Colombo Telegraph

සාම්පූර් නවතා දැමීම – මිල අධික වැරදි තීරණයක්

කුමාර් ඩේවිඩ්

මහාචාර්‍ය කුමාර් ඩේවිඩ්

විවේචනය, වරදක් මග හරවා ගැනීමට අවස්ථාව සලසා දෙයි – නවතා තිබූ පවුම් බිලියන 18 ක් වටිනා මෙගාවොට් 3200 ක ධාරිතාවකින් යුත් හින්ක්ලි පොයින්ට් සී න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත පණ ගැන්වීමට බ්‍රිතාන්‍ය රජය පසුගිය දා ක්‍රියා කළේ ය. ශ්‍රී ලංකාවට මෙවැනි තීන්දු ගැනීමට අපහසු වීමට, සාධාරණ හේතු වලට අමතරව නොයෙකුත් පාර්ශව වලින් ඇති කරන පීඩනය ද, නොයෙකුත් බොළඳ සහ මුදලට විකිණෙන පුද්ගලයින්ගේ ක්‍රියා කලාපය ද හේතු වී ඇත. අවුල් ජාලයක පැටලී ඇති රජයට, ගන්නා තීරණ පිළිබඳ කිසිදු වැටහීමක් නැත. විදුලි බල ක්ෂේත්‍රය අලළා ලියැවුන ලිපි පෙළෙහි දෙවැන්න වන මෙයින්, වත්මන් ගැට‍ළු සාකච්ඡා කෙරේ. අවසාන ලිපියෙන් විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ව පුළුල් ව සාකච්ඡා කෙරේ.

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමට කලබලයට පත් වූ  බලධාරීන්, ඉන්දියාව සමග ගිවිස ගත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම අහෝසි කර දමන බවට ප්‍රකාශ කළහ. මෙය 1990 දශකයේ කූට උපක්‍රම මගින් තෙල් බලාගාර ගෙන ආ පරිද්දෙන් ම, නැවත පුද්ගලික අංශය වෙත විදුලි බල ක්ෂේත්‍රය විවෘත කර ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහයක මුල් පියවර වුවද විය හැක. පාඩු ලබන ආයතන පමණක් පෞද්ගලීකරණය කිරීමට, රජය උත්සහ කරතැයි සිතීම බොළඳ සිතුවිල්ලක් වන අතර, පුද්ගලික ආයෝජකයින් ගේ ආකර්ෂණයට බඳුන් වන්නේ වඩා ලාබ දායි ආයතන වේ. දේශීය හා විදේශීය ද්‍රව ස්වාභාවික වායු ව්‍යාපාරිකයන් අමාත්‍යාංශ මට්ටමින් හෝ ඊටත් ඉහළින් බලපෑම් කරන බව පෙනේ. විදුලි බල ක්ෂේත්‍රයට පුද්ගලික සහභාගීත්වයට මාගේ විරුද්ධත්වයක් නොමැති වුවත් තෙවැනි ලිපියේ විස්තරාත්මක ව පැහැදිලි කරන සේ 1990 දශකයේ දී සිදු වූ දෙය ම නැවත සිදුවීම අනුමත කළ නො හැක.

ඉන්දීය ජාතික තාප විදුලි බල සංස්ථාව සමග එක් ව, ලංකා විදුලි බල මණ්ඩලයට සම කොටස් ඇති ව තැනුණ ත්‍රිකුණාමල විදුලි සමාගම මගින් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉතා ආසන්න ව පැවතුණි. එක් පාර් ශවයකින් ඇ.ඩො. මිලියන 75 ක් හා ප්‍රාග්ධන වෙළඳපොළ තුලින් ඇ.ඩො. මිලියන 600 ක් ද ආයෝජනයට සැලසුම් කර තිබුණි. ඉංජිනේරු සැලසුම් හා පාරිසරික අනුමැති සියල්ල සකස් වෙමින් පැවතුණ අතර ක්‍රියාත්මක කිරීමට ආසන්න ව තිබූ ව්‍යාපෘතිය විනාශ කර දැමීය.

සාම්පූර් බලාගාරය ඉදිකිරීම විදුලි බල ක්ෂේත්‍රයෙන් පුද්ගලික අංශය දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ ඈත් කර තැබීමට හේතුවක් වීමට ඉඩ තිබුණි. දැන් අති විශාල කොන්ත්‍රාත්තු සඳහා මාන බලන දේශීය සහ විදේශීය ද්‍රව ස්වාභාවික වායු ව්‍යාපාරිකයන් කරළියෙන් පසුපසට තල්ලු කර දැමීමට ද හැකියාව තිබුණි. මා හට මෙය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට විරුද්ධ වීමට ඇති එක ම හේතුව එමගින් රටට ලැබීමට තිබූ ප්‍රතිලාභ පිළිබඳ වූ ඇල්මයි. පාරිසරික බලපෑම් ඉදිරිපත් කරමින් මෙසේ මෙය නවතා දැමීම සැක සහිත ය. ගල් අඟුරු වාෂ්පීකරණය, අති සුපිරි අවධි දහනය සහ පීඩිත ද්‍රව අවස්ථාවේ දහනය වැනි තාක්ෂණික ක්‍රම ආර්ථික වශයෙන් ලාභදායී තත්වයට වර්ධනය නො වුන හොත් සාම්පූර් බලාගාරය රටේ අවසන් ගල් අඟුරු බලාගාරය වීමට ඉඩ තිබුනත් ගල් අඟුරු බලාගාරය අවලංගු කිරීමට වඩා උපායශීලී තීරණයක් ගත හැකි ව තිබුණි.

මෙම නොසැලකිල්ලෙන් සිදු වන බලවත් වරද නිසා ලංකාවට රු. බිලියන 200 (මිලියන නොවේ) කට වඩා වැඩි පාඩුවක් ඇති කළ හැක. මෙම මුදල බදු ගෙවන ජනතාවට හෝ විදුලි පාරිභෝගිකයන් හට ගෙවීමට සිදු වෙනවාට අමතරව රටේ ණය බරට ද එකතු වනවා ඇත. සාම්පූර් බලාගාරය කිහිප වතාවක් ම ප්‍රමාද වී තිබුනත් (ඩීසල් බලාගාර මාෆියාව මගින් 1990 දශකයේ දී නොරොච්චෝලේ බලාගාරය ප්‍රමාද කළා ලෙස ම) 2016 දී මෙම අවලංගු කිරීම සිදු නොවුනි නම් මෙගාවොට් 250 බැගින් වන විදුලි ජනක දෙකක් 2020 හා 2021 වන විට විදුලි ජනනයට එක් වේ. මෙම තත්වය යටතේ ආර්ථික වර්ධනය නොකඩවා පැවතුනොත් වසර 2018 දී නැතිනම් වසර 2019 දී ශ්‍රී ලංකාවට බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇත. පරණ ඩීසල් බලාගාර යක්ෂයා ලගදීම හිස ඔසවනු ඇත. මෙගාවොට් 170 ඩිසල් බලාගාරයක් හා මෙගාවොට් 105 ක තල බමන තෙල් බලාගාරයක් සේවයට එක්වීමට නියමිත අතර මේවා අයිති වන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන්ට ය. සාම්පූර් බලාගාරය මෙන් නොව අධික ඉන්ධන වියදමක් සහිත මෙම බලාගාර නිසා විදුලි මිල ඉහල යාම හෙට දින ඉර පායන්නාක් මෙන් විශ්වාසය.

ඉහත මා සඳහන් කළ රු. බිලියන 200 ගණනය කලේ මෙසේ ය. රු. බිලියන 180 ක් 2025 තෙක් ගල් අඟුරු වලට වඩා වැඩි වන ඉන්ධන වියදම වන අතර රු. බිලියන 20ක් ගෑස් බලාගාර ඉදිකරන තෙක් විදුලි අවශ්‍යතාව සැපිරීමට අවශ්‍ය ඩීසල් බලාගාර සඳහා යන වියදම වේ. බටහිර වෙරළ ආසන්නයට ද්‍රව ස්වාභාවික වායු ගෙන ආවොත් තෙල් බලාගාර ගෑස් බලාගාර බවට පරිවර්තනය කළ හැකි වුවත් සාම්පූර් වල දී එය සිදු කළ නොහැක.

ඇත්ත වශයෙන් ම 2025 යනු සර්ව සුබවාදී ඉලක්කයකි. විදුලි බලාගාර හා වරාය ඉදිකිරීම් වලට සුදුසු ස්ථාන තෝරා ගැනීම, ඉංජිනේරු සැලසුම් සකස් කිරීම, පාරිසරික අනුමැති සියල්ල ලබා ගැනීම සහ අවශ්‍ය ආයෝජන මුදල් (ඇ.ඩො. මිලියන 480ක් ගොඩ බිම පසුබිම් කරගත් පර්යන්තයකටත් ඇ.ඩො. මිලියන 350ක් මෙගාවොට් 300 ක ගෑස් බලාගාරයක් හා සම්ප්‍රේෂණ පද්ධතියටත්) සොයා ගැනීමත් සිදු කළ යුතු ව ඇත. 2025 වන විට ගෑස් බලාගාරයෙන් විදුලි ජනනය සිදුවුවහොත් එය පුදුමයට කරුණකි. නැතහොත් පසු වන සෑම අවුරුද්දකට ම ඩීසල් සඳහා ගල් අඟුරු හෝ ගෑස් සඳහා වැය වන ප්‍රමාණයට වඩා  රු. බිලියන 37 බැගින් වැය වනු ඇති අතර එම පාඩුව විඳ දරා ගැනීමට සිදු වනු ඇත.

ගල් අඟුරු බලාගාර ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කළ යුතු බවට සැකයක් නොමැත. මේ හේතුවෙන් ඉදිරි වසර 20 තුළ මෙගාවොට් සිය දහස් ගණනක ගල් අඟුරු බලාගාර ස්ථාපනය කිරීමට සැලසුම් කරන දැනට ලෝකයේ පළමු හා තෙවෙන හරිතාගාර වායු විමෝචකයන් වන චීනය හා ඉන්දියාව නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම අඩු කරනු ඇති අතර අවසානයේ දී සියලු ගල් අඟුරු බලාගාර සේවයෙන් ඉවත් කරනු ඇත. චීනයේ වාර්ෂික එක පුද්ගල කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 6.6 ක් වන අතර ඇමරිකාව, ජර්මනිය, ජපානය හා ඉන්දියාව යන රටවල පිළිවලින් ටොන් 16.2, 9.5, 9.5 හා 1.5 ක් වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික එක පුද්ගල කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 0.7 ක් වන අතර මෙයින් 60% ක් ප්‍රවාහන සේවා නිසා ද 40% ක් විදුලි බල නිපදවීම නිසා ද සිදුවේ. අනුමත කළ නොහැකි කරුණක් වුවද මෙම අගය දෙගුණයක් දක්වා වැඩි වුවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව සම්මත වූ සීමාවන් ගෙන් බොහෝ පහලින් සිටී.

ගෝලීය උණුසුම වැඩි වීමට අපෙන් ඇති දායකත්වය ඉතා අල්පය. ප්‍රශ්නය ඇත්තේ හරිතාගාර වායු විමෝචනයේ නොවේ. ඇත්තේ දේශීය ප්‍රශ්නයකි. නොරොච්චෝලේ බලාගාරයෙන් පිට වන අළු කිලෝමීටර් 3ක් ඇතුළත ප්‍රදේශ වාසීන්ට අහිතකර ප්‍රතිඵල ලගා කර දී ඇත. නිවැරදි තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් මෙය මග හරවා ගැනීමට හැකියාව පැවති යත්, ලංකා විදුලි බල මණ්ඩලය අනුමත කළ නොහැකි ලෙස පාරිසරික වගකීම් නො සලකා හැර ඇත. ජපානය තායිවානය හා හොංකොං වල පිහිටි ඉතා හොඳ තත්වයේ බලාගාර වල මෙම අළු ප්‍රශ්නය අධිතාක්ෂණික උපක්‍රම මගින් මග හරවා තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය කොතරම් මෙම නව තාක්ෂණ උදාහරණ ගෙන හැර දැක්වුවත් නොරොච්චෝලේ බලාගාරය අසල ගම්මාන වලට පැමිණ තත්වය දැක බලා ගත් සාම්පූර් අවට ජනතාව එය විශ්වාස කිරීමට පැකිළෙමින් සිටින අතර කිසි දිනක තම ගම්මාන අසල ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ඉඩ නො දෙනු ඇත.

ගල් අඟුරු දහනයෙන් පිට වන රසදිය වැනි බර ලෝහ සෞඛ්‍යය ගැට‍ළු ඇති කරයි. අන් සෑම තැනම කරන්නාක් මෙන් ඒවා පිටවීමට නොදී රදවාගෙන භූගත ජලයට හා පසට එකතු වීම නැවතිය හැකිය. මෙය වියදම් සහිත කටයුත්තක් වන අතර අළු, ගල් අඟුරු දූවිලි හා බැර ලෝහ පිටවීම පාලනය කිරීම නිසා නිෂ්පාදන වියදම 15% කින් පමණ ඉහල යයි.

රු. බිලියන 200 කට වැඩි පාඩුව නොමැති වීම, ජාත්‍යන්තර සීමා වලට ඔබ්බෙන් හරිතාගාර වායු විමෝචනය නොවීම, අමතර වියදමකට ලබා ගත හැකි අධිතාක්ෂණික පරිසර හානි අවම කර ගැනීමේ විදි ආදිය ධනාත්මක කරුණු වුවත් අපි ප්‍රාදේශීය ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කරනවා ද?

ප්‍රදේශවාසීන් වෙනත් ප්‍රදේශ වල පදිංචි කිරීම එක් විසඳුමකි. එයට කොපමණ මුදලක් වැය වනු ඇත් ද? අපි පවුල් දාහක් සලකමු. (අමාත්‍ය ස්වාමිනාදන් මහතාගේ ඇස්තමේන්තුවට අනුව 2015 ජුනි වන විට පදිංචි ව සිටි පවුල් ගණන 825 කි). එක් පවුලකට රු මිලියන 1 බැගින් පවුල් 1000 ක් සඳහා නව වාසස්ථාන ලබා දීමට වය වන්නේ රු. බිලියන 1 කි. මෙයට නව පාසල්, රෝහල් සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම ද ඇතුළත් ය. පවුල් ගණන ඊට වැඩි වුවත් එක් පවුලකට යන පිරිවැය දෙ තුන් ගුණයකින් වැඩි වුවත් වැය වන වියදම තවමත් සාපේක්ෂව කුඩා අගයකි. සමහරුන් වන්දි මුදල් ලබා ගෙන ඔවුන්ගේ ස්වාධීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට කැමති වනු ඇත. වඩා සුදුසු විසඳුම වන්නේ කුමක් ද? වැඩි පාරිසරික ආරක්ෂණ විදි සහිත ව, පවුල් නැවත පදිංචි කිරීමට අමතර රුපියල් බිලියනයක් හෝ දෙකක් ගෙවා, සාම්පූර් බලාගාරය ඉදි කිරීම ද, නැතහොත් රු. බිලියන 200 ක අනවශ්‍ය වියදමක් බලශක්ති වියදමට එකතු කිරීම ද? සාමාන්‍ය මහජනයා වන ඔබ මෙය තීරණය කරන්න. මා හට කළහැක්කේ විකල්ප පේනවා දීම පමණි. මෙය ඔබේ ප්‍රශ්නයකි.

ගල් අඟුරු හා බටහිර වෙරළේ පිහිටි ස්වාභාවික වායු බලාගාරයක් සංසන්දනය කිරීමට ප්‍රථම එම බලාගාර දෙක ම එක සේ හරිතාගාර වායු විමෝචනයෙන් පරිසරයට හානි පමුණු වන බව පැවසිය යුතු ය. මීතේන් යනු කාබන්ඩයොක්සයිඩ් වලට වඩා කිහිප ගුණයකින් හරිතාගාර සංසිද්ධියට දායක වන වායුවකි. ඇමරිකාවේ පවා මීතේන් කාන්දුව 3% වඩා අඩු කළ නොහැකි වී ඇත. එම නිසා එක් විදුලි ඒකකයක් නිපදවීමේ දී බලාගාර දෙකෙන් ම සිදු වන පරිසර දූෂණය එක ම ප්‍රමාණයක වේ. එක ම වෙනස වන්නේ පෙර සඳහන් කළ පරිදි ගල් අඟුරු බලාගාර මගින් ඒවා අසල ජීවත් වන ජනයාට වන බලපෑමයි.

මේ වගුවේ පෙන්වා තිබෙන බොහොමයක් දත්ත සහ ගණනය කිරීම් ලංකා විදුලි බල මණ්ඩලයේ පරිගණක වැඩසටහනකින් ලබා ගත්තත් ඒවායේ නිවැරදිතාව පිළිබඳ සම්පූර්ණ වගකීම මා බාර ගන්නවා. එයට හේතුව කවුරුන් කළත් ගණිත නියම වෙනස් නො වීම යි. අවසන් ප්‍රතිඵල තීරණය වන්නේ ලබා දෙන මූලික දත්ත මත පමණයි.

වගුවේ පළමු තීරය සාම්පූර් වල ඉදි වීමට නියමිත ව තිබුණ සම්ප්‍රදායික ගල් අඟුරු බලාගාරයක වන අතර දෙවන තීරය අධි තාක්ෂණික පරිසර හිතකාමී සාම්පූර් අදියර 2 ලෙස ජපානයෙන් යෝජනා කළ ආකාරයේ එකකි. තුන් වන සහ හතර වන තීරයන් බස්නාහිර පළාතේ ඉදි වෙන ද්‍රව ස්වාභාවික වායු බලාගාරයක් නිරූපනය කරයි. තුන් වන තීරය  මිල අඩු පාවෙන පර්යන්තයක් වන අතර 4 වන තීරය ගොඩ බිම ස්ථාපිත පර්යන්තයකි.

වඩා සුදුසු පාවෙන පර්යන්තයක් ද ගොඩ බිම ඉදි කරන පර්යන්තයක් ද යන්න තීරණය වන්නේ මන්නාරම ආශ්‍රිතව කෙරෙන ස්වාභාවික වායු නිධි පිළිබඳ කෙරෙන ගවේෂනයන්ගේ සාර්ථකත්වය මතය. මන්නාරම අශ්‍රිතව ස්වාභාවික වායු නිධි සොයා ගත හොත් වඩා සුදුසු වන්නේ නැවත හකුළා යැවිය හැකි පාවෙන පර්යන්තයකි. විදුලි බල උත්පාදනය ද්‍රව ස්වාභාවික වායු මගින් සිදු කිරීම ආර්ථික වශයෙන් සාධාරණීකරණය කළ නොහැක්කේ පර්යන්තයක් සඳහා වැය වෙන අධික වියදම නිසා වෙනි. නමුත් ප්‍රවාහන සේවා ද ස්වාභාවික වායු මගින් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනය කළ හැකි නම් මෙය තරමක් දුරට සාධාරණීකරණය කළ හැක.

මූල්‍යමය වශයෙන් ගල් අඟුරු ද්‍රව ස්වාභාවික වායු වලට වඩා වාසි සහගත ය. දළ වශයෙන් ගල් අඟුරු වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රු. 10 ත් රු.11.50 ත් අතර ගණනක් වැය වන අතර ද්‍රව ස්වාභාවික වායු වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රු. 12.50 ත් රු.15 ත් අතර ගණනක් වැය වේ. මෙය කාසියේ වාසිය උරගා බැලීමකට සමාන වෙන්නේ ඊළඟ දශකයේ දී ඉන්ධන මිල කෙසේ විචලනය වේ දැයි අනුමාන කිරීම ඉතා අපහසු බැවිනි. වර්තමාන මධ්‍යනය මිල ගණන් මත පදනම් වුවහොත් ගල් අඟුරු වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රු. 10.50 ක් ද ද්‍රව ස්වාභාවික වායු වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රු. 13.50 ක් ද වැය වේ. ඉහත සඳහන් කළ නැවත පදිංචි කිරීමේ වියදම් නිසා මෙම අගයන් සැලකිය යුතු ලෙස විචලනය නොවේ.

තව කාරණයක් කිව යුතුයි. ඒ ඉන්දියාව සමග වගකීමකින් තොර තීරණ ගැනීම් නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ වයි. කරුණාකර ගල් අඟුරු බලාගාරයක් වෙනුවට ද්‍රව ස්වාභාවික වායු බලාගාරයක් ලබා දෙන්නැයි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලූ අවස්ථාවේ දී ඔහු එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් ලබා ගත් උපදෙස් අනුවයි. නමුත් අපගේ නායකයාට මේ පිළිබඳ උපදෙස් ලබා දෙන්නේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම අඩු පිරිසක් බවයි පෙනී යන්නේ.

(ඉතිරි කොටස ඊළඟට)

Back to Home page