Colombo Telegraph

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය සහ නිදහස

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද?

එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද?

මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක්  පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි.

1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක හෝ පක්ෂ සමූහයේ කැමැත්තෙන් පත් කෙරෙන නායකයා අගමැති වූ ආණ්ඩුවක පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයකට ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන මර්ධනයක් පවත්වා ගෙන  යා නොහැකිය. එම පැරණි පාර්ලිමේන්තු ක්‍රමය යටතේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය  රැකෙන්නට නම්  මහජනයා  තෝරා පත් කර ගත් මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ දී සහ පිටතදී ඒ වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යය. මර්ධනයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීම වෙනුවෙන් පෙනී සිටින සහ ඔවුන් විසින් පිළිගනු ලබන දේශපාලන සහ සිවිල් සමාජ සංවිධාන රටේ පැවතිය යුතුය.  එමෙන්ම දෙන ලද අවස්ථාවක ආසන්නතම ප්‍රහාරයට ලක් වන ජනයා හැරුණු කොට අනෙක් පුළුල් ජන කොටස් මර්ධණයට එරෙහිව පෙළ ගැස්වීමට එකතු වන පරිද්දෙන් දේශපාලන  මොහොත සකස් වී තිබිය යුතුය.

එහෙයින් පවත්නා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ඒ වෙනුවට විධායක අගමැති ක්‍රමයක් පිහිටුවීමේ අදහස වැනි අතරමැද සම්මුති ගැහීම් වලින් දියාරු කරන්නේ නැතිව ජනතාවගේ ස්වෛරීභාවය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කළ හැකි උපරිමයෙන් සහතික කරන පරිද්දෙන් සූත්‍ර ගත කළ යුතුය.

මේ පසුබිමෙහි ඇතැමුන් යෝජනා කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන සටන නව ලිබරල්වාදයට එරෙහි සටන සමඟ ගැට ගසනවා  යන්නේ තේරුම කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය  දිනා ගැනීම සඳහා රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම අරමුණු කරන විට එතැන ගන්නට රනිල් වික්‍රමසිංහගේ එජාපයට ඉඩ නොතැබීම අවශ්‍ය නම් එය ඉටු  කරන්නේ කොහොමද?

එසේ වන්නට නම් මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම පරදා ජනයාගේ විශ්වාසය දිනා ගත හැකි  ඒ මට්ටමේම වෙනත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුය. දැනට එවැන්නකට කිට්ටුවට එන එකකට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පමණි.  ජවිපෙ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය වැඩිවීමේ ප්‍රවණතාව පසුගිය මැතිවරණ වලදී දකින්නට ලැබුණි. දැන් ජවිපෙ උත්සාහය තිබෙන බව පෙනෙන්නේ දේශපාලන කරළියේ දෙවැනි තැන ගන්නටය.  අද රාජ්‍ය අංශයේ රැකියා සැපයුම අතින් හැරුණු විට බොහෝ දුරට එක ආර්ථික පිළිවෙතක් පිළිගන්නා රාජපක්ෂ රෙජීමයත් රනිල් ගේ එජාපයත් යන දෙකටම මැදහත් විකල්පයක් ඉදිරිපත් කරන්නට සහ තමන් අව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සහමුලින්ම කැපවී ඇති බව  ජනතාවට ඒත්තු ගැන්වීමට ජවිපෙට ඇති හැකියාව මත එහි අනාගත දේශපාලන බලය තීරණ වනු ඇත.

ජනයාගේ දේශපාලන උනන්දුව අවධි වෙමින් තිබෙන මේ මොහොතේ ප්‍රධාන විකල්පය ලෙස තවමත් එජාපය උඩට එන්නේ ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන සැකැස්ම තවම සහමුලින්ම බිඳී ගොස් නැති නිසා මිස රාජපක්ෂ රෙජීමයට පැහැදිළි ප්‍රතිපත්තිමය විකල්පයක් ඉදිරිපත් කරන්නට රනිල් වික්‍රමසිංහට හැකි වී ඇති නිසා නොවේ. රනිල් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක අගමැතිකම යෝජනා කරන්නේ විධායක බලතල පාවිච්චි කිරීමේ අපේක්ෂාව ඔහු තුළ තවම ඇති හෙයිනි. ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා වන උත්සාහයේදී විධායක අගමැතිකම පිළිබඳ අදහස අත්හරින්නට රනිල් ට බලකර සිටිය යුතුය.

අප කතා කරමින් සිටින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අද ලාංකේය දේශපාලනයේ ජනයාගේ පැත්තෙන්  දිනාගැනීම අවශ්‍යව තිබෙන අවම කොන්දේසියයි.  ලිබරල් සහ වාම ලිබරල්වාදීන්ගේ අපේක්ෂාව රනිල් ගේ පාලනයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අදට වඩා විවෘත කරගනු හැකි වෙනු ඇත යන්නයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය  දිනා ගැනීම සඳහා වන සටනට ප්‍රබල ප්‍රතිචාරයක් ලැබෙන්නට නම් ඒ සඳහා එකතු කර ගත හැකි පුළුල් තම ජන බලවේගය ඊට අවශ්‍යය.  එහෙයින් රනිල් වික්‍රමසිංහගේ එජාපය මෙම ව්‍යාපාරයෙන්  ඉවත් කෙරුවොත් එය එබඳු පෙරමුණක ශක්තිය බරපතල ලෙස හීන කිරීමක් වන්නේය.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා වන ජනතා අභිලාෂය වෙනුවෙන් පෙනී සිටිමින් තම දේශපාලන අරමුණු සඳහා මග පාදා ගැනීම බවද ඇත්තකි.  ලංකාවේ ආර්ථිකය ගැන රනිල් වික්‍රමසිංහ දැන් පළ කරමින් සිටින අදහස් වලින් පෙනෙන්නේ රාජපක්ෂ රෙජීමය  ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්ති වල මීළඟ ‘ඉහළ අදියර‘ට ලංකාව ගෙන යෑමට සමත් අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු තමා රටට ඉදිරිපත් කරන්නට කැමති බවයි. මේ දක්වා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රෙජීමයේ පිළිවෙතට විකල්පයක් වන ආර්ථික වැඩ පිළිවෙලක් පැහැදිළි ව ඉදිරිපත් කරනවා තබා රෙජීමයෙන් ජනතාව මත පටවා ඇති අධික පාරිභෝගික බදු  ඉවත් කරන බවට වත් නිශ්චිත පොරොන්දුවක්  දීමට ඉදිරිපත් වී නැත. එබඳු නිශ්චිත විකල්ප ආර්ථික යෝජනා සහ වැඩ පිළිවෙලවල්  විපක්ෂයේ දේශපාලන පක්ෂ, විද්වතුන් සහ බහුජනයා වෙතින් ඉදිරිපත් විය යුතුය. ඒ මත මැතිවරණවලදී ජනයාට කරුණු කියන්නට රනිල් වික්‍රමසිංහට සිදු වනු ඇත. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා වන අරගලයට රනිල් වික්‍රමසිංහගේ එජාපය ඇතුළු කර ගන්නා අතරම නව ලිබරල්වාදී පිළිවෙතට විකල්ප ආර්ථික  වැඩ පිළිවෙලකට එකඟ වන සේ ඔහුට බල කර සිටීමද එක්වර කළ හැකිය.

අද ලංකාව මුහුණ දෙමින් සිටින්නේ හුදෙක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරන මර්ධනයකට මුහුණ පාන්නට වී තිබීමේ ඛේදවාචකයට පමණක් නොවේ. එම මර්ධනය ආගම්වාදී මිලිටරි ආඥාදායකත්වයක් කරා වර්ධනය වීමේ සැබෑ තර්ජනයට අපි මුහුණ දී සිටින්නෙමු.

ලංකාවේ අප සිංගප්පූරු මාදිලියේ ඊනියා සංවර්ධනයක් වෙනුවෙන් මෙතෙක් කල් ඉමහත් අරගල තුළින් රැකගත් නිදහස කැප කිරීමට  සාමුහිකව කැමැත්ත දෙන්නේද? නැද්ද?  යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා දිනය ඉක්මනින් ලං ලංව එන්නේය.

අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නිදහස වෙනුවෙනි. අද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මෙහි ලා අවම කොන්දේසිය සපයයි. එයින් කියැවෙන්නේ අප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අවසාන ඉලක්කය වශයෙන් භාරගත යුතුය යන්න නොවේ.

රාජපක්ෂ රෙජීමය  විසින් ලංකාවේ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් අහිමි කරනු ලැබීම හුදු මාධ්‍ය නිදහස මර්ධනය පිළිබඳ කරුණක්ම නොවේ.  පැතිර පවතින සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය, දේශපාලන පළිගැනීම්, නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීම,  සිවිල් සමාජයේ කටයුතු මිලිටරීකරණයට ලක් කිරීම ජනයාගේ නිදහස මර්ධනය කරන්නේය. එය ප්‍රධාන කොටම ජනයාට කුමනාකාර හෝ මර්ධනයේ බියෙන් තොරව තමන් කැමති දේ කියන්නට සහ පළකරන්නට ඇති හැකියාව හෝ නොහැකියාව පිළිබඳ  කරුණකි.  අපගේ අසල්වාසීන් අපට එරෙහිව ඔත්තු සපයන තත්වයට පත් වී ඇතැයිද නැද්ද යන්න පිළිබඳ සාධාරණ බියක් අපට තිබීම පිළිබඳ කරුණකි.  කෙටියෙන් කියතොත් විසම්මුතියේ නිදහස පිළිබඳ කරුණකි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අපගේ අභිලාෂයන් දිනා ගැනීමේ සටන දිගු කාලීන එකක් වීමේ අවදානම උග්‍ර වෙමින් පවතියි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙසින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එකඟ වන පොදු ජනාධිපති අපේක්ෂකත්වයක්  වෙනුවෙන් කෙරෙන උත්සාහය මෙහිදී වැදගත්ය. එබඳු ව්‍යාපාරයක අරමුණ ඉටු කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන පක්ෂ භේද, මතවාද පසෙකට ලා එක් පුළුල් පෙරමුණකට ආ යුතුය. පොදු යහපත වෙනුවෙන් තම  ලාභාපේක්ෂාවන් තාවකාලිකව කැප කරන්නට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වලට හැකිවිය යුතුය. මෙම ව්‍යාපාරයේ උපාය සකස් විය යුත්තේ එම පුළුල් පෙරමුණ රැකගෙන ගොඩ නඟා ගන්නා එකඟතාවන් මත මිස එක් එක් පක්ෂයට ඉන් ලැබිය හැකි මැතිවරණ වාසි වෙන් වෙන්ව සළකා බැලීමෙන් නොවේ.

එමෙන්ම එම වෑයම පසුබිමෙහි  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය දිගටම ගෙන යාමට සමත් පුළුල්තම ජනතා පෙරමුණක් සංවිධානය කොට ඒ සඳහා මෙරට බහුජන සහයෝගය දිනා ගැනීමේ වැඩ පිළිවෙලකටද මේ සමගින් අවතීර්ණ විය යුතුය.

මේ මොහොතේ මෙම කාර්යයට එළඹීම අප අතපසු කරන්නේය යන්නේ අර්ථය අපි අපේ අනාගත දූ දරු පරපුරු කිහිපයකටම නිදහස සඳහා වන අවකාශය අහිමි කිරීම තෝරා ගන්නේය යන්නයි.

Back to Home page