Colombo Telegraph

යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ?

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.

එම සිරස්තලය යෙදීමෙන් මා අදහස් කළේම මුලින් කී අදහස ගැටළුවට ලක් කිරීම මිස අනෙකක් නොවේ. මගේ අදහස දෙන ලද සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය පවතීද? නැත්ද? යන්න අන්තිමේදී පුරවැසියන්ගේ දේශපාලනය මත තීන්දු වන්නකි යන්නයි. පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෝලීය උතුරේ රටවල වර්තමාන අත්දැකීම විග්‍රහ කරන්නට ගත් න්‍යායික උත්සාහයක් ලෙස මිස ‘දැන් මානව ඉතිහාසය පශ්චාත්- ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹ ඇතැයි‘ යන්න තීන්දු කරන්නක් ලෙස පිළිගන්නට මම නොපෙළෙඹෙමි.

මා තර්ක ගොනු කරන්නේ අවධි දෙකේ සමාජ පරිවර්තන න්‍යාය ඇතුළත පිහිටමින්ය යන සුමනසිරි ගේ අදහස ද මා පිළි නොගනිමි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය පළමුවත් එය අවසන් වූ පසු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි අරගලය කළ යුතු බවක් මා කියා නැත.

“අප අද ශ්‍රී ලංකාව තුළ මුහුණ දෙන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ තර්ජනය සුළු කොට තැකිය යුතු නැතැ” යි සුමනසිරි ඒ පිළිබඳ මගේ අදහස සමග එකඟ වීම මම අගය කරමි. නමුත් එය තනි කොට ගෙන ඊට විසඳුමක් සෙවිය නොහැකිය යන්න ඔහු ගේ යෝජනාවයි. මෙහිදී එය ‘තනි කොට ගෙන‘ යැයි ඔහු කියන්නේ මේ දේශපාලන මොහොතේ එයට ප්‍රමුඛතාව දිය යුතු යැයි මා කරන යෝජනාවට යැයි සිතමි.

සුමනසිරි ගේ එළඹුම ජනාධිපති අපේක්ෂකයන් ගැන සිතීමෙන් සීමා වෙයි. 1994 දී චන්ද්‍රිකා බලයට ගෙන ඒමට සහය දී ඒ මගින් තම අරමුණු ඉටු කරගැනීමට සිතූ අපේක්ෂාවන් චන්ද්‍රිකාගෙන් ඉටු නොවුණු වලේම මෙවරත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වටා ගොණු වීමෙන් වම වැටෙනු ඇතැයි යන බිය සාධාරණ බියකි. ගිණි පෙණෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බය වීම අපට තේරුම් ගත හැකිය.

එහි වරද ඇත්තේ තම අපේක්ෂාවන් ධනපති දේශපාලන ව්‍යාපෘතීන්ට ගැට ගසන වමේ ය. වම මෙවරත් ඒ වරද නොකළ යුතුය යන්නට මම ද එකඟ වෙමි. නමුත් ඒ නිසාම අද ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයයන් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ධනේශ්වර පක්ෂ වලට බල කිරීම අත් හළ යුතු නැත. අත් හළ යුතු නැතුවා පමණක් නොව වම ඒ සඳහා නායකත්වය දිය යුතු යැයි මම සිතමි. නමුත් ඒ මීළඟ ධනේශ්වර රජය ඇතුළට රිංගීමට නොවේ.

සියලු ධනේශ්වර රෙජීමයන් අතර වෙනසක් නැතැයි යනුවෙන් සුමනසිරි එළඹෙන නිගමනය මේ හැම රෙජීමයක්ම නව ලිබරල්වාදයේ ආධිපත්‍යයට නතු වී ඇතැයි යන අදහස මත පාදක වෙයි. එය නොසළකා හරින කරුණ නම් දේශපාලනයේ අභ්‍යන්තර සාධකය වන රෙජීමයන් හි පංති හා සමාජ සැකැස්ම යි. තවද අපගේ විග්‍රහය ඉසියුම් වන්නට නම් සමාජ සංසිද්ධීන් ප්‍රකාශමාන වන ආකාරයේ අන්තයන් අතරමැද ඇති අඳුරුවන් කලාපයෙහි තිබෙන ප්‍රභේදනයන්හි විවිධ මට්ටම් අවධානයට ගැනීමට සමත් විය යුතුය.

“නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කළ යුතු ය“ යන්න ධනවාදයේ පැත්තෙන් සැබෑ නමුත් නමුත් එය ඉරණම්වාදයක් ලෙස භාර ගැනීම වාමාංශික එළඹුමක් විය නොහැකිය. ධනපති නායකයන්ට ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන්නට සිදුව ඇතැයි කීම කල් තබාම පරාජය භාර ගැනීමක් බවට හරවා නොගත යුතුය.

සුමනසිරි කියන පරිද අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලය නොබිඳිය හැකි ලෙස නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි අරගලය හා බැඳේ නම් එම අරගලය දැන්ම පටන් ගත යුතු නොවේද? එය කරන්නට වම යෝජනා කරන්නේ කෙසේද? සමාජවාදය සඳහා වන අරගලයකින් ද?

මේ සඳහා අපට මෙරට නව ලිබරල්වාදය ක්‍රියාත්මක වන නිශ්චිත ස්වරූපය පිළිබඳ විග්‍රහයක් අවශ්‍ය වෙයි. මෙහිදී නව ලිබරල්වාදය යනු කුමක්ද? මෙරට නව ලිබරල්වාදය පවත්වාගෙන යන්නේ කවුද? වත්මන් රෙජීමයට අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කර දමන්නට අවශ්‍ය වී ඇත්තේ කුමන නිශ්චිත නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නටද? යනාදිය විමසා බලන්නට අවශ්‍ය වෙයි.

පොදු අපේක්ෂකයෙක් සෙවීම සඳහා වන ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහ ගේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීම සඳහා වන ව්‍යාපාරයක් ය යන එළඹුමෙන් ඔබ්බට පරිකල්පනාව අවධි කිරීමට වම ට හැකි විය යුතුය. මේ මොහොතේ වම ස්වාධීනව සටන ඇරඹීම පිළිබඳ ගැටලුවක් නැත. නමුත් සටන එකම පොදු සටන විය යුතුය. අවම ආරම්භක කොන්දේසිය ප්‍රජාතන්ත්‍රවාදය ද විය යුතුය. එය දැන් පුළුල් ව්‍යාපාරයක් බවට පත් වීමේ විභවය පෙන්නුම් කරයි. වමට අවශ්‍ය එය ගැඹුරු කිරීමට නම් වම ඒ සඳහා තම යෝජනා සහ වැඩ පිළිවෙල ඉදිරිපත් කළ යුතුය. එවිට කුමන රෙජීමයක් මීළඟට බලයට පැමිණියත් ඒවා සඳහා වන අරගලය දිගටම ගෙන යා හැකිය. එසේ නොවුවහොත් වම මෙම අවස්ථාවේ තම වගකීම පැහැර හැරියා වන්නේය.

මා මේ කරුණ දෙස බලන්නේ සුමනසිරි කියන පරිදි “ රට සංවර්ධනය කෙරේ ද? ජනයාගේ අයිතීන් ආරක්ෂා වේ ද? යන ආසන්න ප්‍රශ්න වල දෘෂ්ටියෙන් නොවේ.” මා රට යනුවෙන් අදහස් කරන්නේ අපගේ සාමුහික ලෝකය යි. අයිතීන් යන්නෙන් මා අදහස් කරන්නේ මානව අයිතීන් ම නොවේ. (ඒවා අයහපත් යැයි ද මම මෙහිදී නොකියමි). මා කතා කරන්නේ පුරවැසියන් ලෙස අප දිනිය යුතු දේශපාලන අයිතීන් ය. මගේ ප්‍රජාතන්ත්‍ර අවකාශය පුලුල් කිරීමේ ඉදිරි දැක්ම වාම විකල්පයක් නැවත ගොඩනැගීමේ සුමනසිරි ගේ පර්යාලෝකය අනතුරේ හෙළන්නේ නැත. එයට අවශ්‍ය පදනම සපයනවා පමණි.

Back to Home page