීමට ඇති හැකියාව, එවැන්නක් කිරීමට ඔහුට අවශ්‍ය වෙතත්, ඉතා අල්ප ය. මෝඩි – භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී) පාලනය යටතේ වෙනසක් විය හැක්කේ, ඉන්දියානු පන්නයේ නව – ලිබරල් ආර්ථික මාවතක් වෙතටයි. එසේ වෙතත්, එම පාලනය විසින් බඩට වදින ජනතා – විරෝධී පියවර ගතහොත්, ඉදිරි වසරක කාලය තුළ ආපසු ගොඩනැගෙන ජනතා බලවේග විසින් ඊට විරෝධය එල්ල වනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතරයකට හිමිකම් කීව ද, නව ආණ්ඩුව කියන තරම් ශක්තිමත් නැත: එහි දෙපයේම, ඔවුන්ගේ ගමන බාල කරවන කරගැට තිබේ.

මහා ජයග‍්‍රහණය සිදුව තිබෙන්නේ විස්තෘත ගව – කලාපයකයි. එය, ගෝම – කලාපය වශයෙන් හැඳින්වීමට මට අවසර. ගව – කලාපය වශයෙන් ලාංකිකයන් අදහස් කරන්නේ හින්දි භාෂාව කතා කරන (උත්තර් ප‍්‍රදේශ්, බිහාර්, ජාර්ක්හන්ඞ්, චට්ටිස්ගාර්, හර්යාන, උත්තර්කාන්ඞ් සහ දිල්ලිය) වළල්ලයි. එය ගෝම කලාපයට විස්තාරණය වෙද්දී, ගුජරාට, මහාරාෂ්ට‍්‍ර, මධ්‍ය ප‍්‍රදේශ් සහ රාජස්ථාන් ද ඇතුළත් කර ගැනේ. ඉහත සඳහන් ගව කලාපයේ ජීවත් වන්නේ, බිලියන 1.2 ක් වන ඉන්දියානු මුළු ජනගහනයෙන්, සියයට 40 කට අඩු ප‍්‍රමාණයකි. ගෝම කලාපයත් ඊට අයත් කරගතහොත් තවත් මිලියන 300 ක් ඊට එකතු වෙත්. ගව කලාපය හින්දු භාෂාවේ හදබිම නම්, ඊට වඩා පුළුල් ගෝම කලාපය, හින්දුත්වවාදයේ හදබිම වෙයි.

බී.ජේ.පි. (එන්.ඞී.ඒ.) දිනාගත් ආසන සංඛ්‍යාව 282 කි. එහෙත් එයින් ආසන 264 ක් අයත් වන්නේ ගෝම කලාපයටයි. අනිත් පැත්තට ගත් විට, වෙනත් තැන්වල මේ පක්ෂ දෙකේ කෙරුවාව අන්තිමයි: කේරලයේ ආසන 20 න් එකක්වත් ඔවුන් ජයග‍්‍රහණය කෙළේ නැත. තමිල්නාඩුවේ ආසන 39 න් ඔවුන් ජයග‍්‍රහණය කෙළේ 1 ආසනයක් පමණි. බටහිර බෙංගාලයේ ආසන 42 න් ආසන 2 ක් පමණි. තෙලංගනා ආසන 17 න් ආසන 2 ක් පමණි. ඔරිස්සා ආසන 21 න් ආසන 1 ක් පමණි. එසේම, ඊසානදිග සහ වෙනත් බොහෝ කුඩා ප‍්‍රාන්තවල ඔවුන්ගේ ජයග‍්‍රහණයන් ද එයාකාරයෙන්ම අල්ප ය. එසේ හෙයින්, මේ වනාහී, ගෝම කලාපීය ජයග‍්‍රහණයක් මිස, සමස්ත ඉන්දියානු ජයග‍්‍රහණයක් නොවේ. ඉන්දියාවේ පවතින්නේ වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමයක් වීම හේතුවෙන් ආසන 80 ක් පවතින උත්තර් ප‍්‍රදේශ්හි දී බී.ජේ.පී. ය ආසන 71 ක්ම දිනා ගැනීමට සමත්ව තිබියදීත්, එය ලබා ඇති ඡුන්ද ප‍්‍රතිශතය සියයට 42 ක් පමණි. සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් ඔවුන් දිනාගෙන ඇත්තේ, ගුජරාට, රාජස්ථාන්, මධ්‍ය ප‍්‍රදේශ් සහ මහාරාශ්ටයේ දී පමණි. මහා ජයග‍්‍රහණය ඔවුන් අත්කරගෙන ඇත්තේ, ගව කලාපයෙන් ඔබ්බට ගිය ගෝම කලාපයෙනි. සමස්ත ඉන්දියාව වශයෙන් ගත් විට, ඡුන්ද ප‍්‍රතිශතය මෙසේය: ජයග‍්‍රාහී සන්ධානය සියයට 39 යි, කොන්ග‍්‍රස් සන්ධානය සියයට 24 යි, අනිත් පක්ෂ සියයට 37 යි.

මහා ජයග‍්‍රහණය, පර්යායදර්ශී අර්ථයෙන්

ඉන්දියාවේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ මෙවැනි මහා ජයග‍්‍රහණ අමුත්තක් නොවේ. 1951, 1957 සහ 1962 මැතිවරණවලදී නේරුගේ නායකත්වයෙන් යුත් කොන්ග‍්‍රස් පක්ෂය, ආසන 490 ක් අතරින් ආසන 360 – 370 ක ප‍්‍රමාණයක් ද, ඡුන්ද වශයෙන් ගත් විට සියයට 44 – 48 අතර ප‍්‍රමාණයක් ද දිනා ගැනීමට සමත් වුණි. 1967 දී ආසන 520 කින් ආසන 289 ක් ද, මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 41 ක් ද දිනා ගැනීමට ඉන්දිරා ගාන්ධි සමත් විය. එසේම, 1971 දී ආසන 350 ක් සමග මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 44 ක් දිනා ගැනීමට ඇය සමත් විය. එහෙත් එම ජයග‍්‍රහණයන් සහ මේ වර්තමාන ජයග‍්‍රහණය අතර අතිශය වැදගත් එක් වෙනසක් තිබේ: එනම්, මීට පෙර ලැබු එකී ජයග‍්‍රහණයන් තුළ සමස්ත ඉන්දියාව ආවරණය වී තිබීමයි. ඒවා ගව කලාපයට සීමා වු ජයග‍්‍රහණයන් නොවුණි. ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු රජීව් ගාන්ධි, ඉන්දියානු පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ආසන සංඛ්‍යාවත් (414), වැඩිම ඡුන්ද ප‍්‍රතිශතයත් (සියයට 49) දිනාගත්තේය. එයත් ඉන්දියාව පුරා පැතිරුණු ජයග‍්‍රහණයක් විය. කෙසේ වෙතත්, 1989 පටන් ඉන්දියාව පාලනය කරනු ලැබුවේ සුළුතර ආණ්ඩු විසිනි. එහෙත් ඒවා සන්ධානගතව පැවති සෙසු පක්ෂ ඉන්දියාව පුරා විසිරුණු දේශපාලනයක් නියෝජනය කළ හෙයින් ඒවාට සමස්ත ඉන්දීය ස්වරූපයක් තිබුණි. මෙවර ජයග‍්‍රහණයේ ස්ථානගත වීම ඊට වෙනස් ය: මහා ජයග‍්‍රහණය සීමා වන්නේ ගෝම කලාපයටයි. මෙය මා අවධාරණය කරන්නේ, අළුත් ආණ්ඩුවේ දෙපයේ ඇති කරගැට දෙකින් එකක් හඳුන්වා දීමටයි: සැබෑ අරුතකින් ගත් විට, මෙය සුළුතර ආණ්ඩුවකි.

බී.ජේ.පී. ආණ්ඩුවට නිදහසේ හැසිරීමට ඇති ඉඩකඩ ඒ නිසා සීමා කෙරේ. අන්තවාදී කොටස් වෙතින් එල්ල වන බලපෑම් තිබියේ වී මුත්, මේ ආණ්ඩුව වර්ගවාදය උසිගැන්වීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හුස්ම හිර කැරැුවීමේ මාවතකට නොපිවිසෙන බවට විශ්වාසයක් තබාගත හැක්කේ, ඔවුන් මුහුණදෙන එකී සීමාව නිසා ය. ඉන්දියාවෙන් ඉතිරි භාගය සහ මිලියන 180 ක් වන මුස්ලිම් ජනතාවක් මේ ‘සුළුතර’ ආණ්ඩුවට එරෙහි බලවේග වශයෙන් පෙළගැස්වෙනු දැකීමේ අවශ්‍යතාවක් අළුත් ආණ්ඩුවට තිබිය නොහැක. බී.ජේ.පී. – මෝඩි ආණ්ඩුව ඉන්දියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ රාජ්‍යයේ ලෞකිකත්වයට බරපතල තර්ජනයක් නොවෙතැ යි මට සිතීමට තුඩුදෙන එක කාරණයක් එයයි.

ආණ්ඩුකරණය සහ ආර්ථිකය

සරළව කිවහොත් ඉන්දියානු ජනතාව මේ ජයග‍්‍රහණය වටහා ගන්නේ මෙලෙසිනි: ‘‘සෑම නිවසකටම විදුලි බලය ලැබේවි. ගුජරාටයේ මෙන් සියල්ල මනහර වේවි. රැුකියා ලැබේවි. අන්ධකාරය තුළ ආලෝකය දැල්වේවි. මෙවර අන්ධකාරය එය වටහා ගනීවි.’’ වශයෙනි. අනිත් අතට, දේපළ හිමි පංතීන් බලාපොරොත්තු වන්නේ, ව්‍යාපාරික හිතැති ආණ්ඩුවකි. ව්‍යාපාරික කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණික පංති සහ පාසල්වලින් පිට වන උගත් තරුණ තරුණියන්, ඊළඟ මුස්ලිම් ජාතිකයාව ඝාතනය කිරීමක් ගැන සිතන්නේ නැත. ඔවුන් බලාගෙන ඉන්නේ, සිලිකෝන් මිටියාවත සහ නියොන් එළි තමන්ට පේන තෙක් මානයේ දර්ශනය වන තෙක් ය. මේ කණ්ඩායම් තුනම තෘප්තිමත් කිරීමට ආණ්ඩුවට නොහැක. ඔවුන් ව්‍යාපාරික පංතීන් තෘප්තිමත් කරනු ඇත. එයින් ඉතිරි වන දෙයකින් උන්නතිකාමී තරුණයන්ව සනහනු ඇත. එහෙත්, අළුත් යුගයක උදාවක් බලා සිටින සාමාන්‍ය ජනයාට, වෙනත් උදාවක් එන තෙක් බලා සිටීමට සිදුවනු ඇත.

ආණ්ඩුවේ ක‍්‍රියාන්විත සැලසුම් තුළ ප‍්‍රමුඛත්වය ගනු ඇත්තේ, ආර්ථිකය සහ ආණ්ඩුකරණයට අදාළ ප‍්‍රශ්නයි. ඊට හානිකර විය හැකි, හින්දුත්වවාදයකට හෝ මුස්ලිම් දඩයමකට වෙලාවක් ආණ්ඩුවට නොලැබෙනු ඇත. ඉන්දියාවේ ‘ඉකොනොමික් ටයිම්ස්’ කියන පරිදි, අරූන් ජේට්ලි, රග්නාත් සිං, අරූන් ශූරි සහ සුෂ්මා ස්වරාජ් වැනි පතාකයන් නව ආණ්ඩුවේ ප‍්‍රධාන කැබිනට් තනතුරුවලට පත්කෙරෙනු ඇත. එසේ වෙතොත් එය, ව්‍යාපාරික සමාගම්වලට හිතකාමී, බටහිරට නැඹුරු, විදේශීය සහ ඇමරිකාවට මිත‍්‍ර උපාය මාර්ගික ප‍්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යන ආණ්ඩුවක් වනු ඇත. එසේම, ලංකාවේ මානව හිමිකම් සහ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ප‍්‍රතිපත්තිය ද එයාකාරයෙන්ම ඉදිරියට ගෙන යනු ඇත. කෙසේ වෙතත්, බී.ජේ.පී. – මෝඩි ආණ්ඩුවට තේරීමක් තිබේ. එක්කෝ, ආර්ථික උපාය මාර්ගයකි: ධනපති ප‍්‍රතිසංස්කරණ, ගෝලීය ප‍්‍රාග්ධන සම්බන්ධතාව, යහපාලනය සහ සහනාධාර අවම කිරීම සහ ජනතාවාදය ඊට අයත් ය. එසේ නැතහොත්, අන්තවාදී දෘෂ්ටිවාදයක් සහිත හින්දුත්වවාදී සැණකෙලියකි. එහෙත්, කලින් කී මාර්ගය හැර වෙනත් මාර්ගයක් ගැනීමට මේ ආණ්ඩුවට ඉඩක් නැති බව මට සහතික ය.

‘ආම් ආද්මී’ සහ නූතනත්වයේ සාධක

‘ආම් ආද්මි’ පක්ෂයේ බලපෑම, එය දිනා ගත් ආසන සංඛ්‍යාවට වඩා බලවත් ය: මැතිවරණය තුළ එම පක්ෂයේ දැඩි තරගයට යට වූ සියලූ දෙනා පරාජය වුහ. එම පක්ෂයේ අභියෝගය ඉදිරියේ කොන්ග‍්‍රස් පක්ෂයේ සුජාත භාවය සුනුවිසිනු කෙරුණු අතර, ඒ මගින් බී.ජේ.පී. ජයග‍්‍රහණයට තල්ලූවක් ලැබුණි. අළුත් පක්ෂයක් වශෙයෙන් ඔවුන්ගේම සාර්ථකත්වයත් අඩු ලංසුවක එකක් නොවේ: ඔවුන් පන්ජාබයේ ඡුන්ද ප‍්‍රතිශතයෙන් සියයට 24 ක් හෙවත් ඡන්ද මිලියන 3.4 ක් ලබා ගැනීමට සමත් වූ අතර, දිල්ලියේ දී සියයට 33 ක් හෙවත් ඡන්ද මිලියන 2.7 ක් ද, මහාරාෂ්ට‍්‍රයේ ඡන්ද මිලියන 1.1 ක් ද, උත්තර් ප‍්‍රදේශයේ ඡුන්ද මිලියන 0.8 ක් ද, හර්යානාවේ ඡන්ද මිලිනය භාගයක් සහ මධ්‍ය ප‍්‍රදේශයේ ඡුන්ද මිලියන 0.3 ක් ද ලබා ගැනීමට සමත් විය. ඔවුන් දිනා ගත් ආසන සංඛ්‍යාව හතරකි. ඒ සියල්ල පන්ජාබයෙනි.

බී.ජේ.පී. සාර්ථකත්වය පසුපස ඇති එක් විශාල සාධකයක් වන්නේ, එම පක්ෂයේ ආධාරකරුවන්ව ඡන්ද පොළට පැමිණ ඡන්දය පාවිච්චි කිරීමට පෙළඹවීමේ වෑයම සාර්ථක වීමයි. ඉන්දියාව සමස්තයක් වශයෙන් ගත් විට, ඡන්දය පාවිච්චි කළ ප‍්‍රතිශතය සියයට 4 කින් මෙවර ඉහළ ගොස් ඇති අතර, බී.ජේ.පී. ඉහළින් ජයග‍්‍රහණය කළ තැන්වල ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය ඊටත් වඩා ඉහළ ගොස් තිබුණි. එම වර්ධනයට පාදක වු එක් සාධකයක් වන්නේ, නූතනත්වය අපේක්ෂා කරන, මූණුපොත සහ අන්තර්ජාලය වැනි සමාජ මාධ්‍යයට හුරු තරුණයන්, වැඩි වැඩියෙන් ඡන්දයට සහභාගී වීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, රාජ්‍යයේ ලෞකිකත්වය සහ බටහිර මාදිලියේ තාක්ෂණික සහ සංස්කෘතික ආචාර විධීන් අගයන මේ පිරිස, ඒවාට එරෙහි ඕනෑම ප‍්‍රයත්නයකට විරෝධය දක්වනු ඇත. එසේම, ඇමරිකාව සහ බටහිර සමග ඉන්දියාව පවත්වන උපාය මාර්ගික සම්බන්ධතාව පළුදු කරන කිසිවකට ඉඩක් ද මෙහි දී ඉතිරි නොවනු ඇත.

ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව සම්බන්ධ ප‍්‍රතිපත්තිය

භාරතීය ජනතා පක්ෂය තුළට මෝඩිව අටවන ලද්දේ, හින්දු ජාතිකවාදී, දක්ෂිණාංශික පක්ෂයක් වන, ආර්.එස්.එස්. ව්‍යාපාරය විසිනි. මෝඩි එම පක්ෂයේ පැරණි සාමාජිකයෙකි. ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් තීරණාත්මක සහ බලගතු රටක් වශයෙන් ඉදිරියට ගැනීමට මෝඩිට අවශ්‍ය වෙතත්, ඉන්දියාවේ වර්තමාන බහු – පාර්ශ්වීය ප‍්‍රතිපත්තිවලින් කැඞී වෙන්වීමට ඉන්දියාවේ දකුණෙන් ඉඩක් මෝඩිට නොලැබෙනු ඇත. ඔහු කෙරෙහි ඇමරිකාව ගජමිතුරු විය නොහැකි වෙතත්, ඉන්දිය සාගරයේ සහ දකුණු චීන මුහුදේ බලපැවැත්වෙන ඉන්දීය ආරක්ෂක සහ විදේශ ප‍්‍රතිපත්ති ඇමරිකාවට සහසම්බන්ධීව ඇති තරම කෙතෙක් ද යත්, එම මාර්ගයෙන් වෙන් වීමට ඉන්දියාවට හැකියාවක් නැත. අළුත් ආණ්ඩුවේ දෙවැනි කරගැටය එයයි: එනම්, විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනසක් කර ගැනීමට ඇති නොහැකියාවයි. පාකිස්තානය සහ චීනය සමග ගනුදෙනුවේ දී තමන්ගේ මස් රාත්තලම ඉල්ලා සිටීමට තරම් මෝඩි පෙළඹෙන්ට පුලූවන. ඒ මගින් ඒ සම්බන්ධතාවල යම් ගැටුමක් නිර්මාණය විය හැකි අතර එහි දී ඔහුට කටයුතු කිරීමට සිදුවනු ඇත්තේ, දෙන ලද ඉතා සීමිත අවසරයන් තුළ පමණි.

එම තත්වය විසින් ශ‍්‍රි ලංකාවට කරනු ලබන බලපෑම තුළ, ජාත්‍යන්තර වශයෙන් අතපය දිග හැරීමට මහින්ද රාජපක්ෂට ඇති හැකියාව, ඔහුගේ වර්තමාන මිතුරන්ගේ (චීනය සහ පාකිස්තානය) හොඳ හිතත්, පැහැදිළි චිත‍්‍රයක් නැති ඉන්දියාවේ නෝක්කාඩුවට ලක් නොවී සිටීමට ඇති හැකියාවත් අතර වන පටු සීමාවකට කොටු වෙනු ඇත. මෝඩිගේ හිත දිනා ගැනීම සඳහා ලංකාවේ බෞද්ධ අන්තවාදීන්ව මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව රාජපක්ෂ යොදා ගතහොත්, ජාත්‍යන්තර තලයේ දී වෙනත් කාරණා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් හයියෙන් කෑගැසූ පාකිස්තානයේ නෝක්කාඩුවට ලංකාව ලක්වෙනු ඇත. චීනය සම්බන්ධයෙන් ගත් විට, මෝඩි – බේජින් ප‍්‍රහේලිකාව දිග ඇදෙනු ඇත්තේ පියවරෙන් පියවරට ය. එහි දී, ඒ ඒ අවස්ථාවන් අනුව නැටීම මිස වෙනත් විකල්පයක් රාජපක්ෂට ඉතිරි නොවෙනු ඇත. මහා මෝඩි සමග පුංචි රාජපක්ෂ සෙල්ලම් නටන්න ගියොත්, ඔහුව බෙල්ලෙන්ම හිර වෙනු ඇත. මෝඩි යනු, ආචාරශීලී මන් මෝහන් සිං නොවේ.

ලංකාව සම්බන්ධයෙන් වැදගත් වන්නේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු නැගෙනහිරට තවත් බලය බෙදා හැරීම වෙනුවෙන් මෝඩි කොතෙක් දුරට තම බලය පාවිච්චි කරයි ද යන්නයි. මන්මෝහන් සිංගේ ඉන්දියාව, දුර්වල සහ උදාසීන රටකි. ලංකාවේ දෙමළ ජනයා පිළිබඳ බොක්කෙන් එන කැක්කුමක් මෝඩි – බී.ජේ.පී. අළුත් ආණ්ඩුවට තිබිය නොහැකි බව සැබෑව. එහෙත් මුළු තමිල්නාඩුවම දැන් තමන්ගේ එක අතට ගෙන සිටින ජයලලිතාගේ ක‍්‍රියාකලාපය දිග හැරෙන ආකාරය, එහි දී වැදගත් වෙනු ඇත. තමිල්නාඩුවට ආරෝපණය වන ‘සුළුතර’ ස්වභාවය නිසා, එම ප‍්‍රාන්තය හතුරු කර ගැනීමට මෝඩිට පුලූවන් කමක් නැත. ලංකාව සම්බන්ධයෙන් චීන්නුන් විසින් දැනට ගෙන යනු ලබන ප‍්‍රතිපත්තියේ විශාල වෙනසක් කිරීමට මෝඩිට හැකි වෙතැ යි මම නොසිතමි. එසේ වෙතත්, ඔහුගේ ස්වභාවය සැලකිල්ලට ගත් විට, හදිසි සහ ආසන්නතම අභ්‍යන්තරික සහ විදේශ කරුණු ගැන සොයා බැලීමෙන් පසු, ඔහු ලංකාව ගැන වඩාත් මැදිහත් වීමට ඉඩ තිබේ. එහෙත්, ඒ තව කලකින් පසුව ය.

මේ රචනාව තුළ මා ඉදිරිපත් කළ අනුමිතීන්වල නිරවද්‍ය භාවය දැන ගැනීමේ ප‍්‍රථම අවස්ථාව උදාවන්නේ නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය මොන වගේ දැ යි දැන ගත් පසුවයි. නව අගමැතිවරයා බී.ජේ.පී. යේ රජුන් තනන්නන් ඊට ඇතුළත් කර ගනී ද, එසේ නැතහොත් තමාට පෞද්ගලිකව පක්ෂපාතී පක්ෂ කේඩරයෙන් ඊට කැඳවීමට තරම් ශක්තියකින් යුක්ත වෙයි ද? එම කැබිනට්ටුවේ හැඩය සැකසීමට ආර්.එස්.එස්. කොතෙක් දුරට සමත් වේද? මේ මාසය අවසන් වන විට ඒ කරුණු ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීමට අපට හැකි වනු ඇත.

*2014 මැයි 21 වැනි දා ‘ඉන්ඩියන් ස්ට‍්‍රැටජික් ස්ටඞීස්’ සඟරාවේ පළවූ  “The View from Lanka: A Landslide in the Bovine-Belt” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page